පිරිමින්ගේ ඉවීමේ කලාව සුන්දර දෙයක් - දොන් ෂර්මන්


ඉවීම ද කලාවකි. නැතිනම් ශාස්ත්‍රයකි. සූප ශාස්ත්‍රය යනුවෙන් ඉවීමේ කලාව හඳුන්වන්නේ ඒ හේතුවෙනි. අපේ රටේ ආහාර සංස්කෘතියට සමාජයේ වෙන්වූ ඉඩකට අන් කිසිදු දෙයකට වඩා විශාල වන්නේ ද ඒ තුළ ඇති සුවිශේෂී බව නිසා ය.

සාමාන්‍යයෙන් අපේ රටේ සංස්කෘතියට අනුව නිවෙසක ආහාර පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ කාන්තාවය. ඒ සඳහා ඇයට යම් විශේෂ වූ වරප්‍රසාදයක් හිමිවී ඇති අතර, කෑමක් පිළියෙල කරන්නේ කෙසේද, ඒ සඳහා යොදන අමුද්‍රව්‍ය මොනවා ද? එය පිළියෙල කරන්නේ කවර වේලාවට ද? එය පිළිගන්වන්නේ කෙසේද යන සියලු‍ ප්‍රශ්න සඳහා පිළිතුරු ඇත්තේ ඇය ළඟය. මේ කරුණු කාරණා හමුවේ නිවෙසේ මුළුතැන්ගෙයි පැත්ත පළාතේ නොයන පිරිමි අපේ රටේ ගමක් ගමක් ගානේ මෙන්ම නගරබදව ද බහුල ලෙස දක්නට ලැබුණි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් අපේ රට තුළ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් දියුණුවීමත්‍් සමග - රට පුරා මහා පරිමාණයෙන් මෙන්ම කුඩා ප්‍රමාණයෙන්ද හෝටල් , අවන්හල් බිහි වෙද්දී මෙහි සේවය සඳහා වඩා යොමු වූයේ පිරිමි පාර්ශ්වයයි. ඒ අනුව බලද්දී සූප ශාස්ත්‍රය පිරිමින් ගේ අතට පත්වීමට ප්‍රධානම හේතු කාරණාව වූයේද හෝටල් කර්මාන්තය යි. අද වනවිට සමස්ත ලෝකය පුරා මෙන්ම අපේ රටේ ද සූප ශාස්ත්‍රය පිළිබඳව හසල දැනුමකින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ගෙනදුන් පිරිමි පාර්ශ්වය අති මහත් ය. ඒ අතරින් ඉවීමේ කලාවට සෑම මොහොතකම අලු‍තින් යමක් එක් කරමින් අපේ රට ජාත්‍යන්තරය දක්වාම ඔසවා තබන්න ට කටයුතු කළ ප්‍රවීණ සූපවේදී දොන් ෂර්මන් අමතක කළ නොහැකි චරිතයකි. ඔහු මේවන විට ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික සූපවේදීන්ගේ සංගමයේ සභාපති ලෙසද කටයුතු කරයි.

“මට සූප ශාස්ත්‍රය ගැන ඇත්තටම ආසාවක් ඇති වුණේ සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ප්‍රතිඵල එනතුරු ගෙදර සිටි කාලෙ. මම ඉතින් මගේ ඥාතිවරයකුට අයත් හෝටලයක වැඩට ගියා මේ කාලයේ. හැබැයි හැමෝම මේ කාලය තුළ කළේ පරිගණක පාඨමාලාවක්. මට ඕන වුණේ වෙනස් දෙයක්. හැබැයි උසස් පෙළත් ලියලා ඉවර වුණාට පස්සේ තමයි හරියටම මේ රැකියාවට යොමු වුණේ. මේක මම මගේ යොවුන් වියේදිම පටන්ගත්ත වැඩක්. කුඩා කාලයේ සිටම මම කැමති වුණේ මේකට. විශේෂයෙන් අලු‍ත් යමක් කරන්න. කෑම වර්ග හැදිලා එන විදිය දැක්කම ඒතුළ ආකර්ෂණීය බවක් දැනුණා මට. ඒකයි හරියටම ඉගෙන ගත්තෙ”

ඔහු සූප ශාස්ත්‍රයට අත ගසන්නේ සම්ප්‍රදායික සමාජ රාමුවකින් හෙබි කාලයකය. සාමාන්‍යයෙන් පිරිමි උයනවා යැයි සමාජය තුළ නොයෙක් මට්ටමේ අපවාද, මතවාද පැවැති කාල සීමාවකය. ඒ සියලු‍ මතවාද බැහැර කරමින් ඔහුට අවශ්‍ය වූයේ ඉවිමේ කලාවට නවතාවක් එක් කිරීමයි.

“මම සූප ශාස්ත්‍රයට පිවිසෙන කාල සීමාවේ දි පිරිමි පාර්ශ්වය මගුල් ගෙවල් වැනි විශේෂ උත්සව අවස්ථා වල ඉවුම් පිහුම් කටයුතු සිදු කළා. ඒ කාලයේ ලොකුවට පිරිමි අය මේ සඳහා යොමුවී තිබුණේ නැහැ.මම ඒ සඳහා යොමුවීම ඇත්තටම අභියෝගයක් ලෙස තමයි සැලකුවේ. අපේ අම්මා, තාත්තා වුණත් ඒ ගමනට විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ.මට අවශ්‍ය වුණේ නිර්මාණාත්මකව මේ කලාව තුළ වැඩක් කරන්නයි. පිටි පස්සෙ ඉඳලා උයලා ඉස්සරහට කන්න දෙනවා ඉස්සර. අද එහෙම නෙමෙයි. පේන්න වැඩක් කරන්න පුළුවන් වගේම නිර්මාණාත්මක හැකියාව වැඩියෙන් තියෙන අයට ඉස්සරහට එන්න පුළුවන්. කෑම හදන්න පමණක් නෙමෙයි.”

දොන් ෂර්මන් හෝටල් ක්ෂේත්‍රයට යොමු වූයේ ඉතා අඩු වයසින් බැවින් ඔහුට කටයුතු කිරීමට සිදු වුයේ හෝටල් ක්ෂේත්‍රයේ වඩා අත්දැකීම් වලින් පිරුණු හා වයසින් මුහුකුරා ගිය පිරිස් සමග ය. ඔහු කෑම කලාව පිළිබඳව ඒ පිරිසගෙන් ඉගෙනගත් දෑ බොහෝය.

“මම රැකියාවට යන්නෙ ඉතා කුඩා වයසින්. මට වඩා වයසින් මුහුකුරා ගිය පිරිස් එක්ක තමයි වැඩ කරන්න ලැබුණේ. හැබැයි මම ඉගෙන ගත්තා ඔවුන් ගෙන්. එහෙම ඉගෙන ගන්නා අතරේ තමයි සූප ශාස්ත්‍රය පිළිබඳව වැඩිදුර හදාරන්න, අලු‍ත් දේවල් සොයා යන්න මට ඕන වුණේ. මම ඒ නිසා බොහෝ රටවල්වල සංචාරය කළා. ඒ ඒ රටවල කෑම කලාව , සංස්කෘතිය, විවිධ ක්‍රමවේද අත්විඳිමින් හැදෑරුවා. අපේ රටට නැවත එන්නේ මේ දේ තුළින් නිවැරදිව ගමනක් යන්නේ කොහොම ද කියලා සූප ශාස්ත්‍රයට කැමැත්තක් දක්වන තරුණ පරපුරට නිවැරදිව ඒ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නයි.”

වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ ද සූප ශාස්ත්‍රය පිළිබඳව යම් යම් හැදෑරීම් සිදු කෙරන ආකාරයක් දක්නට ලැබෙන අතර, මේ සඳහා වයස් බේදයකින් තොරව තනි තනිව හෝ කණ්‍ඩායම් වශයෙන් ඉවීමේ කලාව ප්‍රගුණ කරනා පිරිස් බහුල වශයෙන් දක්නට ලැබේ. මේ සඳහා මේ වනවිට කාන්තා පාර්ශ්වයට වඩා පිරිමි පාර්ශ්වයේ වඩා වැඩි උනන්දුවක් දක්නට ඇති අතර යොවුන් තරුණයන්ගේ යොමුවීමද ඉහළ අගයක් ගනී.

‘“අපේ සූප ශාස්ත්‍රය වගේම අපේ සූපවේදීන් ද ජාත්‍යන්තරයට යන්න ඕන. ඒ වගේම තමයි සූපවේදය කියන්නේ ආහාර පාන කලාවට කොටු වූ දෙයක් නෙමෙයි. අද සමාජ මාධ්‍ය ඔස්සේ food design, food technology  ඉතා ඉහළින් තියෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි බොහෝ රටවල සූප ශාස්ත්‍රය හදාරන්න පුළුවන් තැන් නිර්මාණය වෙලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් තරග, වැඩමුළු පැවැත්වෙනව. සූපවේදියකුට මුළු ලෝකය පුරාම ඉතා ඉහළ ඉල්ලු‍මක් සේම ඉහළ අවස්ථා තියෙනවා. විශේෂයෙන් තරුණයන්ට. විශේෂයෙන් පිරිමි පාර්ශ්වයට නිර්මාණාත්මක හැකියාව වැඩියි. ඒ නිසා එදාට වඩා අද වෙද්දි මේ ක්ෂේත්‍රය පුරා අවස්ථා ඔවුන්ට තිබෙනවා. එදා අපට නොතිබුණු අවස්ථා රැසක් අද තියෙනවා. ඒක සතුටට කාරණාවක්.”

දොන් ෂර්මන් පසුගිය කාලය තුළ ගත කළේ විදෙස් රටකය. ඒ තුළින් සූප ශාස්ත්‍රය පිළිබඳ ඔහු ලද අත්ඇකීම් අති විශාලය.

‘“පිටරවල සූප ශාස්ත්‍රය කියන්නේ කෑම උයන එක විතරක් නෙමයි. එය සෞඛ්‍යාරක්ෂිතව හදන්නේ කොහොමද, එය ආකර්ෂණීය ආකාරයකට පිළිගන්වන්නේ කොහොමද, වැනි දේවල් පවා අයිතියි. ඇත්තටම අදටත් අපේ රටේ සූප ශාස්ත්‍රය තුළ මේ දේවල් මම දකින්නේ අඩුවෙන්. බොහෝ වෙලාවට ලොකු හෝටල් පවා උසස් ප්‍රමිතියෙන් යුතු ද්‍රව්‍ය භාවිත කරනවා අඩුයි. තාමත් අපේ රටේ පිච්චුණු තෙල්වලින් කෑම හදනවා. අපි මේ දේවල් තමයි අතහැරිය යුත්තේ. ඒ වගේම තමයි කෑම කොහොම හැදුවත් වැඩක් නෑ එය හරි ආකාරයට පිළිගන්වන්නේ නැතිනම්. එයත් සූප ශාස්ත්‍රය තුළ වැදගත් අංගයක්. මේ දේවල් නිවැරදිව වටහා ගෙන මේ ක්ෂේත්‍රයට එනවා නම් බොහෝ දුර යන්න පුළුවන්. මට අවශ්‍ය මම ඉගෙනගත් දේවල් අපේ තරුණ පරපුරට නිවැරදිව කියා දී ඔවුන් ජාත්‍යන්තරය දක්වා ගමන් කරනවා දකින්නයි.”

සුජිත් ප්‍රසංග