ඝාතන මඬින්න පොලිස් බුද්ධි මෙහෙයුම්


ඉන්දිකා රාමනායක

බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් දිගින් දිගට මිනීමැරුම් ඇතුළු අපරාධ සිදු කළ පුද්ගලයන්ට එරෙහිව විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් බුද්ධි මෙහෙයුම් ඇතුළු විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අපරාධ සිදුවන ප්‍රදේශ වශයෙන් හඳුනාගත් ප්‍රදේශවල බුද්ධි නිලධාරින් යොදවා විශේෂ මෙහෙයුමක් සිදුකර ඇති අතර, එම මෙහෙයුමට අමතරව, ස්ථිර මාර්ග බාධක මෙන්ම මාර්ග බාධක වැඩි කර පුද්ගල පරීක්ෂා කිරීම්, දැඩි කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.
මෙම ක්‍රියාමාර්ගවලට අමතරව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය දෛනිකව සිදු කරන මෙහෙයුම් කටයුතු ද දැඩි කර ඇත.


දකුණු හා බස්නාහිර ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරින් වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවත්, පිට  ප්‍රදේශවලින් ද භට පිරිස් වැඩි වශයෙන් කැඳවා එම රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් මූලස්ථානය ආරංචි මාර්ග පවසයි.


මෙම ඝාතන මැඩලීම වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් සඳහා අනිසි බලපෑම් සිදු කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උසස්  නිලධාරීන්ට දැනුම් දී ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙම අපරාධකරුවන්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු සියලු උසස් පොලිස් නිලධාරීන්ට පසුගියදා නියෝග ලබාදී ඇත.


පොලිස්පතිවරයා ප්‍රමුඛ උසස් පොලිස් නිලධාරින් 21 දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා සිදුකළ හදිසි සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ නියෝග ලබා දී ඇත. 
දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ මැඩලීමට කාර්යක්ෂමව කටයුතු නොකරන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පොලිස් නිලධාරින් එම තනතුරුවලින් ඉවත් කර ඒ වෙනුවෙන් සුදුසු නිලධාරින් පත් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇතැයිද වාර්තාවේ.


දකුණු සහ බස්නාහිර පළාත් තුළ සිදුවන  අපරාධ වැඩිවී ඇත්තේ එම ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙන් බව පොලිස්පතිවරයා දන්වා ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.


බලපත්‍ර නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද සියලු ගිනි අවි පොලිසියට බාර දීමට ජූලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශ කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දී ඇති අතර එම කාලය අවසන්වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කරන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් දී ඇත. දකුණු සහ බස්නාහිර කේන්ද්‍ර කරගනිමින් දිගින් දිගටම සිදු වන වෙඩි තැබීමේ සිද්ධින්වල වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් රට තුළ අනාරක්ෂිත බවත් ඇති බවට විවිධ පාර්ශ්වවලින් දිගටම චෝදනා එල්ලවිය.


මෙම වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම් 43න් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස්  තවත් 20 ට අධික තුවාල ලබා ඇතැයි පොලිස් ආංචි මාර්ග පවසයි.