හියුගෝ මාස්ටර් ඉන්දියාවේ වංචාකාරයකුට හසු වූ හැටි


සුප්‍රකට විචාරක ජයවිලාල් විලේගොඩ විසින් ‘ප්‍රේම තරගය’ චිත්‍රපටය පිළිබඳ ලියන ලද සමාලෝචනයක මෙසේ සඳහන් වෙයි.   


“මෙතක් නිපදවන ලද දීර්ඝතම සිංහල චිත්‍රපටය වීමේ වාර්තාව පිහිටුවූ ‘ප්‍රේම තරගය’ අන් තැනකින් සොරාගත් කතාවක් ඇඟට නොදැනී චිත්‍රපටයට ඇතුළත් කිරීමෙන් නිපදවන ලද වුවත් හියුගෝ ප්‍රනාන්දු අතින් ලියැවුණු දෙබස් හා පදමාලා ප්‍රේම තරගයට ආලෝකයක් ලබාදුන්නේය.   


කැකිරි ගෙඩි පිරිමදිමින් විකට නිළියක ගයන ගීය හා තවත් ගෙඩි වර්ගයක් දැක විකට නළුවකු කරන අනුස්මරණය ආදී අසභ්‍ය ජවනිකා චිත්‍රපටය තුළට බලෙන්ම රිංගවා තිබුණි.   


මෙහි රඟපෑ ලැඩී රණසිංහ දැක්වූ සමත්කම අද්විතීය වන්නේය.  


හියුගෝ ප්‍රනාන්දු ලේඛනයට හා සංගීතයට මෙන්ම රඟපෑමට ද දක්‍ෂ බව ප්‍රේම තරගයෙන් ඔප්පු කළේය.” 
ප්‍රේම තරගය තිරගත වූ දිනය හැටියට සැලකෙන්නේ 1953 මාර්තු 27 දාය. ප්‍රේම තරගය හියුගෝ ප්‍රනාන්දු නොහොත් හියුගෝ මාස්ටර්ගේ දෙවැනි රඟපෑම රැගත් චිත්‍රපටය විය. හියුගෝගේ දෙවැනි චිත්‍රපටය වූ ප්‍රේම තරගයේ රඟපෑම පිළිබඳව විචාරක ප්‍රශංසාව ඔහුට ලැබුණේ එසේය.  


එහෙත් ඔහු ප්‍රේම තරගයට සම්බන්ධ වූයේ නම් තිර කතාව කියැවීම, ලිවීම සහ ගීත රචනය සඳහායි. එසේ එවැනි අවස්ථාවක් ලද්දේ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ හොඳින් කටයුතු කළ නිසාවෙනි.  
“බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ සෙට් එකේ සිට පොත කියවන්නට මට අවස්ථාව ලැබුණා.” 
(හියුගෝ පොත යනුවෙන් සඳහන් කළේ තිර කතාවයි.)  


“බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ජෝශප් සෙනෙවිරත්න. මම ඉතින් පුරුදු විදියට පොත කියවමින් සහායක ලෙස වැඩ කළා. මේ නිසා අධ්‍යක්‍ෂ රාජ් ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ දෙබස් හා තිර කතා රචකයා, ගීත රචකයා ලෙස වැඩ කරන්නට අවස්ථාව දුන්නා. චිත්‍රපටය ප්‍රේම තරගයයි.
ජෝශප් සෙනෙවිරත්න බණ්ඩා නරගයට පැමිණීම චිත්‍රපටයේ හොඳින් රඟපෑව නිසා ප්‍රේම තරගය චිත්‍රපටයේ වල්පොළ මුදලාලිගේ චරිතය වඩාත් ඉස්මතු වනසේ ලියන්නට අධ්‍යක්ෂ රාජ් මට උපදෙස් දුන්නා. මේ නිසා ජෝශප් සෙනෙවිරත්නට හරියන විදියට මම ඒ චරිතය ලිව්වා.  

 


මේ චිත්‍රපටයේ කැමරාගත කිරීම්වලට ජෝශප් සෙනෙවිරත්නට කතා කරන කාලයේ ඔහු වැඩ කළේ කුරුණෑගල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. දුර බැහර සිටින නිසා ජෝශප්ට එන්න පුළුවන් සෙනසුරාදාත්, ඉරිදාත් පමණක් බව ඔහු කීවා. මේ නිසා ජෝශප් චිත්‍රපටයෙන් අයින් කළා. ඔන්න එතකොටයි වල්පොළ මුදලාලිගේ චරිතය රඟපාන්න මට කතා කළේ.  


මට හරි ලජ්ජා හිතුණා. මම කෙළින්ම බෑ කිව්වා. මම ඕන උදව්වක් කරන්නම් රඟපාන්න නම් බෑ කිව්වා.  
කඩවුණු පොරොන්දුවේ හදිසියේම හෙට්ටියාගේ චරිතය රඟපෑවත් මම නළුවෙක් වෙන්න කවදාවත් හිතා හිටියේ නෑ.   


රාජ් කිහිප වාරයක්ම කියූ නිසා කොටසක් රඟපාලා බලමු කියලා මම කිව්වා.  


මට තිබුණේ ලැඩී රණසිංහත්, අරුණ ශාන්තිත් කුලී නොදීම නිසා වල්පොළ මුදලාලි විසින් ගෙදරින් පන්නා දමනු ලබන අවස්ථාවක්.  


මම ඒ සීන් එක රඟපාද්දී වයස අවුරුදු 41යි.  


මම රඟපෑ රෂ් එක තිරයේ බලන විට ආයෙමත් මට ලජ්ජා හිතුණා. ඊළඟට මේ ඉන්නෙ මමම දැයි කියල හිතුණා. පස්සෙ හිතුණා මම රඟපානව හොඳයි කියලා.  


දැන් මොකද කියන්නෙ කියලා රාජ් මගෙන් ඇහුවා. ඉතින් මම චරිතය රඟපෑන්න කැමැති වුණා. ප්‍රේම තරගය හොඳට සල්ලි හෙව්වා. මගෙ රඟපෑම් ගැන හුඟක් දෙනෙක් කතා කළා. මම නළුවෙක් වුණේ ඔහොමයි.” හියුගෝ මා සමග කීවේය.   


දුප්පත්කම දෝතින් ගෙන ඉපදුණු හියුගෝ ගැටවර කාලයේදී ජීවත් වීම සඳහා මේසන් වැඩ ඉගෙනීම සඳහා ගියේ ගෙදරින් කළ ඉල්ලීම අනුවය. එහෙත් ගුරුහරුකම් ලබාගන්නට මීගමුවේ මේසන් බාස් කෙනකු ළඟට ගිය හියුගෝට වැඩ ඉැගන්වීම පැහැර හැර ඔවුන්ගේ වෙනත් කාර්යයන් ඔවුහු හියුගෝට පැවැරූහ.  
“මගේ වයසේ අනෙක් ගැටවරයන් මේසන් වැඩ ඉගෙන ගනිමින්ම ඔවුන් මට අණ දීමට පටන්ගත්තා. මේ නිසා මේසන් වැඩ ඉගෙනීම මට එපා වුණා. ඒත් මම අවුරුදු අටක් ඒ මේසන් බාස්ලාගේ කෑම උයන්නා විදියට වැඩ කළා.


මට වැඩ උගන්වන්නට බාර දීපු මේසන් බාස්ලා තවමත් මීගමුවේ පදිංචිව සිටිනවා. ඔවුන් මට නිතර මුණගැහෙනවා. ඒ වෙලාවට අතේ තිබුණොත් ඔවුන්ට අඩියක් ගහන්නට රුපියල් පහක් දහයක් මම දෙනවා.  
ඒ අය මට මේසන් වැඩ ඉගැන්නුවෙ නැත්තෙ ඇයි කියලා මම දන්නෙ නෑ. ඒ අය එක්ක අදටත් මගෙ කිසිම තරහක් නෑ.”  


මිනර්වා නාට්‍ය කණ්ඩායමෙන් සංගීත අධ්‍යක්‍ෂවරයකු ගීත රචකයකු වී කඩවුණු පොරොන්දුවෙන් චිත්‍රපට නළුවකු වූ හියුගෝ වරක් මා සමඟ විස්තර කළේ ඔහු ඉන්දියාවේදී වංචාකාරයකුට හසු වූ ආකාරයයි.   
“නායගම්ගේ ‘මයි ඩෝටර්’ චිත්‍රපටය සඳහා මම ඉන්දියාවට ගියේ මගේ නෝනාත්, ලොකු දුවත් පුතාත් එක්කයි. අපි මාස අටක් විතර ඉන්දියාවෙ නැවතිලා හිටියා. අපට දරු මල්ලන් සමඟ ඉන්දියාවෙ ජීවත්වීමට සිදු වුණු නිසා උයා පිහාගෙන කන හැලි වළං ආදියත් පොදි ගහගෙන ගියා. මේ කාලයේ මගේ නෝනාට තුන්වැනි දරුවා ලැබෙන්න හිටියා.  


මං ආපසු ලංකාවට එන්න තීරණය කළේ මගේ නෝනාගේ දරු ප්‍රසූතිය සඳහායි.  


මාස අටක් ඉන්දියාවේ සිටි අපේ හැලි වළං ආදී බඩු බාහිරාදිය ලොකු තොගයක් තිබුණා.  
මේ සේරම පටවගෙන මදුරෙයි නගරයේ සිට අපි ලංකාවට එන්න පිටත් වුණා. අපිත් එක්ක ලංකාවට එන්න එඩී යාපාගේ නෝනාත්, පුතාත් හිටියා. එඩී යාපා ඉන්දියාවෙ තවදුරටත් නැවැතුණේ චිත්‍රපටයේ වැඩ කරතැයි කියන බලාපොරොත්තුවෙන්. මම හිතාගෙන හිටියේ මගෙ නෝනාව ලංකාවෙ නවත්වලා ආපහු යෑමටයි.”  
හියුගෝ මාස්ටර්ගේ මේ කතා අනුව එකල චිත්‍රපට නිෂ්පාදනය කළ අයුරු අපට මනාව පැහැදිලි වෙයි.  
චිත්‍රපටයක් වෙනුවෙන් මාස අටක් යනු විශාල කාලයකි. ඇතැම් විට එය අවුරුද්දක් පමණ කාලයක් දිගු විය. මේ නිසා ඔවුහු තම දරු මල්ලන් ද කැටිව ඉන්දියාවේ තාවකාලිකව පදිංචි වූහ. නිකම්ම නොවේ වන්දනා ගමන් බිමන් යද්දී මෙන් හැලි වළං ආදී බඩු මුට්ටු ද පොදි බැඳගෙනය.   


අනෙක ඉන්දියාවට යෑම සඳහා වර්තමානයේ මෙන් ගුවන් ගමන් අවශ්‍ය නොවීය. ඔවුන් ඉන්දියාවට ආවෙත් ගියේත් දුම්රියෙනි. ඇතැම් විට දුම්රිය වර්ජන නිසා ඒ ගමන් ද නැවැතුණි.   


“කොහොම හරි ලංකාවට එන්න පිටත් වුණා. ඒ සඳහා මදුරෙයි ඉඳලා කොළඹට එන්නට කලින් ටිකට් බුක් කරගන්න ඕනෑ. මේ වැඩේ බාරගත්තෙ අපිත් එක්ක මදුරෙයි ස්ටේෂන් එකට ආපු එඩී යාපායි. එඩී ටිකට් බුක් කරන්න උත්සාහ කළත් හරි ගියේ නෑ. ඉක්මනට ටිකට් ගන්න නම් ඒ කාලෙ රේල්වේ ස්ටේෂන් එකේ නිලධාරීන්ට පගාව දෙන්න ඕනෑ.  


ඒත් අපි මදුරෙයි රේල්ලුවේ ගාඩ් කෙනකුගෙන් ඇසූ විට ගාඩ් අපිට ටිකට් අරන් දෙන්න කැමැති වුණා. ඒත් අපිට කෝච්චියෙන් එන්න පුළුවන් වුණේ මදුරෙයි ඉඳලා මණ්ඩපම් දක්වා විතරයි. ඒත් අර ගාඩ් කොළඹටම රේල්ලුවෙන් එන්නට සල්ලි ගත්තා. ඉතුරු මුදල් ඔහු වංචා කරලා.  


මේ හින්දා අපිට ලංකාවට එන්න නැවට නගින්න බැරි වුණා. අපිව මණ්ඩපම්වල රඳවා ගත්තා.”  
චිත්‍රපටවල වැඩ කළාට ඔවුන් එකල කොතරම් දරිද්‍රතාවෙන් පෙළුණේ ද යත් එකල ඔවුනට හරි හැටි ආහාර ගැනීමටවත් එදා මුදල් නොවීය.   


“අපි අතේ ලොකු මුදලක් තිබුණෙ නැති නිසා රුපියල් පහක් ගෙවලා රෑට ඉන්න ගෙයක් ලබාගත්තා. රෑට කෑවේ තම්බපු රට කජු. වෙන කෑමක් ගන්න අපි අතේ සල්ලි තිබුණෙ නෑ. දරුවෙක් ලැබෙන්න ඉන්න මගෙ නෝනා ගැන මට හරියට දුක හිතුණා. හරි හැටි කෑමක් නැතිව සිටි අපි යන්තම් ආයෙමත් මුදල් ගෙවා නැවට ගොඩ වී ලංකාවට ආවා. එතැනින් කොළඹ කෝච්චියට නැගගත්තා.  


මීගමුවට යෑමට අවශ්‍ය නිසා අපි රාගමෙන් බැහැගත්තා. එදා ඉරිදා දවසක්. මේ නිසා මීගමුවට යන්න තිබුණේ එකම එක කෝච්චියක් විතරයි.  


අපි රාගම ස්ටේෂන් එකේ නැවැතිලා ඉඳිද්දී සෙනඟ පිරුණු කෝච්චියක් ආවා. සල්ලි නැති නිසා අපි අරගෙන තිබුණේ තුන්වැනි පන්තියේ ටිකට්. ඒත් අපේ හැලි වළං, බඩු මුට්ටු පටවගෙන තුන්වැනි පන්තියේ යෑම ලේසි වුණේ නෑ.  


අපි දෙවැනි පන්තියට ගොඩ වුණාම එහි හොඳට ඉඩකඩ තිබුණා. ඒ වෙලාවෙ එක්තරා මහත්මයෙක් දෙවැනි පන්තියට නැග්ගා. අපේ බඩු මුට්ටු දැකලා ඒ මහත්මයා, ස්ටේෂන් එකට පැමිණිලි කරලා. රාගම ස්ටේෂන් එකේ දුම්රිය නිලධාරි මහත්වරු පැමිණිල්ල ජාඇල ස්ටේෂන් එකට කියා තිබෙනවා.   


ජාඇලදී අපේ ටිකට් පරීක්ෂා කළා. අපි ළඟ තිබුණේ තුන්වැනි පන්තියේ ටිකට් නිසා අපිව අත්අඩංගුවට ගන්න සූදානම් වුණා.   


ඒත් වාසනාවට අපේ නාට්‍ය රසිකයෙක් මේ ස්ටේෂන් එකේ වැඩ කළා. ඒ නිලධාරියා මැදහත් වී අපේ කතාව අහලා අපිව බේර ගත්තා.


ඒ මහත්මයා අපි හඳුනා නොගත්තා නම් තවත් කරදර වෙන්න තිබුණා. ඔහුට පින් දෙමින් අර බඩු මුට්ටුත් පොදි බැඳ​​ගෙන මාස අටකට පස්සෙ අපි ගෙදරට ආවා.”  


සිනමා තිරයේ අසීමිත ජනප්‍රියත්වයක් ලද එදා තාරකා ගැන කතා කරද්දී ඔවුනට චිත්‍රපට කටයුතුවලදී සලකා ඇත්තේ කෙසේදැයි මනාව පැහැදිලි වෙයි. ඔවුහු එක් අතෙකින් දකුණු ඉන්දීය නිෂ්පාදකවරුන්, අධ්‍යක්‍ෂවරුන් අත නැටවෙන රූකඩ බඳු වූහ. ඉතා අඩු මුදලකට විශාල කාලයක් වැය කරමින් පවුල් ජීවිත ගැන නොතකා නළු නිළි ශ්‍රමය ලබාගත් හැටි මේ අතීත කතාවෙන් පැහැදිලි වෙයි.  


පසු කලෙක ලැඩී රණසිංහ, ගාමිණී ෆොන්සේකා වැනි රංගධරයන් මේ ශ්‍රම සූරාකෑමට විරුද්ධව තම මුදල හා ආත්ම ගරුත්වය වෙනුවෙන් සටන් කළේ එහෙයිනි. 

 

 

රොඩ්නි විදානපතිරණ