කවි රස දන්නෝ සිත් පිනවන්නෝ


කවි රස දන්නෝ - සිත් පිනවන්නෝ
කවි නොම දන්නෝ - කුමට උපන්නෝ
කලා රසය හඳුනන සිත්
රටකට හොඳ සම්පතක්ය
එයට අවැසි සංවේදී
පිරිපුන් දරු පරපුරක්ය
මත්කුඩු හොර මැරවරකම්
දුරලන්නට අත්වැලක්ය
සාහිත අඳ මිනිස්සුන්ට
පෙනුම ගෙනෙන මෙවලමක්ය.


යම් දිනෙක කලාවට ලැදි පරම්පරාවක් බිහිවන්නේද එදින විනය ගරුක, හික්මීමක් ඇති සංවේදී මිනිසුන්ගෙන් පිරි රටක් නිර්මාණය වන බව කලාකරුවන්, සාහිත්‍යවේදීන්, විද්වතුන් නොයෙක්වර ප්‍රකාශ කරනවා මම අසා ඇත්තෙමි. කලාවේ ප්‍රධාන අංගයක් වන්නේ සාහිත්‍යයයි. එහි පතාක යෝධයන් හා සමවන්නේ ගීතය හා කවියයි. ගීතයකට හා කවියකට ඕනෑම දරදඬු, දඩබ්බර වූ සිතක් මෙල්ලකර, හීලෑකර අත්ත නමා ගත්තාක් මෙන් නම්‍යශීලී කර ගැනීමේ මහා බලගතු හැකියාවක් ඇත්තේය. මේවාට සමාජයක් වෙනස් කර නිවැරදි ඉසව්වකට රටක් හැඩගැස්විය හැකිය.


රසය ආත්මය කොටගත් වාක්‍ය කවිය නම් වේ යැයි විශ්වනාථයන් සඳහන් කරන අතර, රමණීය අර්ථසම්පාදනය කරන ශබ්දය කාව්‍යයයි. ජගත්නාථයන් අර්ථ දක්වනු ලැබ ඇතැයි තංගල්ලේ දයා විජේසේකර කිවිඳියගේ ‘කවි ගී නද’ කාව්‍ය සංග්‍රහයට පසුවදනක් ලියන තිහගොඩ ජයසිරි රුවන් පතිරණ කිවිවරයාණන් අර්ථ දක්වා ඇත. කවිය වූ කලී මානව ශිෂ්ටාචාරය සතු ශ්‍රේෂ්ඨ කලා මාධ්‍යයක් බව සඳහන් කිරීම සනාථ කරනුවස් කරුණු කාරණා බොහෝය. කවිය කවදා කෙලෙසක කොතැනින් උප්පත්තිය ලද්දේ යැයි උප්පැන්න සහතිකයක් දිය නොහැකි තරමට දිගු ඉතිහාසයක් ඇත. ඈත අතීතයේ පටන් චින්තනයට මෙන්ම රසවින්දනය සඳහා ඉවහල් වූ කවිය ජන ජීවිතය හා බද්ධානුගතය.


ධනපාල ගමේ තරුණයෙකි. ලද අධ්‍යාපන සුදුසුකම් මත ඔහුට රැකියාවක් ලැබුණේ අගනුවර රජයේ කාර්යාලයක ලිපිකරුවෙකු වශයෙනි. සිය නිවසේ සිට රාජකාරී සඳහා යාම් ඊම් කිරීම කෙසේවත් කළ නොහැකි තරමට දුරබැහැර වූ බැවින් ඔහුට බෝඩිම්ගත වන්නට සිදුවිය. ඉඳුම් හිටුම් පමණක් නොව අමතර මුදලක් ගෙවීමෙන් අනතුරුව කෑම් බීම් පහසුකම්ද තිබිණ.


ධනපාල ශිෂ්‍යයෙකුව සිටි අවධියේ සිට බොහෝ සේ කවියට ඇලුම් කළේය. කවිය ඔහුගේ ජීවිතයම විය. පාසලේ සාහිත්‍ය සමිතියට ඔහු කවිය තුළින් අපූරු රසයක් මුසු කළේය. පාසලේ කුමන උත්සවයක් පැවැතියද ඔහුගේ එම හැකියාවට යම් ඉඩක් වෙන් කර දී එය තව තවත් ඔප්නංවා ගැනීමට ගුරු මණ්ඩලයෙන් ලැබුණේ මහා අත්වැලකි.


එම කුලී නිවසේ සිට දූ සිඟිත්ත සිරියලතා නම් වූවාය. ඇය නියඟලාමලක් මෙන් බොහෝ සෙයින් හැඩ වැඩ ඇත්තියක්ද වූ අතර, ධනපාල සමඟ පෙම් පළ හිලව්වක පටලැවෙන්නට වැඩි කලක් ගත වූයේ නොවේ. ඒ සඳහා ඔවුනට බාධක වැට කඩොලු ඉදිවූවේ ද නැත. දිනක් සිදුවූයේ අපූරු සිද්ධියකි. ධනපාල රාත්‍රී කෑම ගැනීමට සූදානම් විය. සිරියලතා මුළුතැන්ගෙයි යම් කටයුත්තක නිරතව සිටියාය. ධනපාල වෙතින් ඇයට අසන්නට ලැබුනේ මෙවන් කවියකි.


සිරියලතා මෙහි එන්ඩ
මේ අසිරිය දැක ගන්ඩ
උඹලගෙ අම්මගෙ කොණ්ඩ
කටුව බෙදල මට කන්ඩ


මෙවන් වූ ඉතාමත් බැරෑරුම් බරපතළ අමිහිරි අවසානයකින් කෙළවර වියයුතු තත්ත්වයන් යටතේ පවා සාහිත්‍යයට ලැදි, කාව්‍යයට පෙම්බැඳි කෙනෙකුගේ ප්‍රතිචාර ඇත්තටම හාස්‍ය ජනකය. නම්‍යශීලී, හික්මීමක්, ඉවසා දරාගැනීමේ හැකියාවක් ධනපාල සතුව තිබුණේ නොවිනි නම්, වෙනත් බෝඩිමක් සොයන්නට ඔහුට සිදුනොවන්නේ යැයි ඔබට සිතෙන්නේ නොවේද?


දිනක් යහළුවන් සිව්දෙනකු මහමගදී හමුව ආගිය තොරතුරු කථා කරමින් සිටියහ. ඔවුන් සියලු දෙනාම කවිය තම ආත්මය කරගත්තෝ වූහ. හිටි හැටියේම අහස කළු වී වැස්සක් ඇදහැලෙන්න අවැසි යටිතල පහසුකම් ගොඩනැගෙන්නට විය. ඒ අතර එකෙකු මෙසේ කීවේය.


‘‘අහස කළු වෙනවා’’
‘වැස්සක් ළඟම එනවා’ යැයි දෙවැන්නා කීවේය
‘‘මම ගෙදර යනවා’’ තෙවැන්නා කී අතර ..............
‘මොනවා’ යැයි සිව්වැන්නා කීවේ අපූරුවට පද ගලපා කවිය සම්පූර්ණ කරමිනි.


පසුගිය යුධමය කාලවකවානුවෙහි මන්නාරම ඓතිහාසික ලන්දේසි බලකොටුව තුළ යුධ හමුදා කඳවුරක් පිහිටුවා තිබිණ. මම එහි රාජකාරි කරමින් සිටියෙමි. එහි ඇතුළත ළිඳක් තිබූ අතර, කරදියෙන් වට වුවද එහි වතුර කිවුල් රසින් තොර විය. එබැවින් කඳවුරේ බොහෝ දෙනෙකු පාහේ බීමට හැර සෙසු අවශ්‍යතා සපුරාගත්තේ මෙම ළිං ජලයෙනි. එමෙන්ම මෙම ස්ථානය බොහෝ විට කාර්යය බහුල වූ අතර, කවුරුන් හෝ නොමැති අවස්ථාවක් නැති තරම් විය. මෙම ළිඳ අසලම බිම් ගෙයක් පිහිටා තිබෙනු අද ද දැකිය හැකිය. එදා පැරණි රජ දවස ඕලන්ද ආක්‍රමණයෙන් පසු දෝනකතිරිනා රජ කුමරිය එහි රැඳී සිටි බවට ජනප්‍රවාදයේ ඇත. දිනක් මා ස්නානය සඳහා එහි ගිය විට පහත සඳහන් කවිය බිත්තියෙහි අඟුරු වලින් ලියා තිබෙනවා දුටුවෙමි.


ඕලන්දයෙන් විත් මෙහි බලකොටු තැනුණා
උතුරේ සිහල බලතල තරමක් බිඳුණා
රජ පෙළපතට ඉන් පොඩි පහරක් වැදුණා
සිටියේ මෙතැන කුමරිය දෝන කතිරිණා


මෙම කවිය ඇත්තටම අගය කළ හැකි සුපිරි කවියක් වුවද විහිළුවට මෙන් ඊට යටින් මම මෙසේ ලියා තැබුවෙමි.


අහසට පොළොව වාගේ කවි පද හදලා
කවුරුද බූරුවෙක් මෙහි කවියක් ලියලා
කළඳක් මොළේ ඇත්දැයි හිස මුඩු කරලා
බැලුවොත් හොඳයි ඇත්තද නැත්තද කියලා


පසුදා උදෑසන මම මුහුණ සෝදා ගැනීමට ළිඳට ගිය අතර, පෙර දා සවස ලියා තැබූ කවිය සම්බන්ධව මට එතරම් මතකයක් නොතිබිණ. එහෙත් එහි ගිය සැණින් මා දුටුවේ එයට වහා ප්‍රතිචාර ලැබී තිබුණ ආකාරයයි. ඒ පිළිතුරු කව මෙසේය,


සාහිත නොදත් මැඩියෙක් ළිඳ තුළ ඉඳලා
දන්නා තරම ඌ මෙහි සටහන් කරලා
දැනගිය අහල තෝ අම්මව මුණ ගැහිලා
හරකද බූරුවද තොගෙ අප්පව කියලා


හිතුවාටත් වඩා බොක්කටම වදින ලෙස පිළිතුරු ලැබී තිබුණ බැවින් මම පරාජය බාර ගත්තේ නොවෙමි. මම ද ඊට සරිලන පිළිතුරක් මෙසේ ලියා තැබුවෙමි.


සාහිත රසය බැලුවේ මව් කිරි එක්ක
එනවද වාදෙකට මගේ කවිකම එක්ක
කැත පාදඩ කථා කිව්වට මං එක්ක
කරනව දැන ගනිං තෝ අක්කා බක්ක


ත්‍රස්තවාදින් සමඟ කාලතුවක්කු වැනි බරඅවි වලින් කළ සටනට දරුණු ලෙස කවි පදවලින් කළ සටන උද්වේගකර ලෙස පැටලී ගිය අතර, සෙසු අයට මෙය මහත් ආස්වාදජනක වූහ. එදාට පසුවදා ද මා වෙනදාටත් මදක් කලින් එහි දිවගියේ පිළිතුර කුමක් වේදැයි දැන ගන්නට ඇති දැඩි ව්‍යාකූලත්වයෙනි.


එළ වැස්සියක් වැදු අම්මප තෝ එක්ක
මට මොන වාදයක් වෙද වස්සෙක් එක්ක
කවි ගැන කතා කළ හැක කවියෙක් එක්ක
බත් කන හරක තෝ පමණයි මම දැක්ක


කෙසේ වෙතත් මෙයට දැඩි පිළිතුරක් දෙන්නට මා තිර අදිටනක සිටියද ස්වාභාව ධර්මය එයට ඉඩ සලසා දුන්නේ නොවේ. එදිනට වට ධාරාණිපාත වර්ෂාවෙන් සියල්ල සේදී ගියේය. කවි සටන එසේ දරුණු තත්ත්වයක පැවතියද කිසිවෙකුට හෝ ශරීරික වශයෙන් කිසිඳු අනතුරක් නොවීමයි එහි අපූර්වත්වය.
උක් දණ්ඩක රසය දැනෙන්නේ උරා බිව්වොත් පමණි. කවිය ද එසේමය. එහි රස හඳුනන්නෝ උපරිම රස භුක්ති විඳිති. එහෙත් අවාසනාවකට එය නොහඳුනන්නට තාර සහ ටින්ටස් ඇණ වැළඳුවාක් මෙන් මේවා අමිහිරිය. ඒ පවට පිං දෙන්නට නම් කෙසේවත් නොහැකිය.


ගුරුතුමියක් සිය පන්ති කාමරයේ සිටි ළමුන් හට කවියක ඇති රසාස්වාදය ගැන බොහෝ කරුණු කාරණා කියා දී කවියක් පබැඳින ආකාරය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙමින් සිටියාය. ඇය මේසය මත තිබූ අඩි කෝදුව අතට ගෙන ඒ ගැන එක එක්කෙනා එක් පදය බගින් කියා කවියක් ඒකරාශී කරන්නට උත්සාහ ගත්තාය.


‘හරි සුනිල් කියන්න පළමු පදේ’
‘මිම්මකට ඇන්දුව’ සුනිල් පළමු පදය කීවේය
‘සුගත් දෙවැනි පදය කියන්න’
සුගත් මදක් සිතා බලා දෙවන පදය ගලපා ගත්තේය
‘ලී පටියකින් සෑදුව’
‘තෙවැනි පදය කියන්න නිමල්’
‘ටීචර්ගේ කෝදුව’


නිසි වේලාවේ නිසි අවධානයෙන් නොසිට වටපිට බලමින් සිට ජගත්ට ඇසුණේ ‘ටීචර්ගේ කෝදුව’ යන කොටස පමණි. එහෙත් ඔහුද පැරදුනේ නොවේ. එහු අවසන් පදය අපූරුවට ගැලපුවේය.


‘වැලේ වනනවා ඇඳුම් සේදුව’


ඒ ඔහු ටීචර්ලගේ දුව වැලේ ඇඳුම් වනමින් සිටිනවා හොරෙන් බලමින් සිටි බව ගුරුතුමියට ද අනෙකුත් සෑම සියලු දෙනාටමද පසක් වූහ. ජගත්ට කවිපද ගැලපීම ගැන ඉහටත් උඩින් හැකියාව ඇති බව ගුරුතුමිය අවබෝධ කර ගත්තාය. කාට කාටත් සිනාව නවතා ගන්නට නොහැකි තරමට එය ආස්වාදජනක විය.
තවත් දිනක කවියන් සිව් දෙනෙකු ගමනක් ගියහ. ඒ අතර ඔවුනට ඒ දණ්ඩකින් එතෙර විය යුතුව තිබුණි. ඒ සඳහා ඔවුන් අවස්ථාව ලැබෙන තෙක් අසල රැඳී සිටියේ ඒ වන විට එක් කකුලක් කොට පුද්ගලයකු ඒ මතින් ඇවිද ගෙන එමින් සිටි නිසාය. ඒ කවුරුත් නොසිතූ පරිදි කොටා ඒ දණ්ඩෙන් පහළට වැටුණි. ඒ බලා සිටි එක් කවියෙකු පළමු පදය ලෙස මෙසේ කීවේලු.


‘ඒ දණ්ඩේ කොටා’
‘ඇවිද ගෙන එන කලටා’ දෙවැන්නා කීවේය.
‘වැටුණිය ගඟටා’ තෙවැන්නා තුන්වන පදය ගැලපුවේය.


‘හුටා’ සිව්වැන්නා කවිය සම්පූර්ණ කළේය. ඒ අතර කොටා පිහිනා ගොඩට පැමිණ සිටින්නට ඇත.
මාතර හිටිවන කවියන්ගේ සංවිධාන මහා කවි සබාව නම් වේ. එහි ලේකම් ආරියදාස නැඳුන්ගොඩ කවියාය. විටියල ඊ.ඒ. ප්‍රේමදාස කවියා නැඳුන්ගොඩ පවුලේ සමීපතමයෙකි. දිනක් ඔහු මිතුරාගේ සුවදුක් විමසීමට ගියේය. ආගන්තුක සත්කාර වලට නොම්මර එක ගෙන සිටින නැඳුන්ගොඩ කවියාගෙන් දිවා ආහාර නොගෙන යාමට ප්‍රේමදාස කිවිඳුන්ට කෙසේවත් ඉඩ ලැබුනේ නැත. එහෙත් කෑම ​මේසයේ දී ප්‍රේමදාස කිවිඳුන්ගේ ඉරියව් එතරම් සන්සුන් වූයේ නොවේ. ප්‍රේමදාස කිවිඳුන් හේතුව කවියට නැගුවේය. ඒ මෙලෙසිනි.


සූපවේදයට හරි දස්කම් ලද්ද
නැඳුන්ගොඩගෙ බාරිය කුස්සියෙ වැද්ද
අම්මප කන්න බෑ අද නම් මේ හොද්ද
ලුණු ලේවාය දැන් හම්බන්තොට නැද්ද


රොසලින් තරබාරුය. තවමත් තුරුණු විය ගත කරන ඇය ඉතාමත් හැඩකාරියක් වූවාය. පිරිමියෙකුට එක් වරක් මොහොතක් ඈ දෙස බලා ඇස් ඉවතට ගැනීම අසීරුම අසීරු කරුණකි. ඒ තරමට ඈ රූප සෝභාව අතින් පිරිපුන් තැනැත්තියක වූවාය. තරබාරුව නිසාම ඇයට කවුරුත් ඇමතුවේ ‘බත රොසලියා’ යන නාමයෙනි. ඇය දිනක් ගමනක් යාම සඳහා හැඩ වැඩ වී පාරට බැස්සාය. ඒ දුටු අපගේ නම සඳහන් කිරීමට අකමැති කවියෙක් මෙසේ සිව් පදයක් කීවේය.


යන්නට කොහෙ දෝ තොරණක් වාගේ සැරසී මහ පාරට බැස්ස
රියසක වාගේ තාලෙට පැද්දෙන දැක්කම බතරොසලිගෙ පස්ස
හිතුනත් අරගෙන දුවන්න බැද්දට බැරි හින්දම ගන්නට උස්ස
දත් මිටි කාගෙන දැඩි වෙහෙසක් ගෙන මැඩලා ගත්තෙමි මම රිස්ස


මා විසින් උපුටා ගන්නා ලද ඉහත සඳහන් කාව්‍ය නිර්මාණයන් මම අසා ඇති ඒවාය. මේ සැබැඳිව මා විසින් සඳහන් කරන්නට යෙදුනා වූ සිද්ධාන්තයන්වල පසුබිම වෙනස් වන්නට පිළිවන. කවිය කෙරෙහි කෙනෙකුගේ සිත තුළ යම් සාහිත්‍යම රසාස්වාදයක් ලබාදීම්වස් ඒවා උපයෝගී කර ගත් බව සඳහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වෙතත් මෙම කාව්‍යවල සැබෑ නිර්මාණ කරුවන්ගේ කලාකාමීත්වයට හා හැකියාවන්ට මම හිසනමා ගෞරවය පුදකරමි. මෙය කියවීමෙන් සහෘදයන් තුළ කවිය කෙරෙහි යම් පහන් සිතුවිල්ලක් හෝ රුචිකත්වයක් ඇතිවූයේ වී නම් මාගේ ප්‍රයත්නයෙහි සාර්ථකත්වය ගැන මම උද්දාමයට පත්වෙමි. 

 

 

පියසිරි අජිත් ලියනගේ
වත්තේගම, දික්වැල්ල.