BARCODE එක හිමි කාටද ?


 

  • තමන් සහ තම කණ්ඩායම තීරු කේතය සාර්ථකව වර්ධනය කිරීමෙන් අනතුරු තමන්ට අයි.බි.එම් සමාගමේ සේවය කරන තවත් සේවකයෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බවත් ඇමතුම ලබා දුන් තැනැත්තාගේ නම වුඩ්ලන්ඩ් බවත් මැකෙන්රෝ ප්‍රකාශ කර තිබේ. 1948 වසරේදී තමන් සුපිරි වෙළඳසැල් සඳහා කේතයක් සොයාගත් බවත් 1952 වසරේදී ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත් බවත් වුඩ්ලන්ඩ් දුරකතන ඇමතුම ලබා දෙමින් පැවසූ බව මැකෙන්රෝ පවසා ඇත.

 

සුපිරි වෙෙළඳසැලකට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ගිය විට කරත්තයකට අවශ්‍ය භාණ්ඩ ටික පුරවා ගන්නා අප එම කරත්තය තල්ලු‍කරගෙන රැගෙන විත් එහි භාණ්ඩ ටික මුදල් අයකැමිගේ මේසය උඩින් තබයි. අනතුරුව මුදල් අයකැමිවරයා හෝ අයකැමිවරිය එම භාණ්ඩ එකිනෙක ස්කෑන් කරන තෙක් සුළු මොහොතක් අප පැත්තකට වී බලා සිටි.


අතීතයේදී සෑම භාණ්ඩයකම මිල ලියා තැබූ අයුරුත් භාණ්ඩ මිලදී ගන්නා විට මුදල් අයකැමි විසින් සෑම භාණ්ඩයක්ම සෝදිසි කර මිල සොයා ගැනීමෙන් අනතුරු එය බිල්පතට ඇතලත් කළ අයුරුත් පරණ පරම්පරාවට අමතක වී ගොසින්ය. අලු‍ත් පරම්පරාව එවැනි ක්‍රමයක් තිබූ බවද දන්නේද නැත.


වසර 50 කට පමණ පෙර ඇති වූ මෙම වෙනසට වගකිව යුත්තේ අද වන විට සෑම භාණ්ඩයකම සටහන් කර ඇති බාර් කෝඩ් (තීරු කේතය) එකයි. අද වනවිට ලෝකය පුරා තිබෙන සුපිරි සහ සිල්ලර වෙළඳසැල් වල තීරු කේතය වාර බිලියන ගණනක් ස්කෑන් වේ. මෙසේ දවසකට බිලියනයකට වැඩි වාර ගණනක් ස්කෑන් වන තීරු කේතයට පණදීම සඳහා කණ්ඩායමක් එකතු කර ඊට නායකත්වය ලබා දී ඇත්තේ අයි.බී.එම් සමාගමේ නායකත්ව භූමිකාවන්හි දශක දෙකකට වැඩි කාලයක් ගත කළ සම්මානලාභී ඉංජිනේරුවරයෙකු වන පෝල් මැකෙන්රෝ මහතා විසිනි.


නමුත් තීරු කේතයට පණ දීම වෙනුවෙන් පෝල් මැකෙන්රෝ මහතාට ලැබිය යුතු නිසි ඇගයීම මෙතෙක් ඔහුට ලැබී නොමැත. පේටන්ට් බලපත්‍රයක් මෙම තාක්ෂණය වෙනුවෙන් ලබා ගෙන නොමැති අතර මෙම තාක්ෂණය තිබෙන්නේ පොදු වෙබ් අඩවියක් තුළ වීම හේතුවෙන් බුද්ධිමය දේපළ පනත යටතේ අයිතිවාසිකමක්ද කිව නොහැක. එබැවින් මැකෙන්රෝගේ නව නිපැයුමෙන් ඔහුට කිසිදු කතෘභාගයක් හිමිවන්නේ නැත.


එසේම තීරු කේතය සොයා ගත්තේ කවුරුන්දැයි ගූගල් හි සෙවූ විට ලැබෙන විකිපීඩියා පිටුවේ සඳහන් වන්නේ නෝර්මන් ජෝසප් වුඩ්ලන්ඩ් නැමැත්තෙකුගේ නමය. එසේ වූයේ කෙසේද?


පසුගිය 19 වැනිදා එළිදැක්වූ තීරු කේතය නැමැති ග්‍රන්ථයෙන් එම ප්‍රශ්නයට මැකෙන්රෝ පිළිතුරු ලබා දී ඇත. ග්‍රන්ථය එළිදැක්වීමට ප්‍රථම අන්ටප්‍රිනුවර් සඟරාව මැකෙන්රෝ සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදුකර තිබේ. එම සම්මුඛ සාකච්ඡාවේදී තීරු කේතය නිර්මාතෘවරයා පිළිබඳ ගැටලුවක් ඇති වූයේ කෙසේද යන්න සහ මැකෙන්රෝ සිය කණ්ඩායම සමඟ එකතු වී මීට දශක කිහිපයකට පෙර ලෝකය වෙනස් කළ පරිද්දෙන් වර්තමානයේ ලෝකය වෙනස් කිරීමට උත්සාහ දරණ තරුණයන්ට ලබා දිය හැකි උපදෙස් මොනවාද යන්න සාකච්ඡා වී ඇත.


සියලු‍ දේ ආරම්භ වූයේ 1969 වසරේ බවත් එම වසරේදී අයි.බී.එම් සමාගම වර්ධනය වීමට ඇති අවස්ථා සොයා බලමින් සිටි බවත් එක් විෂයක් පිළිබඳ විශේෂඥතාවක් තිබෙන සමාගම් මිලදී ගැනීමට තීරණය කර තිබූ බවත් මැකෙන්රෝ මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ. තමන් එය සාර්ථක නොවන බව අයි.බී.එම් සමාගමට දැන්වූ බවත් පසුදින අයි.බී.එම් ටයි පටි පැළඳීමේ සංස්කෘතියට අකමැති වූ නව නිර්මාණකරුවන් සහ පිරිස සමාගමෙන් අස්වීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත් මැකෙන්රෝ පෙන්වා දී ඇත.
එම අවස්ථාවේදී අයි.බී.එම් ආයතනයේ කීර්තිය ගැන නොසිතා එම කණ්ඩායම නවෝත්පාදන සොයා ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ බවත් අයි.බී.එම් සමාගම එහි කොටසක් වෙන්කර එම කොටසේ නායකත්වය මැකෙන්රෝට ලබා දීමට තීරණය කළ බවත් අන්ටප්‍රිනර් සඟරාව සඳහන් කර තිබේ.


මැකෙන්රෝ ජාතික මුදල් රෙජිස්ටර් සමාගමේ සෙවණෙහි හැදී වැඩුණු බවත් එම කාලයේ වෙෙළඳසල් වල තිබූ විශාල කෑෂ් රෙජිස්ටර් වෙනුවට භාවිත කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට හැකි වෙතැයි ඔහු සැමවිටම විශ්වාස කළ බවත් එම සඟරාව පෙන්වා දී ඇත. සිල්ලර සහ සුපිරි වෙෙළඳසැල්වල සියලු‍ දෙනා මැකෙන්රෝගේ මෙම අදහසට එකඟ වූ බවත් භාණ්ඩ තොග පාලනය කිරීම සඳහා එම කාලයේ තිබූ ක්‍රමයට වඩා හොඳ ක්‍රමයක් සොයා ගත යුතු යැයි ඔවුන්ගේද අදහස වූ බවත් අන්ටප්‍රිනර් සඟරාව සඳහන් කර ඇත.
මෙම ගැටලුව විසඳිය හැක්කේ තාක්ෂණයෙන් බව තමන් දැන සිටි බවත් ඒ සඳහා දෘශ්‍යමය වශයෙන් හෝ චුම්භකව කියවිය හැකි යම් ආකාරයක සංකේතයක් හඳුන්වා දීම සුදුසු යැයි තමන් විශ්වාස කළ බවත් මැකෙන්රෝ එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ. තමන් සහ තම කණ්ඩායම එම ක්‍රම දෙක පිළිබඳවම අධ්‍යයනය කළ බව මැකෙන්රෝ පවසා ඇත.
මැකෙන්රෝ ලේසර් තාක්ෂණය පිළිබඳ දැන සිටි බවත් ඔහු තීරු කේතය සොයාගැනීමට පෙර සිදු කළ ව්‍යාපෘති වලට ලේසර් තාක්ෂණය යොදා ගෙන තිබූ බවත් අන්ටප්‍රිනර් සඟරාව පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් තීරු කේතය සඳහාද ලේසර් තාක්ෂණය යොදා ගැනීමට ඔහු එම අවස්ථාවේ තීරණය කර ඇතැයි අන්ටප්‍රිනර් සඟරාව සඳහන් කර ඇත.
තමන් මෙම අදහස රැගෙන අයි.බී.එම් සමාගම වෙත ගිය බවත් එහිදී සුපිරි සහ සිල්ලර වෙළඳසැල්වල තොග පාලනය කළ හැකි තමා සොයාගත් තාක්ෂණය ඇතුළත් කළ හැකි උපකරණයක් නිපදවීම සිදු කළ යුතු යැයි ප්‍රකාශ කළ බවත් මැකෙන්රෝ පවසා තිබේ. තම සැලසුම ක්‍රියාත්මක කිරීමට පළමු අවුරුද්ද සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 ක මුදලක්, දෙවැනි අවුරුද්ද සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10 ක මුදලක් සහ තෙවැනි අවුරුද්ද සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30 මුදලක් අයි.බී.එම් සමාගමෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් එයට එකඟ වෙමින් උතුරු කැරොලයිනාවේ සිට වැඩ ආරම්භ කරන ලෙස පැවසූ බවත් මැකෙන්රෝ ප්‍රකාශ කර ඇත.


උතුරු කැරොලයිනාවට යෑමෙන් පසු තම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බඳවා ගත් බවත් 1971 වසරේදී සාර්ථකව තීරු කේතය නිර්මාණය කළ බවත් මැකෙන්රෝ පෙන්වා දී තිබේ. 1972 දී, සුපිරි වෙළඳසැල් කමිටුව සුපිරි වෙළඳසැල් ස්වයංක්‍රීය කිරීමට ඒ සඳහා උනන්දුවක් දක්වන්නන්ගෙන් යෝජනා කැඳවූ බවත් කේත ඉදිරිපත් කළ අයට එම කේත ප්‍රථමයෙන් පොදු වෙබ් අඩවියකට උඩුගත කිරීමට සිදු වූ බවත් මැකෙන්රෝ පවසා ඇත. ඒ හේතුවෙන් ඉදිරිපත් කළ කේත වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් හෝ කර්තෘභාගයක් ලබා ගැනීමට එම කේත සොයාගනු ලැබූ පුද්ගලයන්ට නොහැකි වූ බව මැකෙන්රෝ ප්‍රකාශ කර තිබේ.


තීරු කේත ස්කෑනරයට පේටන්ට් බලපත්‍රය මැකෙන්රෝ සහ ඔහුගේ කණ්ඩායමේ ජැක් ජෝන්ස් නැමැත්තෙකුට හිමි අතර ඉන්ද තමන් කිසිදු කර්තෘභාගයක් නොලබන බවත් අයි.බී.එම් සමාගමේ වැඩ කරන කාලය තුළ ලබා ගන්නා පේටන්ට් බලපත්‍ර වල අයිතිය සමාගම සතු බවත් මැකෙන්රෝ පවසා ඇත. 1973 වසරේ කමිටුව තමාගේ කේතය තෝරාගත් බවත් 1974 වසරේදී ප්‍රථම වරට සුපිරි වෙෙළඳසැල් 5 ක් වෙනුවෙන් එම කේතය ලබා දුන් බවත් මැකෙන්රෝ පෙන්වා දී තිබේ. 1980 වසරේදී තමන් අයි.බී.එම් සමාගමේම වෙනත් අංශයකට මාරු වූ බව ඔහු පවසා ඇත.


තමන් සහ තම කණ්ඩායම තීරු කේතය සාර්ථකව වර්ධනය කිරීමෙන් අනතුරුව තමන්ට අයි.බි.එම් සමාගමේ සේවය කරන තවත් සේවකයෙක්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බවත් ඇමතුම ලබා දුන් තැනැත්තාගේ නම වුඩ්ලන්ඩ් බවත් මැකෙන්රෝ ප්‍රකාශ කර තිබේ. 1948 වසරේදී තමන් සුපිරි වෙෙළඳසැල් සඳහා කේතයක් සොයාගත් බවත් 1952 වසරේදී ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත් බවත් වුඩ්ලන්ඩ් දුරකතන ඇමතුම ලබා දෙමින් පැවසූ බව මැකෙන්රෝ පවසා ඇත. තමාගේ කේතය වඩාත් සාර්ථක බව වුඩ්ලන්ඩ් පැවසූ බවත් තමාගේ කණ්ඩායමට සම්බන්ධ වීමට වුඩ්ලන්ඩ්ට අවශ්‍ය බවත් ඔහු දුරකතන ඇමතුම ලබා දෙමින් පැවසූ බව මැකෙන්රෝ පෙන්වා දී තිබේ. තමන් සතුටින් වුඩ්ලන්ඩ් තම කණ්ඩායමට බඳවා ගත් බව මැකෙන්රෝ පවසා ඇත.


වුඩ්ලන්ඩ් සුපිරි වෙෙළඳසැල් සඳහා පළමු කේතය සොයාගත් බව සැබෑවක් වුවත් තීරු කේතය සොයාගත්තේ වුඩ්ලන්ඩ් නොවන බවත් විකිපීඩියා පිටුවට වැරදීමක් සිදුව තිබෙන බවත් මැකෙන්රෝ පෙන්වා දී තිබේ. වුඩ්ලන්ඩ් තීරු කේතය සොයාගත් තැනැත්තා ලෙස හැඳින්වීමට ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ ජනාධිපතිවරණ සටනද විශේෂ හේතුවක් වූ බව මැකෙන්රෝ පවසා ඇත. බුෂ් සුපිරි වෙෙළඳසැලකට ගොස් තීරු කේතයක් ස්කෑන් කරන අවස්ථාවේ ඡායාරූපයක් ගන්නා බවත් එහිදී තීරු කේත තාක්ෂණය සොයා ගත් තැනැත්තා සෙවීමට බුෂ් උපදෙස් දෙන බවත් මැකෙන්රෝ පෙන්වා දී තිබේ. බුෂ් ගේ කාර්ය මණ්ඩලය සුපිරි වෙෙළඳසැල් කමිටුවෙන් ඒ පිළිබඳ විමසීමේදී එම කමිටුව ලබා දී ඇත්තේ වුඩ්ලන්ඩ් ලියූ යෝජනාව බව මැකෙන්රෝ පවසා ඇත.


වුඩ්ලන්ඩ් බුෂ්ගේ කාර්ය මණ්ඩලයට පැවසුවේ කුමක්දැයි තමන් නොදන්නා නමුත් අවසානයේ වුඩ්ලන්ඩ්ට තාක්ෂණය සඳහා වූ ජාතික පදක්කම ලැබුණු බව මැකෙන්රෝ පෙන්වා දී තිබේ. වසර 50 කට පසුව සිදු වූ වැරදි නිවැරදි කිරීමට තමන් තීරණය කළ බවත් තීරු කේතය ග්‍රන්ථය එළිදැක්වීමට තමන් කටයුතු කළේ ඒ හේතුවෙන් බවත් මැකෙන්රෝ ප්‍රකාශ කර ඇත.


තමන් තරුණයන්ට දෙන උපදේශය නම් ජිවිතයේ අපට මුණගැසෙන පුද්ගලයන් අමතක කර දැමීම සිදු නොකළ යුතු බවත් කෙදිනක හෝ තමන් ජීවිතය ජයගැනීමට යන ගමනේදී එම පුද්ගලයන්ගේ සහාය නැවත වරක් ලබා ගැනීමට සිදුවනු ඇති බවත් මැකෙන්රෝ පෙන්වා දී ඇත. අන්තර්ජාලය තුළ බොහෝ දේ සෙවීමට හැකියාව තිබුණත් අප සොයන දේ පිළිබඳ කල්පනාකාරී විය යුතු බවද මැකෙන්රෝ ප්‍රකාශ කර තිබේ.


(https://www.entrepreneur.com)
වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු