දොරට වඩින ’’නෙළුම් විලේ කැලුම් පෙරා’’ - ඉරංගිකා කඳනාරච්චි


‘‘පෝය සඳේ සඳකිරණින්
ලොවේ අඳුර දුරුවේවා
හදේ නැඟෙන සිල් සුවඳින් 
බවේ අඳුර වැනසේවා....’’
‘‘ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්’’
‘‘නෙළුම් විලේ කැලුම් පෙරා
පායන  දෙවිදුනු ප්‍රසාදයේ
ඔබේ සිනා සිලල ගලා
එළියයි ලොව සොඳුරේ...’’

‘තරු පාරමි මියුරු සර’ විඩියෝව තුළින් ඇසුණු මේ ගීත පෙළම ඔහුගේ ගායන සුන්දරත්වය විදහා පානවා. අවුරුදු පනහක් තිස්සේ රසික රසිකාවන් පිනවූ ඔහු අද රුවින් අප අතර නැතත් නදින් ජීවමානව රැඳී ඉන්නවා. ඒ ආදරණීය ගායන ශිල්පියා චන්ද්‍රකුමාර කඳනාරච්චියි.

එතුමාගේ ගායන ශෛලිය රැකගනිමින්‍් නව පරපුර වෙත පිරිනැමිමට සැදී පැහැදී ඉන්න ආදරණීය බිරිඳ වීණා දියණිය ඉරංගිකා සහ පුත් දහම් අද සැඳැල්ලේ. තාත්තා ගැන මුලින් අම්මගෙන් අහන්න ඉරංගිකා කිව්වා. ‘‘වීණා ඇන්ටි’ සහ ආදර නාමයෙන් නව පරපුර හඳුනන ඇයට සවන් දෙමු.

කොහොමද සැමියා ගැන මතක සටහන්?

මගේ සැමියාගෙ ගම මහනුවර. එයාගෙ පවුලම කලාවට සම්බන්ධයි. අම්මාත් ගීත ගයන්න දක්ෂයි. එයාගෙ තාත්තා කිතුනු භක්තිකයෙක්. ඒවගේම පල්ලියෙ ගීතිකා කණ්ඩායමේ නායකයා. සැමියාගෙ වැඩිමල් අයියා ඒ කාලෙ සිංහල චිත්‍රපට නළුවෙක්. අනිත් සහෝදරයො තමයි ප්‍රවීණ ගායන ශිල්පී ටියුඩර් කඳනාරච්චි හා වික්ටර් කඳනාරච්චි. වික්ටර් අයිය නම් දැන් නැතිවෙලා.

කොහොමද චන්ද්‍රකුමාරව හඳුනගත්තෙ?

පත්තරෙන් සරසවිය පත්තරේ  එයාගෙ ලිපිනය දැකලා මං එයාගෙ රසිකාවක් නිසා ලියන්න හිතුණා. ඉතින් ඒ ගමන ආදරයට මුල පිරුණා.

චන්ද්‍රකුමාර කියන්නේ දේවත්වයෙන් පිරි නිරහංකාර සුන්දර මනුෂ්‍යයෙක්. මියයන තුරු අපේ ආදරේ වෙනසක් වුණේ නෑ. අදටත් එහෙමමයි. අපි දෙන්නම ප්‍රාර්ථනා කළේ මතු සංසාරෙත් හමුවෙමු කියලා. එදාට අායිත් අපේ පවුලම එකතුවේවි.

කොහොමද එයාගේ සංගීත ගමන ඇරඹුණේ?

එයා හරිම සංවේදි චරිතයක්. මානව දයාවෙන් පිරුණු අනුන්ට අතහිත දුන්න කෙනෙක්. අපේ තිබුණා ‘පෝලෝ ලංකා’ කියලා කමිස ව්‍යාපෘතියක්. අදත් එහි දහස් ගණන් සේවකයන් පවා එයාගෙ ගුණ වර්ණනා කරනව ඇති. මෙම නිරහංකාර ගති නිසාම උපාලි කන්නංගර සංගීතවේදියා එයාට බොහොම උපකාර කළා. එයා සමග එදා සිටි ශිල්පීන් අදටත් මම හා දරුවන් සමග ඉන්නවා. 

සැමියගෙ සංගීත ගමන ඇරඹුණේ 1973 දී. ඒ ‘නෙලුම්විලේ කැලුම් පෙරා’ කියන දැනටත් ජනප්‍රිය ගීයෙන්.

ඊළඟට මම ඉරංගිකා දුව දෙසට හැරුණා.

අම්මා කීව වගේ ඒ ගොල්ලන්ගෙ ආදර කතාව හරිම සුන්දරයි. ආදර්ශවත්. තාත්තා සතුව තිබූ හදපත්ලෙන්ම ඒ සුන්දර හිනාව ළයාන්විත  කතා විලාසය මට තවමත් දැනෙනවා. ඒ ආශීර්වාදය අරන් මම  ඉදිරියට යනවා. 

ඔයා කොහොමද සංගීතයට නැඹුරු වුණේ?

තාත්තා තමයි මගේ ගුරුවරයා වගේම ජීවිතයේ වීරයා. මං ඉගෙන ගත්තෙ මියුසියස් බාලිකාවෙ. මං පාසල්  කාලේ යොමුවෙලා හිටියෙ බටහිර සංගීතයට. සංගීතය හැදැරුවේ මේරි ඈන්ඩ් ඩේවිඩ් කියන ගුරුතුමිය යටතේ. ඇය තමයි භාතිය හා සන්තුෂ්ගෙත් මුල් ගුරුවරිය. ඒ දවස්වල තරුණ පරපුර මේ සංගීතයට වහ වැටිලා හිටියෙ.

මාත් රොක්ස් සංගීතයට නැඹුරු වුණා. පස්සෙ තාත්තත් ඒ සංගීතයට ළං වුණේ මං නිසා වෙන්න ඇති මං පියානෝ වාදනයටත් දක්ෂයි.

ඒත් මම තාත්තගෙ සංගීත රටාවටත් එයාගේ ගීතවලටත් පුදුම ආකර්ෂණයක් තියෙන්නෙ. ඒවාත් රැකගෙන නව පරපුරට දෙන්නයි මගේ ලොකුම හීනය.

තාත්තා ගැයූ  ජනප්‍රිය ගීත වගේම ප්‍රචලිත නොවූ ගීත සමාජමාධ්‍ය හා රූපවාහිනිය වැනි ජනමාධ්‍ය තුළින් ජනගත කරලා. තාත්තගෙ කීර්ති නාමය රැකගන්න තමයි මගේ උත්සාහය. මගේ පුතා බිනුක සිරිවර්ධන තමයි මගේ අනාගත පැතුම. එයා තාම පුංචියි. එයා සංගීතයට නැඹුරු වෙනවනම් එයාගෙනුත් මං ඉල්ලන්නේ තාත්තාගෙ ගීත නව ලොවට ගෙනයන්න කියලා.  

තාත්තගෙ මුල්ම ගීය ගැන මතකද?

මං දන්න හැටියට තාත්තගෙයි අම්මගෙයි ආදර කතාව වටා ගෙතුණු. ‘‘මා පතන පෙම්වතී’’ ගීතයයි. ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන් තමා පද රචනය කළේ.

‘‘මා පතන පෙම්වතී
කවදා කොතනදී හමුවේදෝ’’
වීණා... විණා..
ඔබ මා සසල කළා.’’
ඔබ මා උමතු කළා?’’

තාත්තා අම්මාව හඳුන්වලා දීල තියෙන්නෙ එයාගෙ දෙවැනි අම්මා කියලා?’’ ඒ තරමට ආදරෙයි. ඒක පුදුම සෙනෙහසක්.  

තාත්තා එක්ක ඔයා ගී ගයල තියෙනවද?

තාත්ත උපාලි කන්නංගර වැනි ප්‍රවීණ සංගීතවේදීන් හා ශිල්පීන් එක්ක ගීත පටිගත කරන කොට මාත් ස්ටුඩියෝ එකට තාත්තත් එක්ක එනවා.  එතකොට වයස 9ක් විතර ඇති මට මතකයි, තාත්තා ගැයූ ‘‘සීතල වැහි පිනි’’ ගීතය එදා රෙකෝඩ් කළා. මාත් ඒ ගීතය මිමිනුවා. ඒ අහලා සේරම කට්ටිය කිව්වා දුවත් ඒ සින්දුව කියන්න කියලා. 

මගේ හම් එකත් ඒ ගීයේ ඇති.  මගෙ පුතා පුංචි කාලෙ අඬන සද්දෙත් තාත්තගෙ ‘උපන්බිම’ සීඩී එකේ රෙකෝඩ් වෙලා ඇති. ‘ගින්දර කරදර’ රෙකෝඩ් එකෙත් ඇති මල්ලිගෙ හඬ ‘‘පිනෝකියෝ’’ සීඩී එකෙත් රොකෝඩ් වුණා. මුළු පවුලෙම දායකත්වය ගීතවලට ඇති.

මාත් එක්ක තාත්තා රෙකෝඩ් කරපු පළමු යුග ගීතය තමයි ‘‘පොඩි දුවේ මගේ හුරතලී’’ එහි ජීවමාන ප්‍රාර්ථනාමය ගුණය නිසා වෙන්න ඇති තවමත් ඇහෙනවා ඇහෙනවා වගේ.

නව නිර්මාණ කරන්නෙ නැද්ද?

මං කිව්වනෙ අලුත් නිර්මාණවලට අත ගහන්න කලින් අභාවයට යන්න  නොදී තාත්තගෙ නිර්මාණ යළි නව තාක්ෂණයද උපයෝගී කරගෙන ජනගත කිරීමේ වගකීම හා යුතුකම මං කරන්නෙ.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලියූ, කුමාර සිල්වා සංගීතය කළ අප දෙදෙනා ගැයූ පොඩි දුවේ ගීතයත්, මගේ පැතුම, ගීතයත් තාත්තාගෙ ජනප්‍රියම ගීතයක් වන,‘‘ඇගේ සිනහව තහනම්’’ ගීතයෙ දෙවන පියවර වන ‘සිනහව ඇගෙ තහනම්’ නමින් රෙකෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා.

‘ඇගෙ සිනහව තහනම්’ ගීතය ගැන අදහස.

තාත්තා ප්‍රේම වියෝග ගී ගැයීමට රුසියෙක් බව රසිකයෝ පවසනවා. ඇගේ සිනහව තහනම් ගීතයේ එන අත්දැකීම් තරුණ පරපුරට පොදුයි. කේ.ඩී.කේ. ධර්මවර්ධන උපාලි කන්නංගර සුසංයෝගයෙන් එම ගීය බිහිවුණේ. රොෂාන් ප්‍රනාන්දුගේ සංගීතය තුළින්ද එය  ප්‍රචලිත වුණා. විදෙස් රසිකයන් අතරද ජනප්‍රියයි.

හැම වසරකම වෙසක් පොසොන් වැනි ආගමික උත්සවවලදි ගැයෙන ගීතයක් තමයි ‘‘පෝය සඳේ සඳ එළියෙන් ලොවේ අදුර දුරුවේවා’’ කියන ප්‍රාර්ථනා ගීතය. මුල් ගායනය තාත්තාගෙ සිඩ්නි නුවර ලංකාරාම පන්සලේදි සිංහල සංස්කෘතික සංගමයේ මෙහෙයවීමෙන් පසුගිය නව පරපුර එම ගීය ගැයුවා.

තම පියාගේ ගීත ජනගත කිරීමේදී සුවිශාල කාර්ය භාරයක් කරන්නේ චන්ද්‍ර කුමාරයන්ගේ පුත්‍ර රත්නය වන දහම් කඳනාරච්චි. ඔහු ගායකයකු පමණක් නොවේ ජාත්‍යන්තර රිදී තිරයේ කුසලතා දක්වන රංගධරයෙක්. 
වීණා මහත්මිය ඔහු සඳැල්ලට යොමු කළා.

තාත්තා මගේ ජීවමාන ආශීර්වාදය ලෙස සලකනවා. මං ඉගෙන ගත්තේ කොළඹ 07 විචලි ජාත්‍යන්තර පාසලේ. තාත්තාගෙන් ලැබෙන ගුරුහරුකම් සහ ආභාසයත් පාසල තුළින් ලැබූ සංගීත දැනුමත් මගේ කුසලතා දියුණු කිරීමට උදව් වුණා.

පාසල් තුළ කළෙත් පෙරදිග සංගීතයද?

මට කිතුනු සංගීත වැඩසටහන් හා බටහිර සංගිතයට තමයි පාසල් කාලේ යෙදෙන්න වුණේ. නමුත් තාත්තා දන්නවා මා තුළ සිටි සංගීතවේදියා ගැන. ඒ නිසා එයා මට ගීතයක්  නිර්මාණය කරදුන්නා. ‘‘හීන දකිමින්’’ එයා තාත්තාව මෙලඩි දැමූ නිර්මාණයක්. මා සංගීත වේදිකාවට යොමු වුණේ 2009දී.

තාත්තා ගැන ජනප්‍රිය ගී වගේම ප්‍රචලිත නොවූ අපූරු ගී පෙළක් ජනගත කිරීමට සැලසුම් කරගෙන යනවා. ඊට මං පෙලඹුණෙ ඒවා තුළ ඇති ආධ්‍යාත්මික රසය නිසයි.

බටහිර සංගීත අභාෂය තුළින් ඔබේම නිර්මාණ කළාද?

මම බටහිර සංගීතවේදියකු වන රිකී මාටින්ගේ ශෛලියට කැමතියි. ඒ අනුව තමයි මා පුහුණුව ලබන්නේ. තාත්තා ලියා දුන් ‘‘හීන දකිමින්’’ නම් සිංහල ගීයට මා ඉංග්‍රීසි සහ ස්පැනිෂ් සංගීත රටාව මිශ්‍ර කළා. මෙවැනි ගීත රැසක් අරන් විදෙස් සංචාරවලත් නියැළුණා. ඉතාම සාර්ථක ප්‍රසංග කිහිපයකට දායක වුණා.

ඒවගේම තාත්තාගේ ගී අතරින්  වඩාත්ම සිත් ගත්තේ ‘‘මුහුදු තෙරේ’’ නම් නොඇසෙන ගීතයයි. මට මතකයි තාත්තා ඊට පොඩි මියුසික් වීඩියෝවක් හදලා තිබුණා. ඒ වගේම තාත්තා ගැයූ ‘‘පෙම් බැන්ද සිත් බැන්ද’’ ගීතයටත් ‘‘සිතේ සතුට’’ ගීතයටත් මං ආසයි. නව සංගීතය තුළින් දෙස් විදෙස් වේදිකාවල ගයනවා.

මුහුදු තෙරේ ගීයට ඉංග්‍රීසි හා ස්පෙනිෂ් නාද  රටා එක්කළා.

සංගීතයටද ඔබේ කුසලතාව?

මම විවිධ රිද්ම රටා සොයමින් ලොව දැවැන්තයන් ඇසුරට ගියා. ඔවුන් හඳුනා ගත්තා ගායකයකුට එහා රංගධරයකුගේ රිද්මය මා ළඟ තිබෙන බව. ඒ නිසා දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට රැසකම රංගනයෙන් යෙදෙන්න වාසනාව ලැබුණා ස්පයිඩර් මෑන් වැනි. ඒ එක්සත් රාජධානියේ වෙසෙමින් ලැබූ අභාසයන් නිසයි. හැබැයි ලෝකෙ කොහේ හිටියත් තාත්තාගේ සංගීත රටාව රැක බලා දියුණු කිරීම මගේ පැතුමයි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි