සොඳුරු පියකුගේ නිරහංකාර පුතු දෙපළ කල්පන සහ වින්දන


චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා.....
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
අයියට ගහලා..... නංගිව විකලා
යාළුවො ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ කා සමගින් දෝ
පුංචි පුතා දැන් තනි වෙනවා.....

මේ රටේ ගීත රචනා කලාවේ සුවිශේෂී ගේය පද රචකයකු වන කුලරත්න ආරියවංශයන් එදා මේ ගීතය ලියන්න ඇත්තෙ එයාගෙම කැදැල්ලේ පුතුන් දෙදෙනා සහ දියණිය වෙනුවෙන්ම වෙන්න ඇති. යුග - යුග හද බැඳි ගීත රැසක් රචනා කළ ඒ මහා ගේය පද රචකයා යනු ඉතාම නිහතමානි මනුස්සකම පිරි අපූරු චරිතයකි. අද අප කතා කරන්නේ ඔහු හෝ ඔහුගේ ගීත කලාව ගැන නොවේ. ඒ සොඳුරු කලාකරුවාගේ පුතුන් දෙදෙනා සමගය. කල්පන හා වින්දන යනු ඒ පුතුන් දෙදෙනාය. කුඩා කාලයේදී මේ දෙදෙනා දඟවෙන්නට ඇති. ඒත් මේ සොයුරන් දෙදෙනා යනු වඩා ශක්තිමත් බැඳීමක් ඇති දෙදෙනෙකි. ඒ සහෝදරකම ඔවුන් අරුත්බර ගන්වන්නේ සිනමා නිර්මාණ ඔස්සේය. සහෝදරයින් දෙදෙනකු එකතු වී සිනමා නිර්මාණ කරන ලෝකයේ එකම සොහොයුරන් දෙදෙනා වන්නේ මේ දෙදෙනා විය හැකිය. ඒ ගැන සෙවීම ඔබට බාර කරමින්, අප අද කල්පන සහ වින්දන සඳැල්ලට කැඳවූයේ ‘‘අයියයි - මල්ලියි’’ විශේෂාංගය හැඩ කිරීම වෙනුවෙනි.

මේ සහෝදරයින් දෙදෙනාගෙන් අයියා වන්නේ කල්පන ආරියවංශය. කල්පන සනාතන වුවත් භාවිත වන්නේ කල්පන යන නම පමණි. මල්ලි වින්දන සාම ආරිවංශය. එහෙත් භාවිත වන්නේ ‘‘වින්දන’’ නම පමණි. මේ දෙදෙනා හට සිටින්නේ එක් සහෝදරියකි. ඇය ඒ පවුලේ බාලයාය. කල්පන වින්දනට වඩා අවුරුදු තුනක් සහ මාස8ක් බාලය. බොහෝ දෙනෙක් කියන්නේ මේ අයියා සහ මල්ලි බොහොම අව්‍යාජ නිහතමානී කලාකරුවන් යනුවෙනි.

එහෙම අපිව මිනිසුන්ට දැනෙනවා නම්, ඒකට හේතුව අපේ තාත්තා. ඒ නිහතමානීකම අපට අපේ තාත්තාගෙන් ලැබුණු දෙයක්. සමාජයේ තාත්තා පිළිගැනෙන්නෙ බොහොම සුහද මමත්වයෙන් තොර, බොහොම නිර්ව්‍යාජ, චරිතයක් විදිහටයි. පිටස්තරයින් දකින ඒ ගුණය සහ තාත්තගෙ ප්‍රතිරූපය අපටත් අපේ තාත්තාගෙන් ලැබෙන්න ඇති.

වින්දන අපේ හමුවට මුල පිරුවේ ඒ විදිහටයි. ඉතින් අපි කැමතියි ඔබ දෙපළගේ කුඩා කාලයේ මතක අතරට යන්න. මුල්ම මතකය එන්නෙ කොතැනින්ද. කල්පන ඒ ගැන ආවර්ජනය කරමු.

‘‘මට මතකයි මල්ලිව ලැබෙන්න සිටියදි අපේ අම්මා ශ්‍රී පාදය වඳින්න ගිහින් ආවා. කන්ද නැගලා අමාරුවට අම්මා සිටි විදිහ මතකයි. ඊට පස්සේ මල්ලි ලැබුණු එක මතකයි. අපේ සීයා සහ ආච්චි එක්ක මාත් කළුබෝවිල රෝහලට ගියා. ඒ මතකය අදටත් මට තියෙනවා. 

ප්‍ර පොඩි කාලයේ ඉඳලම දෙන්නා සුහදශීලිද? රණ්ඩු කරගෙන එහෙමත් ඇති? වින්දන ඒ මතකය ගැන කියමු.

පොඩි කාලයේ ඉඳලම අයියයි මමයි බොහොම එකතුයි. ඒකට හේතුව වුණේ පොඩි කාලයේ ඉඳලම අපි ආස දේ කළ නිසයි. නාට්‍ය, චිත්‍ර ඇඳීම වගේ දේ අපි දෙන්නා එකට කළේ. ඒ වගේම පාසල් ගියෙත් එකට. අයියා තමයි මාව පාසල් එක්කගෙන ගියෙත්. පොඩි කාලයේ අපි දෙන්නා ගියේ ජනාධිපති විද්‍යාලයටයි. ශිෂ්‍යත්වයෙන් පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්.

ප්‍ර උසස් අධ්‍යාපනය කළේ?

අපි දෙන්නම ඇමරිකාවට ගියා. අයියා කලින් ගියා. ඒත් මම යද්දි එයා ගියේ මාත් එක්ක.

ප්‍ර දෙන්නගෙ සමාන - අසමානකම් ගැන කල්පන දකින්නෙ කොහොමද?

කුඩා කාලයේ ඉඳලම අපි දෙන්නා බොහෝ විට එකම විෂයයන්ට ආස කළේ. අහුවෙන සෑම තැනකදිම චිත්‍ර ඇන්ද හැටි මට අද වගේ මතකයි. වෙසක් දවස්වලට, පොසොන් දවසට අපි එක එක දේ නිර්මාණය කළා. තව ටිකක් කල් යද්දි අපි එකතුවෙලා ගෙදර නාට්‍ය කරන්න පටන් ගත්තා. තාත්තා නිසා විවිධ ප්‍රසංගවලටත් අපට පොඩි කාලයේ ඉඳලම සම්බන්ධවෙන්න ලැබුණා. මට මතකයි අපි ‘‘ස’’ ප්‍රසංගය නරඹන්න නිතර ගිය හැටි. සිංග්ලංකා හරහා තමයි ඒ දිනවල සුභාවිත ගීත වැඩිපුර නිර්මාණය වුණේ. ඒ දිනවල ශබ්දාගාරවලට ගිහින් හිටි හැටි මතකයි. සංගීත සංදර්ශනවලදි අපි නිතරම තාත්තා එක්ක ගියා. ඒ විතරක්ම නෙවෙයි, ෆිල්ම් ෂූට් කරන හැටි ඉඳහිටලා නරඹන්න යන්නත් ලැබුණා. ධර්මසිරි ගමගේ මාමගෙ ‘‘පූජා’’ එච්.ඩී. අංකල්ගෙ ෆිල්ම් එකක් රූගත කරන හැටි බලන්න ගියා. ඒ වගේම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගෙ නාට්‍ය සෑම එකකක්ම වගේ නැරඹුවා. ඒවායෙහි පුහුණුවීම් කළ හැටි බලන්නත් ගියා. ඉතින් එකක් කියලා නැහැ. තාත්තා නිසා, ඒ තාත්තගේ පුතාලා වෙච්ච නිසා විවිධ විවිධ ඉසව්වලට අපට නිරන්තරයෙන්ම සහභාගි වෙන්න ලැබීම නිසා කලාවේ බොහෝ දේ ඇසුරු කරන්න, රස විඳින්න ලැබුණා.

ප්‍ර ‘‘කල්පන’’ උසස් අධ්‍යාපනය හැදෑරුවේ?

උසස් පෙළ මම ගණිත අංශයෙන් හැදෑරුවෙ. මට අවශ්‍ය වුණේ ගෘහනිර්මාණ ශිල්පියකු වෙන්න. 

ප්‍ර එතකොට වින්දන?

මම කළෙත් ගණිත විෂය. 

ප්‍ර කල්පනට සරසවි වරම් අහිමි වුණාද?

ලකුණු දෙකක් මදි වීම නිසා තමයි ඇමරිකාවට ගිහින් උසස් අධ්‍යාපනය හදාරන්න තීරණය කළේ. ඒ කාලයේදී ග්‍රැෆික් ඩිසයිනින් සහ චිත්‍ර අඳින්නත් මම ආස කළා. ඇමරිකාවට ගිහින් අවුරුදු හතරහමාරක් ඉගෙන ගත්තෙ ‘‘විෂුවල් ආර්ට්’’ අංශයෙන්. උපාධිය ලබා ගත්තෙ ලලිතකලා අංශයෙන්. මම ඇමරිකාවට ගිය අවුරුද්දෙදි තමයි ලයන් කිංග් රිලීස් වෙලා තිබුණෙ. ඒ නිසා ඇනිමේෂන් අංශය ගැන හදාරන්නත් පෙලඹුණා.

ප්‍ර වින්දන ඇමරිකාවට ගිහින් හැදෑරුවෙ?

පරිගණක විද්‍යාව. ඒත් මගේ හැදෑරීම් එක් විෂයයකට සීමා වුණේ නැහැ. ස්වාධීන අධ්‍යාපනයක යෙදෙමින් සිනමාව ගැනත් හැදෑරුවා. පසුකාලයක අපි දෙන්නා සිනමාව තෝරා ගත්තෙ පූර්ණකාලීන විෂයක් හැටියට නෙවෙයි ආසාවට කරන්නයි අවශ්‍ය වුණේ.

ප්‍ර කල්පන අද වෘත්තියෙන්?

ලංකාවෙදි 2012 විතර සිට අපි දෙන්නා චිත්‍රපට කරන්න පටන් ගත්තට අද දක්වා ඒ කාලය ඇතුළත මම ලංකාවේ පූර්ණකාලීනව හිටියෙ නැහැ. ලංකාවෙදි චිත්‍රපට නිර්මාණකරණයට දායක වෙනවා. ඇමරිකාවෙදි නිදහස් නිර්මාණ ශිල්පියකු ලෙස ලැබෙන වෙලාව අනුව කටයුතු කරනවා.

ප්‍ර ඒ කියන්නෙ කල්පනට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා?

ඔව්.

ප්‍ර වින්දන වෘත්තියෙන්?

ස්වාධීන උපදේශකවරයකු ලෙස රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට සේවය ලබා දෙනවා. DP එඩියුකේෂන් ව්‍යාපෘතියටත් සම්බන්ධව කටයුතු කරනවා. ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් ලබාදීමත් සිදු කරනවා.

ප්‍ර කල්පන ඔබ මොන විදිහෙ චරිතයක්ද?

එක පාරටම මට මම මොන වගේද කියා කියන්න බැහැ. ‘‘වගකීම්’’ දරන්න ටිකක් අකමැති, නමුත් මම ආස දේට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්. චිත්‍රපට නිර්මාණකරණයට වැඩිපුර කැමැත්තක් දක්වනවා.

ප්‍ර වින්දන ආදරණීය - ප්‍රේමණීය චරිතයක්ද?

මම හිතන්නෙ එහෙමයි. තාත්තා හැදූ ලෝකය සහ පවුලෙන් ආ ආභාසය එක්ක අපට සමාජයේ ස්වාධීනම වෙන්න බැහැ. නිතරම කටයුතු කරන්න සහ සමාජය එක්ක ගනුදෙනු කරන්න වෙන්නෙ අපි දෙන්නා ගැන විතරක් හිතලා නෙවෙයි, අපි වැරදි දෙයක් කළොත් ඒක අපේ මුළු පවුලටම බලපානවා. අන්න ඒ නිසා අභ්‍යන්තරයේ මොනවා තිබුණත්, ඒවා ක්‍රියාවට නංවන විට සීරුවෙන්, මාරුවෙන් විනයක් ඇතිව අපට ඒ සියලු දේ කරන්න වෙනවා. සමාජය අපෙන් බලාපොරොත්තු වන දේට අනුගතව කටයුතු කරන්න අපට සිදුවෙනවා.

ප්‍ර සිනමාව හරහා නිතර ඔබ දෙපළ කතා කරන්න උත්සාහ ගන්නෙ ‘‘ළමා’’ ලෝකය මුල්කරගෙන. ඒකට විශේෂයක් තියෙනවද?

එහෙමම නැහැ. ‘රූකඩ පැංචි’ ෆිල්ම් එකෙන් ළමා ලෝකය මුල් කරගෙන කතා කළා. අපේ පළමු ෆිල්ම් එක ‘ප්‍රේමය නම්’ ආදරය තේමා කරගත්ත චිත්‍රපටයක්. අපි දෙන්නම ඩිස්නි චිත්‍රපටවලට ආසයි. ඒ නිසා තමයි අපට තිබූ සුන්දර ළමා කාලයේ ආභාසය එක්ක අපි දැරියක වටා ගෙතුණු ‘‘රූකඩ පැංචි’’ කළේ. ළඟඳීම තිරගතවීමට නියමිත ‘‘මලකි දුවේ නුඹ’’ වෙනස් කතා තේමාවක්. අපි නිතරම කතා කරන්න උත්සාහ ගත්තෙ මානව බැඳීම්වල අපූර්වත්වය මුල්කරගෙන. ශක්තිමත් කාන්තාව මුල්කරගෙන ඇයගෙ ලාලිත්‍ය සහ ඒ හරහා සමාජය වෙනස් කළ හැකි ආකාරය අපි අපේ ෆිල්ම්වලින් මතුකර තිබෙනවා.

ප්‍ර කල්පන, ඔබට තාත්තා එක්ක ඇති බැඳීම මොන වගේද?

ඉතාමත් සමීප බැඳීමක්. මම විතරක් නෙවෙයි, මල්ලි - නංගි, අම්මා - තාත්තා අපි පස් දෙනාම එහෙමයි. අපි එකතුවෙලා කතා කරන දේ බොහොමයි. එය එක් විෂයයකට සීමාවෙලා නැහැ. තාත්තා නිතරම අපි ගැන සොයලා බලනවා. අපි ලොකු වුණා කියලා අපෙන් ඈත්වෙලා නැහැ. සමහර දාට තකහනියෙ ඇමරිකාවට ඇවිත් අපි දෙන්නා බලලා යන අවස්ථා තිබුණා. තාත්තා ඇත්තටම හරි සංවේදී චරිතයක්. සමාජයේදී දකින නිරහංකාර, සංවේදී කෙනාම තමයි ගෙදරදීත්.

ප්‍ර අපි බොහෝ ගීත අහනවා. ඒත් අපට අපේ ආදරණීය කුලරත්න ආරියවංශ හෙවත් ‘‘කුලේ’’ අයියගෙ ගීතයක් නෑසුවොත් ජීවිතයට අඩුවක් වගෙයි දැනෙන්නෙ. කල්පන - වින්දන තාත්තාගෙ ගී අතරින් ඔබ දෙපළ වඩා ප්‍රිය ගීත මොනවද?

එක එක වෙලාවට සහ ස්වභාවය එක්ක ආස කරන එක එක ගීත තියෙනවා. ඒ අතරිනුත් ‘‘ආරාධනා’’ ගීතයට වැඩිපුර ආසයි. තාත්තාගෙ සමහර වචන හරිම සරල වුණාට ඒවායෙහි ඇති ගැඹුර හදවතට දැනෙනවා. තාත්තයි අම්මයි පෙම්වතුන් ලෙස සිටියදි තමයි තාත්තා ‘‘රත්තරන් නෙත් දෙකින්’’ සහ ‘‘සඳ හොරෙන් හොරෙන්, පාවෙනා නිල්වලාවේ වගේ ගීත ලියා තිබෙන්නේ.

සඳුන් ගමගේ