උර්දු බසින් ලියාගෙන සිංහල ගී ගැයූ බෙග් මාස්ටර්


වෙසක් උදාවත් සමඟ අපට නිරතුරුවම ඇසෙන්නේ මොහිදින් බෙග්​ගේ ගීතය. ‘‘බුද්ධං සරණං ගච්ඡාමි’’ නම් වසර 60ක් පමණ කාලයක් තිස්සේ ඇසෙන “අංගුලිමාල” චිත්‍රපටයේ තේමා ගීතය වාදනය නොවෙන තැනක් නොමැති තරම්ය. ‘‘සුවදේ මට සීතල සුළඟ පවා’’ ඒ තරමටම ජනප්‍රිය බෞද්ධ ගීතයකි. බෙග්ගේ බෞද්ධ ගීතාවලිය බොහෝ දිගය. බොහෝ ජනප්‍රියය.   


කොරෝනා වසංගතය නිසා වෙසක් මංගල්‍යය උත්කර්ෂවත් නොවූවද මොහිදින් බෙග් වෙසක්, පොසොන් කාලයේ දී අමතක කළ ​නොහැකි ගායකයෙකි.   


කලාව, සංහිඳියාව ගොඩ නගන අපූරු පාලමකි. ඇතැමෙක් මොහිදීන් බෙග් හඳුන්වන්නේ සංහිඳියාවේ ගායකයා ලෙසය. ඉස්ලාම් බැතිමතකු වූ බෙග් බෞද්ධ ගීත ගායනා කළේ ආශාවෙනි. පරිස්සමෙනි. එකල මොහිදීන් බෙග් ගී නොගැයූ සංගීත ප්‍රසංගයක් නොමැති තරම්ය. ඔහු ඒ තරම්ම ජනප්‍රියය. බෞද්ධ ගීත පමණක් නොවේ, පෙම් ගීත, සිංහල අවුරුදු ගීත ආදී නොයෙක් ගීත නවදහසක් පමණ ඔහු ගයා ඇතැයි කියැවේ. ඔහු එකල ගී ගායනා කරන්නට වේදිකාවට ගොඩවන විට නොවැරැදිම ඔහු අත ඇත්තේ විශාල පොතකි. ඔහු වේදිකාවට නැග පොත පෙරළා ගී ගයන්නට සූදානම් වෙයි. ඊළඟ ගීතය ගයන්නේ ද තව පිටුවක් පෙරළමිනි. මේ කාර්යයට ද මඳ වේලාවක් ගතවෙයි. එකල විහාරමහා දේවි උද්‍යානය නිතරම සංගීත සංදර්ශන පැවැත්වූ ස්ථානයකි. බෙග්, ජෝති, මිල්ටන්, එම්.එස්. ආදී එකල බැබළුණු තාරකා විහාර මහා දේවි උද්‍යානයේ සංගීත ප්‍රසංගවලට නැතිවම බැරි විය. 

 
බෙග් ඒ කාලයේ ඔහුගේ ජනප්‍රියතම ගීතයක් වූ ‘‘මායා’’ ගයන්නට අමතක නොකළේය. ‘‘මායා’’ ගීතයේ වයස අනුව බෙග් එම ගීතය කොතරම් වාර ගණන්ක ගයා ඇද්දැයි සිතිය නොහැකි තරම්ය. එහෙත් ඔහු ‘‘මායා’’ ගීතය ගායනා කළේ ද අර විශාල පොත බලාගෙනය.   
මේ පොතේ කතාව දන්නා සුප්‍රකට විකට නළු ෆ්‍රෙඩී සිල්වා වරක් පැවසුවේ විහාර මහා දේවි උද්‍යානයේ මුරකරුට ‘‘මායා’’ සින්දුව කටපාඩමින් කිව හැකි වුවත් බෙග් මාස්ටර් එය තාමත් ගායනා කරන්නේ පොත බලාගෙන බවය.   


ඇත්තය. එතරම් වාර ගණනක් ගීතයක් ගැයූ පසු ගීතය මතක තිබිය යුතුය.   
මේ කතාව මා ඔහුගේ පුත් ජනප්‍රිය ගායක ඉෂාක් බෙග්ගෙන් ඇසූවිට ඔහු කීවේ ‘‘තාත්තාගේ මව් භාෂාව උර්දු. තාත්තා සිංහල සින්දු කිව්වේ උර්දු භාෂාවෙන් ලියාගෙන. රුක්මනී දේවි සිංහල සින්දු කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියාගෙන. ඒ වගේ තමයි.’’   
‘‘තාත්තා සිංහල සින්දු කියන කොට හරියට පරිස්සම් වුණා. මව් භාෂාව උර්දු නිසා සිංහල වචන හරියට කියවෙන්නේ නැති වෙයි කියල තාත්තා හිතුවා. ‘‘බුද්ධං සරණං ගච්ඡාමි’’, ‘‘සුවදේ මට සීතල සුළඟ පවා’’ වගේ සින්දු තාත්තාට කට පාඩම්. ඒ වුණත් තාත්තා ඒවා කිව්වෙත් පොත බලාගෙන. ඒ හරියටම කියන්න ඕනෙ හින්දා.’’   
‘‘ඒ විතරක් නොවෙයි, තාත්තා සින්දු දහස් ගාණක් කියපු ගායකයෙක්. මෙලඩි එක මතක තිබුණට සමහර වෙලාවට වචන අමතක වෙන්න පුළුවන්.’’   
‘‘විශේෂයෙන්ම බෞද්ධ ගීත කියන කොට තාත්තා ඒ වචන හරියට ශබ්ද කරන්න අසාගත්තා. උදාහරණයක් හැටියට, ‘‘ගගනෝදර ගුගුරා යාදෝ’’ ඒකෙ වචනවල දී කරු අයියාගෙන් ඒවා ශබ්ද කරන හැටි අහ ගත්තා.’’   
පසු කලෙක ඔහුට සිංහල හොඳින් කතා කළ හැකි වුවද උර්දු බසින් සිංහල ලියාගත් පොත රැගෙන යාම නම් අත් නොහැරියේය.   


ඇත්තෙන්ම මොහිදීන් බෙග් ඉන්දියානුවෙකි. ඔහු ඉපදුනේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සේලම් නගරයේය. ඒ 1918 දෙසැම්බර් 5 වැනිදාය. සේලම් නගරයේ ඉපදුනද, ඔහු අයත් වන්නේ හයිද්‍රාබාද් මුස්ලිම් පරපුරටය. බෙග් යන පෙළපත් නාමයට ඉතා දීර්ඝ ගෞරවනීය ඉතිහාසයක් ඇත.   
මොහිදීන් බෙග් ගේ පියා කරීම් බෙග් සේලම් නගරයේ පොලිස් නිලධාරියකු විය.   
සේලම් නගරයෙන් මූලික අධ්‍යාපනය ලැබූ බෙග් මුල් යුගයේදී උර්දු හා කවාලි ගීත ගායනය පිළිබඳව හැදෑරුවේ ද සේලම් හිදීය. ඒ විවිධ ගුරුවරුන් යටතේය. දරුවන් 14 දෙනෙකුගෙන් යුත් පවුලක මොහිදීන් උපන්නේය. මොහිදීන් බෙග්ගේ සීයා වූ හලාල්දීන් ලංකාවේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ සේවය කළ අතර වැඩිමහල් සොහොයුරා ලංකාවේ වරාය පොලිසියේ සේවය කළේය.   
බෝට්ටු අනතුරකින් තම සො​හොයුරා මිය යාම නිසා මොහිදීන් ශ්‍රී ලංකාවට පැමිණියේය. එවිට ඔහුගේ වයස අවුරුදු 18 කි. ඉන්පසුව බෙග් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණේය.   
බෙග් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟම ඔහුට තවත් ඉන්දියානුවකු වන ගවුස් මාස්ටර් හමුවිය. ඔහු සිංහල ගීත ගායනයට නැඹුරු වූයේ මේ කාලයේදීය. ඒවා හින්දි ගී තනු අනුව නිම වූ ගීත විය. ඒ සඳහා ඔහුට යූ.ඩී. පෙරේරා ද උදව් කළේය.   


1932 දී බෙග්ට ග්‍රැමපෝන් තැටියට ගී ගයන්නට අවස්ථාව උදාවිය. ඒ කොලොම්බියා ලේබලය යටතේ ආ ‘‘කරුණා මූදේ නාමු ගිලීලා’’ ගීතයයි. යුග ගායනය කේ.කේ. රාජ ලක්ෂ්මිය. ඔහු රේඩියෝ සිලෝන්හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) ඒ ශ්‍රේණියේ ගායකයකු විය.   
1947 දී බෙග් ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ “අශෝකමාලා” චිත්‍රපටයෙන් තම ප්‍රථම චිත්‍රපට ගීතය මෙන්ම ප්‍රථම චිත්‍රපට රඟපෑම ද ඉදිරිපත් කළේය. ‘‘අශෝකමාලා’’ දෙවැනි සිංහල චිත්‍රපටයයි. එය ‘‘ප්‍රීති ප්‍රීති’’ නම් ගීතය විය. ඔහු සකීනා සමඟ විවාහ වූයේද 1947 දීය.   
ඉන්පසුව ඔහුගේ ගී හඬ චිත්‍රපට 450 කින් පමණ ඇසී ජනප්‍රිය වන්නට විය. ඔහුගේ ජනප්‍රිය ගී හා චිත්‍රපට ගීත ලියන්නට පුවත්පත් පිටුවක් පවා මඳ විය හැකිය.   
ඔහුට මුල් යුගයේ රුක්මණී දේවිය සමඟ ග්‍රැමපෝන් තැටිවලට ගී ගැයීමට නොහැකි වූයේ දෙදෙනාම වෙළෙඳ නාම දෙකක් යටතේ ගී ගැයීමට එකඟතාවය පළ කිරීමට සිදුවීම නිසාය. එහෙත් ඔහු රුක්මණී සමඟ ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කෙළේය.   


1956 දී බෙග් බුද්ධ ජයන්ති උත්සවය වෙනුවෙන් ‘‘බුද්ධ ජයන්ති බැබලේවා’’ ගීතය ගායනා කෙළේය.   
අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්ව.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් එම වසරේදීම ගෞරවනීය ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස මොහිදීන් බෙග්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දෙන ලදී.   
බෙග් මාස්ටර් පුවත්පත් කලාවේදීන් සමඟ බොහෝ සේ ඇඟෑලුම් පෑ ගායකයකු නොවීය. එක් අතකින් ඊට හේතුව වන්නට ඇත්තේ ඔහුගේ සිංහල භාෂාව පිළිබඳව දැනුම මදියයි ඔහු සිතුවා වන්නට විය යුතුය. එහෙත් පුවත්පත් සාකච්ඡාවකට කතා කළ පසු ඔහු ඊට කැමැත්තෙන් සහභාගී වූයේය.   
එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේ මුල්වරට බෙග් මාස්ටර් හමුවීමට යෑමේදී මා තුළ චකිතයක් විය. ඒ ඔහු මට අවශ්‍ය පරිදි ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැරි වේයයි මා සිතූ නිසාය. මට උර්දු භාෂාව නොතේරෙයි.   
ඔහුගේ ගීතවල ඇතැම් සිංහල වචන ඔහු උච්චාරණය කර ඇත්තේද ඔහුගේ පහසුවට අනුව බව කතාවකි. ඊට එකල බොහෝ දෙනා ගෙනා උදාහරණය වන්නේ ‘‘පියඹා ආවා ප්‍රේම කුරුල්ලා - රත්නපුරේදී කූඩු සදන්නා’’ යන ගීත ඛණ්ඩයයි.   


බොහෝ දෙනා එකල කීවේ ගීතය ලියා තිබුණේ ‘‘පියඹා ආවා ප්‍රේම කුරුල්ලා - ස්වප්න පුරේහී කූඩු සදන්නා’’ යනුවෙන් බවයි. බෙග්ට ‘‘ස්වප්න පුරේ’’ යන වචනය හරිහැටි ශබ්ද කිරීමට නොහැකි නිසා ‘‘රත්නපුරේහි’’ යනුවෙන් කී බවයි. කෙසේ හෝ ඉෂාක් බෙග් එම ගීතය ගයද්දී ‘‘ස්වප්න පුරේහි’’ යනුවෙන් නිවැරැදි කර ගායනාකර ඇත. එහෙත් තවත් මතයක් වූයේ එය ලියා ඇත්තේ ‘‘රත්නපුරේ’’ යනුවෙන් බවයි.   
මා මොහිදීන් බෙග් සොයාගෙන එදා මරදානේ දෙමටගොඩ පාරට ගියෙමි. එය කුඩා නිවසකි. මොහිදීන් බෙග්ගේ ජනප්‍රියත්වයේ හැටියට සරිලන නිවසක් නොවේ.   
මා යනවිට බෙග් මාස්ටර් ගෙදර සිටියේය. එය පාර අයිනටම වන්නට සැදූ තරමක් විශාල ඉස්තෝප්පුවක් තිබූ නිවසකි.   


මා ඔහුට කාරණය කී විට, ඔහු තොරතුරු කියන්නට පටන් ගත්තේ ඉංග්‍රීසියෙනි. ‘‘අ මෑන් හූ කේම් ෆ්රොම් ඉන්ඩියා’’ යනුවෙන් ඔහු ගැඹුරු හඬින් සාකච්ඡාව පටන් ගත්තේය. බෙග්ගේ ගීත අසා ඇති ඔබට ඔහුගේ ගැඹුරු හඬ අමුත්තක් නොවිය යුතුය.   
එහෙත් ඇතැම් ගායක ගායිකාවන්ගේ හඬ ගී ගයද්දී වෙනස්ය. උදාහරණයකට එච්.ආර්. ජෝතිපාලයන් ගත හැකිය. ජෝතිගේ ගී මයික්‍රෆෝනය හරහා ඇදී එන්නේ ඉතා පැහැදිලි, නිරවුල්, ආනන්දනීය හඬකි. එහෙත් ඔහු සාමාන්‍යයෙන් කතා බහ කරන විට ඒ හඬ ඉතා වෙනස්ය. ජෝති රඟපෑ චිත්‍රපටවල දී එය ඔබට දැක ගන්නට හා අසන්නට ලැබෙයි.   
ඇතැම් ජනප්‍රිය ගායකයෝ ඉතාම මිහිරිව පැහැදිලිව ගී ගැයුවද සාමාන්‍ය කතාබහේදී ගොත ගසති. එහෙත් බෙග් සාමාන්‍යයෙන් කතා කරන්නේද ගායනා කරන්නාක් මෙන්ම ගැඹුරු උස් හඬකිනි.   
‘‘අ මෑන් හු කේම් ​ෆ්‍රොම් ඉන්ඩියා’’ යනුවෙන් කී ඒ ගැඹුරු වදන් මට තවමත් මතකය.   
ඉෂාක් බෙග් පවසන්නේ තම පියාට භාෂා කීපයක්ම හොඳින් කතා කළ හැකි බවයි. උර්දු,​ දෙමළ, හින්දි හා සිංහල එයින් ප්‍රධානය.   
එදා සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු ඉතා දීර්ඝ ලෙස ඔහුගේ මතකය විස්තර කෙළේය. එය පත්තර පිටුවක් පුරා ලියන්නට බැරි තරම් දීර්ඝ විය. 

 
ඔහු ඉස්ලාම් භක්තිකයකු වුවද බෞද්ධ ගීතවලට ලෙන්ගතු බව කීප වරක්ම කීවේය.   
‘‘මං තරම් බෞද්ධ ගීත කියපු වෙන ගායකයෙක් ඉන්නවාදැයි” ඔහු එදා මගෙන් ප්‍රශ්න කෙළේය. ඔහු වැඩියෙන්ම එදා කතා කළේ ඔහුගේ බෞද්ධ ගීත ගැනය.   
බෙග් කොතරම් ජනප්‍රිය වුව ද ඔහු පොළොවේ පය ගසාගෙන සිටි නිහතමානී ගායකයෙකි. බොහෝ විටෙක ඔහු මරදානට පැමිණ තම ගෙදරට අවශ්‍ය අඩු වැඩිය රැගෙන එතැන සිටින වෙළෙඳුන් සමඟ කතාබහ කරමින් පසුවන අවස්ථා මා කොතෙකුත් දැක ඇත.   
තරමක් කොටට වන්න සරමක් ඇඳ සිටින ඔහු දෙස මරදාන පසුකර යන ජනතාව බලා සිටිති. ඔහු දන්නා හඳුනන මෙන්ම නොදන්නා අය සමගද සිනාසෙයි. ඔවුන් ඔහුගේ රසිකයන් ඔහු බව දනී.   
බෙග් පසු කල ගීත ගායනා කරද්දී නවීන තාක්‍ෂණය පැමිණ තිබිණ. එහෙත් බෙග් ඇතුළු බොහෝ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ගීත ගායනා කළේ සංගීත කණ්ඩායම සමඟය. ප්‍රසංගවලදී මෙන්ම චිත්‍රපට ගී, වෙළෙඳ තැටි ගී පටිගත කිරීම්වලදීද එකල ගායකයන් සමඟ සංගීත කණ්ඩායම වාදනය කළේය. එනම් සජීවීව ගායනා කෙරිණ.   


එහෙත් පසුකල එය වෙනස් වී සංගීත පටය කලින් පටිගත කොට ඒ අනුව (ට්‍රැක් එකට) ගී ගයන්නට ගායක ගායිකාවන්ට සිදුවිය. එහෙත් බෙග් වඩාත් කැමැති වූයේ පැරණි ක්‍රමයටයි. 
පසු කාලයකදීද බෙග්ගේ පැරණි ගීත අලුත් වී රැල්ලක් වීමෙන් අතිශයින්ම ජනප්‍රිය විය. එම පැරණි ගීතලට නව සංගීතය මුසු වූ කැසට් පට අලෙවි වූයේ තොග ගණනිනි.   
එම කැසට් නිෂ්පාදනය කළ විජය රාමනායක පසුකල මා සමඟ පැවසුවේ ඒ කැසට්වලින් ඔහුට සල්ලි ආවේ​ වතුර ගලන්නා වගෙයි කියාය. මේ නව ගීත කැසට් පට බොහොමයකටම සංගීතය සැපයූයේ සංගීතඥ ස්ටැන්ලි පීරිස්ය.   
බෙග්ගේ සිහිනය වූයේ තම විශාල දරු පවුල සමඟ විශාල ගෙයක පදිංචි වීමටය. ඔහුට නාරාහේන්පිට ඇල්විටිගල මහල් නිවාසවලින් ගෙයක් ලබා දෙන්නට යෝජනා කෙරිණි. එහෙත් ඔහු ඊට කැමති නොවීය. ඊට එක් හේතුවක් වූයේ එය බොරැල්ල කනත්ත අසල පිහිටීමය.   


‘‘ගෙදර එනකොටත් කනන්ත, කොහෙ හරි යන කොටත් කනත්ත’’ ඒ ඔහුගේ අදහස විය. ඔහු බලාපොරොත්තු වූයේ අට දෙනෙකුගෙන් යුත් පවුලට විශාල මහල් නිවාසයකි.   
‘‘මගෙ පවුලෙ දරුවො අට දෙනෙක් ඉන්නවා. මට ඕනෑ ලොකු ෆ්ලැට් එකක්’’ ඔහු කීවේය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ මාලිගාවත්තේ එකල ගොඩනැගෙමින් තිබූ විශාල මහල් නිවාසයකට යෑමටය. ඊට ප්‍රබල හේතුවක් වූයේ මාලිගාවත්ත ඔහුගේ සුපුරුදු නිවහනට බොහෝ කිට්ටුවෙන් පිහිටීමය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු නොවිණ.   
පසුකල බෙග් ගේ ගීත ගායනා කරන්නට ඔහුගේ පුත් ඉෂාක් හා ඉල්යාස්ට අවස්ථාව ලැබිණ. කැසට් පටයක ගීත දහ හතරක් ගායනා කිරීම නිසා දෙදෙනාටම සම සමව ගීත බෙදා දීමට සිදුවිය.   
ඇතැම් විට තම පියාගේ අතිශය ජනප්‍රිය ගීයක් ගයන්නට දෙදෙනාට තරග කරන්නට සිදුවිණ. රණ්ඩු සරුවල්වලින් තොරව ඒ කටයුත්තට බෙග්ට මැදිවීමට හැකිවූයේ අතිශය ජනප්‍රිය ගී ගණනාවක්ම බෙග් ගයා ඇති බැවිනි.   
අද ද තාත්තාගේ ගැඹුරු කටහඬ බෙදා ගන්නට දෙසොහොයුරන් අතර ඇත්තේ දැඩි උත්සාහයකි. දෙදෙනාම හොඳින් ගී ගයන්නට උත්සහ කරති. හොඳින් ගී ගයනවා යනු තම පියාට සමාන වන අයුරින් ගී ගැයීමය. උත්සාහය ඇත්තේ තාත්තාගේ කටහඬ බෙදා ගැනීමටය.   
‘‘අපි අතරෙ තරගයක් නෑ. එයා හිතනව එයා තමයි හොඳට කියන්නෙ කියලා. මම උත්සාහ කරන්නෙත් හොඳටම කියන්න.’’   


ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගායක ගායිකාවන් වූ එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක. ජී.ඇස්.බී. රාණි පෙරේරා, ලතා වල්පොල මෙන්ම ඉන්දියානු ගායිකා ජමුනා රාණි සමග ද ගීත රැසක් ගයා ඇත.   
විශේෂත්වය වන්නේ භාරතීය ගීත කෝකිලාව ලෙස නම් දැරූ ලතා මංගේෂ්කාර් සමඟ ද ඔහුට ගීත ගයන්නට අවස්ථාව උදාවීමය. ඒ ‘‘සැඩ සුළං’’ චිත්‍රපටය වෙනුවෙනි. ලතා සමග සිංහලෙන් ගී ගැයූ එකම ගායකයාද ඔහුය.  
හොඳම ගායකයා ලෙස ඔහු දිනා ඇති සම්මාන කිහිපයකි. ඒ ‘‘සරසවි’’ සම්මාන හා ‘‘දීප ශිඛා’’ සම්මානයි.   
ඔහු විදේශීය ප්‍රසංග රැසකට ද ගී ගැයූ ගායකයෙකි.   
ඔහු අවසන් වරට සහභාගී වූයේ වනාතමුල්ලේ පැවැති ප්‍රසංගයකටය.   
ඔහුගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමකට ලක්වීමට සිදුවූයේ 1991 නොවැම්බර් 3 වැනිදාය. නොවැම්බර් 13 වැනිදා ඔහුට ලන්ඩනයේ ප්‍රසංග කීපයකට සහභාගීවීමට නියමිතව තිබිණ. ඇසේ සුද ඉවත් කිරීම යනු එතරම් බරපතළ සැත්කමක් නොවූවද බෙග්ට එය මරණයගෙන ආවේය. නිර්වින්දනය කිරීමේ දී සිදුවූ ගැටලුවක් නිසා බෙග් මාස්ටර් නැවත සිහි නොලබාම මෙලොව හැර ගි​යේ 1991 නොවැම්බර් 4 වැනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු 71 ක් විය.   


එක් අතකින් මොහිදින් බෙග් කෙතරම් වාසනාවන්ත පුද්ගලයෙකුදැයි සිතෙයි. ඔහුගේ කටහඬ අනුකරණය කරමින් ඒ ශෛලියට ගී ගයන ගායකයෝ රැසකි. එය අද ඊයේ ආරම්භ වූවක් නොවේ.   
එදා අතීතයේ ආධුනික සංගීත ප්‍රසංගවලින් පටන්ගෙන අද නව තාක්ෂණය ඔස්සේ රියලිටි ෂෝ දක්වා බෙග් ගේ කටහඬත් ගීතත් අපට අසන්නට ලැබෙයි. එය බෙග් අප අතරින් වෙන්වී වසර 30 කට ආසන්න කාලයක් ගත වුවද වෙනස් නොවී පවතී.   
තවත් අතකට බෙග් ඉතා වාසනාවන්ත තාත්තා කෙනෙකි. තම පුතුන් වූ ඉෂාක් හා ඉල්යාස් උත්සාහ කරන්නේ පියා සොයා තැබූ මිල මුදල් ඉඩකඩම් ලබා ගැනීමට නොවේ. මිල මුදල් බවට පත් කළ ඔහුගේ එකම වස්තුව වූ පියාගේ කටහඬ බෙදා ගන්නටය. රසිකයෝද බෙග්ගේ කටහඬ ඔවුන්ගෙන් අසන්නට සවන් යොමු කර සිටිති.   


පුතුන්ගේ උත්සාහය තාත්තා මෙන් ගී ගයන්නට වැඩියෙන්ම පුළුවන් කාටද යන්නය.

 

 

රොඩ්නි විදානපතිරණ