රතුගලට කෑම දී බඹර කවියෙන් මත් වීමු


 
ඒ අනූව දශකයේ මුල භාගය විය. මාගේ පළමු පත්වීම ලැබ තිබූයේ අම්පාර දිස්ත්‍රික්කයටය. ඒ සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු ලෙසය. එකල ත්‍රස්තවාදී කලබල තිබූ බැවින් අම්පාරට යාමට තිබූ පදියතලාව, මහඔය, අරන්තලාව හරහා මාර්ගයත් මොණරාගල, සියඹලාණ්ඩුව, වඩිනාගල, දමන හරහා මාර්ගයත් යන දෙකම අවදානම් සහගත විය. අම්පාර දිස්ත්‍රික්කයේ රාජකාරි කළ නිලධාරීහු රාජකාරි කැඳවීම් සඳහා කොළඹ යාමටත් ආපසු ඒමටත් භාවිත කිරීමට වෙනත් විකල්ප මාර්ග සොයාගත්හ. එය එතරම් පහසු මාර්ගයක් නොවූවද යම් තරමකට ආරක්ෂාකාරී විය. අම්පාර සිට ඉඟිනියාගල දෙසට පැමිණ “නාමල්ඔය”‍ වැව්කණ්ඩිය දිගේ කොස් රක්ෂිත කැලය මැදින් වැටී ඇති ගල්ගමුව, රතුගල, පංචශීල වංගුව නැග නිල්ගල වන උයන පසුකර කරාඬුගල හරහා බොහෝ දුරට ගොස් බිබිලට පැමිණ එතනින් රිදීමාලියද්ද හරහා නුවර පාරට පිවිසිය හැකිව තිබුණි. 
 
කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරීමට ආරක්ෂාකාරී මාර්ගයක් ලෙස අම්පාර කච්චේරියේ සේවය කළ නිලධාරීන් මෙම පාර භාවිත කිරීමට තවත් හේතුවක් වූයේ එම පාර රාත්‍රී කාලයේදී වසා නොදැමීමය. අරන්තලාව මාර්ගයත් සියඹලාණ්ඩුව මාර්ගයත්, එකල උදෑසන 6.00 ට විවෘත කරන ආරක්ෂක අංශය, එය හැන්දෑවේ 6.00 ට වසා දැමීම නිසාත්, නාමල්ඔය පාර දුෂ්කර වුවද අම්පාරට යාමටත් ඒමටත්, රාත්‍රී කාලයේදී වුවද භාවිත කළ හැකි විය.   
 
මාගේ නිල රාජකාරී කටයුතු මැතිවරණ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට පමණක් සීමා වුවද කච්චේරි නිලධාරීන් සහභාගීවන අනෙකුත් සමාජයීය හා පොදු කටයුතුවලට මම ද සහභාගී වුණෙමි. මා එවකට සිටි අම්පාර දිසාපතිවරයාට හා අ​නෙකුත් සියලු‍ම නිලධාරීන්ගේ ඕනෑ එපාකම්වල දී නොපැකිලිව සහාය දෙන්නෙක් වීමි. වැව්ගම්පත්තුව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැඳින්වූයේ “දමන” නමිනි.   
එකල එහි ප්‍රාදේශීය ලේකම්වරයා වූයේ පසු කාලයක අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස විශ්‍රාම ගිය එල්.පී. ජයම්පති මහතාය. ඔහුගේ ප්‍රිය බිරිඳ වූ මල්කාන්ති මහත්මිය ද එකල අම්පාර සහකාර සමාජ සේවා අධ්‍යක්ෂිකාව වශයෙන් සේවය කළ බව මතකය.   
 
ඔහු දිනක් කච්චේරියේ දී අප ඇතුළු පිරිස හමුවී පැවසුවේ නාමල්ඔය මාර්ගයේ ගමන් ගනිද්දී රතුගල ප්‍රදේශයේ දී පාර මැදට පැන වාහනය නැවැත්වූ, රතුගල එවකට වැදි නායකයාව සිටි රන්දුණු වන්නියා ඔවුනට කෑම බීම සපයා ගැනීමට ඇති දුෂ්කරතාව පැවසූ බවයි. එකල යම් තරමකට බවභෝග විනාශ වී යමින් පැවැති පෑවිල්ලක් ද හටගෙන තිබුණි. පුවත ඇසූ සියලු නිලධාරීන් ඉහළ-පහළ බේදයකින් තොරව පැවසුවේ තම දායකත්වය හා ආධාර දෙන්නන් ද සහභාගී කරවාගෙන රතුගල වැදි ගම්මානයට යම් ආධාරයක් කළ යුතු බවකි.   
 
ජයම්පති මහතා සියල්ල සංවිධානය කළේය. හාල්, පොල්, පිටි, සීනි, අල වර්ග, මිරිස්, තුනපහ, කිරිපිටි, අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, බිස්කට් වර්ග ආදී විශාල ආහාර මළු, පෙට්ටි ආදිය සූදානම් කෙරුණි. අම්පාර ප්‍රදේශයේ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය ආයතන කිහිපයකින් ලොරි, කැබ්, ලොකු ට්‍රැක්ටර් හා ජීප් රථ ද සූදානම් කරගෙන සියලු බඩු පටවා අපි සියලු දෙනා රතුගලට ගියෙමු. මේ සඳහා යොදාගත්තේ සෙනසුරාදා දිනයකි. යන පිරිසට අවශ්‍ය ජලය, තේ, බිස්කට් ආදිය වෙනම සූදානම් කරගත් අතර එදින රතුගලට පැමිණෙන බව ජයම්පති මහතා විසින් වැදි නායක රන්දුණු වන්නියා වෙත කලින් පණිවුඩයක් යවා තිබුණි.   
දැන් කොළඹ අමාත්‍යාංශ දෙකක ප්‍රධාන මූල්‍ය නිලධාරීන් වන රත්නායක හා දිලීපාත් දැන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වන අනිල් විජේසිරිත් මහනුවර දිසාපතිව සිට මෑත කාලයේ විශ්‍රාම ගිය තිස්ස කරුණාරත්නත් දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු ඇතුළු කාර්ය මණ්ඩලයත් (අද ඔවුන් බොහෝ දෙනකු විශ්‍රාම ගොසිනි.) මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ එකල අම්පාර ග්‍රාම නිලධාරී දිගාමඩුල්ලේ රණවීර ද ඇතුළු බොහෝ දෙනෙක් මෙම කාර්යයට උරෙනුර ගැටී සහාය දුන්හ.   
 
ගෙන ගිය සියලුම වියළි ආහාර ඒ ඒ පවුල්වලට වෙන වෙනම වෙන්කර විධිමත් පරිදි බෙදා දෙන ලදී. බිම මැටි ගා වරිච්චි බිත්ති බැඳි ඉතා කුඩා නිවාසවල සිටි ඔවුන්ගේ වහල සකස් වී තිබුණේ ඉලු‍ක් සෙවිලි කිරීමෙනි. වැදි නායක රන්දුණු වන්නියා තම නිකට දිගට වැවී තිබුණු සුදු රැවුල පිරිමදිමින් අපට පිං දුන්නේය. වැඩිහිටි වියේ පසු වූ ‘වෙද බඳනා’, ‘හඳුනා‘ වැනි අය ද රන්දුණු වන්නියාට එක් වූ අතර ඔවුන්ගේ බිරින්දෑවරු තම කුඩා වුන් ඇකයේ ගසාගෙන අවුල් වූ කෙසින් යුතු හිස් වනමින් බුලත්විට කෑමෙන් රතු වූ තොල් හා කළු වී ගිය දත් පෙන්නමින් කෘතවේදී බැල්මෙන් බලා සිටියහ. ඉතා කුඩා දරුවන් නිරුවතින් ද තරමක් ලොකු එවුන් යටිකයට පමණක් හැඳ උඩුකය නිරුවතින් ද බලා සිටියේ තම මව්වරුන්ට මුවාවී ඇඟිල්ලක් කටේ දමා ගනිමිනි.   
නිලධාරීන් එක් පැත්තකටත් රන්දුණු වන්නියාගේ කණ්ඩායම තවත් පැත්තකටත් වී කතාබහ හුවමාරුවේදී ද‌ානිගල මහබණ්ඩාරලාගේ හඳුනා ඇත්තා විසින් අපූරු කවි ගායනයක් ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ ජීවිතවල භයානක හා අභියෝගාත්මක අවස්ථා බොහෝය. “බඹර කැපීම” එවැනි අවස්ථාවකි. වැල් ඉනිමඟක් දිගේ ගල්නලලතක (ඇන්දක) එල්ලෙමින් බඹර කැපීමේ දී ඔවුහු කවි ගායනා කරති. ඒවා හඳුන්වන්නේ “බඹර කවි”‍ නමිනි. එදා හඳුනා විසින් ගායනා කරන ලද බඹර කවි මා අත තිබූ කුඩා රෙකෝඩරයෙන් මා විසින් පටිගත කරගත්තේ මෙසේය.   
 
අක්ර දික්රපති බඹරෑන් ගලේ   
දික්ල ලෙසට උස වැඩුනයි එරන් ගලේ   
ලොවේ සේනාව වැඳ වැටුනි පුර බලේ   
අපිත් යමව් බලන්ඩ බඹරෑන් ගලේ   
බඹරු අඬන්නේ කඳුපිට මොර මලේ   
බඹරු අඬති මෙරු නාඬති එම මලේ   
කිල්ලෙන් කුණෙන් යන්නට බැරි දේවාලේ
අපිත් යමව් බලන්ඩ බඹරෑන් ගලේ   
බැද්ද වටම සුදු මොරමල් පිපීලා   
සද්ද කළ බඹරු ඒවයේ අඬාලා   
ඉටිත් පැණිත් ලොව සැමටම බෙදාලා   
යන්නම් බඹරු දුක් මැසිවිලි කියාලා   
හෝඩි හෙලේ ගල් වටකර මුළුල්ලා   
ගල් නලලට යනකොට කරකැවිල්ලා   
ගල් නලලේ බැන්දා වැනි තොටිල්ලා   
මඬු ගවහෙළ බලතොත් ඒ වරෙල්ලා   
අත තද කර යොතවැල අල්ලා ගන්නේ   
පය තදකර හෙළ පහළට බහින්​නේ   
දිවි සිහිකර බඹරෙට කිට්ටු වන්නේ   
බඹරු දකින කොට හදවත උණුවන්නේ   
හෙළේ ගලේ යැදුමට යන්නේ දෙන්නා   
ගලේ ​ගොසින් දැක්කේ බඹරුන් දෙන්නා   
බඹරු කපන්නේ කොහොමද අපි දෙන්නා   
පහළ ගෙදර අපෙ අයියට කියල්ලා   
බඹරු කපන්නට උන් දෑ හරි සීරුයි   
ගෙදර ඉන්න ගෑණී නම් අමාරුයි   
යන්ට එපා කියලා සැර මුවාවයි   
ඒකට බයේ කර බාගෙන සිටීදැයි   
මලයා ගොසින් නෑනා ළඟ කියන්නේ   
අයියට යන්න ඇයි නුඹ ඉඩ නොදෙන්නේ   
උන්දැට යන්න ඇයි? උඹ ඉඩ නොදෙන්නේ   
දෙන්නට කන්න පැණි අරගෙනමයි එන්නේ   
 
බඹරු වද බඳින්නේ ඉතා දුෂ්කර ලෙස ළඟාවිය හැකි ගල් මුහුණත්වල ඇතුළට නෙරාගිය තැන්වලය. එම ස්ථානවලට ඇවිද යා නොහැකිය. වැල් ඉනිමඟක් දි​ගේ පහළට බැස පැද්දෙමින් බඹර වද කපා ඉනේ එල්ලාගෙන සිටින ගොට්ටට දමා ගැනීම ඉතා අසීරු කාර්යයකි. මෙම ක්‍රියාවලියේ දී වැල් ඉනිමඟ ආරක්ෂා සහිතව හෙළ මුදුනේ ගැට ගසා අල්ලා ගැනීමට දෙන්නේ මස්සිනාටය. ඒ වැදි සංස්කෘතියේ දී ද අනෙක් වුන් විශ්වාස කළ නොහැකි බැවිනි.   
 
හඳුනා මේ කවි එදා ගායනා කළේ රංගන විලාශයක් ද ඉදිරිපත් කරමිනි. කිල්ලට අසුවී බඹර කැපීම අගුණය. බඹර ඉටි පැණි ලොවටම බෙදීම, ගල් ඇන්දක එල්ලෙමින් බඹර කැපීම, චිත්තරූප මැවෙන ආකාරයෙන් අකුරු නොදත් මේ වැදි ජනයා ඔවුන්ගේ ජන සංස්කෘතියෙන් පැවත එන මේ කවි ආරක්ෂා කරගැනීම අගය කළ යුත්තකි. රතුගල අද බොහෝ වෙනස්ය. පාර තාර වැටී කාපට් වී ඇත. රන්දුණු වන්නියා ඇතුළු අපට හමු වූ වැඩිහිටි වැදි ජනතාව අද මිය ගොසිනි. එදා අප දෙස එබී බලමින් කටේ ඇඟිල්ලක් දමාගෙන සිටිය කුඩා වුන් අද ජංගම දුරකතන කනේ තබාගෙන සිටිති. ගෙවල් දොරවල් වෙනස්ය.   
 
එදා අප ගිය රතුගල අයිති වූයේ අම්පාර දිස්ත්‍රික්කයට නොව මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. අදත් එයනම් එසේම ය. අම්පාරෙන් එදා අප සමඟ ගිය නිලධාරීන් ඇතුළු අප සැම ආපසු පැමිණෙද්දී ඉඟිනියාගල සේනානායක සමුද්‍රය අසල වැලි තලාවක නතර වී බැස යන හිරු දෙස බලමින් එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත ද ගායනා කර ආපසු අම්පාරට පැමිණියෙමු. මේ සියලු දේ අමතක කළ නොහැකිය.
 
 
එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර   
අතිරේක පාලක ජනරාල්,   
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව