ආදරය අරන් පාසලට ආ විදුහල්පති


 

“පාසලට ළමයි ඇතුළත් කරන්නට  අල්ලස් ගත් විදුහල්පති දැලේ”


වර්තමානයේ පුවත්පත බලන, රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන අයට වැඩියෙන්ම අසන්නට දකින්නට ලැබෙන්නේ එවැනි පුවත්ය. ඒ නිසාම ‘මව්පියන් එකතු කර තෑගි දුන් රුපියල් ලක්ෂ තිස් එකකින් පාසලට සුහුරු පුස්තකාලයක් හදා දුන් විදුහල්පති’ යන පුවත සුවිශේෂ එකකි.  එබඳු විදුහල්පතිවරුනුත් මේ රටේ සිටීම ගැන අපට ඇත්තේ සතුටකි. මන්ද, රුපියල් ලක්ෂ තිස් එකක මුදල දෙන්නට හැදුවේ පාසලෙන් මාරුවී යන විදුහල්පතිට තිළිණයක් ලෙසින් බැවිනි.


කොට්ටාවේ මහින්ද රාජපක්ෂ ආදර්ශ පාසලට ලැබුණු මෙම සුහුරු පුස්තකාලය විවෘත කරන්නට ඇරියුම් ලැබ තිබුණේද මේ කියන විදුහල්පතිටය. ඒ  එහි විදුහල්පති ලෙස වසර අටක් සේවය කළ කසුන් ගුණරත්නටය.


“අද ඉන්නේ වෙනස් පරම්පරාවක්. මේ පරම්පරාව පහසුව හොයන, සැහැල්ලු‍වෙන් ජීවත්වෙන්න හදන, නවීන තාක්ෂණය එක්ක ගනුදෙනු කරන පරම්පරාවක්. ඉතින් අපේ පාසල්වල තියෙන බර මේස, බර පුටු, වගේම දැඩි නිහඬතාවය සහිත පුස්තකාල මේ නව පරම්පරාවට ගැලපෙන්නෙ නැහැ. මම ඒ අඩුව කොට්ටාව මහින්ද රාජපක්ෂ විදුහලෙන් දැක්කා. මට ලොකු උවමනාවක් තිබ්බා, ‘ස්මාර්ට්’ පුස්තකාලයක් හදන්න. ඒත් අවශ්‍ය මුදල් තිබ්බෙ නැති නිසා මට ඒ හීනය සැබෑවක් කරගන්න බැරිවුණා. ඒත් අර රුපියල් ලක්ෂ තිස් එක නිසා දැන් ඒ පාසලට ‘ස්මාර්ට්’ පුස්තකාලයක් තියෙනවා. ඒකෙ  ළමයින්ට සැහැල්ලු‍වෙන් ඉන්න පුළුවන් විදිහට මේස පුටු තියලා තියෙන්නෙ. ඕනැ අතකට හරවගන්න පුළුවන් මේස පුටු තියෙනවා.  රාක්කවල තියෙන පොත් දහස් ගණනට වඩා වැඩි පොත් ලක්ෂ ගණනක් අන්තර් ජාලයෙන් හොයාගන්න පහසුකම් සහිත පරිගණක තියෙනවා. පැත්තක කොෆී මැෂින් එකකුත් තියෙනවා. කැමැති ළමයෙකුට කෝපි බිබී පොතක් කියවන්නත් පුළුවනි. මටම පුදුමයි ඒ ලස්සන පුස්තකාලෙ දැක්කාම.”
    කියවීම යනු මිනිසා සම්පූර්ණ කරන පුරුද්දක් බව කසුන් ගුණරත්න දැන සිටියේ පුංචි දවස්වල පටන්මය.  ඔහුගේ ජීවිතය පරිපූර්ණ වූයේ කියවීම නිසාය. එනිසාම ඒ මහරු පුරුද්ද සිය පාසලේ දරුවන්ට ලබා දෙන්නට ඔහුට අවශ්‍ය විය.  ඒ වෙනුවෙන් ඔහු පාසලට හඳුන්වා දුන්නේ අපූරු උපක්‍රමයකි.


     “මගේ පාසලේ කාලපරිච්ඡේද නවයක් තිබ්බා.  සාමාන්‍යයෙන් පාසලක තියෙන්නෙ පරිච්ඡේද අටයි. මම ඒ අටෙන් විනාඩි පහ ගානෙ අරගෙනයි මේ නව වැනි පරිච්ඡේදය හැදුවෙ. මම ඒ නව වැනි පරිච්ඡේදය වෙන් කළේ කියවීමට.  උදේම පරිච්ඡේදය මේ විදිහට කියවීමට යොමුකළා. හැබැයි ඒ වෙලාවෙ කියවන්න ඕනැ නවකතා, කෙටිකතා, කවි, වගේ පාසල් විෂය නිර්දේශයෙන් බාහිර පොත්. ඉතිං මම දැක්කා ළමයි බොහොම ආශාවෙන් නවකතා පොත් බලනවා. කවි පොත් බලනවා. මෙන්න මේ කියවීම තුළින් මම දැකපු ප්‍රධානම දේ තමයි ළමයි සංවේදී පිරිසක් බවට පත්වීම.  රචනා ලියන්න සූරයන් වීම. අදහස් අතින් පෝෂණය වීම, වගේ දේවල්. ඉතිං ළමයි මේ විදිහට කියවීමට ඇබ්බැහි වීම යහපත් දෙයක්.”
අප දන්නා අතීතයේ විදුහල්පති, විනය පාලක වැනි ගුරුවරු යක්ෂයන් වැනිය. මූණේ හිනා පොදක් නැති, දැක්කහම බය හිතෙන අන්දමේ මරුමුස් පෙනුමක් ඇත්තවුන්ය. මේ අය හදන්නේම බොරුවටත් එක්ක  ළමයින්ට වේවැල් පාරකින් සංග්‍රහ කරන්නටය. එහෙත් මේ කසුන් ගුණරත්න එවැනි විදුහල්පතිවරයෙක් නොවේ. ඔහුගේ දැක්ම ඊට වඩා බොහෝ වෙනස්ය.


“ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් දැක්කාම ප්‍රසන්න වෙන්න ඕනැ. මුණ පිරෙන්නම හිනාවක් තියෙන්න ඕනැ. ලස්සනට අඳින්න ඕනැ. එතකොට තමා ළමයින්ට ආශා හිතෙන්නෙ. වරක් දැක්කහම තව පාරක් බලන්න හිතෙන්න. ඉතිං මම මගේ ගුරු මණ්ඩලයට කිව්වෙ ළමයින්ට ආදරය දෙන්න කියලා. දැනෙන්න ආදරය කරන්න කියලා. ගුරුවරයා මළහෝන්තුවක් කියලා ළමයට නොහිතෙන විදිහට හැසිරෙන්න කියලා. මම වුනත් එහෙමයි. ළමයි සෙල්ලම් කරනකොට මමත් එතෙන්ට ගිහින් ළමයෙකුගෙ බෝලෙකට පොඩි තට්ටුවක් දාලා ළමයි එක්ක කතා කරලා එන්න පටන් ගත්තා. ගුරුවරුත් එහෙමයි. යම් කාල පරිච්ඡේදයක ගුරුවරයෙක් නැත්නම් ඒ වෙනුවට යන සහන ගුරුවරයා ළමයින්ට උගන්වන්න යන්නෙ නැහැ. පිට්ටනියටයි ළමයි එක්ක යන්නෙ. ගිහිල්ල ළමයි එක්ක සෙල්ලම් කරනවා. 


මේ ක්‍රමය ළමයින්ට අල්ලලා ගියා. ළමයින් සහ ගුරුවරුන් අතර දූරස්ත බව අඩු වුණා. ඒ වගේම යම් පන්තියක ළමයෙක් විනය විරෝධී වැඩක් කළොත් සතියකට විතර මේ සෙල්ලම තහනම් කළා. වෙන දඬුවම්වලට වඩා මේ දඬුවම ළමයින්ට දැනුනා. ළමයි හදාගන්න හොඳම ක්‍රමයක් වුණා.’


ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ  පහේ ශිෂ්‍යත්වය සමත්ව ගම්පහ බණ්ඩාරනායක විදුහලට පැමිණෙන කසුන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය. ඉනික්බිති ගුරු පත්වීමක් ලබාගෙන මිනුවන්ගොඩ දුෂ්කර පාසලකට යන ඔහුගේ පාසලේ සිටියේ ළමයි හත්දෙනෙකු පමණි.  ගමේ කාටවත් ඉගෙනීමේ අවශ්‍යතාවක් නොතිබිණි. එහෙත් ඔහු ඒ පාසල ද ගොඩගන්නට විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කළේය.

 

පසුව අධ්‍යාපන පරිපාලන සේවා  විභාගයට පෙනී සිට විදුහල්පති තනතුරක් ලබාගන්නා ඔහු පළමු පත්වීම ලබන්නේ කොට්ටාව මහින්ද රාජපක්ෂ විදුහලටය.

ඔහු ලැබ තිබූ දැනුම සහ අත්දැකීම් ඇසුරින් යහපත් වෙනස් පාසලක් බිහිකිරීමේ බාරධූර වැඩ සටහන ආරම්භ කරන්නේ ඉනික්බිතිවය.
“ඉගෙනීම කියන්නේ මානසික ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය සාර්ථක වෙන්න නම් ගුරු සිසු බැඳීම අවශ්‍යම දෙයක්. ළමයා කියන්නෙ කවුද? ළමයා නියෝජනය කරන පරම්පරාව මොකක්ද? කියන දේවල් ගුරුවරයා දැනගෙන ඉන්න ඕනැ. ඒ වගේම අද ළමයි ඉගැන්වීමට වඩා කැමැති ඉගෙන ගැනීමට. අපි කරන්න ඕනැ ළමයට ඉගෙන ගැනීමට පහසුකම් සැපයීමයි. ළමයින්ට අත්දැකීම් ලබන්න ඉඩ දිය යුතුයි. එතකොට ළමයින් ස්වයං අධ්‍යාපනයක් ලබාගන්නවා.”


පාසල්වල බොහෝ සංගම් තිබේ. බෞද්ධ, සාහිත්‍ය, බාලදක්ෂ, ශිෂ්‍යභට ආදී වශයෙනි. මෙම හැම සංගමයකටම ප්‍රබෝධයක් ලබාදෙන්නට කසුන් විදුහල්පතිට හැකි විය.
එසේම පාසලක සංවර්ධනයට බලපාන්නේ සිසුන්ගේ ගැටලු පමණක් විසඳීම නොවේ. ගුරු මණ්ඩලයේ ගැටලුවලට ද පිළිතුරු සෙවිය යුතුය.
“මම දැකපු දෙයක් තමයි  ගුරුවරියො නිවාඩු ගන්නව වැඩියි. එයිනුත් තරුණ ගුරුවරියො නිවාඩු ගොඩක් ගන්නවා. මොකද හේතුව, මෙයාලගෙ ළමයි පොඩියි. ඉතිං ළමයෙක් අසනීප වුණොත් නිවාඩු ගන්නවා. ළමයෙක් තියල එන්න තැනක් නැති වුණොත් නිවාඩු ගන්නවා. ඉතිං මම කළේ පාසලේ ‘ඩේ කෙයාර්‘ එකක් පටන් ගැනීම. පාසලේ ගුරුවරියකගේ ළමයෙක් වෙනුවෙන් ගත්තෙ පිට අයගෙන් ගන්න ගාස්තුවෙන් අඩක්. මේ ක්‍රමය ගුරුවරියන්ට ලොකු පහසුවක් වුණා. ඊට පස්සෙ ගුරුවරියො නිවාඩු ගන්න එකත් අඩුවුණා.  ඒ වගේම ‘ඩේ කෙයාර්’ එක හරහා පාසල් සංවර්ධන සමිතියට ආදායමකුත් ලැබුණා.”

 


සාර්ථක ඉගෙනීමකට නම්  ළමයි, ගුරුවරු, වගේම ළමයින්ගෙ මව්පියනුත් සතුටින් ඉඳීම අවශ්‍යයි. ඒත් සමහර ළමයින් හිටියෙ ආර්ථික අපහසුතා මැද. මේ අය සතුටින් තියන්න නම් මේ අයට ස්වයං රැකියා අවස්ථා උදා කළ යුතු වුණා. මම ඒකට කළේ ජුකී මැෂින්, බ්ලොක් ගල් මැෂින් අරගෙන මේ දුප්පත් මව්පියන්ට  ලබාදීම. තවත් පිරිසකට දේශීය කෑම හදලා පාසල තුළ අලෙවි කිරීමට ඉඩදුන්නා. මේ නිසා බොහෝ පිරිසකට ආර්ථික අපහසුතා දුරුවුණා.’‘
කසුන් ගුණරත්න අද ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිය.  කොට්ටාව මහින්ද රාජපක්ෂ විදුහලේ සුහුරු පුස්තකාලය විවෘත කිරීමට ගිය අවස්ථාවේ පාසලේ බොහෝ ළමයින් තම හිටපු විදුහල්පති දකින්නට ආවේ අඬාගෙනය. 


“මම දරුවන්ට දුන්නෙ ආදරය. ඒවගේම අනෙක් අයට ආදරය නිර්ලොභීව බෙදලා දෙන්නත් කියා දුන්නා. ළමයි මාව බලන්න අඬාගෙන ආවෙ ඒ ආදරේ ඔවුනට දැනුණු නිසා. මම කියන්නෙ හැමෝටම ආදරය දැනෙන්න ජීවත් වෙන්න කියලා”


කසුන් ගුණරත්න අපට කියාදෙන පාඩම එයයි. අද බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති ලෙස ඔහු ගම්පහටත් ආදරය බෙදාදෙනු ඇත.
“මම තාම බණ්ඩාරනායක විදුහල අධ්‍යයනය කරනවා. කලින් ස්කෝලෙ ක්‍රමය මෙහාට නොගැළපෙන්න පුළුවන්. එහෙම වුනොත් මේ පාසලට ගැළපෙන විදිහට හොඳ ක්‍රමයක් හොයාගන්නවා.”ඔහු කියන්නේය. 


කෙසේ වෙතත් ඔහුගේ ක්‍රියාවලියේ පදනම ආදරයයි. ආදරණීය පාසලකින් බිහිවෙන දරුවන් ආදරණීය සමාජයක්, රටක්, ලෝකයක් හදනු ඇත. එවිට ඉන්න හිතෙන රටක් හැදෙන්නට අපේ ජනාධිපතිට මෙන් 2048 වනතුරු බලා ඉන්නට සිදුනොවනු ඇත.

 

 

■ ශාන්ත කුමාර විතාන