කාන්තා ඔබේ බාහිර හා අභ්‍යන්තර සුන්දරත්වය රුකගන්න ව්‍යායාම කරන්න



තොරතුරු - ක්‍රිෂාන් විදුරංග
NVQ 04 
(Physical Fitness Instructor)
Physical Education Sport Management - Diploma 
(Kelaniya University)
Knight Fitness - Gampaha


‘මේ ගෙදර කරන සුමේ මඳැයි.. වෙන මොන ව්‍යායාම ද?’ බහුතරයක් කාන්තාවන්ට ව්‍යායාම කරන්න යැයි පැවසුවොත් ලැබෙන පොදු පිළිතුර මෙයයි.

නිවසක ගෘහ මූලිකයා පිරිමියා වුවත්, නිවසේ කුදු මහත් වැඩ කටයුතු සියල්ල සිදු කරන්නේ බහුතරයක් කාන්තාව විසින්. රැකියාවක නියැළෙන කාන්තාවකට නම් රැකියාවේ කටයුතු සමඟින් නිවසේ කටයුතු ද කරන්නට සිදු වේ. දරුවන් සිටී නම් දරුවන්ගේ කටයුතුවලට ද අවධානය යොමු කරන්නට වෙන නිසා තමන් වෙනුවෙන් ගත කරන කාලය සීමා වේ.

රැකියාවක් කරන කාන්තාවන්ට කාල වේලාවේ ගැටලුවක් තිබුණත් රැකියාවක් නොකරන කාන්තාවකට ඇති විශාලතම ගැටලුව වන්නේ, ලැජ්ජාවයි. ව්‍යායාම පිණිස පාරක් දිගේ හෝ නිවස වටා හෝ ඇවිදින්නට ඇය ලැජ්ජාය.

බහුතරයක් කාන්තාවෝ විවාහයෙන් පසු, දරුවන් ලැබීමෙන් පසු, තරබාරු වන්නේ, සිරුරේ සුන්දර හැඩය වෙනස්වීම්වලට බඳුන් වෙති. එපමණක් නොවේ, ජානමය රෝග තත්ත්වයන්ට අමතරව බෝ නොවන රෝගයන්ගෙන් ද පීඩා විඳිති.

මෙලෙස සිදු වීමට ප්‍රධාන හේතුව වන්නේ ව්‍යායාමවල නිරත නොවීමයි. තමන් ගැන සිතනවාට වඩා පවුලට අවධානය දී තමන් වෙනුවෙන් වේලාවක් නොමැති වීමයි. එලෙසම සමාජයේ ඇති බලපෑම් ද, මති මතාන්තර ද ඔවුන්ව ව්‍යායාමවලින් වළකයි.

කාන්තාවන්ට ව්‍යායාම කරන්නට නොහැකි වෙන්නේ ඇයි?
අපි මේ ගැන විශ්ලේෂණය ඔස්සේ 
විමසා බලමු ද?

ස්වොට් ඇනලිසිස්  

S - Strength 
W - Weakness  
O - Opportunities  
T - Threat

ශක්තින්

මානසික අතින් බොහෝ සේ ශක්තිමත්ය.
වැඩ කිහිපයකට එක් වර අවධානය ලබා දිය හැකිය.
රැකියාවක නියැළෙන කාන්තාවකට නම් මුදල් ඇත.

දුර්වලතා

ආහාර රටාවල ගැටලු
මුදල් ගැටලු
ජානමය හෝ බෝ නොවන රෝග.
වේලාවක් නොමැති වීම
දරුවන්ගේ කටයුතු

වාසි

අලු‍ත් තාක්ෂණික සහය ඇත.
කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ සුම්බා, ඇරබික්ස් වැනි ව්‍යායාම අවස්ථා ඇත.
දැඩි ආත්ම ශක්තියක් ඇත.
පාසල් වියේ දරුවන් සිටී නම්, දරුවන් පාසල් ගිය පසු නිදහස් කාලයක් ඇත.  

තර්ජන  

දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වැය කරන්නට සිදු වීම
පවුලේ වගකීම් වැඩිවීම
ශාරීරික රෝගාබාධ
සාමාජීය බලපෑම්
පවුලේ බලපෑම්
සැමියාගේ අකැමැත්ත.
මාසික ආර්තවය

මෙම විශ්ලේෂණය අනුව කාන්තාවන්ට ව්‍යායාම කිරීමට බාධා රැසකි. විශේෂයෙන්ම සමාජයට ඇති බිය, පවුලේ බලපෑම් නිසා කාන්තාවන් ව්‍යායාම කෙරෙහි ඇති ආශාව අත ඇර ඇත. සමහර ව්‍යායාම්ගාරවලට යෑමට අකැමැත්ත දක්වන්නේ එහි සේවය කරන පුද්ගලයින්ගේ අනවශ්‍ය බලපෑම් එල්ල වන බවට ඇති මති මතාන්තර නිසාය.

එලෙසම මාසික ආර්තවය, එසේත් නැතිනම්, පීරියඩ්ස් ද කාන්තාවන් ව්‍යායාමවලින් ඈත් කරවයි. මාසික ආර්තවය ඇති දිනවලට ව්‍යායාම්වල නියැළෙන්න එපා යැයි මතයක් ඇති නිසා කාන්තාවෝ ව්‍යායාම කිරීමට බියක් දක්වති. බොහෝ අපහසුතා සිරුරට දැනෙන්නේ ව්‍යායාම නැතිකම නිසා යැයි පැවසුවොත් ඔබ විශ්වාස කරනව ද..? දිගින් දිගටම ව්‍යායාමවල නියැළෙන කාන්තාවන්, මාසික ආර්තවය නිසා ඇතිවෙන පීඩාවන් දරාගැනීමට සමත්ය. ඔවුන්ට දරා ගැනීමට නොහැකි තරම් අපහසුතාවක් දැනෙන්නේත් නැත.

දුර්වලතා හා තර්ජන කෙතරම් තිබුණත්, ආත්ම ශක්තියෙන් ඉහළ කාන්තාවන්ට තමන් වෙනුවෙන් වේලාවක් වෙන කර ගත හැකිය. නිවසින් පිටතට යෑමට අවස්ථාවන නැතිනම් ඔන්ලයින් ඔස්සේ කාන්තාවන් වෙනුවෙන් ඇති ව්‍යායාම අවස්ථා සඳහා සහභාගී විය හැක. පිරිමි හා ගැහැණු දෙපාර්ශ්වයම සිටිනා ව්‍යායාමගාරවලට යෑමට අකැමැති නම්, කාන්තාවන් වෙනුවෙන් පමණක් සීමා වූ සුම්බා, ඇරබික්ස් වැනි ව්‍යායාමවලට සහභාගී විය හැකිය.

රැකියාව, නිවස, පවුල සේම සමාජය නිසා ද මානසික අවපීඩනයට ලක් වී ඇති, නිතර දැඩි වෙහෙසක් දැනෙනා, තමන්ගේ බාහිර සේම අභ්‍යන්තර සුන්දරත්වය අමතක කර සිටිනා, නිසි නින්දක් නොලබනා සියලු කාන්තාවන් ව්‍යායාමවල නිරත වෙන්නට වේලාව සොයා ගන්නවා යනු මේ සියලු ගැටලුවලට විසඳුමකි. සුව නින්දකින් පසු උදෑසන අවදි වී සුන්දරව සිනාසී සුබදායක ලෙසින් දිනය පටන් ගැනීම, කාන්තා ඔබට සේම නිවැසියන්ට ද සුබ ය.

පවනි උමයංගනා