ආදරය ඝාතනය කළ එරික් බචෝ මිනීමැරුම


  • ‘‘මට දැන් වෙන කරන්න දෙයක් නෑ. මර්ලින් මම උඹෙන් පළිගන්නවා පළි ගන්නවාමයි.’’ බචෝ දැඩි තීරණයකට ආවේය. ඔහු ඊළඟ ලිපි ලීවේ මර්ලින්ගෙන් පළි ගන්නවා යන අදහස තේරුම් යන සේය. එවැනි ලිපි කීපයක් පසුව සාක්ෂි විභාගවලදී හමුවිය.
  • ‘‘සර්... මම යාළුවෙලා හිටියෙ මර්ලින් කියල කෙල්ලෙක් එක්ක. අපි බඳින්නම ඉද්දි ඒකි වෙන කෙනෙක් එක්ක යාළු වුණා. මම ඒකිට දැන් මේ පිහියෙන් ඇනල මැරුවා...’’ ඔහු පිහිය ලෙළදෙවන්නට විය.  වහාම පොලිස් නිලධාරීහු සිද්ධිය වූ ස්ථානයට ගියහ. ඒ වන විටත් මර්ලින් මියගොසින් සෑහෙන වේලාවක් ගත වී තිබිණ.  ඇයගේ ඝාතනය සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි මර්ලින්ගේ නිවසේ සිටි යෙහෙළිය ඉදිරිපත් කළාය.

සමහර ප්‍රේම සබඳතා විවාහයෙන් වගේම සුන්දර පවුල් ජීවිතයකින් කෙළවර වෙයි. සමහරක් ඒවා විවාහ වී දික්කසාදයෙන් අවසන් වෙයි. තවත් ප්‍රේම සබඳතා අවසන් වන්නේ මරණයෙනි. පිහි ඇනුම්, ගෙල වැළලා ගැනීම්, කෝච්චියට හෝ ගඟට පැනීම්වලින් අවසන් වන ප්‍රේම සබඳතා ද කොතෙකුත් තිබේ.   


හැබෑවටම ප්‍රේමයක් මරණයකින් හෝ දික්කසාදයකින් අවසන් විය යුතු ද? මේ සමාජය ගත්තත්, අත්වැල් පටලා, එක කුඩය යට යන කොයිතරම් පෙම්වතුන්, තමන්ගේ සම්බන්ධය වේදනාවෙන් මිරිකී අවසන් කරනවා ඇත්ද? ඝාතන හෝ සිය දිවි නසා ගැනීම්වලින් අවසන් කරනවා ඇත්ද?   


ප්‍රේමය ළඟ මේ ඉරණම අදට පමණක් වලංගු වූවක් නොවේ. ප්‍රේමය ඇති වූ දා පටන් අයිතිය සහ අයිතිකාරකම් වෙනුවෙන් නොයෙක් සටන් පවතින්නට ඇත. ඒ සමහර කතන්දර ජන හදවත්හි පතුළටම කිඳා බසී.   


පනහ දශකයේ එරික් බචෝගේ කතාවද ලංකා ඉතිහාසය අලුත් කළ එකකි.   
අවුරුදු 23ක් වූ බචෝ තමන්ගේ පෙම්වතිය මරා දැමුවත් ඔහුට ​බොහෝ මිනිසුන්ගේ අනුකම්පාව හිමි විණි. ඒ අනුකම්පාව කොයිතරම්ද යත්, එල්ලුම් ගහ පෙනි පෙනී සිටි ඔහුට ඉන් නිදහස ලැබීමටද එය ඉඩක් ඇති කළේය. රටේ පාලන තන්ත්‍රයේ බලවතුන්ගේ අවධානය පවා මරණයට දින ගනිමින් සිටි බචෝ කෙරේ යොමුවිණි. රට පුරා කවි කොළ ලියැවිණි. නොයෙක් ගීත නිර්මාණය විණි.   


මෙපමණ වෙනසකට රට ඇඳී ගිය එරික් බචෝගේ සිද්ධිය ලක්දිව අපරාධ ඉතිහාසය සොයා යාම තුළින් අද දිග හරිමු.   
එරික් බචෝ රාජගිරිය ඔබේසේකර ටවුමේ තිබූ නිවසක පදිංචිව සිටි කොල්ලෙකි. පනහ දශකයේ මුල හරිය වනවිට බ​චෝ අවුරුදු විස්ස පැන්නුවා පමණි.   


කොයි හැටි වෙතත් ජීවිතය ජය ගැනීමේ ඉලක්කය බචෝ තුළ තදින්ම තිබිණි. ඔහු තමන්ට ගැළපෙන රස්සාවක් හැම තැනම සොයමින් සිටියේය. ඒ අනුව වැඩි කලක් නොයා ඔහුට වරාය කොමිෂන් සභාවේ රැකියාවක් ලැබිණි. ඒ සඳහා බචෝට උදව් කළේ පවුලේ ඥාතියෙකි.   


මෙකල වරායේ සේවය කිරීම යනු කොයි කවුරුත් පිළිගත් රැකියාවක් විය.   
බචෝ ඉතා සතුටින් වරායේ වැඩට ගියේය. වැඩට යන අතරතුරදී බචෝට මර්ලින් නමැති රුවැති තරුණියක මුණගැසිණි. මර්ලීන් ලුඩෝවයික් පදිංචිව සිටියේ රාජගිරියේ ‘හයිලන්ඩ්’ නිවසේය.   


ඇයට බචෝ හමුවන විට වයස අවුරුදු දහඅටකි. ඉතාම රූමත්, හැඩකාර, දඟකාර මර්ලින්ට බචෝගේ බැල්ම ද ප්‍රේමණීය හැඟුම් පහළ කර වීය.   
උපතින්ම කිතුණුවකු වූ එරික් බචෝ පල්ලියේ පූජාවලට යන විටද එහි කෙළවරක තම යෙහෙළියන් හා වාඩි වී සිටි මර්ලින් දකින්නට ලැබිණි.   
දවසක් බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී බචෝ මර්ලින්ට කතා කළේය.   
‘‘මර්ලීන්... ඔයා අද හරි ලස්සනයි... හරිම ලස්සනයි. මට මොකක්දෝ ආදරයක් ඔයා කෙරේ ඇතිවෙලා තියෙනවා.’’   
එරික් බචෝ තමන්ගේ හැඟීම වචනයට පත් කළේය. මර්ලින්, ඒ වචන ඉවසමින් හැඟීම්බරව බිම බලා ගත්තා මිස කිසිවක් කියන්නට නොගියාය.   
නමුත් ඊළඟ දවසේ මර්ලින් හා බචෝ පල්ලියේ ගහක් අසලට වී බොහෝ වේලා කතා කරමින් උන්හ. මර්ලින් ගෙනා රෝස මල් පොකුරක් එදා බචෝ අතට ලැබිණි.   
බචෝට දැනුනේ ලෝකයක් දිනුවා වැනි හැඟීමකි. එතැනින් පසු මර්ලින් හා බචෝ නිතර දෙවේලේ හමුවන්නට වූහ. ඔවුහු මුහුදේ සුන්දර බව විඳින්නට ගියහ. කොළඹ මං මාවත් පුරා අත් පටලා ඇවිද ගියහ.   


මර්ලින්ගේ සතුට වෙනුවෙන් යමක් වියදම් කිරීමට හැකියාව ද බචෝ සතුව තිබිණ.   
‘‘බචෝ ඔයා මාව අතඅරිනවද?’’ දවසක් මර්ලින් විමසා උන්නාය.   
‘‘ඇයි ඔයාට මාව අවිශ්වාසද? කවදාවත් එහෙම වෙන්නෙ නෑ මර්ලින්. මම ඔයාට ගොඩක් ආදරෙයි.’’   
‘‘එහෙනම් මම අපේ සම්බන්ධෙ ගැන ගෙදරට කියනවා... හොඳද?’’   
බචෝගේ උත්තරයට මර්ලින් හොඳ පණක් දුන්නාය. ඒ අනුව මර්ලින් තමන්ගේ ආදර කතාව ගෙදරට කියා උන්නාය.   
‘‘අම්මේ එයා බචෝ. හරිම හොඳ කෙනෙක්. මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්. වරායෙ වැඩ කරන්නේ.’’   
මර්ලින් වැරදි තීරණයක් නොගන්නා බව දෙමාපියන්ද දැන උන්හ. ඒ අවසරයෙන් එරික් බචෝ දවසක් දෙකක්ම මර්ලින්ගේ ගෙදරට ආව ගියේය. ඒ හැම විටම පවුලේ වැඩිහිටියන් සමග බචෝ අනාගතය සාකච්ඡා කළේය.   
අවුරුද්දක් පමණ යන විට වරායේ සිදුවූ ප්‍රශ්නයක් මත එරික් බචෝට රැකියාව අහිමි වී ගියේය.   
රැකියාවක් නැති වූ ඔහු වෙනත් රස්සාවක් සොයා ගන්නට බොහෝ වෙහෙස විය. තවත් කලක් ගත වනවිට බචෝගේ ජීවිතයට යළිත් කණකොකා හඬලන්නට විය.   
බචෝ පණ මෙන් ආදරය කළ මර්ලින්ගේ වෙනසක් ඔහුට දකින්නට ලැබිණ. ඔහු හමුවීමට ආවත් මර්ලින් වැඩි වේලා නොසිට ඉක්මනින් යන්නට ගියාය. සමහර දවස්වලට බචෝ, තම පෙම්වතියගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියත් මර්ලින් නොආවාය. ඒ වෙනුවට ඇය කීවේ මට ඔළුවේ කැක්කුමයි, ඒක හින්දා එන්නෑ වැනි කතාවකි.   
දවසින් දවසම මර්ලින්ගේ ඈත්වීම වේගවත් විය. බචෝව හමුවන නිසා ඇය පල්ලියටවත් නොපැමිණ සිටින්නට වගබලා ගත්තාය. මේ නිසා බචෝගේ හිතේ තරමක කේන්තියක්ද හටගත්තේය.   


‘‘ඇයි තමුන් මාව මගඅරින්නෙ? මෙච්චර කල් එකට ඉඳල මොකක්ද මේ කරන වැඩේ තේරුම. මට රස්සාව නැති වුණා. ඒත් මම රස්සාවක් හොයා ගන්නවා. ඒ වෙනකල් තමුන්ට මම වෙනුවෙන් ඉන්න බැරිද? මට ඇත්ත කියන්න.’’   
එරික් බචෝ දවසක් මර්ලින් අභියස පින්සෙන්ඩු විය.   
බචෝ කියන හැමදේම මර්ලින් අසා බලා සිටියා මිස කිසිවක් කියන්නට නොගියාය.   
තවත් කලක් යන විට බචෝට මර්ලින් හමුවන අවස්ථා නැතිවන තරමට තත්ත්වය දුර දිග ගියේය. එයින් පසු බචෝ ඊළඟට උත්සාහ කළේ මර්ලින්ගේ වෙනස් වීමට හේතුව සොයා ගැනීමය. බචෝට හිතවතියක් වූ මර්ලින්ගේ ඥාති සහෝදරියකගේ සහාය ලබා ගන්නට ඔහු වෙහෙසුණේය.   
‘‘අයියා... ඔයා මර්ලින් ගැන බලාපොරොත්තුවක් තියා ගන්න එපා. ඔයා කලබල වෙන්නත් එපා. එයා අයිවර් මාටිනස් කියල තරුණ බෝයි කෙනෙක්ට ආදරය කරනවා. ඔයාගෙ රැකියාව නැති වීම ගැනත් මර්ලින් දුකින් හිටියා.’’   
බචෝට දැනගන්නට උවමනා වූ කාරණය සහ සුද්දයෙන්ම හෙළිදරව් විය.   
එරික් බචෝ බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දෙව්මැදුරට ගොස් තමන්ගේ දුක දෙව් සමිඳුන්ට කියා සිටියේය. ඔහුට මර්ලින් හමුවූ පළමු දිනයේදී කතා කළ ගස යට පැවති මූසල පාළුව අසලට වී ඇති වෙන තුරු කඳුළු සැළුවේය.   


එරික් බචෝට දැනුනේ මහා බරක් තමන්ගේ හිස මතට පතිත වූවා වැනි හැඟීමකි.   
‘‘කොහොමද මර්ලින් උඹව අමතක කරන්නේ. උඹට මාව අමතක කරන්න ලේසි වුණාට මම කොහොමද ඒක කරන්නේ?’’   
ගෙවී යන හැම තත්පරයම බචෝට දැනුනේ මහා දුකකි. මහා වේදනාවකි.   
‘‘දැන් මම කොහොමද ජීවත්වෙන්නේ.’’ මර්ලින් කියූ දේ, මර්ලින් හා ගෙවූ කාලය බචෝට මැවි මැවී පෙනෙන්නට විය.  
බචෝ තමන්ගේ අදහස කියා නැවතත් වෙනස්වන ලෙස මර්ලින්ට ආයාචනා කළේය. ඒ ලියන කිසිවකට මර්ලින් උත්තර නොදුන්නාය. 
මර්ලින් හා අයිවර් අතර ආදර සම්බන්ධයද මාස ගණනක් දුරට ඇඳී ගොස් තිබිණි.   
‘‘යළිත් මර්ලින් ආපසු හැරවිය හැකිද?’’ බචෝ නොසිතුවාම නොවේ.   
‘‘මට දැන් වෙන කරන්න දෙයක් නෑ. මර්ලින් මම උඹෙන් පළිගන්නවා පළි ගන්නවාමයි.’’ බචෝ දැඩි තීරණයකට ආවේය. ඔහු ඊළඟ ලිපි ලීවේ මර්ලින්ගෙන් පළි ගන්නවා යන අදහස තේරුම් යන සේය. එවැනි ලිපි කීපයක් පසුව සාක්ෂි විභාගවලදී හමුවිය. එහි බචෝ ලියා තිබුණේ,   
‘‘නුඹේ අනිසි මානසිකත්වය, වෙනත් පෙම්වතුන්ට හොඳ පාඩමක් වන ලෙස මම නුඹෙන් පළිගනිමි.   
මර්ලින්... දෛවය ගෙන යන තැනකට අපි යමු. මතක තියා ගනින්, කැලේ ගසක් නැසෙන්නේ කැලේ ගසකින් බව. මගේ ශ්‍රමය, ධනය සියල්ල නුඹ වෙනුවෙන් කැප කළා. නුඹ මගේ ජීවිතය කඩාකප්පල් කළා. නුඹ මා සමග කුලුපගව සිටිමින් මාව අපකීර්තියට පත් කළා. වෙනස් නොවන බව කියමින් ඒ වචනවලට නුඹ පිටුපෑමක් කළා. තවත් තරුණයන්ගේ ජීවිත කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන්ද නුඹ වගකිව යුතුයි. මේවා නුඹට පඩිසන් දෙනවා ඇති.   
දැන් මගේ හිත සනසාගන්නට ඇත්තේ එක් කරුණක් පමණි. මම මගේ ජීවිතය නැති කර ගැනීමට පෙර නුඹව නැති කරමි.   


මීට නුඹේ ආදරවන්ත   
එරික් බචෝ.’’   
යනුවෙන් ලියා තිබිණි.   


මර්ලින් නැතිව ගෙවෙන හැම දවසම බචෝට කල්ප කාලාන්තරයක් තරම් විය. නැගෙන කෝපය ගිනි දලු මෙන් මෝරනවා මිස නිවී නොයයි.   
දවසක් උදේම බචෝ ගෙදර ඌරන් මැරීමට තිබුණු පිහියක් අතට ගත්තේය. එය බෑගයක දමා වේගයෙන් ඇවිද ගියේ මර්ලින්ගේ ගෙදර වෙතටය.   
ඒ වනවිට මර්ලින් පල්ලි යන්නට ළිඳ ළඟට වී මුහුණ සෝදමින් සිටියාය. ඊට නුදුරින් නිවසේ මර්ලින්ගේ යෙහෙළියක් යම් වැඩක යෙදී සිටියාය.   
‘‘මර්ලින්... ඉස්සෙල්ලා උඹ පලයං. මමත් එනවාමයි...’’ කියමින් බචෝ සඟවාගෙන පැමිණි පිහිය තමන්ගේ කෝපය නිවී යන්නට මෙන් මර්ලින්ට ඇනගෙන ඇනගෙන ගියේය.   
ඇය කිසිත් කියාගත නොහැකිව ලේ ගඟුලක් මත ඇඳ වැටී නිහඬ විය.   
‘‘අයියෝ..... අක්කා..... අම්මේ.... අක්කා....’’ යි කෑ ගසමින් සිද්ධිය ඇසින් දුටු යෙහෙළිය එදෙසට දිව ආවාය.   
ඒ වන විටත් බචෝ වේගයෙන් පිහියත් රැගෙන වැලිකඩ පොලිසිය වෙත දිව ගොසිනි.   
‘‘සර්... මම යාළුවෙලා හිටියෙ මර්ලින් කියල කෙල්ලෙක් එක්ක. අපි බඳින්නම ඉද්දි ඒකි වෙන කෙනෙක් එක්ක යාළු වුණා. මම ඒකිට දැන් මේ පිහියෙන් ඇනල මැරුවා...’’ ඔහු පිහිය ලෙළදෙවන්නට විය.  


වහාම පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගියහ. ඒ වන විටත් මර්ලින් මියගොසින් සෑහෙන වේලාවක් ගත වී තිබිණ.   
ඇයගේ ඝාතනය සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි මර්ලින්ගේ නිවසේ සිටි යෙහෙළිය ඉදිරිපත් කළාය.   
මෙම මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ ජේ.එන්.සී. තිරුචෙල්වම් මහතා විසිනි. එයින් පසු ඝාතනය සම්බන්ධව නඩුව විභාගයට ගැණිනි. මේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රාජනීතිඥ ආනන්ද පෙරෙයිරා, රාජනීතිඥ ජේ.ආර්. මොරිස් පෙරේරා මහත්වරු පෙනී සිටියහ.   
චූදිත එරික් බචෝ වෙනුවෙන් එගර්ටන් බී. වීරකෝන් මහතාගේ උපදෙස් පරිදි සී.ආර්. බාර් කුමාරකුලසිංහ, මෙරිල් සී.එච්. ද සිල්වා, ඩබ්ලිව්.එන්.එස්. විජේරත්න, දයා විතානගේ නීතිඥවරු පෙනී සිටියහ.   


කෙසේ වෙතත් මෙම නඩුවෙන් මර්ලින්ගේ ඝාතනයට වැරදිකරු කරමින් බචෝව මරණ දඬුවමට පත් කිරීමට ජූරිය ඒකමතිකව තීරණය කළේය.   
ඒ වනවිට බචෝට වයස අවුරුදු 24ක් වූවා පමණි.   
බචෝ මේ පිළිබඳ අභියාචනාවක් ඉදිරිපත් කළේය. ඔහු තමන්ගේ අභියාචනාවෙන්, ‘‘මෙය සැලසුම්සහගතව මා විසින් කරන ලද ඝාතනයක් නොවේ. ඇයගේ ප්‍රතික්ෂේප කිරීම් දරා ගත නොහැකිව හදිසි කෝපය නිසා මා අතින් සිදුවූවක්’’ යැයි කියා සිටියේය.
එදා බචෝගේ හා මර්ලින්ගේ කතාව කවි කොළවලට නැගී ඉතා ජනප්‍රියත්වයට පත්විය. තවද මෙම කතාව වොලී බැස්ටියන්ගේ ගීතයක් බවටද පත් විය.   
මේත් සමග එරික් බචෝට විශාල වශයෙන් මහජන අනුකම්පාව ද ගලා එන්නට විය. එය බචෝගේ අභියාචනයට පවා වැඩි උත්ප්‍රේරණයක් ඇති කළේය.   
එරික් බචෝ මරණ දඬුවමට ලක් නොකරන ලෙස ඉල්ලා සිටින්නට නීතිඥ ආචාර්ය කොල්වින් ආර්. සිල්වා මහතා එකල විශාල වෙහෙසක් ගත් බව ද කියැවේ.   
බචෝ ප්‍රිවි කවුන්සලයට කළ අභියාචනාව ද අවසන ප්‍රතික්ෂේප විය. ඔහු එල්ලා මැරීමට නියම වූ දිනය වූයේ 1955 ඔක්තෝබර් 05 වැනිදාටය. ඊට දින කිහිපයකට පෙර කොළඹ නගර සභාවේ උප නගරාධිපති ආර්. ප්‍රේමදාස මහතා (හිටපු ජනාධිපති) වැලිකඩ හිර ගෙදර නිරීක්ෂණ චාරිකාවකට එක් විය. එහිදී ඔහු එල්ලුම්ගහට නියමිතව සිටි සිරකරුවන් 28 දෙනා රඳවා තිබූ සිරමැදිරි නිරීක්ෂණයට ද එක්වූයේය.   


එවේලේ ප්‍රධාන ජේලර්, ‘‘සර් අර ඉන්නේ එරික් බචෝ... තව දින පහකින් එල්ලා මරන්න ඉන්නේ.’’ යි කීවේය.   
එය අසාගෙනම ප්‍රේමදාස මහතා බචෝ සිටි සිර මැදිරිය දෙසට කිට්ටු වූයේය.   
‘‘බචෝ... ඔබ බොහොම තරුණයි. ඇයි පෙම්වතිය මරන්න කටයුතු කළේ?’’ ප්‍රේමදාස මහතා ඇසුවේය.   
‘‘එක පාරටම ආපු කෝපය තමයි සර්... මටත් හිතා ගන්න බෑ. පෙම්වතියකගේ මොන වරදක් ඉවසුවත් ඇය තවත් කෙනකු සමග සම්බන්ධයක් ඇතිවීම කොහොමද ඉවසන්නෙ. මට එය ඉවසා ගන්න බැරි වුණා සර්...’’   
එසේ කියමින් බචෝ හඬන්නට විය.   
අදාළ දිනයේ බචෝ එල්ලා මරන්නට සිටියත්, ඒ දවස කල් ගියේය. එතැනින් පසු බචෝ තමාට උපතින්ම ලැබුණු කිතුණු ආගම අතැර බුදු දහම වැලඳ ගත්තේය. ඔහු මල් පූජා කර නිතිපතා බුදුන් වඳින්නට පටන් ගත්තේය. බුදු දහමේ පැවැති භාවනා ඔස්සේ හිත නිවන හැටි ප්‍රගුණ කළේය. බණ දහම් කියවන විට අසන විට එරික් බචෝ ජීවිතයේ බොහෝ දේ තේරුම් බේරුම් කර ගත්තේය.   


බචෝගෙන් වුණු වරදට සමාවක් දෙන ලෙස මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අත්සන් කළ විශේෂ සන්දේශයක් අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාට භාරදී තිබුණි. මෙම සන්දේශයට යටවත්තේ ධම්මරතන මහා නාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමි, කළුකොඳයාවේ ප්‍රඤාසේකර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද අත්සන් කර තිබිණි.   
මේ අතර එරික් බචෝ තමන් වෙනුවෙන් විශේෂ ආයාචනයක් කර සිටියේය. ඒ 1956 බුද්ධ ජයන්තිය අවසන් වන තුරු තමාව එල්ලා මැරීම නොකරන ලෙසය. තමන් බෞද්ධාගම වැලඳගත්තේ මෑතකදී බවත්, බුද්ධ ජයන්තිය ඓතිහාසික අවස්ථාවක් වන බැවින් ඊට සහභාගි වීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසත් බචෝ ලංකා බෞද්ධ බලමණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.   


බචෝගේ මරණ දඬුවම ඉවත් කරන ලෙස පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය, තුම්බෝවිල බුද්ධ ජයන්ති කාරක සභාව, ගම්පොළ බෞද්ධ සමිතිය ඇතුළු සමිති සංගම්, විශාල ප්‍රමාණයක් ජනතාව අත්සන් කළ සන්දේශ රැගෙන අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා හමුවිය.   
කෙසේ වෙතත් මරණ දඬුවම කල් යමින් වාසනාව හා අවාසනාව සමග සටනක් කළ එරික් බචෝට අන්තිමේදී වාසනාව උදාවිය.   
1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහු ගත් ප්‍රධාන කැබිනට් තීරණ තුනෙන් එකක් වූයේ එල්ලුම් ගහ ඉවත් කිරීමයි. ඒ අනුව එරික් බචෝ මරණ දඬුවමින් ගැලවුණු අයෙක් බවට පත්වූයේය. පසුව ඔහුට විශේෂ සමාව ලැබී නිදහස ද ලැබිණි. 

 
ජීවිතයේ නොයෙක් හැළහැප්පීම්වලට මුහුණ දුන් බචෝ 1973 මාර්තු 21 වැනිදා හැඳල කැනල් පාරේ නිවසකදී මියගියේය. ඒ වන විටත් ඔහුට වයස අවුරුදු 40ක් පමණ ඇත.   
ආදරය කෝපයක් වන්නටත්, කෝපය ඝාතනයක් වන්නටත් ඇත්තේ කෙස් ගසක දුරක් බව සනාථ කරන්නට බචෝ සහ මර්ලින්ගේ කතාව අදටත් හොඳම පාඩමකි.

 

 

සටහන
අසංක ආටිගල