අද මල් නැති මල්වත්ත පාර එදා කොළඹ මල්වත්තට ගිය පාරයි


 

  • බේරේ වැව එදා ගැමියන්ගේ පිපාසය නිවූ ජල දහරයි   
  • එංගලන්තයෙන් ආ නැටුම් කණ්ඩායම් හා ඉන්දියාවෙන් ආ සර්කස් කණ්ඩායම් තම හැකියාවන් පෙන්නුවේ කොළඹ ​තොටුපොළ ළඟ මේ මල්වත්තෙයි
  • පසුකාලීනව මල්වත්ත වීදියට කිව්වේ කැසට් වීදිය කියලා.   

 

කොළඹ කොටුව’ ඒ මේ අතට විහිදෙන මහ වීදි සහ කේශනාලිකාවැනි කුඩා වීදිවලින් හැඩ ගැසී ඇති හරි අපූරු වූ වෙළෙඳ ලෝකයකි. සමාන්තර හරස් වීදි පෙළකින් විහිදෙන කොළඹ වීදි මාවත් අතර ‘මල්වත්ත පාර’ කොළඹ කොටුවේ වීදිවලින් එක්තරා ආරම්භයක් සනිටුහන් කරන්නේ යැයි පැවසීමේ වරදක් නැත. 

කොළඹ මල් ඇති පාර කුමක් දැයි කොළඹ ගැන නොදත් අයකුගෙන් ඇසුවහොත් කියනු ඇත්තේ මල්වත්ත පාර කියාය. එහෙත් අද කොටුව ස්ටේෂම ඉදිරිපිට ඇති මල්වත්ත පාරෙ නම් එක මලක් තියා පොහොට්ටුවක්වත් නැත. අද ඉතා ජනාකීර්ණ ගොඩනැගිලි බහුල මේ ගෙන්දගම් පොළව ශබ්දාධික, රස්නය දෙන කොන්ක්‍රීට් වනාන්තරයක් වුවද එදා පිටකොටුව සහ කොළොම්තොට ආශ්‍රිත මේ පරිසරය ඉතා සිත්ගන්නා සුළු මනරම් මල්වත්තක් තණකොළ පිට්ටනියක් සහ වැවකින් සමන්විතව තිබී ඇත.   
අද මල් නැතත් එදා මල්වත්තකින් සුන්දර වූ මල්වත්ත පාරේ අතීතය වටා ගෙතුණු කතා රසබරය.   


1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි නාවික කණ්ඩායම කොළඹට ගොඩබැස ඇත්තේ දැන් අප පිටකොටුව මල්වත්ත පාර ලෙස හඳුන්වන අනර්ඝ මල්වත්තකින් සහ දිය කඩිත්තකට ඔබ්බෙන් පිහිටා තිබූ මනරම් කුඩා ස්වභාවික වරායට බව ඉතිහාසගත පොතපතේ සඳහන්ය.   
1796 දී ඉංග්‍රීසින් විසින් කොළඹ අල්ලාගත් පසු 1815 දී උඩරට ගිවිසුමෙන් අනතුරුව කොළඹ නගරය ඔවුන්ගේ අගනුවර ලෙස නම් වී ඇත. ඒ වන විට සම්පූර්ණයෙන්ම වෙළෙඳ කලාපයක් බවට පෙරළී තිබූ කොළඹ තව තවත් දියුණු වී දෙමළ, යෝනක, මැලේ, කොච්චි, ඉන්දියන්, චීන, අරාබි, බෝරා, ලන්සි වැනි විවිධ ජාතීන්ට අයත් මිනිසුන්ගේ බහුජන කලාපය බවට ද පත්වී ඇත.

   
තම නිෂ්පාදන සහ කෘෂිද්‍රව්‍ය විදේශීය වෙළෙඳුන්ට විකුණනු පිණිසත් නැව්ගත කොට පිටරට පටවනු පිණිසත් සබරගමුවෙන්, රුහුණෙන්, සීතාවකින් ගැල් සහ තවලම් පිටින් කොළඹට ඇදුණු ගැමියෝ සහ කුලී කරත්තකරුවෝ ගැල් නිදහස් කොට ගිමන් හැර ඇත්තේ දවටගහ නමැති ප්‍රදේශයේ බව ද ඉතිහාස පොතපතේ සඳහන්ය. එකල පැවැති විශාල වැව නිසා ඔවුන්ට පහසුවෙන් කොළොම්තොටට ළංවීමට හැකි නොවූ අතර හරකුන් දවටගහ පාමුල දිගේලි කොට ඔරු පාරු මගින් වෙළෙඳුන් වරාය ආසන්නයට පැමිණ මල්වත්තේ විවේක සුවයෙන් හිඳිමින් සුද්දන්ගේ රැඟුම් සහ ඉන්දියන් සහ මලයාලම් කාරයන්ගේ නූර්ති නාටක රසවිඳි බව ද පැරැණි පොතපතේ සඳහන් වේ.   
මල්වත්ත, තණපිට්ටනිය එකල සිදාදියේ සෙල්ලං නැටුම් පෙන්නූ සැණකෙළි භූමිය බවට ද සාක්ෂි සඳහන්ය. එකල එංගලන්තයෙන් නැටුම් කණ්ඩායම් සහ ඉන්දියාවෙන් සර්කස් කණ්ඩායම් මෙහි පැමිණ කොළඹ තොටුපළ ඉදිරිපිට මේ මල්වත්තේ තණ පිට්ටනියේ සෙල්ලම් පෙන්වා ඇත. අදටත් කොළඹ කොටුවේ මල්වත්ත පාර යනු ඒ උද්‍යානයට ගිය මාවතයි. එමෙන්ම වරාය අසලින් ගලා ගිය බේරේ වැව අද කුණු කසළ එක්ව සිහිමුර්ජා වන තරමට දුගඳ හැමුවත් මේ මල්වත්තට එදා සිසිලස අලංකාරය මෙන්ම එදා ගැමියන්ගේ පිපාසය නිවූ දියදහර වී ඇත්තේ ද මේ බේරේ වැවයි. 

 
එදා සුදු ජාතිකයන්ට මෙන්ම ලංකාවට ගොඩබැස ගත් අනෙකුත් ජාතීන්ට ද සුරපුරයක් වූ මේ මල්වත්ත මහා පරිමාණයේ කෘෂි නිෂ්පාදන වෙන්දේසියේ ද තෝතැන්නයි.   
කාලයත් සමග මේ මාවත් ගොඩනැගිලි ඉදිවී එදා පිටුකොටුවේ තිබූ ලස්සනම මාවත වූ මල්වත්ත පාරේ ඒ සුන්දරත්වය අද සහමුලින්ම ඈත් වී ගොසිනි.   
 අද මේ පිටකොටුව ඇන්දෙන්නටත්, අන්දන්නටත් හැකි හරි අපූරු වූ වෙළෙඳ ලෝකයකි. කොළඹ වීදි දිගේ අද ඔබව රැගෙන යන්නේ කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායට මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාරටය.   


ඉංග්‍රීසින් රට පාලනය කරන සමයෙහි අලංකාර මල්ගොමුවලින් පිරි ප්‍රභූ නිවාස සංකීර්ණයන්ගෙන් සමන්විතව තිබූ මේ මල්වත්ත පාරේ එදා තිබුණා යැයි කියූ කිසිදු සාක්ෂියක් අද දක්නට නැත. කාලයක්ම පරණ කෝට් වෙළෙඳාමට නම් දරා සිටි මේ මාවත ඒ සියලු වකවානු පසුකරමින් වර්තමානය වන විට මල්වත්ත පාරේ ඇසගැටෙන සුලබ දසුන වන්නේ නොයෙක් වර්ගයේ පාසල් බෑග්, ට්‍රැවලින් බෑග්, විවිධ වර්ගයේ සපත්තු හා නානා මාදිලියේ ඔරලෝසු වෙළෙඳසල්ය. මේ ද්‍රව්‍යයන්ට මල්වත්ත පාර අද වෙන් වී ඇතත් කාලයක්ම පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දැරූ වීදියකි. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. මේ වීදියේ කැසට් බාර් තුළ අදටත් එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, නිහල් නෙල්සන්ලා, මිල්ටන් පෙරේරාලා ජීවමානව සිටිති.   
එදා අඩියෙන් අඩිය කැසට් වෙළෙඳසල් මේ මාවතේ සුලභව තිබුණ ද අද මේ වීදියේ කැසට් වෙළෙඳසල් ඇත්තේ දෙක තුනකි. ඒවා ද ඩිජිටල් තාක්ෂණය සමග නවීකරණය වී ඇති සී.ඩී, ඩී.වී.ඩී අලෙවිසල්ය.   


මධුර මනෝහර ගීත බොහොමයක තිඹිරි ගෙය වූ කැසට්, චිත්‍රපට රෙකෝඩ්වලට පිටකොටුව මල්වත්ත පා​රේ නම් දැරූ කැසට් ව්‍යාපාරිකයන් අතර පැරණිතම ගී රැසකට හිමිකම් කියන කැසට් ව්‍යාපාරිකයකු වන ජයනන්ද මියුසික් සෙන්ටර් හි අධිපති ජයනන්ද අල්විස් මහතා අතීතය ආවර්ජනය කළේ මෙලෙසය.   
‘මල්වත්ත පාර කියන්නේ ලංකාවේ ලොකුම මර්මස්ථාන දෙකකට මැදිවුණ පිටකොටුවේ පළමු වීදිය. එක පැත්තකින් වරාය අධිකාරිය. අනෙක් පැත්තෙන් කොටුව දුම්රිය ස්ථානය. අධි ආරක්ෂිත කලාපයට අයත්​ වෙලා තිබුණ වීදියක් තමයි මේ මල්වත්ත පාර වීදිය.   
1947 පටන් වෙළෙඳ ව්‍යාපාරයට ඉතිහාසයක් තියෙන මේ වීදියේ අතීතය ගැන කතා කළොත් මුලින්ම මගේ තාත්තා ව්‍යාපාර කරලා තියෙන්නේ වරාය ඉදිරිපිට තියෙන ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිට. මුලින්ම වෙළෙන්දෝ වෙ​ෙළඳාම් කරලා තියෙන්නේ ඒ ඔරලෝසු කණුව ඉදිරිපිට. ඒ කාලේ ගොඩක්ම තිබිලා තියෙන්නේ රෙදි. ඒ කාලේ මේස් බැනියම් ගන්න එවකට හිටපු ජන නායකයන් වන ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩබ්ලිව්. දහනායක, සර් ජෝන් කොතලාවල වගේම ඩී.ඒ. රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ මහතාගේ පියා) වගේ ප්‍රභූන් පවා ඇවිත් තියෙන්නේ මේ මල්වත්ත පාරට තමයි. මගේ පියාගේ ව්‍යාපාරික ස්ථානයටත් ඒ ප්‍රභූන් බඩුමුට්ටු ගන්න නිතර ආවා කියලා ඒ කාලේ තාත්තා කියලා තියෙනවා. 

 

ජයනන්ද මහතා ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා සමග

 
අද වගේ නෙමෙයි ඒ කාලේ වෙළෙන්දෝ ඉඳලා තියෙන්නේ බොහොම ටික​ දෙනයි. 1948 දී නිදහස ලැබුණාට 1947 ඉඳලා මල්වත්ත පාරේ කඩ රෙජිස්ටර් කරලා අර ඔරලෝසු කණුව වටේට හිටපු වෙළෙන්දන්ට දීලා තියෙනවා. මගේ පියාත් ඒ අතර ඉඳපු වෙළෙන්දෙක්. මම පිටකොටුව මල්වත්ත පාරේ ව්‍යාපාරය කරන්න ආවේ 1972 වසරෙදි.   
මුලින්ම මේ වීදියේ තිබුණේ බේල් බඩු. ඒ කියන්නේ පිටරට සුද්දෝ අඳින ජැකට්, ඩෙනිම් වොෂ් කරලා එන ඒවා. ඒවා එංගලන්ත, ඇමෙරිකාව වගේ රටවලින් තමයි ආවේ.   
ඊට පස්සේ චිත්‍රපට රෙකෝඩින් යුගය ආවා. ඒ යුගය අවසන් වෙනවාත් එක්කම 1978 දී තමයි කැසට් යුගය එන්නේ. මේ කැසට් පට නිෂ්පාදන වූ මුල්ම යුගයේ කට්ටියට මම හිටියා. සිල්වර්ලයින් රෙකෝඩ්බාර්, තරංගා රෙකෝඩ්බාර් (විජය රාමනායක), ඊගල් ඕඩියෝ, සොනික් එන්ටර්ටේන්මන්ට්, ඉන්දික මියුසික් සෙන්ටර්, සාගර ෆැන්සි පැලස්. මේ ඒ කාලේ බිහිවූ කැසට් ව්‍යාපාරිකයෝ.   


ඒ කාලේ කැසට් ව්‍යාපාරය ලාභදායි ව්‍යාපාරයක් වුණා. ඒ කාලේ මල්වත්ත පාරට කිව්වේ කැසට් වීදිය කියලා. ඒ කාලේ මේ මල්වත්ත පාරේ කඩවල් 50 විතර තිබුණා. ඉන් කඩවල් 30 විතරම විකුණුයේ ගීත කැසට් පට. එච්.ආර්. ජෝතිපාල මහත්මාගේ ජනප්‍රියම කැසට් පට රාශියක් මම නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ අතුරින් ‘කිරි ඉතිරේවා නව වසරේ’ ගීත ඇතුළත් කැසට් පටයේ පූර්ණ වෙළෙඳ අයිතිය තියෙන්නේ මට. 

 
ජෝතිපාල මහත්තයා මොහිදින් බෙග්, හරුන් ලන්ත්‍රා, ලතා වල්පොල, සුජාතා අත්තනායක, ඇන්ජලින් මහත්මිය, මිල්ටන් පෙරේරා මහතා, නිහාල් නෙල්සන් ආදී ගායක ගායිකාවන් බොහොමයකගේ කැසට් අපි කළා. ඊට පහු යුගය ප්‍රින්ස්, චන්ද්‍රලේඛා, ආත්මා ලියනගේ, නාමල් උඩුගම වාගේ විශාල ප්‍රමාණයකගේ කැසට් කරලා තියෙනවා.  
එ් කාලේ මගේ රෙකෝඩ් බාර් එකට දිනපතාම ආපු එකම කලාකරුවා තමයි ජෝතිපාල මහත්තයා. ජෝති අයියා කොහේ ගියත් යන්නේ මගේ ෂොප් එකට ඇවිත්. ඒ යුගයේ උණු කැවුම් වගේ ගිය එකම කැසට් එකත් ජෝති අයියාගේ ගීත කැසට්. චිත්‍රපටවල රෙකෝඩ් විකුණන කාලේ ඉඳලම වැඩිම ඉල්ලුමක් තිබුණෙත් ජෝතිපාල අයියාගේ ගීතවලට. මියගියාට පස්සෙත් ගැයූ ගීතවලට වැඩි ඉල්ලුමකින් විකුණන ගායකයා වූයේ ජෝතිපාල මහත්තයා විතරයි. අදටත් ගායකයෝ කොච්චර බිහි වුණත් මගේ ආයතනයට දුර බැහැර ඉඳලත් ගොඩක් දෙනා එන්නේ ජෝති අයියාගේ ගීත මිලදී ගන්න. තාමත් ඉල්ලන්නේ ජෝතිගේ ගීත. ඒ වගේම ගාමිණී ෆොන්සේකා මහත්තයා රඟපෑව චිත්‍රපට ගන්නත් තාම රසිකයෝ අපේ ෂොප් එක සොයාගෙන එනවා.  

 


මල්වත්ත පාරේ තවත් පැරණිතම වෙළෙඳ ව්‍යාපාරයක් වන බතික් සෙන්ටර් හි වර්තමාන අධිපති උදය ජිනදාස මහතා පැවසුවේ මෙවන් කතාවකි.  
‘මගේ තාත්තා එච්.ජී. ජිනදාස. මලවත්ත පාරේ පැරණිතම වෙළෙඳ ව්‍යාපාරිකයෙක්. 1958 තමයි මගේ තාත්තා ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. ඒ කාලේ තාත්තාට තිබිලා තියෙන්නේ වීවින් එකක්. බතික් හෑන්ඩ්ලුම් රෙදිවලට ඒ කාලේ ලොකු ඉල්ලුමක් තිබිලා තියෙනවා. 1977 දී විවෘත ආර්ථිකයත් එක්ක දේශීය කර්මාන්තය නැතුවම ගියා. ඊට පස්සේ තමයි අපි කැමරා උපාංග ව්‍යාපාරයට ආවේ. මල්වත්ත පාරේ බතික් සෙන්ටර් කිව්වාම ඒ කාලේ විතරක් නෙමෙයි පුරුදු අය අදටත් සොයාගෙන එනවා. දැන් අපි කරන්නේ කැමරා උපාංග වුණත් තාමත් බතික් රෙදි හෑන්ඩ්ලූම් සොයාගෙන එන අය ඉන්නවා.  


මේ වට පිටාවේ ඇස ගැටෙන සෑම තැනකම ලොව පුරා ඇති ඉස්තරම් වර්ගයේ සන්නාම සහිත සපත්තු, ට්‍රැවලින් බෑග් සුලබය. අවශ්‍යතාවය කුමක් වුවත් ඊට සරිලන සේ මිලට ගන්නට මෙහිදී හැකියාව ලැබේ. විශේෂයෙන් ආබාධ සහිත පුද්ගලයන් සඳහා නිපදවා ඇති විශේෂ වර්ගවල සපත්තු පවා අඩු මිලට ලබා ගන්නට මල්වත්ත පාරට පැමිණෙන ඔබට හැකියාව ඇත. මල්වත්ත පාරේ විකිණෙන ඒරොප්පේ වටින සපත්තු වලට ඇත්තේ ද ඉහළ ඉල්ලුමකි. සපත්තුවල යටගියාව හාරවුස්සා දැනගත්තේ පදික වේදිකාවේ සපත්තු වෙළෙඳ මහතකු වන අජිත් මහතාගෙනි.  


‘මල්වත්ත පාරේ සපත්තු වර්ග ගැන කියනවා නම් ලංකාවේ මිනිස්සු අහලාවත් නැති නම්වලින් සපත්තු වර්ග තියෙනවා. ෆකාලෝලෝ, ඩොක්ටර් මාටින්, ජෝන් වයිට්, ටිම්බර් ලෑන්ඩ් ඇතුළු ඉහළ මාදිලියේ සපත්තු 1500, 2000 වගේ ඉඳලා විසිදාහ, පනස්දාහ, හැත්තෑපන්දාහ වැනි අධික මිල ගණන්වලට අලෙවි වන සපත්තුත් තියෙනවා. මෙතන තියෙන හොඳම වර්ගයේ පාවහන් අලුතින් ලංකාවේ මිල දී ගන්න බැහැ. තිබුණත් දරන්න බැරි තරම් මිල අධිකයි.  


මේ පාවහන් ගොඩක් අපට ලැබෙන්නේ පිටරටවලින්. පිටරට අය ලංකාවේ අය වගේ කැඩෙනකම් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අය දවසෙන් දෙකෙන් සපත්තු අයින් කරනවා. සමහරු ඉන්නවා රැකියාවක් විදිහට පිටරටවලින් සපත්තු එකතු කරලා නැව් මගින් ලංකාවට එවන අය. ලංකාවේ ලොකු කෝටිපතියන්ගේ ගෙවල්වලින් අපිට එන සපත්තුත් තියෙනවා. අපි ඒවා අලුත්වැඩියා කරලා රුපියල් 1500 ට වගේ අලෙවි කරනවා. ඉස්සර ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ඇමෙරිකාවෙන් ඉස්තරම්ම සපත්තු ආවා. දැන් එන්නේ හරිම අඩුවෙන්. මේ අතුරින් වැඩිම ඉල්ලුම තියෙන්නේ ඉතාලියෙන් එන සපත්තුවලට.  


මිල අධිකම සපත්තුත් අපි ළඟ තියෙනවා. සේෆ්ටි ෂූස් සපත්තුත් අපි ළඟ තියෙනවා. මේ සපත්තු කොච්චර මිල අධික වුණත් අපි අලෙවි කරන්නේ රුපියල් හාරදාහට, පන්දාහට අඩුවෙන්. කියන්න තියෙන්නේ මෙච්චරයි කාලයක් පාවිච්චි කරන්න සපත්තු දෙකක් ගන්න ඕනෑ මහත්වරුන්ට හොඳම තැන මල්වත්ත පාර. හොර වංචා නැත්තේ නෑ. තියෙනවා. ඒත් කාලයක් පාවිච්චි කරන්න ඕනෑ සපත්තු නම් මල්වත්ත පාර තමයි.  


පාසල් බෑග්, ට්‍රැවලින් බෑග්, ලෙදර් සපත්තුවලට ද මල්වත්ත පාරේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මල්වත්ත පාරේ ව්‍යාපාරිකයෙකු වන පී.ජී. රත්නසිරි මහතා ද මල්වත්ත පාරේ පැරණිතම වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ රැහේ ප්‍රබලයෙකි.  


‘මගේ තාත්තා ගාල්ලේ ඉඳලා ඇවිල්ලා තමයි මේ මල්වත්ත පාරේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඒ කාලේ කළේ ගෙදර රෙදි වියලා පිටකොටුවට ඇවිල්ලා විකුණපු එක. විවෘත ආර්ථිකයෙන් පස්සේ මේ වීදිය වෙන් වුණේ ඔරලෝසු, කැසට්, බෑග් සපත්තුවලට තමයි. ඉස්සර පිටරටින් ගේන බඩු මුලින්ම ගන්න පුළුවන් මේ වීදියෙන්. පැට්ට්‍රෝ මැක්ස්වලින් තමයි ලයිට් දුන්නේ. ඒ කාලේ තාන්න මාන්න තරාතිරම් නෑ. මොන දේ ගන්නත් මිනිස්සු ආවේ පිටකොටුවේ මල්වත්ත පාරට. මේ පාරේ පටන් ගත්ත තැන මුල්ම කඩෙන් තමයි බණ්ඩාරනායක මහත්තයා මේස් බැනියම් ගන්න එන්නේ.  


 අපෙන් සපත්තු ගන්න ඒ කාලේ මැති ඇමැතිවරුන් ඇවිල්ලා තියෙනවා. 94 එස්.බී. දිසානායක මහත්තයා සපත්තු ගත්තෙත් මගේ කඩෙන්. දැන් ඉතින් ලොකු ලොකු ෂොපින් මෝල් තියෙනවනේ. ඉතින් දැන් පිටකොටුව ගණන් ගන්නේ නැහැ. ඉස්සර යාපනේ මඩකළපුවේ ඉඳලත් සපත්තු, බෑග් ගන්න ආවේ පිටකොටුවේ මල්වත්ත පාරට. දැන් පිටකොටුවේ බඩු කිව්වාම හිතනවා බාලයි කියලා. එහෙම නැහැ. ෂොපින් මෝල් එන්න කලින් ලොකු පොඩි කාගෙත් ෂොපින් මෝල් එක වුණේ මල්වත්ත පාර තමයි. බාල බඩුවේ ඉඳලා ඉස්තරම්ම භාණ්ඩය දක්වා මේ වීදියේ තියෙනවා. ලොකු ලොකු කඩවලට වඩා උසස් නිෂ්පාදන ඉතාම අඩුවට මල්වත්ත පාරෙන් මිලදී ගන්න පුළුවන්.

 

සටහන
නදීෂා අතුකෝරළ  
ඡායාරූප - චානුක කුලසේකර