අද ටුවාලු .. හෙට ?


ටුවාලු දූපත්

 

පසුගියදා ඩුබායිහි පැවැති කෝප් 28 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී සාගරය ආරක්ෂා කරන්නේ කෙසේදැයි සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ දෙස මහත් ඕනෑකමින් බලා සිටි එක් විශේෂිත තරුණ කාන්තාවක් වූවාය.


ඇය නමින් මර්විනා පෝලිය. විසිපස් හැවිරිදි මර්විනා පෝලි තම මව් රටේ අනාගතය වෙනුවෙන් කිලෝ මීටර 12875ක ගුවන් ගමනකින් පසුව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට පැමිණ සිටියාය. ඇය ටුවාලු‍ ජාතික කාන්තාවකි. ටුවාලු‍ යනු පහත් බිම්වලින් සැදි පැසිෆික් දූපත් සමූහයකි. 

“උෂ්ණත්වය උරා ගනිමින්, ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් අපට එල්ල වන දැඩි බලපෑමෙන් සාගරය අපිව යම් ප්‍රමාණයකට ආරක්ෂා කරනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට එකඟ වීම, සාගරය ලබන විශාල ජයග්‍රහණයක් වේවි” මර්විනා පැවසුවාය.


මර්විනා පෝලිගේ ප්‍රථම දේශගුණික විපර්යාස සමුළුව මෙය විය. ඇය සමුළුවට සහභාගී වීම සඳහා පැය 24ක ගුවන් ගමනක යෙදුණාය. පළමුව ඇය ෆීජි දූපත්වල සිට හොංකොං බලා පියාසර කර ඇති අතර, අනතුරුව හොංකොං සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පියාසර කර ඇත. “මවගේ කුස තුළ පිළිසිඳගන්නා ළදරුවෙකු, තම මව සමඟ පෙකණි වැලෙන් සම්බන්ධ වී සිටින්නා සේ, අපි සැවොම උපන් භූමිය සමඟ බැඳී සිටිනවා” මර්විනා පැවසුවාය. ඒ හේතුවෙන් තමන්, තම රට වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බව මර්විනා ප්‍රකාශ කළාය. 


පහත් බිම් පැසිෆික් දූපත් නවයකින් ටුවාලු‍ රාජ්‍ය සෑදී ඇත. ටුවාලු‍ රාජ්‍යයේ ජනගහණය 11,000කි. සිය රටේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණි ටුවාලු‍ කණ්ඩායමේ සාමාජිකාවක වන මර්විනා, තම නිජ භූමිය සහ ඉතිහාසය අහිමිවීමේ තර්ජනයට මුහුණ පා සිටින ප්‍රජාවක සාමාජිකාවක් බවට පත්වී සිටියි. දේශගුණික විපර්යාස හේතුවෙන් ටුවාලු‍ හි අනාගතය ඉතාමත් අඳුරු බවත් ලෝක සිතියමෙන් තම රට අතුරුදන් වෙන අයුරු බලා සිටිය නොහැකි බවත් මර්විනා පැවැසුවාය. ඇයගේ මහ ගෙදර දෙපස තිබෙන නිල් පැහැයෙන් යුත් පැහැදිලි මුහුද සහ සුදු වැලි සහිත වෙරළ පිළිබඳව සමුළුවේදී ඇය විස්තර කළාය.


මීට වසර 30 කට පෙර පැවැති මුහුදු මට්ටමට වඩා මේ වන විට මුහුදු මට්ටම මීටර 0.15 ඉහළ ගොස් තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් වසරකට මිලි මීටර 5 කින් මුහුදු මට්ටම ඉහළ යන බවක් විශේෂඥයෝ පවසති. මෙම ඉහළ යාම තවත් වේගවත් වේවි යැයි අපේක්ෂා කරන බවත් 2050 වසර වනවිට අද තිබෙන මුහුදු මට්ටම තවත් සෙන්ටිමීටර 20 කින් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බවත් විශේෂඥයෝ පෙන්වා දෙති. එය ටුවාලු වැනි පහත් බිම් සහිත දූපත් වැසියන්ට පමණක් නොව ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයක් ද දැඩිව කල්පනා කළ යුතු යථාර්ථයකි. 


ඕනෑම දූපතක වාසය කරන දූපත් වාසීන්ගේ සංස්කෘතිය, ඉතිහාසය සහ ජීවනෝපාය යන කරුණු සාගරය මත රඳා පවතී. දූපත් වාසීන්ට නිරෝගී මුහුදක් සහ හොඳ මාළු අස්වැන්නක් අවශ්‍යය. එසේම මුහුදු මට්ටම ඉහළ යෑම සිදු නොවිය යුතුය.  එක්කෝ මුහුදු මට්ටම ඉහළ යෑම අවම විය යුතුය. එහෙත් ටුවාලු හි වැසියන්ට මෙම නියමය වලංගු නොවෙන තැනට කටයුතු සිදුවෙමින් තිබේ.

පෘථිවියට සහ එහි ජීවත් වන අපට විශිෂ්ටම සේවාවක් සපයන්නේ   සාගරය බව එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ දේශගුණ උපදේශක සහ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ උප සභාපති, කෝ බැරට් පවසයි. ගල් අඟු‍රු, ඉන්ධන සහ ගෑස් දහනය කිරීමෙන් සහ හරිතාගාර වායු වායුගෝලයට මුදාහැරීම තුළින් මිනිසුන් ඇති කරන ගෝලීය උණුසුමෙන් සියයට 90 ක් සාගරයේ ඇති අන්ධකාර ජලය විසින් උරා ගන්නා බවත් ඉතාමත් ඉක්මනින් සාගරය සපයන මෙම සේවාව අවසන් විය හැකි බවත් කෝ බැරට් ප්‍රකාශ කළේය. දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ මුහුදු ජීවින් වඳ වී යාම හේතුවෙන් එම සේවාව සැපයීමට බාධා එල්ල වෙමින් තිබෙන බවද බැරට් පැවැසුවේය.


කෝප් 28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි  වූ දේශපාලනඥයන් සිටි තැනට මීටර් ගණනක් දුරින් තිබෙන ඩුබායි මුහුදු වෙරළේ උෂ්ණත්වය, වර්තමානයේ සෙල්සියස් අංශක 30 ක් ලෙස සටහන් වී තිබිණි. ඩුබායි හි පමණක් නොව ලොව පුරා සාගර උෂ්ණත්වය අධි වේගයෙන් වැඩි වෙමින් තිබේ. පසුගිය ජූලි මාසයේදී ලොව මෙතෙක් වාර්තා වූ මුහුදු උෂ්ණත්වයේ සාමාන්‍යයේ ඉහළම අගය වාර්තා වූ බවත් කාලගුණ විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.


ටුවාලු‍ රාජ්‍යයේ අවට මුහුදේ සිටින ටූනා මත්ස්‍යයින් මුහුදේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වඩාත් සිසිලස ජලය සොයා ඈතට පිහිනා යන බවත්, ඒ හේතුවෙන් ටුවාලු‍ ධීවරයන්ට ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමට සිදුවී ඇති බවත් මර්විනා පැහැදිලි කළාය. දූපත් අවට සාගර උෂ්ණත්වය ඉහළ යෑම ලොව සෑම දූපතකටම ප්‍රශ්නයක් වන දිනය වැඩි ඈතක නොවේ. 


“එහෙත් දේශගුණ සමුළුවලදී, සාගරය යනු ප්‍රධාන මාතෘකාවක් ලෙස මෙතෙක් සැලකුවේ නෑ. එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවකදී ප්‍රථම වරට සාගරය මාතෘකාව සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙරයි.” මෙම සමුළුට එක් වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පීටර් තොම්සන් කීවේය. 
සාගරය ආරක්ෂා කිරීමට ගන්නා මීළඟ පියවර සහ උදම් බලශක්තියෙන් පුනර්ජනනීය බලය ලබා ගන්නා ආකාරය ඇතුළු දේශගුණික විසඳුම් ලබා දිය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ සහ සීෂෙල්ස් ඇතුළුව සාගර රටවල ඇමතිවරු පසුගියදා රැස්වූහ. එසේම, සාගර උරාගත් උණුසුම පිටකිරීම ආරම්භ කිරීමට තව කොපමණ කාලයක් ගතවේදැයි පර් යේෂණ සිදු කරන, පේරු වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබෙන  නැවක සේවය කරන විද්‍යාඥයන් කණ්ඩායමක් ඇතුළුව සංවිධාන 100කට වැඩි ප්‍රමාණයක් ඩුබායි සාගර ප්‍රකාශනයට පසුගියදා අත්සන් තැබූහ. ප්‍රවීණයන්ට මුහුදු මට්ටම ඉහළ යාම සහ කොරල්පර මිය යාම වැනි ගැටලු‍ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, වැඩි වශයෙන් සාගර විද්‍යාවට  ආයෝජනය කරන ලෙස ඩුබායි සාගර ප්‍රකාශනය මගින් ඉල්ලා සිටී. 


“සරලව කිවහොත්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අපට ඇති හොඳම විසඳුම සාගරයයි. ජාතික දේශගුණික අරමුණු, උපාය මාර්ග සහ ප්‍රතිපත්ති, සාගරය පදනම් කරගනිමින් ක්‍රියාත්මක කිරීමට රාජ්‍යයන් කැපවිය යුතුයි.”  ලෝක සම්පත් ආයතනයේ සාගර වැඩසටහනේ අධ්‍යක්ෂ ටොම් පිකරෙල් ප්‍රකාශ කළේය.


ලෝ වැසියන් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තත් පැසිෆික් දූපත් වැසියන්ට එය ප්‍රමාද වැඩි බව පෙනෙන්නට තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ග්ලැසියර දියවීම වේගවත් වී තිබේ. මුහුදු මතුපිට උෂ්ණත්වය පහළ යනතුරු ග්ලැසියර දියවීම නතර වෙන්නේ නැත. මේ නිසාම, දේශගුණ විපර්යාස නිසා අසරණ වන ටුවාලු දූපත් වැසියන් දේශගුණ අනාථයන් ලෙස සලකා, වීසා නිකුත් කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කළේය. 


අපේ කතා නායිකාව වන මර්විනා එය ප්‍රතික්ෂේප කරයි. “මම මගේ රටට ආදරෙයි. ‘‘මේ රට අතහැර ගියොත්, එකිනෙකා අඳුනන, එකිනෙකාට උදව් කරන රට අපට නැති වෙනවා.” ඇය කියයි. ඇය තම දූපත වෙනුවෙන් සටන් කිරීමට සූදානම්ය. මෙය කියවන ඔබද දූපත් රාජ්‍යයක වැසියෙකි. ඔබ ඔබේ දූපත ගැන සිතුවා ද? මර්විනාට සිදුවූ දෙය වෙන්නට පෙර ඔබ ක්‍රියාත්මක විය යුතු බව ඔබට නොසිතෙන්නේද?  සියලු කුණු මුහුදට දමන අපේ දූපතටද වැඩි කල් නොගොස් සාගරය ප්‍රතිප්‍රහාර දෙනු ඇත. එතෙක් සතුටින් සිටින්න. 

■ විමුක්ති එස්. රුද්‍රිගු
(ප්‍රධාන වාර්තාව බී.බී.සී. ඇසුරිනි)