රූමතියන්ට පෙම් බැඳ තනතුර නැති කරගත් ජනපති


ලෝකයක් උණුසුම් කළ මිනිසුන්ගේ කතා

 

කාන්තාවන් නිසා  අමාරුවේ වැටුණු රාජ්‍ය නායකයෝ  

 

කාන්තාවන් නිසා දේශපාලන තනතුරුවලින් පහළටම වැටුණු තවත් ලෝක නායකයකු වනුයේ 2007 වසරේ මැයි 16 වැනිදා සිට 2012 මැයි 15 වැනිදා තෙක් ප්‍රංශය පාලනය මෙහෙය වූ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි ය.   


බලය අයුතු ලෙස යෙදවීමත්, දූෂණ හා වංචා ක්‍රියාවල නිරත වීම ආදී චෝදනා යටතේ නඩු හබ ගණනාවකට මුහුණ දුන් ඔහුට ජනපති පදවියට ආයුබෝවන් කියා ගෙදර යාමට සිදු වූයේ පෙම් හබයක් නිසාය. ඔහු පෙමින් බැඳුණේ එසේ මෙසේ අයකු සමග නොව සුප්‍රසිද්ධ ප්ලේබෝයි සඟරාවේ මුල් කවරය නිරුවතින් සැරැසූ නිරූපිකාවක් සමගය.   


ප්‍රංශයේ මුල් පුටුවට පැමිණි සාර්කෝසි තුන් වරක් විවාහ වූ පුද්ගලයෙකි. ළමයින් සිව් දෙනකුගේ පියෙකි. උපතින්ම ඉතා ධනවත් පවුලක සාමාජිකයෙකි. ජනපති වූ පසු ද කෙලිලොල්, දඟකාර ජීවිතයක් ගත කළ ඔහු ආදරය හා විනෝදකාමීත්වයට මුල් තැන දුන් දේශපාලකයෙකි. ඔහුගේ පියා සහ මව හන්ගේරියානු ජාතිකයෝය. පසු කලෙක ඔවුහු ප්‍රංශයට පැමිණ එහි පදිංචි වූහ. සර්කෝසි ඉපදුණේ ප්‍රංශයේය. අධ්‍යාපනය නිම කිරීමෙන් පසු නීතිඥයකු බවට පත්විය. කලකට පෙර ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලු‍ස්කෝනිගේ නීතිඥයා වශයෙන් ද ඔහු කටයුතු කර තිබේ.   


සාර්කෝසි දේශපාලනය ඇරැඹුවේ ප්‍රංශයේ හුයි සර්සීන් ප්‍රදේශයෙනි. 1947 සිට 1983 දක්වා එහි නගරාධිපති තනතුර දැරූ ඇකිල් පෙරෙට් ඔහුගේ ප්‍රථම දේශපාලන ගුරුවරයාය. මේ පුරපතිවරයාගේ පිහිටෙන් ඔහු ප්‍රාදේශීය දේශපාලනයට පිවිසුණේය. පුරපතිවරයාගේ ඥාති දියණියකි මේරි ඩොමිනික්. (සාර්කෝසිට මේරි මුලින්ම හමු වුණේ 1980 වසරේදීය.) ඒ වනවිට සාර්කෝසි 25 හැවිරිදි කඩවසම් තරුණයෙකි. නිකලස්-මේරි හමුව අහම්බයෙන් සිදු වූවකි. ඔහු ප්‍රංශයේ පාලකයා වනු ඇතැයි මේරි සිහිනෙන්වත් සිතුවේ නැත.   
දේශපාලනයත්, උසාවියේ නීති තර්කත් අතරට ආදරය පටලවා ගත් නිකලස් සාර්කෝසි තරුණයා තම ප්‍රථම දේශපාලන ජයග්‍රහණය ලබාගත්තේ ඔහු ජීවත් වූ ප්‍රදේශයේ නගරාධිපතිවරයා බවට පත්වීමෙනි.   
පුරපති තනතුරට පත් මේ තරුණයා තම පෙම්වතිය වූ මේරි සමඟ විවාහ වූයේ 1982 වසරේදීය. ඒම වසර සාර්කෝසිගේ ජීවිතයේ පෙරැළි දෙකක් සිදු වූ වසරක් වශයෙන් හැඳින්විය හැකිය. ඔවුන්ගේ පවුලට පුතුන් දෙදෙනකු එක්වූයේ 1985 සහ 1986 වර්ෂවලදීය. ඒ පියරේ සහ ජීන් ය.   


1996 වනවිට ඔහු මුළු මහත් ප්‍රංශය පුරාම ප්‍රසිද්ධියට පත්වී සිටි දේශපාලකයෙකි. ප්‍රාදේශීය දේශපාලනයෙන් ප්‍රධාන දේශපාලන කරළියට අවතීර්ණ වී සිටි ප්‍රබලයෙකි. ඔහුගේ මුල් විවාහය පැවැතියේ වසර 14ක් පමණකි. ප්‍රංශයේ අගනුවර වූ පැරිස් නුවරට සංක්‍රමණය වීමත්, මුල් බිරිඳ වූ මේරිගෙන් දික්කසාද වීමත් සිදු වූයේ එම වසරේදීය.   


නිකලස් සාර්කෝසි රට පුරා ජනප්‍රිය වීම තුළින් ඔහුගේ පවුල් ජීවිතය දෙදරා ගියේය. මේ කඩවසම් ජනප්‍රිය චරිතය වටා තරුණියන් විශාල වශයෙන් ඒකරාශි වීම මේරි නොරිස්සුවාය. ඔහුගේ කාර්ය බහුල දේශපාලන දිවිය තුළින් පවුල් ජීවිතය අවුල් විය. දේශපාලන පොරපිටියේ තවදුරටත් ඉදිරියට යනවා ද පවුල සමඟ දිවි ගෙවනවා ද යන උභතෝකෝටික ප්‍රශ්නයට ඔහු මැදි විය. අවසානයේදී දේශපාලනයට මුල් තැන දීමට ඔහු තීන්දු කළේය. මුල් බිරිඳගෙන් වෙන් වී පැරිසියට ළඟාවීම ඔහුගේ ජීවිතය සහමුලින්ම වෙනස් කළේය.   
ඊළඟ වසර කිහිපය තුළ නිකලස්ගේ ජීවිතයේ පෙරැළි රාශියක් සිදුවිය. යුනියන් ෆෝ අ පොපියුලර් මුව්මන්ට් (UMP) දේශපාලන පක්‍ෂයේ සභාපති තනතුරට පත්වීමම ඉන් එකකි. ජැක් චිරාක් ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමැති පදවිය ද පසුව අභ්‍යන්තර කටයුතු ඇමැති පදවිය ද දැරීමට ඔහුට අවස්ථාව ලැබිණි. මෙසේ පියවරෙන් පියවර ඔහු දේශපාලන පොරපිටියේ ඉදිරියටම ගියේය. කැපවීම තුළින් ඔහු මෙසේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගත්තේය.  


නිකලස් සාර්කෝසි තම මුල් බිරිඳ සමඟ යුග දිවියක් ගත කරද්දීම සිසිලියා නමැති කාන්තාවක සමඟ ද සබඳතාවක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කළේය. ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මාධ්‍යවේදිනියකි. මේ සමයේදීම නිකලස්ට ලා ෆිගාරෝ පත්‍රයේ තවත් මාධ්‍යවේදිනියක වූ ඇනී හමුවිය. ඔහු ඇනී සමඟ ද කිට්ටු සබඳතාවක් පැවැත්වූ බව ප්‍රංශයේ මාධ්‍යයන්ට රහසක් නොවීය. ඔහුගේ මේ ප්‍රේම කතාන්දරය පිළිබඳ විස්තර පුවත්පත්වල පිටු පුරා දිගහැරෙන්නට පටන් ගත්තේය. තම අවසන් අරමුණ ඉටු කරගැනීමට නම් සෙල්ලක්කාර ජීවිතයෙන් මිදී සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන සැමියකු බව පෙන්වා ජනතාව අතරට යාම කාලෝචිත බව ඔහු අවබෝධ කරගත්තේය. ඇනී අමතක කොට සිසිලියා සමඟ ඔහු විවාහ වුණේය. ඒ, පළමු විවාහයෙන් දික්කසාද වූ වර්ෂයේදීය. ඔහු ගත් මෙම පියවර ඔහුව විවේචනය කළ අයට දුන් හොඳම පිළිතුර විණි.   


ඒ වනවිටත් සිසිලියා සහ ඇනී මාධ්‍යයන් ඔස්සේ ඔහුගේ ප්‍රතිරූපය ගොඩනංවා තිබුණි. මෙය ඔහුගේ ඉදිරි දේශපාලන ගමනට බෙහෙවින් ඉවහල් විය. දෙවැනි බිරිඳ වූ සිසිලියා මේරි විවිධ මාධ්‍ය ආයතනවල සහාය ඇතිව නිකලස් සාර්කෝසිගේ සමාජ සේවා කටයුතුවලට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළාය.   
සිසිලියා මේරි මුලින්ම විවාහ වූයේ ජනප්‍රිය රූපවාහිනී නිවේදකයකු වූ ජැක් මාර්ටින් සමඟය. ඒ, 1983 වසරේදීය. විවාහය සිදු වූයේ ඔවුන් සිටි ප්‍රදේශයේ නගර සභාව තුළය. විවාහය සිදු කළේ එවිට එහි නගරාධිපති වූ නිකලස් සාර්කෝසිය. විවාහයට අත්සන් කළේ නගරාධිපති නිකලස් සාර්කෝසිය. සාර්කෝසිගේ හිත මනාලිය වෙත ඇදී අවසානයේ ඇය සාර්කෝසිගේ දෙවැනි බිරිඳ වූවාය.   
කාලය සෙමින් ගෙවී ගියේය. නිකලස් මේ මනාලිය සමඟ රහසේ පෙම් ජවනිකා රඟපෑ බව ප්‍රචාරය වන්නට විය. සිසිලියා මේරිගේ විවාහ ජීවිතය වැඩි කල් නොපැවැතුණි. ඒ වනවිට ඇය මෙන්ම නිකලස් ද මුල් විවාහවලින් වෙන්වී සිටි තනිකඩයෝය. 1996 ඔක්තෝබර් 23 වැනිදා මේ දෙදෙනා විවාහ වූ අතර, ඒ වනවිට නිකලස් සාර්කෝසි ප්‍රංශයේ මුදල් ඇමැතිවරයාය.   


2007 මැයි 16 වැනිදා ප්‍රංශයේ ජනපති ඡන්දයෙන් සාර්කෝසි විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිද්දී ඔහු සමඟ සෙවණැල්ලක් මෙන් සිටියේ ඔහුගේ දෙවැනි බිරිඳ වූ සිසිලියා මේරි ය. පැරිස් නුවර අයිෆල් කුලු‍න පේනතෙක් මානයේ පිහිටි එලිසි මාලිගාව මේ දෙදෙනාගේ වාසස්ථානය බවට පත්විය.   


නමුත් සිසිලියා මේරිට ප්‍රංශයේ ජනාධිපති සාර්කෝසි සමඟ මේ මහ මැදුරේ එකට ගත කිරීමට හැකි වූයේ මාස 5ක් පමණකි. එම වසරේ ඔක්තෝබර් 18 වැනිදා ජනපති සාර්කෝසි සිසිලියා මේරිගෙන් දික්කසාද විය. ඇයට එලිසි මන්දිරයට මෙන්ම ජනපති සැමියාට “ආයුබෝවන්” කීමට සිදු වූයේ එවිටය. 

 

 
නිකලස් සාර්කෝසි ජනපති වීමෙන් පසු පැටලු‍ණේ සුරූපී චිත්‍රපට නිළියක සමඟය. ඇය චිත්‍රපට තාරකාවක් පමණක් නොව ගායිකාවකි. නළඟනකි. මෝස්තර නිරූපිකාවකි. ඇය සතුව පැවැතුණේ රසිකයන් මෝහනයට පත් කරන මධුර මනෝහර මියුරු කටහඬකි. මනහර පෙනුමකි. මේ සුරූපිනිය මුල් වරට ජනපති නිකලස් සාර්කෝසිගේ නෙත ගැටුණේ රාත්‍රී භෝජන සංග්‍රහයකදීය.   


ලෝකයේ බලවත්ම පුද්ගලයන් පස්දෙනාගෙන් කෙනකු වූ නිකලස් සාර්කෝසි රිදී තිරයේ බැබළෙන තාරකාවක වූ කාර්ලා බෲනි සමඟ ආලිංගන නැටුමකට එක්වූ බවට ප්‍රංශ ඕපාදූප සඟරාවල වාර්තා විය.   
ඊට පසු දින ප්‍රංශයේ පුවත්පත්වල මුල් පිටුවේ පළවුණේ නිකලස් සාර්කෝසි හා කාර්ලාගේ ආලිංගන නැටුමේ ඡායාරූපයයි. විදේශ මාධ්‍ය මෙම ඡායාරූප පළ කළේය. රූපවාහිනිය ද මේ නැටුම නැවත නැවත විකාශනය කරන ලදී. රට පාලනය කිරීම පසෙක තබා ප්‍රංශ ජනාධිපතිවරයා අමුතුම නැටුමක් අරඹා ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.   


ප්‍රංශ ජනාධිපතිගේ මෙම “අමුතුම නැටුම” අවසන් වූයේ 2008 පෙබරවාරි 2 වැනිදා එලිසි මන්දිරයේදී නිකලස් සාර්කෝසි සහ කාර්ලා බෲනි අතර විවාහය සිදුවීමෙනි. ඒ වනවිට නිකලස්ගේ වයස අවුරුදු 53කි. කාර්ලාගේ වයස අවුරුදු 40කි. මේ නිකලස්ගේ තුන්වැනි විවාහයයි. මේ යුවළගේ කැදැල්ලට දියණියක් එක් වූයේ 2011 ඔක්තෝබර් 19 වැනිදාය.   


නිරුවත් ඡායාරූපවලට පෙනී සිටින මෝස්තර ශිල්පිනියක වූ කාර්ලා තමා ජනපති ආර්යාවක් වේ යැයි කිසිදා නොසිතන්නට ඇත. එහෙත් පෙර පිනකට මෙන් ඇය ප‍්‍රංශ ජනාධිපති නිකලොස් සාර්කෝසිගේ ජනපති ආර්යාව වීමට තරම් වාසනාවන්ත වූවාය. එකල ලොව සිටින රූමත්ම රාජ්‍ය නායක බිරින්දෑවරුන්ගේ ලයිස්තුවේ සිටි ඇය ඊට පෙර ප‍්‍රංශ ගායිකාවක, ගීත රචිකාවියක ලෙස ද කටයුතු කළාය.   
හිටපු ප‍්‍රංශ ජනපතිගේ ප‍්‍රියම්බිකාව ලෙස පත්වීමට පෙර හා පසුව කාර්ලා බෲනි පත්වූ ඇය තරම් ඡායාරූපගත වූ, ස්වාධීන ලෙස මුදල් ඉපැයූ ජනපති ආර්යාවක් ලොව මෙතෙක් බිහි වී නොමැත. ජනපති නිකලෝස් සාර්කෝසිගේ බිරිඳ බවට ඇය පත්වීමත් සමඟ වර්තමාන ලෝක දේශපාලනය තුළ බිහි වූ සරාගිතම දේශපාලන ජනපති බිරිඳ වූවාය. ඇය ජනපති බිරිඳ වී සිටියදීම නිරුවත් ඡායාරූපවලට පෙනී සිටීමට තරම් අභීත වූවාය. 

 
ඇය විවාහ කරගන්නා විට ඔහු ප්‍රංශයේ ජනාධිපති පදවිය උසුලමින් සිටියේය. ඒ වනවිට ඇය ප්‍රසිද්ධ වැඩිහිටියන්ගේ සඟරාවක් වන ‘ප්ලේබෝයි’ සඟරාවේ කවරයේ ඡායාරූපයට ද පෙනී සිට තිබිණි. එහෙත් ප්‍රංශය යනු ඉතා නිදහස් අදහස් සහිත පුද්ගලයන් වෙසෙන රටක් වන බැවින් ජනාධිපති ආර්යාවගේ නිරුවත් ඡායාරූප රට පුරා ප්‍රසිද්ධ වී තිබීම කිසිදු ගැටලු‍වක් වූයේ නැත.   


සාර්කෝසි එයට වඩා බියපත් වූයේ කාර්ලා බෲනි මීට පෙර අනියම් සබඳතාවක් පැවැත්වූ මයික් ජගර් සමඟ යළි සබඳතාවක පැටලේ ද යන්න සම්බන්ධවය. වරක් ඔහු තමන් දෙදෙනා වෙනුවෙන් කුඩා මහල් නිවසක් මිලදීගත් අතර පසුව දැනගත්තේ එම නිවෙසේ කෙළවරේ නිවෙසේ මයික් ජගර් වෙසෙන බවයි.   
පසුව ඔහු වහාම එම අලු‍ත මිලදීගත් නිවෙස හැරපියා ගියේ තමා ජනාධිපති වුව ද මයික් ජගර් යනු ඉතා ආකර්ෂණීය පුද්ගලයකු බව හොඳින් වටහාගෙන සිටි නිසාය. 

 
ප්‍රංශ ජනපතිගේ පෙම් පලහිලව්ව හා තෙවැනි කසාදය තුළින් ඔහුගේ ජනප්‍රියත්වය බිංදුවටම බැස්සේය. ඔහු රට පාලනය කරනවා වෙනුවට තම නිරුවත් ඡායාරූප මාධ්‍යයන්ට විකුණන සුරූපිනියක් සමඟ සැප විඳින, වගකීමක් නැති සෙල්ලක්කාර පුද්ගලයකු බව විරුද්ධවාදීහු ඔහුට චෝදනා කළහ. තම පෞද්ගලික ජීවිතය දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගන්නට එපා යයි නිකලස් ඉල්ලා සිටියේය. මාධ්‍යයන් ඔහුට එරෙහිව මෙහෙයුමක් ඇරැඹුවේය. තම පෞද්ගලික ජීවිතයේ විවිධ සිද්ධීන් මෙන්ම, පෙම් සබඳතා තුළින් ලැබූ අපකීර්තිය හේතු කොටගෙන 2012 මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ නිකලස් සාර්කෝසිට ප්‍රංශයේ ජනපති පදවිය පළමු වටයෙන්ම අහිමි විය.   


ප‍්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි 2012 ජනාධිපතිවරණයේදී සීමාව ඉක්මවා අපේක්ෂක වියදම් කළැයි ද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ බිග්මැලියොන් සමාගම අතර සිදු වූ මුදල් ගනුදෙනු දූෂණයට හා ජාවාරම් වැනි දේට සක්‍රිය බලපෑම් ඇති කළැයි ද එමගින් ප‍්‍රංශ ව්‍යවස්ථාවේ අඩංගු නීති ඡේද කඩකළැයි ද ඔහු ඇතුළු 14 දෙනකුට ඉහළ උසාවියේ නඩු පවරා ඇත. අධිකරණ ක්‍රියාවලිය ආරම්භ වූයේ වසර 2013 අවසාන භාගයේදීය. සාර්කෝසිට මීට පෙර දඩ ගෙවීමට සිදු වූයේය. එනමුදු පරීක්ෂණ සිදු විය. එය හේතු කොටගෙන පසුගිය 2016 වසරේ පෙබරවාරි 16 වැනිදා මූල්‍ය අපරාධ කොමිසමේ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නැවත වරක් ප‍්‍රශ්න කිරීමකට ලක් වූයේය. එය හේතුකොට ප‍්‍රංශ දේශපාලන භූමියේ විවිධ ඉලක්ක උඩුයටිකුරු වී ඔහු සභාපති තනතුර දරන රිපබ්ලිකන් පක්ෂය ද කුණාටුවකට හසුවී ඇත්තේය. මේ අනුව 2017 ප‍්‍රංශ ජනාධිපතිවරණයේ අපේක්ෂක තනතුර ද අහිමි වූයේය. 

 
2012 ජනාධිපතිවරණයේ මූල්‍ය දූෂණ චෝදනාවන්ට හිටපු ජනාධිපති සාර්කෝසි සීමාව ඉක්මවා වියදම් කළ මුදල් වෙනුවෙන් දඩ ගෙවීමට පක්ෂයට හා ඔහුට නියම විය. එය ගෙවීමට පක්ෂය අපොහොසත් වූයෙන් ඉහත ප‍්‍රශ්නය මූලික කොට පක්ෂය විවිධ බෙදීම් ආරම්භ වීමට පටන්ගත් අතර අවසානයේ සාර්කෝසි එම යුරෝ ලක්ෂ තිහක (රුපියල් 47,57,65,582) දඩය ගෙවීය.   


අධිකරණය ඉදිරියේ චෝදනා ඇති පුද්ගලයකුට දේශපාලන ක්‍ෂේත‍්‍රයේ තනතුරු දැරීම හෝ ඉල්ලුම් කිරීම ප‍්‍රංශ නීතිය අනුව සපුරා තහනම්ය. එම සත්‍යයට මුහුණ දීමට හිටපු ප‍්‍රංශ ජනාධිපතිට අද සිදු වී ඇත්තේය.

 

 

විකිපීඩියා ඇසුරෙනි.   
තිළිණි ද සිල්වා