අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි


උපුල් වික්‍රමසිංහ


ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ විනිමය හිඟය හමුවේ පසුගිය 2022 අප්‍රේල් මස 12 වැනිදා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් ද්වීපාර්ශ්වීය හා වාණිජ විදේශ ණය හිමියන්ට දැන්වීය.

ඒ යටතේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවලින් ලබා ගත් ඩොලර් බිලියන 10 ඉක්ම වූ ණය ප්‍රමාණයක් ද (ද්වීපාර්ශ්වීය ණය) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ලබාගත් ණය ඇතුළුව ඩොලර් බිලියන 14 ඉක්ම වූ වාණිජ ණය ප්‍රමාණයක් ද ගෙවීම තාවකාලිකව අත්හිටු වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව එම ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ජාත්‍යන්තර නීති හා මූල්‍ය ආයතන දෙකක සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ද ඒ වසරේදීම ආරම්භ විය.
බහුපාර්ශ්වීය ණය හැර සෙසු විදේශ ණය 2022 අප්‍රේල් සිට මේ දක්වා ගෙවීමක් සිදු නොවූ අතර දේශීය ණය ප්‍රශස්තකරණය 2023 වසරේ දී අවසන් කෙරිණ.
රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා මේ වෙන විට අවසන් අදියරේ පවතින අතර වාණිජ ණයවලින් ඩොලර් බිලියන 12 ක් වූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ ණයවලට අදාළව සිදු කළ හැකි ප්‍රතිව්‍යුහගතකරණය ගැන දෙපාර්ශ්වය අතර යෝජනා හුවමාරු වුවද මෙතෙක් මූලික එකඟතාවකට හෝ පැමිණීමට නොහැකි වී ඇති බව දැනගන්නට ලැබේ.
මේ වසරේ පළමු මාස 6 ඇතුළත විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර, එසේ කිරීමට හැකි වුවහොත් ණය ගෙවීමට සහන කාලයක් හෝ ණය පොලී අනුපාත පහත හෙළීමක් හෝ ඒ දෙකම හෝ ලැබෙනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.