“කවිකාරියේ සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ
අනෙ සාමි සැන්දෑවෙලා...”
“කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න...”
මෙවැනි ළයාන්විත ගී සමුච්චයන් සිංහල සංගීත ලෝලීන්ට දායාද කළ ඒ හඬ තවමත් ජීවමානය. “තාරුණ්‍යයේ කිරුළ පලන් ළයාන්විතයා” යන සොඳුරු විරුදාවලිය ලැබූ ඔහු නමින් කීර්ති පැස්කුවල්.
සංගීත ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී මානව වර්ගයාටම සේවය කිරීමට හදවතින්ම බැඳුණු සංවේදී චරිතයක් ලෙස හඳුන්වා දීමේ වරදක් නෑ. අඩසිය වසරකට ආසන්න කාලයක් තුළ පැස්කුවල් පවුල තුළින් සිදුවන සංගීත සත්කාරයට අලුතින්ම දායක වී සිටි ඔහුගේ දයාබර දියණිය වන, චාරුණී ජයංගී පැස්කුවල් පියකරු සිනහවක් සහිතව දැන් අප ඉදිරියේ.
ප්‍ර චාරුණී කොහොමද කලාවට පිවිසුණේ?
තාත්තාගේ මගපෙන්වීම නිසා තමයි. මගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය වන “දුවේ බලන්නකො” නම් යුග ගීතය තාත්තා සමග ගැයුවා. පුංචි කාලෙ ඉඳන්ම මං සංගීතය සමගයි හැදුණේ. තාත්තා සමග හරිහරියට සින්දු කියනවා. මගේ සැඟවුණු කුසලතාවන් එළියට ගන්න තාත්තා වගේම අම්මත් ගොඩාක් මග පෙන්නුවා. ගීතයක් අසනවාට වඩා ගීතය විඳින හැටි එයාලා කියලා දුන්නා. ඒ අභ්‍යාසය මත මාත් පියවර මනිනවා.
ප්‍ර ඒ කියන්නෙ මුල්ම ගුරුවරයා තාත්ත ද?
ඇත්තෙන්ම එහෙම කීවත් හරි. මම පුංචි කාලෙ ඉඳන්ම වයලීන, ගිටාර් පියානෝ වගේ සංගීත භාණ්ඩ වැයීමත් රිද්මයානුකූලව ගැයීමත් පුහුණුවුණේ තාත්තාගේ මග පෙන්වීම මතයි. දැනටත් ගායනයට අමතරව සංගීත භාණ්ඩ වාදනයත් කරනවා.
පාසල් අධ්‍යාපනය තුළත් ප්‍රසංගවලදීත්, අදාළ විෂයයන් පිළිබඳ විභාගවලදිත් එම අත්දැකීම් මට පිටුවහලක් වුණා. එම විෂයයන් ඉහළින්ම සමත් වුණා.
තාත්තත් එක්ක විවිධ ප්‍රසංගවලට මාත් එක් වුණා. ඒ නිසා ප්‍රසංග වේදිකාව හා ප්‍රේක්‍ෂකාගාරය මට හුරුපුරුදු තැනක් වුණා.
තාත්තගෙ නිර්මාණ මං ගොඩක් අගය කරනවා. විවිධ තේමා ඔස්සේ ලියන හැටි, වයන හැටි ගයන හැටි තාත්තා නිර්ලෝභීව කියලා දෙනවා.
ප්‍ර තාත්තගෙම ගී ද ඉදිරියටත් ගයන්න යන්නෙ?
එම නිර්මාණ ඉදිරියට රැකගැනීමත්. දියුණු කිරීමත් රසිකයන් වෙත ගෙන යාමත් මගේ යුතුකම හා වගකීමයි. හැබැයි තාත්තාගේ ජනප්‍රියත්වයෙන් මං අයුතු ප්‍රයෝජන ගන්නෙ නම් නෑ. එහෙමයි ඒ ගොල්ලො මට කියල දීලත් තියෙන්නෙ. කවදා හෝ ස්වඋත්සාහයෙන් නැගී ඉන්නයි පැතුම.
ප්‍ර පාසල් කාලයත් සංගීතයටම සීමා වුණාද?
සංගීතයට අමතරව නර්තනය හා සාහිත්‍යය වැනි කලාවට සම්බන්ධ ක්ෂේත්‍රවලත් දස්කම් පෙන්නුවා. පාසලේ සංගීත කණ්ඩායමේ නායිකාව මමයි. විවිධ ප්‍රසංගවලට සහභාගී වුණා. ගිටාර්, කී බෝඩ්, පියානෝ, වයලීන් වැනි භාණ්ඩ වයන අතර තරගවලදිත් ජය ලැබුවා.
තාත්තගෙ සංගීත පාසලේ පන්තිවලට ගිහින් වෙනත් ළමයින් එක්ක වාද්‍ය භාණ්ඩ පුහුණුවීම් ලැබීම ලොකු අත්දැකීමක් වුණා.
මම පියානෝ වාදනයෙන් ලන්ඩන් ට්‍රිනිට් විභාගවලට පෙනී සිටියේ ප්‍රවීණ ගුරුවරියන් කීප දෙනෙක් යටතේ. එය සිහිකළ යුතුමයි.
ප්‍ර කලාවම වෘත්තිය කරගන්න හිතුවෙ නැද්ද?
තාත්තාගේ කලා රසයත් විවිධයිනෙ. එයා සංගීතයට සීමා වුණ කෙනෙක් නොවෙයි. සමාජයට උදව් කරන්න අසරණ වූ රෝගී වූ අයට ඇති හැකි පමණින් පිහිටවීම වගේ ඉඩ හසර ලැබෙන හැම ක්ෂේත්‍රයකම තාත්තා පෙනී ඉන්නවා.
ඒ නිසාද මන්දා මාත් වෘත්තීය වශයෙන් තෝර ගත්තෙ වෙන ඉසව්වක්. ඒ තමා නීතිය. මම වෘත්තියෙන් නීතිඥවරියක්.
නීති උපාධිය හැදෑරුවෙ Horizon විශ්වවිද්‍යාලයෙන්. ඉන්පසු ලංකා නීති විද්‍යාලයේ ඉගෙනුම ලබලා 2022.11.04 වෙනිදා නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නා.
ප්‍ර මොනවද අලුත් ආසාවන් හෙම?
ඇහුව එක හොඳයි. මං දැන් විවාහකයි. ඉතින් ගෙදර ජීවිතය රසවත් කරන එකත් මගෙ අතින් වෙන්න එපායැ. මගෙ සැමියා කමිත්. මගෙ ලොකුම විනෝදාංශයක් තමයි විවිධ ආහාර වට්ටෝරු අනුව කෑම හැදීම.
ලෝකයේ විවිධ රටවලට ආවේණික ආහාර පිළියෙල කරන්නට මං ගොඩක් ආසයි. දක්ෂ කීවත් හරි. මං නොවෙයි කියන්නෙ මගේ ස්වාමි පුරුෂයා කමිත්. එයා තමයි මගේ කෑම නිර්මාණ ඉස්සෙල්ලම රසවිඳල ගුණාගුණ කියන්නෙ. මේ දක්වානම් කිසිම දොසත් කියලා නෑ.
ප්‍ර තාත්තා සමග ඔබ යුග ගී ගැයුවා ?
ඔව්. තාත්තා මෙරට ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පිනියන් රැසක් සමග යුග ගී ගැයුවා. “කවිකාරියේ සින්දු කියනා ළඳේ”, “නීල අහසේ සැඳෑ වලා”, “රිදී සිනු සිනාවේ”, “බොඳ මීදුම් කඳුරැල්ලේ”, “සිතුවිල්ලක් විලසින්”, “රන් තරු පායන” ආදී ගීත මෙන්ම ප්ලෑෂ් බැග් ඇතුළු වාද්‍ය කණ්ඩායම් සමග ගැයූ “සඳ ලතා පායලා” වැනි ගීතත් ගැයීමට මාත් සහය දෙනවා.
තාත්තා හා මා ගැයූ අලුත්ම ගීතය තමා “සොඳුරු බඹරෙක්” නිර්මාණය.
“සොඳුරු බඹරෙක්
නපුරුමලකින්
ආයෙමත් රොන් ගන්නෙ නෑ
සියුම් හදවත්
රිදෙන හමුවක්
ආයෙමත් සිදු වෙන්නෙ නෑ”
ප්‍ර ඔබේ හදවත සසල කළ ගීයක් තියෙනවද?
තාත්තා සමග ගැයූ මුල්ම යුග ගීය කවදාවත් අමතක වෙන්නෙ නෑ. දුවකට තාත්තා කෙනෙකු දෙන අවවාද ඉන් නිරූපණය වෙනවා. දැන් එය යූ ටියුබ් නාළිකාවේ යළි දකින්න පුළුවන්.
“දුවේ බලන්නකො
අර මල් යායේ
බිඟුරෑනක් ඇවිදින්
මල් රොන් උරනා
හැටි හිමිදිරියේ
ගුම් ගුම් නද නඟමින්
ලස්සන මල් හැම
බලා ඉන්නවා
වන බඹරුන් එනකල්
යොවුන් වසන්තේ
මිහිර විඳින්නට
ගුමු ගුමු ගී අසමින්”
ප්‍ර තාත්තාගේ ඔයා දකින හොඳ ගුණාංග මොනවද?
තාත්තා කිසිම සංගීත සම්ප්‍රදායකට කොටු වුණු කෙනෙක් නොවෙයි. මං හිතන්නෙ හොඳ කලාකරුවකුගෙ මූලික හැඩයත් එයම විය යුතුයි. සරල ගීත යුග ගීත, කණ්ඩායම් ගීත, ප්‍රාසාංගික ගීත, බයිලා ගීත මේ ආදී හැම නිර්මාණයකටම එයා ඔට්ටුයි.
තාත්තා ඉක්මනින්ම සංවේදී බවට පත්වෙන කෙනෙක්. පිළිකා, වකුගඩු, හෘදය රෝග වැනි දුස්සාධ්‍ය රෝගවලට ප්‍රතිකාර ලබන රෝගීන් කරා පැමිණ ඔවුන්ගේ සිත් සැනසෙන පරිදි ගී ස්වර තුළින් හා නාද රටා තුළින් ඔවුන් පිනවා සුවපත් කළ අන්දම මට මතකයි.
ඒ වගේම සංගීතය තුළින් ප්‍රතිකාර කිරීමේ වැඩසටහන්වලට කෙතරම් කාර්ය බහුල වුවත් සහභාගී වී ඔවුන් සමග ගී ගැයූ හැටි හරිම ආදර්ශමත්. රියැලිටි ගීත තරගවල දිගු කලක් විනිසුරුවරයකු ලෙසද තාත්තා කරන සේවය විශාලයි. මා වැනි නවක පරපුරේ අයට තාත්තාගේ ජීවන රටාව තුළින් ගත හැකි ආදර්ශ කියා නිම කරන්න බැහැ.
ප්‍ර ඔයා කැමති මොන වගේ ගීත රටාවකටද?
මගේ කියල සංගීත ශෛලියක් මං දැන් හදාගෙන තියෙනවා. ඒවා ගොඩාක්ම හැඟීම් බර සින්දු, වේග රිද්ම ගීත නිර්මාණ මං අහනවා තමයි. නමුත් ඒවගෙ ගීත මගේ ශෛලියේ නෑ. ඒ වගේම Social dancing වලටත්මං ආසයි.
මං ගොඩක් සින්දු කිව්වෙ ලංකාවෙදී. ඒත් පසුගියදා නම් විදෙස් ප්‍රසංග කීපයකට ගියා. තාත්තා සමගත් විදෙස් ප්‍රසංග කිහිපයකට යන්න නියමිතයි. මා සහභාගී වූ ප්‍රසංග තිබුණේ මෙල්බන් නුවර හා සිඩ්නි නුවරයි.
ප්‍ර ආදරය ගැන ඔයාගෙ හැඟීම් කොහොමද?
ඕ... ආදරය කියන්නෙ හැමෝම ලබන්න කැමති දෙයක්. නමුත් ඒක එකිනෙකාට දැනෙන විදිහවල් වෙනස්. කාලයත් සමග එකිනෙකාගෙ හැඟීම් දැනීම් වෙනස් වෙනවා.
අපි නිතරම බලන්නෙ අනිකගේ අඩුපාඩු. ප්‍රශ්නයක් ආවම ඒකෙ ධනාත්මක පැත්ත විතරයි බලන්න ඕනෑ. ඉවසීම ඒ අතරින් වැදගත්ම සාධකය වෙනවා. දෙන්නම එක් කෙනෙක් ලෙස කිව්වත් එය පවතින්නෙ කලාතුරකින්. ආදරේ හැමදාම එක විදියට පවත්වාගෙන යන්න පුළුවන් නම් හොඳයි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි