අප නොදුටු , ජපානය දුටු මහියංගණ ආයුර්වේද කෞතුකාගාරය


විතානාච්චි යුවළට ජපානයෙන් ලැබුණු පිළිගැනීම

 

මා ලන්ඩනයට පැමිණ මේ වෙනවිට වසර  පහළොවකට ආසන්න කාලයක් ගතවී ඇත. අඩු තරමින්  වසර දෙකහමාරකට  තුනකට වරක්  උපන් බිමට පැමිණෙන මා, මාගේ පුංචි දිවයිනෙහි අලු‍තෙන් අපට හඳුන්වාදෙන නව නිර්මාණ මොනවාදැයි නැරඹීම සඳහා සතියක් හෝ දෙකක් රට වටා සංචාරය කිරීම මට විනෝදාශ්වාදය  හා දැනුම ගෙනදෙන්නකි. මෙසේ  වසරේ මුල් භාගයේදී පැමිණ මහියංගණය ආදිවාසී ගම්මානයට යද්දී අතරමග හමුවුණ එක්තරා තැනක නතර වූයෙමි.  සම්පූර්ණ ගොඩනැගිලි පද්ධතියම පරිසර හිතකාමී, කිසිදිනෙක පින්තාරු නොකළ යුතු වර්ග අඩි 20,000 ක පමණ ගොඩනැගිලි පද්ධතියකින් යුතු එකක් විය. එම පරිශ්‍රය ඉදිරිපිට ”‍මහියංගණ ආයුර්වේද කෞතුකාගාරය”‍ නම් විශාල නාම පුවරුවක් විය.  


ගොඩවෙන විටම මට සිතුණේ රටේ මොන තරම් ආර්ථික ගැටලු තිබුණත් රජය ව්‍යාපෘති නතර කොට නැති බවයි. විශ්වයෙහි වෙසෙන්නාවූ සියලු‍ ජනයා හට රෝගවලින් ආරක්ෂා වීමේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම, ආයුර්වේද ඖෂධ පිළිබඳව තොරතුරු, ඖෂධිය පැළෑටි දහස් ගණනක ආදේශකයක්ද සමග සියලු තොරතුරු, ඔසු උයන, පැරණි වෛද්‍යවරුන් විසින් පාවිච්චි කරන ලද උපකරණ සහ ඔවුන්ගේ ඡායාරූප, ඉතා පිරිසිදු වැසිකිළි පද්ධතියක් වැනි ලන්ඩනයේ පිහිටි කෞතුකාගාරයකට සමාන  අංග සම්පූර්ණ වූ කෞතුකාගාරයකි. සියලු‍ දේ නරඹා  අපමණ දැනුමක් ලබා පැය හතරකට ආසන්න කාලයක් තුළ දැනුම් සම්භාරයක් ලබාගනිමින් මා නැවත පිළිගැනීමේ කවුළුව වෙත පැමිණ, එහි සිටි සේවකයකුගෙන්  විමසුවේ කුමන ඇමැතිවරයා විසින්  මෙවැනි දැනුමේ තෝතැන්නක් මහජනතාවට විවෘත  කළේ ද  යන්නයි. මම රැවටුණෙමි. මෙම ව්‍යාපෘතිය ආයුර්වේද වෛද්‍ය දෙපළක් විසින් රුපියල් කෝටි දහසයක් තම පෞද්ගලික ධනය වියදම් කොට විශ්වයේ ජීවත් වෙන්නාවූ සියලු ජනයා දැනුවත් හා සුවපත් කිරීම සඳහා  ගොඩනගන ලද්දකි. පිළිගැනීමේ කවුන්ටරයට හේත්තු වී හුස්මක් ගත්තෙමි. මෙවැනි සත්පුරුෂයෝත් ලංකාවේ ජිවත් වෙනවාදැයි මම  මටම කියාගත්තෙමි. 

 


මම යන්නට ගිය ගමන මොහොතකට නතර කොට තව තවත් ගැඹුරට එම සේවකයාගෙන් විමසන්නට පටන් ගත්තෙමි.


”‍සර්, මේක අයිති සර්රුයි, මැඩමුයි  දෙන්නම  ආයුර්වේද  වෛද්‍යවරු, ඉන්නේ වාද්දුවේ. ඒ දෙන්නම ඉන්දියාවේ - කේරළේ ආයුර්වේදය ඉගෙනගෙන, ඊට පස්සේ ලංකාවෙත් ඉගෙනගෙන විභාග පාස් කරලා දැනුම් සම්භාරයක් තිබෙන දෙන්නෙක්. කොටින්ම කිව්වොත් ඇවිදින ආයුර්වේද විශ්ව කෝෂ දෙකක්. ඒ දෙන්නම පසුගිය පාලකයන්ගෙන් කිහිප වතාවක් ඉල්ලලා තියෙනවා ඒ ගොල්ලෝ මැරිලා යන්න ඉස්සෙල්ල ඒ තමන්ගේ දැනුම ඉදිරි පරම්පරාවට ලබාදෙන්න මේ වගේ ව්‍යාපෘතියක් රජයෙන් කරන්න, එයාලගේ සම්පුර්ණ දැනුම සහ සහයෝගය නොමිලේ එයාල ලබාදෙන්නම් කියල. මුලින්ම මේ වගේ කෞතුකාගාරයක් කුඩාවට වාද්දුවේ, මොල්ලිගොඩ හදලා. ඒකට යක්කල ආයුර්වේද විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ සති අන්තයේ එන්න පටන් ගෙන. ක්‍රම ක්‍රමයෙන් පිරිස වැඩිවෙලා. එතන එක සැරේකට ඇතුළු කරන්න පුළුවන් දහතුන් දෙනයිලු‍.  එන්න එන්නම නරඹන්නන්ගේ ප්‍රමාණය වැඩිවෙන නිසයි ඒක වැඩිදියුණු කරලා මෙතන්ට ගෙනාවේ. දේශපාලකයෝ කවුරුවත් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආයුර්වේද  ඖෂධයක් හදන්න කොටස් තුනක් භාවිත කරනවා. ඒවාට කියන්නේ පාර්ථීව  (පොළොවෙන් ගන්නාවූ අමුද්‍රව්‍යය), උද්භිද (ගස් වැල්), සත්ව (සත්වයන් විසින් කාලය හරියනවිට බැහැර කරන්නාවූ කොටස්, ඉත්තෑ කූරු, අලි හක්ක වගේ දේවල්. එන අයට කියල දෙන්න ඒව ප්‍රදර්ශනය  කරලා තිබුණා. මේක උදේ 7 ඉඳල හවස 6 වෙනකල් ඇරල තියෙන්නේ. දවසක් රෑ  8 ට විතර වනජීවී එකේ කට්ටියක් තුවක්කුත් අරගෙන ඇවිත් අර සත්ව කොටස් ඔක්කොම ගලෝගෙන ගිහින් මහියංගන උසාවියේ නඩු දාල රුපියල් 165,000/- දඩ ගැහුවා. සර්ල මේකේ තියෙන බඩු ඔක්කොම ගෝනිවලට දාල, කොහෙහරි දාල, ගොඩනැගිල්ල බඩඉරිඟු‍ එකතු කරන මුදලාලි කෙනෙකුට විකුණලා, ඒ දෙන්නගේ පුතා ඉන්න ඔස්ට්‍රේලියාවට යන්න හැදුවේ. අපි යන්තම් කනිපින්දම් ගහල ගහල තමයි නවත්ත ගත්තේ.  මේක දාල අවුරුද්දකට පස්සේ, අපවත්වී වදාළ නාපානේ පේමසිරි රාමඤ්ඤ නිකායේ  මහා නායක හාමුදුරුවෝ, ගාල්ලේ පන්සලක උත්සවයක් තියලා සර්ට සම්මානයක් දුන්නා. එච්චර තමයි ඉතින්. 


”‍මට දෙන්න පුළුවන්ද මේක අයිති ඩොක්ටර්  ගේ ටෙලිපෝන් නම්බර් එක..? එය ලබාගත් මම, මෙම ස්ථානය හිමි එච්.එම්. විතානාච්චි මහතාට කතා  කළෙමි.  මා පිළිබඳව සියලු‍ විස්තර පැවසූ පසු ඔහු විස්තරය දිග හරින්නට පටන් ගත්තේය. 

 


මම මේ වගේ ව්‍යාපෘතියක් පසුගිය රජයන්වලට පුන පුනා කිව්වා. කිසිකෙනෙක් සවන් දුන්නේ නැහැ. මුලින්ම අපි මේක වාද්දුවේ හැදුවා. එතන ඉඩ මදි නිසයි මෙතනට ගෙනාවේ. මේ කෞතුකාගාරය අවුරුද්දකින් හදල ඉවර කළා. ලොකු බැංකු ණයක් ගැනීමට සිදුවුණා. ඒ අවුරුද්ද ඇතුළත මම 114 වාරයක් වාද්දුවේ ඉඳල ඇවිල්ලා තියෙනවා. එහෙම හදපු මේක විවෘත කරන්න එදා හිටිය සෞඛ්‍ය ඇමැතිවරයා එනවා කියලා අන්තිම මොහොතේදී එන්න විදියක් නැහැ හෙලිකොප්ටරයක් නැහැ කියල කිව්ව. නාපානේ නායක හාමුදුරුවොන්ගෙන් පස්සේ ජුලි  මාසේ 13 දා ජපානයෙන් සම්මානයක් අපි දෙන්නටම හම්බ වෙනවා. ඒ අය මෙය දැකල, අගය කිරීමක් වශයෙන් ගෞරව සම්මානයක් අපි දෙන්නටම දෙන්න සූදානම් කරලා. ගුවන් ටිකට්, සති දෙකක හෝටල් බිල් ඔක්කොම එයාලගෙන්. අපට තියෙන්නේ යන්න විතරයි”‍.


මම පසුව නැවත ඔහුට කතා කළා. 


ලොකු උත්සවයක් තියලා සම්මාන තුනක් ජපානයෙන් පිරිනමා තිබේ. යළිත් එම වෛද්‍යතුමා කිව්වේ එකම දෙයකි. 


“මුදල් යනු ඒකකයක් පමණයි. මේවා  සල්ලි කොච්චර තිබුණත් ගන්න බැරි දේවල්. පහුගිය කාලෙ සමහර ඇමැතිවරු ආචාර්ය පදවි සල්ලි දීල ගන්නකොට ලංකාවේ තියෙන සියලු‍ම මාධ්‍ය හරි ඉහළින් කතා කළා. අපි වගේ සමාජ මෙහෙවර කරන අය ගැන කිසි ප්‍රචාරයක් නෑ. අපි මේක සල්ලි හම්බ කරගන්න කරපු එකක් නෙවෙයි. මිනිස්සු නිරෝගීව ජිවත් කරවන්න කරන වෑයමක්.” ඔහු ඒ කියන්නේ සහතික ඇත්ත  බව සිහිපත් වුණේ එම විශ්වකර්ම  නිර්මාණය  සියැසින් දුටු නිසා ය.

 

 

■ ලලිත් ප්‍රසන්න මනෝරත්න 
   ලන්ඩනයේ සිට