එදා ඉඳලා මම වේදිකාවට සින්න වෙච්ච නළුවෙක් - ජගත් මුතුකුමාරණ
ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ "ඒකාධිපති", මකරාක්ෂයා ධවල භිෂණ, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, ජයලත් මනෝතරන්යන්ගේ අන්දරේලා, වැනි විශිෂ්ට ගණයේ වේදිකා නිර්මාණයන් රැසකට සිය රංගන දායකත්වය දුන් ඔහු වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර නම් ජනප්‍රිය චරිතයකි. පුංචි තිරය තුළ නිතර මුණ නොගැසුණත් මේ දිනවල පිරිමි ළමයි හරහා ආලින්දයට එන ඔහු වේදිකාවට වගේම පුංචි තිරයටත් නැතුවම බැරි චරිතයක්. තිරිමාන්න වලව්වේ හාමු, ඔහු නමින් ජ්‍යෙෂ්ඨ රංගනවේදී ජගත් මුතුකුමාරණ සමඟයි මේ කතාබහට සූදානම.
තිරිමාන්න හාමු මහත්තයාට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ලොකු ප්‍රේක්ෂක ආදරයක් ප්‍රතිචාරයක් ලැබෙනවා. මම මුලින්ම ස්තූති කරනවා සද්ධා මංගල සූරියබණ්ඩාරටත් මේ අවස්ථාව මට ලබා දුන්නාට. බොහොම සැහැල්ලුවෙන් මගේ කලා ගමන කරගෙන යනවා.
මේ දවස්වල පිරිමි ළමයි නිර්මාණය එක්ක විතරද වැඩ?
මේ දවස් වල පිරිමි ළමයි එක්ක විතරක් නෙමෙයි වේදිකාවත් එක්කත් වැඩ කිහිපයක් කරමින් යනවා. මගේ නාට්‍යයක් කරනවා ,"බරව කුඹුකගේ සියදෝරිස්" කියලා. ඊට අමතරව ජනක් ප්‍රේමලාල්ගේ "මේක අපේ ආණ්ඩුවක්" කියලා වේදිකා නාට්‍යකට දායක වෙනවා. ඊට අමතරව ලියන කියන දේවල් ටිකකුත් කරගෙන යනවා.
ලියන කියන දේවල් කිව්වේ පිටපත් රචනාද?
නාට්‍ය පිටපත් ලියන එකත් කරනවා. යොවුන් නවකතා කෙටිකතා එහෙමත් ලියනවා.
කොහොමද පිරිමි ළමයි එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
ඇත්තටම පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ රචක සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්තයා මගේ පරණ හිතවතෙක්. එතුමාගේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයක රඟපෑවා. මම මෙගා නාට්‍ය වල රඟපෑවෙම නැහැ. නමුත් සද්ධාගේ ඉල්ලීම මත සල්ලි පොකුරු එකේ රඟපෑවා. ඔය අතර පිරිමි ළමයි ටෙලිනාට්‍ය පිටපතත් දීලා සද්ධා ඇහුවා මේක කරමු ද කියලා. මෙගා නාට්‍යයක් නිසා මුලදි ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම ඒ පිටපත කියෙව්වාම හාමුගේ චරිතයේ පොඩි විනෝදයක් තියෙනවා කියලා හිතුවා වගේම සම්පූර්ණ කතාවටත් මට කැමැත්තක් ඇති වුණා. සද්ධාගේ කතා දිගු වුණත් එහි තිබෙන ප්‍රාසාංගික කමට මම කැමතියි.
වේදිකාවෙන් පටන් ගත්ත කලා ගමන ගැන මතක් කළොත්?
මගේ පළමු රඟබිම තමයි වීදි නාට්‍ය කලාව. ආචාර්ය ගාමිණි හත්තොටුවේගම ලංකාවේ වීදි නාට්‍ය කලාවේ ආරම්භකයා, ඔහු තමයි මගේ නාට්‍ය ජීවිතේ මුල්ම ගුරුතුමා. මගේ නාට්‍ය පාසල වුණේ වීදි නාට්‍ය. මම ඉගෙන ගන්න කාලේ තමයි වීදි නාට්‍ය වලට එන්නේ. එතනින් කෙටි නාට්‍ය හරහා තමයි දිගුනාට්‍ය කලාවට එන්නේ. ඊට පස්සේ මම කාර්මික අභ්‍යාස ආයතනයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කළා. එතැනින් මම හොරණ විද්‍යාරත්නෙට යනවා ගුරුවරයෙක් ලෙස. ගුරු වෘත්තියේ ඉන්න ගමන් නාට්‍යය වැඩත් කරගෙන ගියා. එදා ඉඳලා මම වේදිකාවට සින්න වෙච්ච නළුවෙක්. ඒකට මම ආසයි.
වේදිකාවෙන් ටෙලි නිර්මාණවලට ගත් පන්නරය කොහොමද?
රංගනය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ වේදිකාවෙන්. රංගනයේ හතර කොන ගැන දැනගත්තෙත් වේදිකාවෙන්. සිනමාවට ටෙලි තිරයට ඉදිරිපත් කරන ක්‍රමවේදයන් වෙනස් වුණත් ඕනම චරිතයකට හැඩගැස්වීමට අවශ්‍ය දැනුම ලැබුණේ වේදිකාවෙන්.
ධර්මසිරි බණ්ඩාරනායක වැනි නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයෙක් එක්ක නිර්මාණ කිහිපයක වැඩ කරන්න ලැබුණා. එතුමන්ගෙන් මම චරිත නිරූපණය පිළිබඳ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
ඔබ පුංචි තිරයෙන් බොහෝම අඩුවෙන් දකින්න ලැබෙන චරිතයක්. පිරිමි ළමයි නිර්මාණය එක්ක එකතු වෙන්න විශේෂ හේතුවක් තිබුණාද?
පුංචි තිරයේ මම හිටියා. පුංචි තිරයේ ඒ හැම නිරූපණයක්ම මම කරලා තියෙන්නේ ළමයි වෙනුවෙන්. මම කරන චරිතයෙන් මට සතුටක් ලබන්න බැරිනම් ඒ නිර්මාණ බාරගන්නේ නැහැ. ටෙලිනාට්‍ය චරිතවලටත් ආරාධනා ලැබුණා. නමුත් මට තෘප්තිමත් විය හැකි සතුටක් ලැබිය හැකි චරිත ලැබිලා නැහැ. ශිවගුරුනාදන් සහ සද්ධා ඇතුළු මේ පිරිමි ළමයි කණ්ඩායම තුළ මට කිසිම වෙලාවක දැනුණේ නැහැ. මේක මෙගා නාට්‍යයක් කියලා. මම ඒ කාර්යය කරන්නේ බොහොම සතුටෙන්.
තිරිමාන්න හාමුගේ චරිතයට බොහෝදෙනා විවිධ අර්ථකථන දෙනවා.
තිරිමාන්න වලව්වේ හාමිනේට බොහොම යටහත් පහත් වෙච්ච කෙනෙක් විදිහට තමයි හාමු මහත්තයාව අර්ථකථනය කරන්නේ. විවිධ අය විවිධ විදිහට ඒ චරිතය කියවගෙන තියෙනවා. සමහර අය හාමු දකින්නේ නිවට චරිතයක් විදිහට. තමන්ගේ බිරිඳට බය පක්ෂපාතිත්වයක් එක්ක ජීවත් වෙන චරිතයක්. එතන බයකට වඩා තියෙන්නේ උපායශීලි බවක්. මේ චරිතය ඇත්තටම වෙනස් චරිතයක්. මගේ ජීවිතේ එක්ක ගත්තාම තිරිමාන්න හාමු කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. හාමුගේ චරිතය පෙනෙන තරම් නිවට නැහැ. ඔහුගේ බැල්ම තුළින් බොහෝ දේවල් කියනවා.
මගේ හාමිනේ එක්ක පාරේ යනකොටත් සමහර අය අහනවා ගෙදරදිත් අකුරණ හාමිනේට වගේම බයද කියලා. තිරිමාන්න හාමුට වඩා ජගත් කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්.
පෞද්ගලික ජීවිතේ හාමිනේ ගැනත් කියමු ?
මගේ හාමිනේ ගේ නම් දමයන්ති හුලුගල්ල. ඇය හරිම ගුණ යහපත්. මට හරි සහයෝගයයි. අපිට දරුවෝ තුන්දෙනයි ලොකු පුතා තුසර චාමිකර මුතුකුමාරණ. එයත් කලාවට සම්බන්ධවෙලා කලින් වැඩ කළා. දෙවැනි පුතා පුලසි මුතුකුමාරණ, බාලම දුව කිවිඳි සමන්ගා මුතුකුමාරණ බාල දුවත් කලා නිර්මාණ වලට දායක වෙලා තියෙනවා.
වේදිකාවේ ඔබ කොච්චර දැවැන්ත චරිතයක් වුණත් ඔබව හොයන්න ගන්නේ පිරිමි ළමයි ටෙලි නාට්‍යයෙන් පස්සේ ?
ඇත්තටම තරුණ ප්‍රජාව අතර මම කවුද මොනවද කරලා තියෙන්නේ කියලා ගොඩාක් අය දන්නේ නෑ. කොෙහද හිටියේ ? කොහෙන්ද එක පාරටම ආවේ. ඒ නළුවා අලුත් කෙනෙක් ද? එහෙම අහන අයත් ඉන්නවා. මාව ගොඩාක්ම දන්නේ ඉතින් වේදිකාව එක්ක ඉන්න ප්‍රේක්ෂකයෝ තමයි. දැන් ඉතින් තිරිමාන්න හාමු නිසා පුංචි තිරයෙත් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.
නදිශා අතුකෝරළ