මාතාහරී නලඟනගේ ජීවන ඛේදාන්තය


ඇය ලෙලෙන ගිනි සිලක් වන් සුරූපී නළඟනකි. ඇයගේ සොඳුරු නාරි ලාලිත්‍යය ලොව වංශාධිපතියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, මූල්‍යකරුවන්, ඉහළ හමුදා නිලධාරීන්, ධනවත් ව්‍යාපාරිකයන් සහ දේශපාලන නායකයන් මුසපත් කිරීමට සමත්වූවාය. සුරූපී ඇය කෙරෙහි නිසඟයෙන් පිහිටි රංගන කුසලතාවන් නිසා ඇය එදවස සමාජයේ දැඩි බුහුමනට පාත්‍රවූවාය. තම සිරුරේ රන්වන් පැහැ ඡවි වර්ණය හා මැනවින් සංයෝජනය වන, දිදුලන සුළු කනකමය ස්වර්ණාභරණ හිස සහ දෑත් මත පැළඳි ඇය, රංගනයේදී දිස්වූයේ දිව්‍ය අප්සරාවක ස්වරූපයෙනි. ඉන්දියාවේ පූජනීය දේවාල ආශ්‍රිත දේව දාසී නෘත්‍ය සම්ප්‍රදාය සහ වේගරිද්ම බටහිර නෘත්‍ය සම්ප්‍රදායේ සමතුලිත සංකලනයකින් ඇය තමාටම ආවේනික භාවාත්මක රංග වේදයකට අනුගතව සිටියාය. එම සංවේදී ශෛලිය ඇයට නිරායාසයෙන්ම පෙරදිග මෙන්ම අපරදිග සහෘදයන් ද එකසේ සිය ආකර්ෂණීය වසඟයට ගැනීමට හේතුවූ සෙයකි.   


ඇය ලොව ප්‍රකට වී ඇත්තේ මාතා හරි යන අන්වර්ථ නාමයෙනි. ඇය විසින් මැලේසියාවේදී පවත්වන ලද නෘත්‍ය ප්‍රසංගයකදී ප්‍රහර්ෂණයෙන් ඇළලී එරට ජනතාව ඇය මාතා හරී ලෙසින් හැඳින්වූහ. මැලේසියානු භාෂාවෙහි මාතා හරී යන්නෙහි අරුත දවසේ ආකර්ෂණීය නෙත යන්නයි. එවක් පටන් ඇය සිය මුළු ජීවිත කාලයේම ප්‍රකට වූයේත් හැඳින්වූයේත් එම මාතා හරී යන අන්වර්ථ නාමයෙනි. මාගරීටා ගර්ට්රූඩියා සෙලී ඇය උපතින් ලද නාමයයි. ඇය ඇඩම් සෙලී සහ ඇන්ට්ජේ වැන් ඩර් මෙලන් දෙමහල්ලන්ගේ දරුවන් හතර දෙනාගෙන් වැඩිමලා ලෙස උපත ලැබුවේ 1867 අගෝස්තු 07 වන දිනය.   


ඇය අර්ධ වශයෙන් යුදෙව් හා මැලේසියානු, සම්භවයක් ඇති බව සැළකෙන අතර ඇගේ පියා ලන්දේසි ජාතිකයෙක් විය. 1889 දී මාගරීටා ගේ පියා පවුල අතහැර වෙනත් කාන්තාවක් සමග පලා ගිය අතර ඇගේ මව ඇන්ට්ජේ සෙලී අවුරුදු කිහිපයකට පසු මාතා හරී යෞවන වියේදී මිය ගියාය. මෙම සිදුවීම ඇයගේ ජීවිතයට දැඩි සේ බලපෑවේය.   


ඇගේ මවගේ මරණයෙන් පසු, 16 වැනි වියේදී ගුරුවරියක වීමට ඉගෙන ගැනීම සඳහා පිටත් කර හරින ලදී. ඇය පාසලේ විවාහක ප්‍රධානියා සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ නිසා පාසලින් නෙරපා හරින ලදී. එතැන් සිට ඇය යටත් විජිත නිලධාරීන්ගෙන් ගහණ නගරයක් වන හේග් වෙත පදිංචියට ගියාය.   


පැරීස්, බර්ලින්, වියානා, මැඩ්රිඩ් සහ අනෙකුත් යුරෝපීය අගනගරවල රඟදැක්වීම් මගින් දහස් ගණනක් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගත්තාය.   


විවිධ රටවල පවත්වන ලද නෘත්‍ය සංදර්ශනවලින් ඇය වෙත විශාල මුදල් සම්භාරයක් සමගම සුවිසල් කීර්තියක් ද ලඟා විය. එනමුදු යොවුන් වියේදීම දෙමවුපියන් අහිමිවීම නිසා පාලුව තනිකම දුරු කරගැනීමේ අපේක්ෂාවෙන් විවිධ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වීමට ඇය යොමු වූවාය. මෙම පිරිස අතර බොහෝ රටවල බලගතු තනතුරු දරන ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, දේශපාලන නායකයින් සිටි බව පැවසේ.   
වයස අවුරුදු 18 දී මංමුලා සහගත වූ ඇය කපිතාන් රුඩොල්ෆ් මැක්ලියෝඩ් සමග 1895 යුග දිවියට පිවිසියාය. 7 වසරකින් එම යුග දිවිය නිමා විය. මාතා හරී දෙදරු මවක්වූ අතර ඇගේ වැඩිමහල් පිරිමි දරුවා රෝගීව බාල කාලයේම මියැදුනේය. පළමුවන ලෝක සංග්‍රාමයේදී මාතා හරී රුසියානු සොල්දාදුවෙකු වූ ව්ලැඩිමීර් මැස්ලොෆ් සමඟ ආදරයෙන් බැඳී සිටියාය.   


පළමුවන ලෝක සංග්‍රාමයේදී ප්‍රංශයේ ඔත්තු බැලීමේ ඒකකයේ ප්‍රධානී ජෝර්ජස් ලැඩොක්ස් ඔත්තු බැලීම සඳහා මාතා හරී බඳවා ගත්තේය. ඔහු මාතා හරී තුළ නිසගයෙන්ම පැවති, සොදුරු භාෂා විලාශය හා ආකර්ශන ශීලී සරාගී හැසිරීම් රටාව මැනවින් නිරීක්ෂණය කර තිබිණි. ඇයගේ එම නිසඟ කුසලතාවයෙන්, කුමන තරාතිරමේ පුද්ගලයකුගේ හෝ ඇතුළු හදවතකට පිවිසීමට ඇය සමත් වන බවද ඔහු මැනවින් අවබෝධ කරගෙන සිටියේය. මාතා හරී තම ඔත්තු සේවයේ සාමාජිකාවක් ලෙසින් බඳවා ගැනීමෙන්, ඔහු තමන්ගේ රහස්‍ය ඔත්තු ජාලය, විශ්වසනීය තොරතුරු වලින් පෝෂණය කරගති. මෙහිදී ඔහු ප්‍රංශ පාර්ශ්වයට පමණක් නොව ප්‍රංශයට විරුද්ධ ජර්මන් පාර්ශ්වය වෙනුවෙන් ද ඔත්තු සැපයීමේ කාර්යයෙහි ද නිරතව සිටි බවද පසුව අනාවරණය විය. ජර්මන් පාර්ශ්වය වෙනුවෙන් ඔත්තු සැපයීමේ මූලික කාර්යය පැවරී තිබුණේ මාතා හරී වෙතය.   


ඇය ජර්මානු ඔත්තුකාරියක බව වැඩි කාලයක් ගතවීමට පෙර ප්‍රංශ රජය අනාවරණ කරගත්තේය. 1917 පෙබරවාරි 13 වන දින මාතා හරී අත්අඩංගුවට ගනු ලැබිණි. ඇයව හුදෙකලා කරනු ලැබුවේ පැරීසියේ සාන්ත ලාසරේහි බිහිසුණු බන්ධනාගාරයේය. ඇය සිය දිවියේ අවසන් 50 වන උපන්දිනය සමරනු ලැබුවේද බන්ධනාගාර සිර මැදිරිය තුළය. මධ්‍යධරණී මුහුදේ ටෝර්පිඩෝ බෝට්ටුවල යාත්‍රා කරමින් සිටි ප්‍රංශ හමුදා භටයින් පනස්දහසක් ජර්මන් හමුදාවන් විසින් ඝාතනය කරන ලද්දේ මාතා හරී ජර්මනියට සැපයූ ඔත්තුවලට අනුව දියත් කරන ලද ප්‍රහාරයන් නිසා යැයි නඩු විභාගයේදී තහවුරු විය. ඒ අනුව මාතා හරී වෙඩි තබා ඝාතනය කිරීමට තීරණය විය. ඇය ජීවතුන් අතර සිටි අවසන් පැය ගණන හෙන්රි වේල්ස් යන බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරු විසින් මුළු ලොවටම වාර්තා කරනු ලැබීය.   


1917 ඔක්තෝබර් 15 වන දිනය උදා වූයේ මාතා හරි ගේ ඉරණම පිළිබඳ අවසන් තීරණය බන්ධනාගාරය වෙත ළඟාවෙමින් තිබූ මොහොතෙහිය. ඇය ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඍජුවම ආයාචනා කර තිබූ අතර ඇය ඔහුගේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටියාය. ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට ඇයට එම මොහොතේදී දැනුම් දෙනු ලැබිණි. ඇය කිසිදු තැති ගැන්මකින් තොරව ඉතා උපේක්ෂාශීලීව එම තීරණය පිළිගෙන සිය අවසන් ගමනට සූදානම් වූවාය. මට ලිපි දෙකක් ලිවිය හැකිද? ඇය සියල්ලන් විමතියට පත් කරමින් විමසුවාය. ඇය වධක පිටියට කැඳවාගෙන යාමට පැමිණ සිටි කපිතාන් බුචාර්ඩන් විසින් වහා එම අවසන් ආයාචනයට එකඟතාවය පළ කරනු ලැබිණි. කටු පෑන, තීන්ත, කඩදාසි සහ ලියුම් කවර ඇය වෙත ලබාදුණි. ඇය පෙර දින තමා නිදා සිටි ඇඳේ කෙළවරේ හිඳගෙන ලිපි ලිව්වේ ආවේගශීලී ලෙසිනි. ඇය ඒවා ඇගේ නීති වේදියාට භාර දුන්නාය. අනතුරුව දැඩි ආරක්ෂාව යටතේ මාතා හරී පැරණි චැටෝ ඩි වින්සෙන්ස් හි පිහිටි වධක භූමිය වෙත කැඳවාගෙන යන ලදී. කන්‍යා සොහොයුරියන් දෙදෙනෙක් සහ මහලු පූජකවරියක් වධක භූමියෙහි මතාහරි ගැටගැසීමට සූදානම් කර තිබූ වධක කනුව දක්වා ගමන් ගත්තේය. හමුදා නිලධාරියෙක් ඇය කණුවට තබා ගැට ගසා, ඇගේ මුහණ රෙදි කඩකින් වැසීමට උත්සාහ ගත් අවස්ථාවේ, එසේ සිදු නොකරන ලෙස නිලධාරින්ගෙන් ඇය ඉල්ලා සිටියාය. එසේ නම් ඇස් පියාගෙන සිටින ලෙස සාජන් මේජර් ඇයට උපදෙස් දුනි. එය ඇය ප්‍රතික්ෂේප කළාය. හමුදා උසාවියේ ප්‍රධාන ලිපිකරු ඇය ඉදිරියේ නිල දඬුවම් නිල නිවේදනය ශබ්ද නගා කියවීය.  


‘‘තුන්වන යුද කවුන්සිලයේ නියෝගය පරිදි ප්‍රංශයේ ජනතාවගේ නාමයෙන් ඔත්තු බැලීම සඳහා මාගුරයිට් - ගර්ට්රූඩ් සෙලේ ඒකමතිකව මරණ දණ්ඩනය නියම කළේය’’  


මෙම තනි කාන්තාව එක්වර ක්ෂණිකවම වෙඩි තබා ඝාතනය කිරීම පිණිස වෙඩික්කාර භටයින් හයදෙනෙක්, ඇය වෙත තුවක්කු මානාගෙන සිටියහ. ප්‍රධාන නිලධාරියාගේ විධානය නිකුත් වනවාත් සමගම වෙඩික්කරුවන් ක්‍රියාත්මක විය. තමන් වෙත ඇසිල්ලකින් මරණය ගෙන එන වෙඩි වරුසාව දෙස ඇය අභීතව දෙනෙත් විවර කරගෙන බලා සිටි බවද අසල සිටි බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරු හෙන්රි වේල්ස් ලොවටම වාර්තා කළේය.  


ඇයට වෙඩි තැබීමෙන් පසුව, මාතා හරී තත්ත්පරයක පමණ කාලයක් කෙළින් සිටියාය. වෙඩි තැබීමෙන් පසු ගත් චලනය වන පින්තූරවල ඇය දකින ආකාරයට මුල් වෙඩි මුරයෙන් ඇය මිය නොගිය බව පැහැදිලිවේ. ඇය ඉදිරියට හෝ පසුපසට ඇද වැටුණේ නැත. ඇය ආසන්නයටම ගිය නිලධාරියෙක් ඔහුගේ ඉණ වටා බැඳි කළු පටියේ රැඳි රිවෝල්වරය ක්ෂණිකව ඇද ගත්තේය. ඔහු නැමී, රිවෝල්වරයේ මුඛය කාන්තාවගේ වම් කන් සිදුරට සමීපකර කොකා ගැස්සීය. උණ්ඩය ස්ත්‍රියගේ මොළය පසා කරගෙන ගියේ, සැණෙකින් ඇගේ ප්‍රාණය නිරුද්ධ කරවමිනි.  


මාතා හරී නිසැකවම මිය ගියාය. මාතා හරීගේ සිරුර භාර ගැනීමට පවුලේ කිසිදු සාමාජිකයෙකු ඉදිරිපත් නොවීය. ඒ අනුව ඇගේ සිරුර වෛද්‍ය අධ්‍යයනය සඳහා භාවිත කරන ලද අතර, ඇගේ හිස බෙහෙත් ගල්වා පැරීසියේ ව්‍යුහ විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්