කම්කරු අරගලවලට පණ පෙවූ බෞද්ධ සංවිධානය


ලංකාවේ මුල් වරට කම්කරු අරගල ඇති වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදීය. ඒ අනුව ලංකාවේ කම්කරු අරගලවලට ඇත්තේ අවුරුදු 200කට අඩු ඉතිහාසයකි. ලංකා ඉතිහාසයට සාපේක්ෂව එය ඉතා කෙටි කාල පරිච්ඡේදයකි. 

 
ලංකාව තුළ දියත් වූ පළමු කම්කරු අරගලය පිළිබඳව නිශ්චිතව පැවැසීමට ප්‍රමාණවත් තොරතුරු මෙතෙක් හෙළිදරව් වී නැත. එහෙත් ක්ෂණිකව පැන නැගුණු අසංවිධානාත්මක කෙටි කාලීන වැඩ වර්ජන කිහිපයක් පිළිබඳ තොරතුරු කම්කරු අරගල ඉතිහාසයේ මුල් යුගයෙන් හමුවේ. ඒ අතරින් කිහිපයක් මෙසේය.   


තර්ස්ටන් වඩු කාර්මික පාසලේ වැඩ වර්ජනය (ක්‍රි. වර්ෂ 1860 දී)   


නැගෙනහිර පළාතේ වාරිමාර්ග වැඩබිමක කම්කරුවන් පිරිසක් මදුරු වසංගතය නිසා දියත් කළ වැඩ වර්ජනය (ක්‍රි. වර්ෂ 1870 දී)   


කොළඹ නගර සභාව විසින් මස් කඩකරුවන්ගෙන් අය කළ ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දියත් කළ වැඩ වර්ජනය (ක්‍රි. වර්ෂ 1879 දී)   


සංවිධානගත වීම හා එක්සත්භාවය තුළින් සේවකයින්ට අයිතිවාසිකම් දිනා ගැනීමේ මාර්ගය විවර කරගත හැකි බවට ලංකාව තුළ පළමු වරට මතවාදයක් ගොඩනැගුවේ ‘සරසවි සඳරැස’ පුවත්පතයි. ඒ ලංකාව තුළ කිසිදු කම්කරු සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් බිහි වී නොතිබුණු එක්දහස් අටසිය අනූවේදීය.   
ලංකාව තුළ ඒ වනවිට දියත් වී තිබූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ක්‍රියාකාරී සංවිධානය වූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ නිල පුවත්පත වූ ‘සරසවි සඳරැස’ කම්කරු පුවත්පතක් නොවූව ද ලංකාවේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ පෙර ගමන්කරුවා වීම අපූරු සිදුවීමකි. 1890 ජුලි 20 වැනිදා නිකුත් වූ ‘සරසවි සඳරැස’ පුවත්පතේ පළ වූ ‘කුලී වැඩකරුවෝ’ යන ලිපියෙන් උපුටාගත් පහත දැක්වෙන කොටස ඉහත කරුණු සනාථ කරන සාක්ෂියකි.   


“එංගලන්තයේ වැඩකරුවන් ලක්ෂය පටන් දෙලක්ෂය දක්වා විශාල ලෙස රැස්වී ඔවුන්ගේ වැඩ කරන කාලය ලුහුඬු කරගැනීම්, කුලී වැඩ කරගැනීම් ආදිය ගැන සාකච්ඡා කරන බවත්, එකපිට වැඩ නොකර පැහැර හැරීමෙන් තමන් ස්වාමියන් අභිභවනය කරන්නට තැත් කරන බවත්, වැඩකරුවන්ගේ මේ ක්‍රියාවන්ට එහි ප්‍රධාන මහතුන් ධෛර්ය දෙන බවත් පෙනේ. ලංකාවාසී වැඩකරුවන්ට ඒකාග්‍රතාවක් නොමැති බැවින් මෙබඳු ක්‍රියාවකින් ස්වාමියන් අභිභවනය කිරීම උගහටය. එබැවින් මොවුන්ගේ දුක බලා සෑහෙන සැනසිල්ලක් ලබාදීමට තැත් කළ යුතුව තිබේ. ආණ්ඩුවේ කාර්ය ශාලාවන්හි නියුක්ත වූවන්ට පවා මේ පීඩා තිබෙනු දැකීම ​කොපමණ ඛේදජනක ද?”   


ලංකාව තුළ වෘත්තීය සමිතියක් පිහිටුවීම පිණිස මුල් වරට උත්සාහ දරා ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගුරුවරුන් පිරිසකි. ක්‍රි. වර්ෂ 1891 අප්‍රේල් 18 වැනිදා ‘ගුරු සංගමය’ නමැති වෘත්තීය සමිතිය බිහි කර ඇති ඔවුන් 1892 ජනවාරි 22 වැනිදා උඩුගම්පොළ විද්‍යාභ්‍යාස පාඨශාලාවේදී එහි ප්‍රථම මහා සභා රැස්වීම ද පවත්වා ඇත.   


ගුරු සංගමය පිළිබඳව පළ කර ඇති ලිපි තුළින් ‘සරසවි සඳරැස’ පුවත්පත ලංකාව තුළ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස දක්වා ඇති උනන්දුව ද පැහැදිලි වේ. එමෙන්ම ‘සරසවි සඳරැස’ පුවත්පතට නිතර ලිපි සැපැයූ හේමචන්ද්‍ර ජයකොඩි ගුරු සංගමයේ උපලේකම්වරයා හැටියට තේරී පත්වීමත්, පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ප්‍රබල ක්‍රියාධරයකු වූ සී. දොන් බස්තියන් ජයවීර ගුරු සංගමයේ ප්‍රථම මහා සභා රැස්වීමේ ප්‍රධාන කථිකයා වීමත් අහඹු සිදුවීම් විය නොහැක. කෙසේ වෙතත් ප්‍රථම මහා සභා රැස්වීමෙන් පසු ගුරු සංගමය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීම නිසා එය උපන් ගෙයිම මියගිය බව පෙනේ.   
වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වන ලෙස පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත් පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවේ (වත්මන් ආනන්ද විද්‍යාලයේ) විදුහල්පති ඒ.ඊ. බුල්ජන්ස් (ඇල්ෆ්‍රඩ් අර්නස්ට් බුල්ජන්ස්) මහතා මුද්‍රණ කම්කරුවන්ගේ ප්‍රසිද්ධිය ඉල්ලා සිටියේ ඒ අතරය. වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගැන දැක්මක් තිබූ ප්‍රථම ලාංකිකයා මෙන්ම ලංකාවේ කම්කරුවන් වෘත්තීය සමිති ගොඩනැගිය යුතු යැයි ප්‍රසිද්ධියේ කියා සිටි ප්‍රථම ලාංකිකයා වූයේ ද එම විදුහල්පතිවරයාය.   


සංවිධානාත්මක කම්කරු අරගල මාලාවකට මග පෙන්වූ ලංකාවේ පළමු වැඩ වර්ජනය කොළඹ එච්.ඩබ්ලිව්. කේව් මුද්‍රණ සමාගමේ මුද්‍රණ ශිල්පීන් 56 දෙනකු විසින් 1893 සැප්තම්බර් 12 වැනිදා ආරම්භ කරන ලදී.   
පුරා මාසයක කාලයක් ආපන ශාලාවලින් ණයට ආහාර ගැනීමට පුරුදුව සිටි කේව් සමාගමේ ලාංකික කම්කරුවෝ එම ණය මුදල පියවන ලද්දේ ඔවුන්ට මාසික වැටුප ලැබුණු දාය. එනම් සෑම මාසයකම 10 වැනිදාය. එහෙත් එම සමාගමේ සේවය කළ ඉංග්‍රීසි ජාතික නිලධාරීන්ට සෑම මසකම 5 වැනිදා වැටුප් ලැබිණි. 1893 සැප්තැම්බර් මාසයේ වැටුප නියමිත පරිදි 10 වැනිදා නොලැබීම නිසා ලාංකික කම්කරුවන් මුහුණ දුන්නේ බලවත් අසීරුතාවයකටය. නියමිත දිනයේ ණය මුදල් පියවීමට අපොහොසත් වූ ඔවුන් ආපනශාලා හිමියන්ගේ පරිභව කිරීම්වලට මෙන්ම පහරදීම්වලට ද ලක්විය. එහිදී නොසන්සුන් වූ ලාංකික මුද්‍රණ කම්කරුවෝ තමන්ටත් ඉංග්‍රීසි ජාතිකයන්ට මෙන් මාසයේ 5 වැනිදා වැටුප් ගෙවන ලෙස පාලක පක්ෂයෙන් ඉල්ලා සිටියහ. වර්ජනය දියත් වූයේ පාලකයින් ඊට එකඟ නොවූ බැවිනි.   


වර්ජනයට මග පෑදූ ආසන්න හේතුව එය වුව ද ප්‍රධාන හේතුව එය නොවන බව 1893 සැප්තැම්බර් 15 වැනිදා නිකුත් වූ ‘සරසවි සඳරැස’ පුවත්පතේ කතු වැකියෙන් පැහැදිලි වේ. මේ එම කතු වැකියෙන් උපුටාගත් කොටසකි.   
“කේව් සහ සමාගමේ වැඩකරුවන් විසින් මෙබඳු නිර්භීත ක්‍රියාවක් කිරීමට ඔවුන් අතර තදබල විරුද්ධත්වයක් පවතින්නට ඕනෑ බව ප්‍රත්‍යක්ෂව පෙනේ. කේව් සහ සමාගමේ මෙහෙවර කොට මේ පනස්හය දෙනාටම ලැබුණේ මසකට රුපියල් 800කි. මෙය බොහෝ යුරෝපීය සිවිල් නිලධාරීන්ගෙන් එකෙකුට ලැබෙන මාස් වැටුප් ගණනටත් අඩුය. මේ පනස්හය දෙනාගෙන් වැඩි දෙනා රුපියල් දහයටත් පහළොවටත් අතර වැටුප් ලබන අයයි.”   


තමන් විසින් වැය කළ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබීම නිසා කලක් තිස්සේ මුද්‍රණ කම්කරුවන්ට විඳින්නට සිදු වූ පීඩනයත්, සිත් තුළ කැකෑරෙමින් පැවැති කෝපයත් එම වැඩ වර්ජනයට මග පැදූ ප්‍රධාන හේතු බව ඒ අනුව පෙනේ.   
සේවක ඉල්ලීම්වලට කන් නොදුන් කේව් මුද්‍රණ සමාගමේ පාලක පක්ෂය වැඩ වර්ජනය නීති විරෝධී ක්‍රියාවක් බවට අධිකරණ තීන්දුවක් ලබාගත්තේය. පාලක පක්ෂයේ කොන්දේසිවලට යටත්ව යළි සේවයට වාර්තා කිරීමට කේව් මුද්‍රණ කම්කරුවන්ට සිදු වූ අතර වැඩ වර්ජිත කම්කරුවන් අතරින් පස් දෙනකුගේ වැඩ තහනම් කරන ලදී. අධිකරණ තීන්දුවට අනුව විලියම් නමැති කම්කරුවාට සතියක සිරදඬුවමක් ද නියම විය.   
කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමට නොහැකිව 1893 සැප්තැම්බර් 18 වැනිදා නිමාව දුටුව ද ලංකාවේ පළමු ක්‍රියාකාරී වෘත්තීය සමිතිය හැටියට සැලකෙන ‘ලක්දිව මුද්‍රණ යන්ත්‍රවල වැඩකරුවන්ගේ සංගමයේ’ උපතට තිඹිරිගෙය සැකැසුවේ එම වැඩ වර්ජනයයි.   


වැඩ වර්ජනය පැවැති කාලය අතරතුර 1893 සැප්තැම්බර් 17 වැනිදා මුද්‍රණ කම්කරුවන් විසින් කොළඹ කොටුවේ පුෂ්ප ශාලාවේදී (Floral Hall) උද්ඝෝෂණ රැලියක් පවත්වන ලදී. එහි දී බිහි වූ එම වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් තනතුරට ඉහත කී විදුහල්පති ඒ.ඊ. බුල්ජන්ස් තේරී පත්වීම මෙන්ම එම රැලිය ඇමතූ ප්‍රධාන කථිකයන් අතර පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ප්‍රබල ක්‍රියාධරයින් වූ සී. දොන් බස්තියන් ජයවීර සහ මාර්ටිනස් සී. පෙරේරා සිටීමත් ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ආරම්භය සමග පරම විඥානාර්ථ බෞද්ධ සමාගම දක්වන සබඳතාවය පෙන්නුම්​ කෙරෙන සිදුවීම්ය.   
එපමණක්​ නොව මාක්ස්වාදී සංවිධාන බිහිවීමට පෙර ලංකාවේ ජනප්‍රිය කම්කරු නායකයා වූ ඒ.ඊ. ගුණසිංහයන් මෙන්ම ලංකාවේ පළමු මාක්ස්වාදී මන්ත්‍රීවරයා වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහයන් ද පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ සාමාජිකයෝය.   


ලංකාවේ පළමු වාමාංශික දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය බිහිවූයේ 1935 දෙසැම්බර් 18 වැනිදාය. එහෙත් ලංකාවේ පළමු වාමාංශික පුවත්පත ඊට පෙර බිහි වී තිබිණි. ‘කම්කරුවා’ යන නමින් අර්ධ මාසික පුවත්පතක් හැටියට පළවූ එය මුල් වරට නිකුත් වූයේ 1934 මාර්තු 9 වැනිදාය. වාමාංශික පුවත්පත් හා කම්කරු ව්‍යාපාර අතර ඇත්තේ නොබිඳෙන සබඳතාවයකි.   
ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සම ලේකම්වරයෙකු මෙන්ම ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ යන ගීතයේ රචකයා ද වූ නීතිඥ බී.ජේ. ප්‍රනාන්දු කතුවරයා හැටියටය ද ප්‍රකට වාමාංශික ක්‍රියාධරයෙකු වූ ඩී.බී. සමරනායක ප්‍රකාශකයා හැටියට ද කටයුතු කළ ‘කම්කරුවා’ පුවත්පතට ලිපි සැපැයූ ලේඛකයින් අතර ලංකා වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ පුරෝගාමී නායකයින් වූ පිලිප් ගුණවර්ධන, දොස්තර එස්.එ්. වික්‍රමසිංහ හා අධිනීතිඥ කොල්වින් ආර්. ද සිල්වා වැනි දේශපාලනඥයින් ද වූහ.   
එම දේශපාලනඥයින්ගේ ලිපිවලින් හැඩ වැඩ වූ කම්කරුවා පුවත්පතේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබුණේ පිටකොටුවේ බෞද්ධ මන්දිරයේ කුලියට ගත් කාමරයකය. බෞද්ධ මන්දිරය යනුවෙන් වර්තමානයේ හැඳින්වෙන්නේ පැරැණි පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ලයි. එම ගොඩනැගිල්ල තුළ ලංකාවේ පළමු වාමාංශික පුවත්පතේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබීමෙන් හෙළිදරව් වන්නේ ද පරම විඥාානාර්ථ බෞද්ධ සමාගමත් ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ මුල් යුගයත් අතර පැවැති සබඳතාවයම නොවේ ද?

 

 

කාශ්‍යප වීරවර්ධන