මේ දවස්වල පුංචි තිරයේ විකාශය වන“වීදුරු තිර” කියන්නේ වෙනස්ම විදිහේ නිර්මාණයක්. ඒ නිසාම ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් බොහොම ඉහළයි. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට වීදුරු තිර නිර්මාණයේ අධ්‍යක්ෂකතුමාව එකතු කර ගන්න. තරුණ අධ්‍යක්ෂකවරයෙක් වන ඔහු නමින් ශාන් ජයරත්න. මේ ඔහු සමග කළ කතාබහයි.
ප්‍ර මේ දවස්වල විකාශය වන වීදුරු තිර නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව පටන් ගමු.
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වීදුරු තිර කියන්නේ වෙනස්ම මාතෘකාවක්. ඒකට දැනට ලැබෙන ප්‍රතිචාර වලටත් වඩා ඉදිරියේ දී ලැබෙන ප්‍රතිචාර බෙහෙවින් වෙනස් වෙයි කියලා මම හිතනවා. කොහොම වුණත් කතාවට දැනටමත් ඉතාම හොඳ ප්‍රතිචාර තිබෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයන් කියන්නේ නිර්මාණයේ රංගන ශිල්පීන් ගේ දක්ෂ බව සහ වෙනස්ම කතා සංකල්පයක් කියන කාරණය. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ මාතෘකාව කතා කරන්නේ. ඉතින් ඉස්සරහටත් සතුටු වෙන්න පුළුවන් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතෙනවා.
ප්‍ර කිව්වත් වගේම වීදුරු තිර නිර්මාණය ගොඩක් වෙනස්. එහි කතා තේමාව ගැනත් පොඩ්ඩක් මතක් කළොත්?
නිර්මාණයේ ප්‍රධාන කතා සාරාංශය මම කියන්න යන්නෙ නැහැ. ඒක රහසක් විදිහට තමයි අපි පවත්ව ගෙන යන්නේ. මොකද ඒ තරම්ම කතාව වෙනස් නිසා. චේතනී සහ සුලෝචන කියලා අලුත බැඳපු ජෝඩුවක් වටා තමයි කතාව ගොනු වෙලා තිබෙන්නේ. ඊට අමතරව ඇගේ කලින් පෙම්වතා මාලකත් සම්බන්ධ වෙනවා. මොකද ඒ දෙන්නා අතර පෙර තිබූ ප්‍රේම සම්බන්ධතාවයෙදි යම් කායික සම්බන්ධතා ඇති වෙලා තිබෙනවා. ඉතින් අනාගතයේදි මේ පවුල් කුටුම්බය ඇතුළෙ ලොකු විපර්යාසක් වෙන්න යනවා. ඒක මොකක්ද කියලා ඉතින් කතාව බලලම තමයි දැන ගන්න වෙන්නේ.
ප්‍ර වීදුරු තිර නිර්මාණය බිහි වෙන්නේ කොහොම ද?
මුලින්ම ශලනි තාරකාට මේ හා සමාන තවත් කතාවක සිදුවීමක් ආරංචි වෙලා තිබුණා. ඒ ඔස්සේ ඇය මේ කතා සාරාංශය නිර්මාණය කරලා තියෙන්නේ. ඇය මට කතාකරලා කිව්වා මෙහෙම කතාවක් තියෙනවා ගයනි අසිංසලා එක්ක පිටපත රචනා කරමු කියලා. ඒ අනුව මම ඒ දෙන්නත් එක්ක මේ කතාව හදා ගෙන ගියා. ඊට පස්සෙ තමයි රුෂාන් පෙරේරා මහත්මයාව නිෂ්පාදකවරයෙක් ලෙස මුණ ගැහෙන්නෙ. එතුමා දායක වීමත් සමඟ මේ කතාව ටෙලි නාට්‍යයක් බවට පත් කළා.
ප්‍ර කතාව වෙනස් නිසා චරිතවලට ශිල්පීන් තෝර ගන්න එකත් අමාරු වෙන්න ඇති?
ඔව්. ඇත්තටම ඒක කළෙත් ශලනි තාරකා සහ මම මේ චරිතවලට ගැළපෙන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරලා. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් තමයි මේ. මොකද කතාවේ ඉතාමත් අභියෝගාත්මක චරිත කීපයක්ම තිබෙනවා. එතකොට චරිතෙට ගැළපෙන අය සහ වෘත්තීය භාවය ඉතාමත් ඉහළ ශිල්පීන් තමයි යොදා ගන්න වුවමනා වුණේ. ඉතින් අපි ප්‍රවීණ දක්ෂ වගේම නවක රංගන ශිල්පීන් යොදා ගත්තා.
ප්‍ර වීදුරු තිර කියන්නේ ශාන් අධ්‍යක්ෂණය කළ කීවෙනි නිර්මාණය ද?
තුන්වෙනි ටෙලි නිර්මාණය තමයි වීදුරු තිර කියන්නේ. මීට පෙර මගෙ ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙලා තිබෙනවා. ඊට අමතරව චිත්‍රපටි දෙකක් විකාශය කරලා තියෙනවා. මුලින්ම ස්වර්ණවාහිනියෙ විකාශය වුණ ‘අක්ෂි’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ Main Character ටෙලි නාට්‍යය. ඊට පස්සේ පහුගිය දවස්වල තිරගත වුණ සුමනා චිත්‍රපටය. දැන් වීදුරු තිර. ඒ වගේම ඉදිරියෙදි තිරගත වීමට නියමිත සරාසුසුම් ටෙලිනාට්‍යයේ වැඩත් මේ දවස්වල කර ගෙන යනවා.
ප්‍ර ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?
මම මුලින්ම නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට තමයි ක්ෂේත්‍රයට එන්නේ. ඒකට මග පෑදෙන්නේ ඇත්තටම ධනුෂ්ක රත්නායක මහත්මයා හරහා. එතුමගේ ටෙලි නාට්‍යවල නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට සහ සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම පහුගිය කාලේ වැඩ කළා. දීර්ඝ කාලයක් සහය අධ්‍යක්ෂක සහ නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට වැඩ කළාට පස්සෙ තමයි මම අධ්‍යක්ෂණය පැත්තට හැරෙන්නේ.
ප්‍ර තරුණ අධ්‍යක්ෂවරයෙක් විදිහට මොනවගේ අභියෝගවලට ද මුහුණ දුන්නේ?
තරුණ අධ්‍යක්ෂවරයෙක් විදිහට නිෂ්පාදකවරයෙක් හොයාගන්නවා කියන එක තමයි මුලින්ම ආපු අභියෝගය. පළවෙනි ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ මම මයි. ඒ කාලේ මට තිබුණ වාහනේ විකුණලා තමයි මම මගේ අක්ෂි ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ. ඒකට මට ඒ වේලාවේ කාර්ය මණ්ඩලයේ හිටපු අයත් ගොඩක් උදව් කළා. මම හිතන විදිහට තරුණ අධ්‍යක්ෂකවරයෙකුට මුල් කාලේ නිෂ්පාදකවරයෙක් හොයා ගන්නවා කියන එක තමයි එන ලොකුම අභියෝගය. ඒ ඇරෙන්න ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ ශිල්පීන් හැමෝම මට උදව් කළා.
ප්‍ර වීදුරු තිර කියන්නෙත් මෙගා ටෙලිනාට්‍යයක් නෙවෙයිද?
මම මෙගා කියන කොටස් 200 ට වැඩි නිර්මාණ ඇත්තටම කරන්නේ නැහැ. දැන් ඒක තව ටිකක් අඩු කරලා සාමාන්‍යයෙන් කොටස් 50 න් 60 න් වැඩි නිර්මාණ කරන්නේ නැහැ කියලා මම මතේකට එළඹිලා ඉන්නවා. වීදුරු තිර කියන්නෙත් කොටස් 35 ක ටෙලි නාට්‍යක්. ඉස්සරහට මම කොහොමත් අධ්‍යක්ෂණය කරන්න හිතාගෙන ඉන්නේ කොටස් අඩු ප්‍රමාණයක් තියෙන ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි පමණයි.
ප්‍ර ශාන් ගේ නිර්මාණ මෙගා නාට්‍ය නොවෙන්න මොකක්ද හේතුව?
මම ඇත්තටම මානසික නිදහස හොයන කෙනෙක්. මොකද නිර්මාණයක් කරද්දි ඒකට අවශ්‍ය නිදහස සහ උපරිම සාධාරණය මම දෙන්න ඕනේ. දීර්ඝ ටෙලි නාට්‍යයක් කරද්දි අවසානය නොදැන තමයි ආරම්භය ගන්නේ. හැබැයි කොටස් අඩු නිර්මාණයක් කරද්දි අපි මුල මැද අග කියන සම්පූර්ණ කතාවම දැනගෙන තමයි රූගත කිරීම්වලට එළඹෙන්නේ. හොඳ නිර්මාණයක් කරන්න කතාවම දැනගෙන ඉන්න එක හොඳයි. ඒ වගේම ගුණාත්මක නිර්මාණයක් නිර්මාණය කරන්න අමාරුයි දීර්ඝ නිර්මාණයකදි. මම හැම වෙලාවෙම හිතන්නේ මගේ නිර්මාණය ගුණාත්මක වෙන්න ඕනේ කියලා. ඒක තමයි හේතුව.
ප්‍ර වර්තමාන ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ?
ඕනෙම නිර්මාණයක් නිර්මාණකරුවා බිහි කරන්නේ හොඳ අදහසකින්. හැබැයි ඒක ප්‍රේක්ෂකයා භාර ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න පුළුවන් නිර්මාණ බිහිකිරීම නිර්මාණකරුවෙක් ගේ වගකීම. හැම වෙලාවෙම ප්‍රේක්ෂකයා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ සම්බන්ධය නැති වුණොත් තමයි ගැටලුවක් එන්නේ. තාමත් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා බැහැර කරලා නැහැ. ඒත් සමහර නිර්මාණ ප්‍රේක්ෂකයන් භාර ගන්නෙ නැහැ. හැබැයි නිර්මාණකරුවා හරියට ප්‍රේක්ෂකයව අවබෝධ කරගෙන ඒ සම්බන්ධතාව හරියට පැවැත්වුවොත් ටෙලිනාට්‍ය කලාව තවත් සාර්ථක වෙයි.
ප්‍ර ඉදිරි වැඩකටයුතු මොනවද?
තව චිත්‍රපටියක පෙර නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ලක්ෂාන් වත්තුහේවා සමග ටෙලි නාට්‍යයක තිර පිටපතක් රචනා කරමින් යනවා. ඊට අමතරව තව නිර්මාණයක පෙර නිෂ්පාදන කටයුතුවලට සූදානම් වෙනවා.
ප්‍ර පවුලෙන් කලා කටයුතු වලට මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නේ?
ගෙදර කලාකරුවෙක් ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් ඒ ගෙදර අය ලොකු කැප කිරීමක් කරනවා. මොකද අපි පාන්දර රූගත කිරීම් වලට ගියාම ආයෙ එන්නේ රෑ වෙලා. සමහර වෙලාවට පිට තැන්වල රූගත කිරීම් වලට ගියාම දවස් ගණන් එන්න වෙන්නෙ නැහැ. අඩුම ගෙදර අයගේ මූණක්වත් සමහර දවස්වලට දකින්න වෙන්නෙ නැහැ. ඉතින් සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වඩා කලාකරුවෙක්ගෙ ගෙදර තත්ත්වෙ ගොඩක් වෙනස්. මේ වෙන කොට මම විවාහකයි. මගේ වැඩත් එක්ක පවුලෙ අය දෙන දායකත්වය ගොඩක් ඉහළයි. විශේෂයෙන්ම මගේ බිරිඳ. ඇගේ සහයෝගය නැත්තම් මට පෞද්ගලිකව අද මෙතන ඉන්න බැහැ.
කෞශල්‍යා ලක්ෂානි