කිරුළ ඉමේෂ්ට


යම් දෙයකින් ජයග්‍රහණය කරන්නට වුවමනා නම් ජයග්‍රහණය ගැන සිතිය යුතුය. එය දැකිය යුතුය. ඒ වෙනුවෙන් වැඩ කළ යුතුය. එලෙසින් ජයග්‍රහණය වෙනුවෙන්ම කැප වූ ඔහු අවසානයේ ජයග්‍රාහකයා බවට පත් විය. ඒ පසුගියදා අවසන් වූ ජාත්‍යන්තර වොයිස් තරගාවලියේ ජයග්‍රාහකයා වූ ඉමේෂ් සංදීපයි. රසවත් හඬින් හින්දි ගීත ගයනා ඔහුගේ හඬ සිත නිවනා හඬකි. කෝච් සුපුන් පෙරේරාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඉමේෂ්ගේ ගායනාවන් වාර කිහිපයක්ම වොයිස් ග්ලෝබල් හි විකාශය වී ඇත.

ප්‍ර ජයග්‍රාහකයෙක් වීම දැනෙන්නේ කොහොම ද ?

ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. මම මේ තර`ගේ වෙනුවෙන් අවුරුදු තුනක් තුනහමාරක් තිස්සේ කැපවුණා. වොයිස් සීසන් ටූ එක බලද්දී මම හිතුවා සීසන් ත්‍රී එකට ඉදිරිපත් වෙනවා කියලා. එදා ඉඳලා මම මේ වෙනුවෙන්ම කැප වුණා. ඇත්තටම මම ජයග්‍රාහකයා වෙන්නම ඕනේ කියලා හැඟීමක් නෙමෙයි තිබුණේ අවසන් හතර දෙනා අතරට ඇවිල්ලා වේදිකාවේ ගී ගායනා කරන්නයි ආසාව තිබුණේ.

ප්‍ර ජයග්‍රාහකයෙක් වෙනකම් ආව ගමන ගැන කිව්වොත්.

මම අවුරුදු කීපෙකට කලින් කොළඹ එනවා. ඒ එන්නේ මගේ ලොකු තාත්තාගේ වර්ක් ෂොප් එකක වැඩ කරන්න. ඔය අතරේදී තමයි වොයිස් සීසන් 2 එක දැකලා මටත් වොයිස් යන්න ආසා හිතුණේ. මොකද මට ඕනේ වුණා මිනිස්සුන්ගේ හදවතේ රැඳෙන දෙයක් කරන්න. වොයිස් ජාත්‍යන්තර වේදිකාව ඒ වෙනුවෙන් ගැළපෙනවා කියලා හිතුණා. මොකද ඉන්ටර්නැෂනල් කොලිටි එකට කරන ඒ වැඩසටහන මුළු ලෝකෙම අවධානයට යොමු වෙනවා. ඉතින් මම ප්‍රයිවෙට් කෝච් කෙනෙක් එක්ක මියුසික් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. දවසට පැය හයක් හතක් සංගීතය වෙනුවෙන්ම කැප වුණා. එහෙම පුරුදු වෙලා තමයි වොයිස් සීසන් 3 එකට ඇප්ලයි කළේ.

විශ්වාස කරන්න ඉස්කෝල කාලේ සංගීතය ඉගෙන ගත්තට කවදාවත් වේදිකාවට නැඟලා සිංදුවක් කියලා නෑ. කිසිම සංගීත තරගයකට ඉදිරිපත් වෙලා නෑ. මම ඉදිරිපත් වුණු පළවෙනි තරඟේ, පළමු වතාවට වේදිකාවක ගීතයක් ගායනා කළේ වොයිස් වේදිකාවේදී.

ප්‍ර මේ ගමනේදී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොම ද?

ඇත්තටම මුලදී නම් ගෙදරින් වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. මොකද ආර්ට් ප්ලැට්ෆෝර්ම් එකක ස්ථාවර වෙන එක පහසු දෙයක් නෙමෙයි නිසා. ඒත් මම ගෙදර අයට කිව්වා මම මේකේ අවසන් වටයට වෙනකම් යනවා. ජයග්‍රාහකයෙක් වෙනවා කියලා. මම එයාලට බලාපොරොත්තුවක් දුන්නා. ගෙදර අය මාව විශ්වාස කරලා මගේ ගමනට උදව් කළා ඊට පස්සේ.

ඇත්තටම මට වැඩිපුරම සහයෝගයක් දුන්නේ මගේ ලොකු තාත්තායි මාමායි. මගේ මාමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වෙන සුරංග ලක්මාල්. ලොකු තාත්තා තමයි මුලින්ම මට ඉන්ස්ටෘමන්ට් එකක් අරන් දුන්නේ. ඒ කීබෝඩ් එකක්. මාව ක්ලාස් යවන්න, කොළඹ තියාගෙන මගේ වැඩවලට උදව් කරන්න එයා ගොඩක් මහන්සි වුණා. මාමාත් එහෙමයි.

ප්‍ර වොයිස් තරඟයේදී මුහුණු දුන්නු අභියෝග මොනව ද?

වොයිස් එකේ බ්ලයින්ඩ් එකට එන එකම ලොකු අභියෝගයක්. ඔඩිෂන් පහකින් පස්සේ 160 දෙනෙක් තෝරා ගන්නවා බ්ලයින්ඩ් එකට. ඒ 160ට තේරෙන එකම ලොකු දෙයක්. තරගෙට එකතු වෙන හැමෝම දක්ෂයෝ. දක්ෂ නෑ කියන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ, ඒ හැමෝම අභියෝගයක් වුණා. හැම මොහොතක්ම අභියෝගයක් වුණා.

ප්‍ර ඔබගේ කෝච් විදියට කෝච් සුපුන්ව තෝරා ගන්න හිතුවේ ඇයි ?

මම පුද්ගලයෙක් විදියටයි, ගායකයෙක් විදියටයි කෝච් සුපුන්ට කලින් ඉඳලම කැමැතියි. එයාගේ ගායන ශෛලයත් මම කැමැතිම විදියේ ශෛලයක්. බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදී කෝච් සුපුන් වගේම කෝච් හිරුෂිත් මම වෙනුවෙන් හැරුණා. එතෙන්දී කෝච් සුපුන් මම කියපු සිංදුව ගායනා කරලා වෙනමම විදියකට මාව අගය කළා. දෙපාරක් හිතන්න දෙයක් තිබ්බේ නෑ මට කෝච් සුපුන්ව තෝරා ගන්න.

ප්‍ර කොහොමද ඔයාට කෝච් සුපුන්ගෙන් ලැබුණු සහයෝගය?

මට කෝච් එක්ක වැඩ කරන්න හම්බවුණේ බැටල්ස් රවුන්ඩ් එකේ ඉඳලා. එදා ඉඳලා ෆයිනල් වෙනකම් මට ලොකු සහයෝගයක් ලැබුණා. සෝන්ග් සිලෙක්ෂන් කෝච්ගේ. මොනවා හරි දෙයක් තේරෙන්නේ නෑ කිව්වම, මහ රෑට වුණත් වේලාවක් ආවේලාවක් නැතුව කෝල් එකක් දීලා, නැත්නම් වොයිස් මැසේජ් එකක් හරි එවලා මට උත්තර දෙනවා.

ප්‍ර කම්පෙටිෂන් එකේ වැඩිපුර ජනප්‍රිය වුණේ හින්දි සිංදු කියලනේ. ඉස්සරහට හින්දි සිංදුවක් කරනව ද? සිංහල සිංදුවක් කරනව ද?

හින්දිවලින් ජනප්‍රිය වුණාට සිංහල සිංදුවක් තමයි කරන්නේ. මොකද මම වෙනුවෙන් එස්එම්එස් කරපු, මට වචනෙකින් හරි උදව් කරපු මගේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ලංකාවේ කෙනෙක් විදියට සිංහල සිංදුවකින් ඉස්සරහට එන්නයි කැමැතියි. මගේ ඔරිජිනල් එකක් කරන්න අදහසක් තියෙනවා.

ජයග්‍රාහකයෙක් වීමට පැමිණි ගමනේදී වචනයකින් හෝ උදව් කළ සියලු දෙනාම ඉමේෂ් ගෞරවයෙන් සිහිපත් කරන්නටත් අමතක කළේ නෑ. ඉමේෂ්ට සුබ පැතුම් එක් කරමින්ම පිට පිට දෙවරක් ’ජයග්‍රාහී කෝච්’ බවට පත් වෙමින් ලෝක වාර්තාවක් තැබීමට සමත් වූ සුපුන් පෙරේරාට ජයග්‍රහණය දැනෙනා අයුරු විමසන්නටත් අප අමතක කළේ නෑ.

ප්‍ර දෙවරක්ම ජයග්‍රාහකයෙකුගේ කෝච් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් ලොකු සතුටක් තියෙනවා. වොයිස් සීසන් ටූ එකේදී පළවෙනි වතාවට ෆිෆ්ත් කෝච් විදියට මම ආවේ. ඒකේදී තරගයෙන් ඉවත් වුණු තරගකරුවන්ව මම ආයෙමත් වේදිකාවට අරගෙන ආවා. රමියා කියන්නේ ඒ විදියට ඉවත් වෙලා ඉඳලා ආයෙමත්, වේදිකාවට ගෙනත් ජයග්‍රාහකයෙක් වුණු කෙනෙක්. ඒක ඇත්තටම ලෝක වාර්තාවක්. ඒ වගේම ෆිෆ්ත් කෝච් විදියට ඇවිත් ජාත්‍යන්තර වොයිස් තරගාවලියේ ජයග්‍රාහකයෙක් බිහි කරපු දෙවෙනි කෝච් මම. ආඩම්බරයි ඒ ගැන.

මේ සැරේ මේන් කෝච් විදියටම ඇවිත් මගේ ශ්‍රමය කාලය සෑහෙන්න කැප කරලා ජයග්‍රාහකයෙක් බිහි කරන්න ලැබුණා. ඒ වගේම මේ ආපු ගමන උපාය මාර්ගික සැලසුම් එක්ක ආව ගමනක්. දක්ෂයින් අතරින් අති දක්ෂයින් තෝරාගෙන ඔවුන්ව ඉදිරියටම ගෙනිහින් ලයිව් වටවලදී ජනතාවට බාර දෙන්න ඕනේ. ඒ වටවලදී ජනතාව ඉමේෂ්ව වගේම මාවත් විශ්වාස කරලා වෝට් කළා. ඒ වෝට් නිසයි අද මේ විදියට ජයග්‍රාහකයෙක් වෙලා ඉන්නේ ඉමේෂ් වගේම මමත්. ඔවුන්ට බොහොම ස්තූතියි කියනවා. සැලසුම් කරපු විදියට හැමදේම සිද්ධ වීමත් සතුටක්. මම දන්න විදියට මේ සැරෙත් ලෝක වාර්තාවක් තියෙනවා තමන් කෝච් කෙනෙක් විදියට ආව මුල්ම වතාවන් දෙකේදීම පිට පිට ජයග්‍රාහකයෙක් බිහි කිරීම සම්බන්ධයෙන්.

ප්‍ර රමියා එක්ක වගේම ඉමේෂ් එක්කත් ගීයත් කරන්න බලාපොරොත්තු වෙනව ද?

ඔව් නුදුරේදීම දෙන්නම එකතු වෙලා ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍ර තරගකරුවන් පුහුණු කිරීමේදී මුහුණු දුන්න අභියෝග මොනවද?

ලොකුම අභියෝගේ තමයි එක  එක විදියේ පර්සනැලිටි තියෙන, විවිධ බලාපොරොත්තු තියෙන තරගකරුවන් එක්ක කටයුතු කරන එක. එතෙන්දී මම සංගීතය පුහුණු කරන කෝච් කෙනෙක් විතරක් වෙලා බෑ. මම මෙන්ටර් කෙනෙක් වෙන්න ඕනේ මොකද එයාලගේ මානසිකත්වය ඉහළ නංවන්න ඕනේ නිසා. ඒ වගේම මම එයාගේ යාළුවෙක් වෙන්න ඕනේ. හැම තරගකරුවෙක්ගෙම දක්ෂතා දුර්වලතා වෙන වෙනම අඳුනගන්න ඕනේ. වෙන වෙනම ක්‍රමවේදයන් එයාලා වෙනුවෙන් භාවිතා කරන්න ඕනේ එයාලට අවශ්‍ය දැනුම ලබා දෙන්න ඕනේ. උපාය මාර්ගික සැලැස්මන් තියෙන්න ඕනේ හැම තරගකරුවෙක් වෙනුවෙන්ම. සුළු පටු අභියෝගයක් නෙමෙයි කෝච් කෙනෙක් වෙන එක.

ප්‍ර ඉමේෂ්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද පුහුණු වීම්වලදී?

ඉමේෂ් අද වෙද්දී ජයග්‍රාහකයෙක් වෙලා ඉන්නේ එයා එයාගේ උපරිමේ මට දුන්නු නිසා. මම මගේ උපරිමේ දුන්නා වගේම අනිත් පැත්තට ඉමේෂ් එයාගේ උපරිමේ දුන්නා. හෝම්වර්ක් හරියට කළා. හැම තරග කරුවෙක්ම මහන්සි වුණාට ඉමේෂ් ඊට වඩා ඒ වෙනුවෙන් කැපවෙලා මහන්සි වුණා.

ජයග්‍රාහී ඉමේෂ් සංදීපට වගේම, කෝච් සුපුන්ටත් සඳැල්ල අපේ සුබ පැතුම්.

පවනි උමයංගනා