5G ලැබෙන්නත් කලින් 6G


 

චීනයේ ජංගම දුරකතන සබඳතා ලබාදෙන සමාගම්, ක්ෂේත්‍රයේ  පුරෝගාමීන් සහ ආයතන සමඟ එක්ව හයවෙනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය (6G) ලොවට හඳුන්වාදීම සඳහා පෙරමුණ ගනිමින් ඒ සඳහා මාර්ග සිතියමක් එළිදැක්වීමට පසුගිය දා කටයුතු කළේය.


ලෝකය පුරා සිටින පර්යේෂණ සමාගම් සහ පර් යේෂකයන්ට නැවත වරක් පර් යේෂණ ආරම්භ කිරීමටත්  6G තාක්ෂණය ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට මාර්ගෝපදේශ ලබාදීමටත් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය ගෝලීය පොදු රාමුවක් අනුමත කිරීමට පසුගිය ජූනි මස කටයුතු කළේය.


6G තාක්ෂණය හඳුන්වා දීම සඳහා පුරෝගාමීව කටයුතු කරන චීන සමාගමක් ලෙස යුනිකොම් සමාගම හඳුන්වා දිය හැක. 2025 වසරේදී 6G තාක්ෂණය සම්බන්ධව සිදුකරනු ලබන සියලු‍ පර් යේෂණ කටයුතු අවසන් කිරීමටත් 6G තාක්ෂණය භාවිත කිරීමට හැකි මුල් අදියරේ මෘදුකාංග හඳුන්වා දෙමින් වාණිජ භාවිතය සඳහා ඉඩ ලබා දීමට කටයුතු කිරීමටත් යුනිකොම් සමාගම බලාපොරොත්තු වෙන බව එම සමාගමේ සභාපති ලූ ලීහොන්ග් මහතා ප්‍රකාශ කර ඇත.


මේ වෙන විට 6G තාක්ෂණය ලොවට ප්‍රථමයෙන් හඳුන්වා දීම සඳහා බොහෝ රටවල් උත්සාහ දැරීම හේතුවෙන් යුද පිටියක් නිර්මාණය වී ඇති බවත් එම යුද පිටියේ චීනය ඉදිරියෙන් සිටින බවත් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය පෙන්වා දී තිබේ.


සංකීර්ණ කෘත්‍රිම බුද්ධියකින් බලගැන්වෙන 6G තාක්ෂණයට පදනම සපයා ඇත්තේ තවමත් ලෝකය පුරා ව්‍යාප්ත වී නොමැති  5G තාක්ෂණය වෙන අතර 5G  තාක්ෂණය ලෝකය පුරා ව්‍යාප්ත වී අවසන් වීමටත් ප්‍රථම පර් යේෂකයන් ඔවුන්ගේ අවධානය 6G තාක්ෂණය වෙත යොමු කර ඇත. එසේ අවධානය යොමු කිරීමට එක් හේතුවක් වී ඇත්තේ අන්තර්ජාලය භාවිත කරනු ලබන වෛද්‍ය, කර්මාන්ත සහ නැනෝ තාක්ෂණික උපකරණ ඇතුළු සෑම දෙයකම වටිනාකම 6G තාක්ෂණය හඳුන්වා දීමත් සමඟ තවත් වැඩි වෙනු ඇති බවට පර් යේෂකයන් පවසා තිබීමය.


එක් මයික්‍රෝ තත්පරයකට ගිගා බයිට් 1000 ක වේගයක් ලබාදෙන 6G තාක්ෂණය (හයවෙනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය) පර් යේෂණ මට්ටමින් දැනටමත් දියත් කර අවසන්ය. ඒ හේතුවෙන් 5ජී තාක්ෂණය ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කර අවසන් වීමටත් ප්‍රථම  පරිගණක සමාගම් 6G තාක්ෂණය යොදාගත හැකි මෘදුකාංග නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටී.


5G තාක්ෂණය යටතේ දත්ත හුවමාරු කිරීමේදී සිදුවෙන ප්‍රමාදය මයික්‍රෝ තත්පර 4000 වෙන අතර 6G සන්නිවේදන තාක්ෂණය යටතේ එම ප්‍රමාදය 0 දක්වා අඩු කර ගැනීමට හයවෙනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පර් යේෂණ සිදු කරන සමාගම් උත්සාහ දරමින් සිටී.
එක් මයික්‍රෝ තත්පරයකට ගිගා බයිට් 1000 ක වේගයක් ලබාදෙන බව පැවසූ පමණින් එය තේරුම් ගැනීමට අපහසු වූවත් තත්පරයකට මයික්‍රෝ තත්පර ලක්ෂ 10 ක් තිබෙන බවත් ගිගා බයිට් 1000 ක වේගයක් තිබෙන විට මයික්‍රෝ තත්පරයකදී ආසන්න වශයෙන් චිත්‍රපට 250 ක් පමණ බාගත කර ගැනීමට හැකියාව තිබෙන බවත් දැනගත් විට 6G තාක්ෂණය කෙතරම් වේගවත් දැයි අපට අදහසක් ලබාගත හැකිය.


දැනට වාණිජමය වශයෙන් භාවිත වෙන නවතම තාක්ෂණය වෙන 5G තාක්ෂණය මයික්‍රෝ තත්පර 1000 කට ගිගාබයිට් 20 ක වේගයක් ලබා දේ. අපි දැනටමත් අත් විඳින 5G තාක්ෂණය තවත් සංකීර්ණ ඩිජිටල් ලෝකයක් වෙත ගෙන යමින් 6G තාක්ෂණය සේවා මුල් කරගත් ක්‍රමයක් අනුගමනය කරනු ලබයි .
දැනට 5G තාක්ෂණය සඳහා භාවිත කරනු ලබන ඇතැම් යටිතල පහසුකම් 6G සන්නිවේදන තාක්ෂණය සඳහා ද භාවිත කිරීමටද යම් හැකියාවක් තිබුණත් 6G තාක්ෂණය සෑම ආකාරයකින්ම 5G තාක්ෂණය අභිභවා යන බව පර්යේෂකයන් පවසා ඇත. 6G සන්නිවේදන තාක්ෂණය ඉහළ සංඛ්‍යාත භාවිත කිරීම හේතුවෙන් 5G තාක්ෂණය සඳහා භාවිත කරනු ලබන යටිතල පහසුකම්වලට අමතරව තවත් ඇන්ටෙනා සහ කුලුනු ඉදිකිරීමට සිදුවෙන බවත් එපමණක් නොව ඒ සඳහා විශේෂිත උපකරණ අවශ්‍ය වෙන බවත් විශේෂඥයන් පෙන්වා දී තිබේ . 5G තාක්ෂණය ගිගා හර්ට්ස් 6න් පහළ සහ 6ත් 72ත් අතර සංඛ්‍යාත භාවිත කිරීමත් 6G තාක්ෂණය භාවිත කරනු ලබන සංඛ්‍යාත ටෙරාහර්ට්ස් 1 දක්වා විහිදීම සිදුවීමත් විශේෂ උපකරණ, කුළුනු සහ තවත් ඇන්ටෙනා අවශ්‍ය වීමට හේතුව බව විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. එසේම 6G සන්නිවේදන තාක්ෂණය අභ්‍යවකාශ සන්නිවේදනය සඳහා ද යොදා ගත හැකි බවත් ඒ සඳහා පහත් පෘථිවි කක්ෂ චන්ද්‍රිකා දහස් ගණනක්ද අභ්‍යවකාශයේ ස්ථාන ගත කිරීමට ද සිදුවෙන බවත් විශේෂඥයන් පෙන්වා දී තිබේ. මේ සියලු‍ කරුණු හේතුවෙන් 6G තාක්ෂණය ව්‍යාප්ත කිරීම මිල අධික වෙනු ඇතැයි පර් යේෂකයන් ප්‍රකාශ කර ඇත.
හයවෙනි පරම්පරාවේ මෙම සන්නිවේදන තාක්ෂණය සඳහා භාවිත කිරීමට නියමිත ඇන්ටනා, කැඩ් පරිගණක මෘදුකාංගය ආධාරයෙන් දැනටමත් නිර්මාණය කර අවසන් බව පර් යේෂකයන් පෙන්වා දී තිබේ. දත්ත හුවමාරු කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය වෙන මෙම ඇන්ටනා, සංකීර්ණ සැලසුමක් මත නිර්මාණය වී ඇතැයි පර් යේෂකයන් සඳහන් කර ඇත.


6G සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීම සඳහා මෘදුකාංග, සර්වර් පරිගණක අවශ්‍ය නොවේ. ඉතාමත් අඩු විදුලි පරිභෝජනයකින් සහ දත්ත හුවමාරු කිරීමේ දී සිදුවෙන ප්‍රමාදය අවම කරමින් අතිශය පුළුල් වූ පරිගණක ජාල පද්ධතියක් හැසිරවීමට 6G සන්නිවේදන තාක්ෂණයට හැකියාව තිබෙන බව පරිගණක විශේෂඥයෝ පවසයි. කාලය, අභ්‍යවකාශය සහ සංඛ්‍යානය මත 6G සන්නිවේදන තාක්ෂණය නිර්මාණය වී තිබීම හේතුවෙන් එය ත්‍රිමාණ තාක්ෂණයක් ලෙසද හඳුන්වනු ලබයි. 6G තාක්ෂණය මගින් ලබාදෙන අධික වේගයෙන් යුත් සන්නිවේදන හැකියාවන් මගින් කිසිදු ප්‍රමාදයකින් තොරව වීඩියෝ දර්ශන නැරඹීමට හැකිවීම, අවශ්‍ය දෑ ක්ෂණිකව බාගත කිරීමට හැකියාව ලබා දෙනවා සේම නවීන තාක්ෂණයේ කර්මාන්තශාලා සහ වර්චුවල් තාක්ෂණය සඳහා යොදා ගන්නා මෘදුකාංගවල ගුණාත්මකභාවය වැඩි කිරීමටත් ප්‍රයෝජනවත් වන බව කාර්නගී විශ්වවිද්‍යාලයේ විදුලි හා පරිගණක ඉංජිනේරු සහකාර මහාචාර්ය ස්වරුන් කුමාර් පවසා තිබේ.


G සන්නිවේදන තාක්ෂණය භාවිත කරනු ලබන ඉහළ සංඛ්‍යාත සහ ලබාදෙන වේගවත් දත්ත හුවමාරු කිරීම වැඩි වශයෙන් ප්‍රයෝජනවත් වෙන්නේ ස්වයංක්‍රීය පාලනයක් සහිත යන්ත්‍ර අතර සන්නිවේදන කටයුතු සිදු කිරීමටය. දත්ත හුවමාරු කිරීමේදී සිදුවෙන ප්‍රමාදය ඉතාමත් අවම කිරීම හේතුවෙන් 6ජී සන්නිවේදන තාක්ෂණය 6G කෘත්‍රිම බුද්ධියේ වර්ධනයට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන තාක්ෂණයක් බව පර් යේෂකයන් පෙන්වා දෙයි. මෙම සන්නිවේදන තාක්ෂණයේ සහායෙන් කෘත්‍රිම බුද්ධියට ගෝලීය දත්ත විශාල ප්‍රමාණයක් එකවර එකතු කර ගැනීමේ හැකියාව ලැබෙන බව පර්යේෂකයන් පවසයි. ඒ හේතුවෙන් අන්තර්ජාලය තුළ භෞතික හා අතත්‍ය සියලු‍ දේ ඒකාබද්ධ වෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.


එසේම 6G සන්නිවේදන තාක්ෂණය කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වී තිබීම හේතුවෙන් පරිගණක ජාලයක් තුළ දත්ත හුවමාරු කිරීමේදී වැඩි ප්‍රමුඛතාවක් ලබාදිය යුතු මෘදුකාංග මොනවා දැයි තීරණය කිරීමේ අයිතිය කෘත්‍රිම බුද්ධියට ලැබෙන බවත් එමගින් සේවාවේ ගුණාත්මකභාවය ද වැඩිවෙන බවත් පර් යේෂකයන් පවසා ඇත. ඒ හේතුවෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය ද ඉහළ යන බව ඔවුන් පෙන්වා දී තිබේ.


ස්මාර්ට් රූපවාහිනී, ස්මාර්ට් ජංගම දුරකතන සහ වාහන ඇතුළු සියලු‍ම ස්මාර්ට් විදුලි උපකරණ මෙන්ම මෝටර් රථද  6G සන්නිවේදන තාක්ෂණය හේතුවෙන් කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වෙන උපකරණ හා මෝටර් රථ බවට පරිවර්තනය වෙනු ඇතැයි පර් යේෂකයන් සඳහන් කර ඇත. එවිට එම උපකරණවලට ස්වාධීනව තීරණ ගැනීමටත්, ඉදිරිය දැකීමටත් හැකියාව ලැබෙනු ඇති බව පර් යේෂකයන් පෙන්වා දී තිබේ. කෙටියෙන් පැවසුවහොත් 6G සන්නිවේදන තාක්ෂණය හඳුන්වාදීමකින් තොරව සන්නිවේදන ක්ෂේත්‍රයට ඉදිරි ගමනක් නොමැති බවද පර් යේෂකයන් පවසා ඇත.


ලෝකයේ ඇතැම් රටවල්, විදුලි සංදේශ සේවා සපයන සමාගම්, යටිතල පහසුකම් සපයන සමාගම්, අධ්‍යයන ආයතන සහ කර්මාන්ත ප්‍රධානීන් මේ වෙන විට 6G සන්නිවේදන තාක්‍ෂණය සංවර්ධනය කරමින් සිටී. දකුණු කොරියාවේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ පර් යේෂණ ආයතනය, ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය 6G සන්නිවේදන තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා පර් යේෂණ සිදුකළ ආයතන සහ විශ්වවිද්‍යාල අතර වේ.
6G සන්නිවේදන තාක්‍ෂණය 5G තාක්ෂණයට වඩා 1000 ගුණයක් වේගවත් වීම මිනිස් ඇසට වැදගත් දෙයක් නොවූවත් 6ජී සන්නිවේදන තාක්‍ෂණය මගින් මෘදුකාංගවල විශ්වසනීයත්වය සහ සමස්ත ක්‍රියාකාරීත්වය කිසිදු බාධාවකින් තොරව සිදුවෙනු ඇත.


6G සන්නිවේදන තාක්ෂණය වාණිජමය වශයෙන් 2030 වසරේදී හඳුන්වා දීමට හැකිවෙතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇත.

 

 

■ විමුක්ති එස් රුද්‍රිගු