උපුල් වික්‍රමසිංහ
වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයනාංශයෙහි සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ප්‍රඥාව, කෘතඥතාව, සංඥා, සර්වඥ, ඥානය, ඥාතීන් ආදී වදන් ගණනාවක මෙම ‘ඥ’ අක්ෂරය යෙදුණ ද පාසල්වල සිංහල භාෂාව ඉගැන්වීම සඳහා යොදා ගැනෙන සමකාලීන සිංහල හෝඩියෙහි මෙම අක්ෂරය නොමැතිවීම බරපතළ ගැටලුවක් බව කී මහාචාර්යවරයා, එය වර්තමාන හෝඩියට ඇතුළත් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයෙහි වගකීමක් බව ද සිහිපත් කළේය.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නූතන සිංහල හෝඩියෙහි ඇතුළත් අක්ෂර 60 ට ඥ අක්ෂරය ඇතුළත් නොවුණ ද යුනිකෝඩ් හෝඩියෙහි එම අක්ෂරය ද ඇතුළත්ව අක්ෂර 61 ක් දැක්වෙන බව ද හෙතෙම කීවේය.
“මේ අක්ෂරය අපේ ජාතික හෝඩියෙ නැති වුණාට යුනිකෝඩ් හෝඩියට ඇතුළත් කරලා තියෙන්නෙ. දැන් තියෙන හෝඩියට ඇතුළත් කළ යුතු අකුරු මොනවද කියන එක තීරණය කළේ ජාතික අධ්‍යාපන ආයතනයෙ කමිටුවක් මගින්. මමත් ඒ කමිටුවෙ හිටියා. මේ අකුර හෝඩියට ඇතුළත් කළ යුතුයි කියලා මම යෝජනා කළත් ඒ අය ඥ අකුර අක්ෂරයක් විදියට පිළිගත්තෙ නෑ.
ග්‍රීසියේ පැවති ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ මහ සභා රැස්වීමට යැව්වෙ මාව. එතනදි මම යෝජනා කළා, ඥ අක්ෂරය යුනිකෝඩ් හෝඩියට ඇතුළු කළ යුතු බවට. ඒ අනුව තමයි යුනිකෝඩ් හෝඩියට ඒ අකුර දැම්මෙ. යුනිකෝඩ් කියන්නෙ ‘‘විශ්ව හෝඩියක්” මහාචාර්යවරයා පැහැදිලි කළේය.
ඊට අමතරව ස්වර අක්ෂර දෙකක් වෙන ඏ (ඉලු) සහ ඐ (ඉලූ) යන අක්ෂර වර්තමාන භාවිතයෙහි නොමැති බැවින් ඒවා හෝඩියෙන් ඉවත් කළ යුතු බව ද ඔහු පැවසීය.