අශෝක චරිතයේ කාළවර්ණ සෙවණැල්ල


අශෝක ස්ථම්භය සහ අශෝක රජු ඉදි කළ විහාරස්ථානවල නටබුන්

 

 

අශෝකයන්ගේ දිවිය, ඉතිහාස ගතව ඇත්තේ කාළවර්ණ සහ ශ්වේත වර්ණ ද්වන්ද ජීවිතයක් ගත කළ නිිරිඳෙක් ලෙසිනි. චණ්ඩාශෝක ලෙසින් දිවියෙන් හරි අඩක් අති කාළවර්ණ චරිත ස්වභාවයක් ඔහු කෙරෙන් ප්‍රකට වේ. කාලිංග යුද්ධයෙන් පසුව දික්විජය සංකල්පය පිළිකෙව් කර, ධර්ම විජය ප්‍රතිපත්තියට අනුගත වීමෙන් අනතුරුව ධර්මාශෝක නාමයෙන් අරඹන ඔහුගේ දිවියේ අනෙක් අඩ ශ්වේත වර්ණ ඡත්‍රයක් සේ ඉතිහාසය පුරා පතුරුවන්නේ මහත්ම ප්‍රභාශ්වරයකි. බුදු දහමෙහි සිසිලසින් ඔහු දිවි පෙවෙත සුමගට යොමු වූයේ නිරායාසයෙනි. චණ්ඩාශෝකයන් ගේ චරිත ස්වභාවය ධර්මාශෝකයන් බවට පරිවර්තනය වීමෙන් අනතුරුව බුදු සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමා වෙතින් ඉටුවූ අමිල සේවාව අපි අනන්තවත් අධ්‍යයනය කොට, කියවා සහ අසා ඇත්තෙමු. එසේ වුවද, අශෝක ජීවන වෘත්තාන්තයේ ළමා අවධියේ සිට විශ්මය දනවනසුළු, ප්‍රචණ්ඩ හැසිරීම් රටාවන් පිළිබඳව අප්‍රකට තොරතුරු ජනගතවී ඇත්තේ අල්ප වශයෙනි. කුතුහලය දනවන සුළු චණ්ඩාශෝක චරිතයෙහි කාළවර්ණ සෙවනැල්ල පිළිබඳව තොරතුරු ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.  

 

අශෝක රජු සිය බිසෝවරුන් පිරිවරා

 

අශෝක නිරිඳුන්ගේ පූර්ව භවය ද විශ්මිත සිදුවීම්වලින් අනූනය. දිව්‍යාවදානය නම් සංස්කෘත කෘතියෙහි දැක්වෙන පරිදි, භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර පිඬුසිඟා වැඩි අවස්ථාවක ජය සහ විජය නම් කුඩා දරුවන් දෙදෙනෙක් වැලි බත් පිසීමෙහි නිරතව සිටියහ. ජය නමැති දරුවා බුදුන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමකින් තමන් සකස් කර තිබූ වැලි බත් පිඩක් බුදුන් වහන්සේගේ පාත්‍රයට පූජා කළේය. කුඩා දරුවා සැදැහැ සිතින් කළ මේ පින හේතු කොට ගෙන පාටලීපුත්‍ර නගරයෙහි මුළු මහත් දඹදිවටම අධිපති වූ අශෝක නම් අධිරාජ්‍යයෙක්ව මතු උපත ලබන බවත්, හෙතෙම මතු සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස කටයුතු කරන නිරිඳෙකු වන බවත්, භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ සමග සිටි අනඳ තෙරුන් වහන්සේට වදාළ බව එහි දැක්වේ.  

 

අශෝක හොඳ පෙනුමක් ඇති කුමාරයකු නොවූ හෙයින්, ඔහුගේ පියා විසින් ඔහුව පහත් කොට සලකනු ලැබීය. දිව්‍යාවදානය කෘතියෙහි අශෝකගේ ස්වරූපය පිළිබඳව වාර්තා කරන්නේ ‘‘අශෝක තෙමේ දුක්ඛ ස්පර්ශ (රළු) ශරීරයක් ඇත්තෙකි. බින්දුසාර රජුහට හේ අප්‍රිය තැනැත්තෙක් විය’’ යනුවෙනි. අශෝක තම සහෝදරයන් අතර සුවිශේෂී ස්ථානයක් ගත්තේය. රජු තමන්ගේ ඇවෑමෙන් පසු තම දරුවන් අතරින් කවරෙක් රාජ්‍යත්වයට සුදුසුදැයි පිංගල වත්සාජීව පරිබ්‍රාජකයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සිය දිවැස යොමා, අශෝක කුමරුවන් නියත වශයෙන්ම රාජ්‍යත්වයට පත් වන බව පැවසීය.  

 


අශෝක ක්‍රි.පූ. 304 දී බින්දුසාර අධිරාජ්‍යයා සහ සුභද්‍රංගි ​දේවියගේ වැඩිමහල් පුතු ලෙසින් උපත ලැබූ බව කියනු ලැබේ. හේ මෞර්ය අධිරාජ්‍ය චන්ද්‍රගුප්ත ගේ මුණුබුරාය.  


රුවෙන් අගතැන්පත් වූ සුභද්‍රංගි දේවියගේ සුන්දරත්වයට ඊර්ෂයා කළ බින්දුසාර රජුගේ සෙසු බිසෝවරු ඇය වංශවතියක් නොවන බව පවසමින්, ඇයට රජු​ගේ මෙහෙසියක ලෙසින් යහන් ගැබට පිවිසීමේ අවස්ථාව අවුරා තිබුණි. ඔවුහු ඇය රජ වාසල කරණවෑමි සේවයෙහි යෙදවූහ.  


කෙටි කලකින් සුභද්‍රංගි දේවියගේ කාර්ය ශූරත්වය කෙරෙහි පැහැදුණු බින්දුසාර නිරිඳුන් ඇය ඔහුගේ ප්‍රධාන රැජින බවට පත් කර ගනී. මද කලකින් සුභද්‍රංගි දේවිය පිරිමි දරුවෙක් බිහි කළේ ඇයගේ සියලු දුක් කම්කටොලු අවසන් කරමිනි.  


ඇය දරුවාට අශෝක යන නම තැබුවේ දරු ප්‍රසූතියේදී තමන්ට වේදනාව මුසු ශෝකයක් (අ-ෂෝක) නොදී ඔහු මෙ​ලොව එළිය දුටු බැවිනි. පසුව ඇය දෙවන පුතෙකු බිහි කළාය. ඇය දරුවාට විගනාශෝක යන තම තැබුවාය.  


අශෝක හොඳ පෙනුමක් ඇති කුමාරයකු නොවූ හෙයින්, ඔහුගේ පියා විසින් ඔහුව පහත් කොට සලකනු ලැබීය. දිව්‍යාවදානය කෘතියෙහි අශෝකගේ ස්වරූපය පිළිබඳව වාර්තා කරන්නේ ‘‘අශෝක තෙමේ දුක්ඛ ස්පර්ශ (රළු) ශරීරයක් ඇත්තෙකි. බින්දුසාර රජුහට හේ අප්‍රිය තැනැත්තෙක් විය’’ යනුවෙනි. අශෝක තම සහෝදරයන් අතර සුවිශේෂී ස්ථානයක් ගත්තේය. රජු තමන්ගේ ඇවෑමෙන් පසු තම දරුවන් අතරින් කවරෙක් රාජ්‍යත්වයට සුදුසුදැයි පිංගල වත්සාජීව පරිබ්‍රාජකයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සිය දිවැස යොමා, අශෝක කුමරුවන් නියත වශයෙන්ම රාජ්‍යත්වයට පත් වන බව පැවසීය. 

 
බින්දුසාරගේ ප්‍රියතම පුත් සුෂීමට අශෝක සමග විශාල ගැටලු ඇති වූයේ අශෝක ඔහුට වඩා කාර්යක්ෂම හා ධෛර්යසම්පන්නව සිටි නිසාය. එබැවින් අශෝකගේ ජීවිතයේ ගැටලු ඇති කිරීමට ඔහු සෑම අවස්ථාවකම ක්‍රියා කළේය. සුෂීම් යටතේ පාලනය වූ තක්ෂිලාවේ කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා අශෝකව තක්ෂිලාවට යවන ලෙස ඔහු බින්දුසාරට බල කළේ මේ හේතුවෙනි. කෙසේ වෙතත් අශෝක තක්ෂිලාවට ගොස් කැරැල්ල මර්දනය කිරීමට සමත් විය. සුෂීම්ගේ සැලැස්ම අසාර්ථක වීම නිසා කෝපයට පත් සුෂීම් අශෝකට එරෙහිව විවිධ ​චෝදනා බින්දුසාර පිය රජු වෙත ඉදිරිපත් කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අශෝක පාඨලීපුත්‍ර රාජධානියෙන් පිටුවහල් කළේය. අශෝකට ධීවර කාන්තාවක් වන ඔහුගේ අනාගත බිරිඳ කෞර්වාකි මුණගැසුණේ එම අවස්ථාවේදීය. විවිධ මූලාශ්‍රයන්හි අශෝකගේ බිරින්දෑවරුන් පස් දෙනකු පිළිබඳව සඳහනි. මහා දේවි, කෞර්වකි, අසන්ධි මිත්‍රා, පද්මාවතී සහ තිෂියරක්ෂිනා ඒ පස් මහා බිසෝවරුන්ය. ඔහුගේම සෙල්ලිපිවලින් දක්වා ඇත්තේ තමාගේ එකම රැජින කෞර්වාකි බවය. මහාවංශයට අනුව, අශෝකගේ ප්‍රධාන රැජින අසන්ධි මිත්‍රාය. දීපවංශය සනිටුහන් කරන්නේ, ශ්‍රී ලංකාවට බුදු සමය රැගෙන ආ මහා මහින්ද තෙර සහ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම වූ සංඝමිත්තා තෙරණිය අශෝක සහ එතුමාගේ අග බිසව වූ මහා දේවියගේ දරුවන් දෙදෙනා ලෙසිනි.  


බින්දුසාර තම රාජ්‍යයේ උරුමක්කාරයා පත් කිරීමට පෙර 48 වන වියේදී (ක්‍රි.පූ. 275) දී මිය ගියේය. අනතුරුව සිහසුන සඳහා සහෝදරයින් අතර අනුප්‍රාප්තික යුද්ධයක් ඇති විය.  


අශෝක සේනා පිරිවරා සුෂීමට එරෙහිව මහා යුද්ධයක් මෙහෙය විය.  


මෙම සටනේදී චන්ඩාශෝක තම පිය රජු බින්දුසාර නිරිඳුන්ට දාව වෙනත් බිසෝවරුන්ගෙන් උපන් සහෝදරයන් 100 දෙනාගෙන් 99 දෙනකු සමග සටන් කොට ඔවුන් ඝාතනය කර තුන් වන මෞර්ය අධිරාජ්‍යයා බවට පත් විය. මෙම සටනින් බේරී ඇත්තේ ඔහුගේ බාල සොහොයුරා වන විගතාශෝක පමණි.  
අශෝක රාජ පදවි ප්‍රාප්තියට පත්වූ සැණින් තම හිතෛෂී රාධ ගුප්ත අග්‍රාමාත්‍ය ධුරයෙහි පිහිටවනු ලැබීය. චණ්ඩා ශෝක අධිරාජ්‍යයාගේ පළමු වසර කිහිපය තුළ රාජ්‍ය පාලනය කළේ ඉතා කුරිරු අන්දමිනි. එක් අවස්ථාවක අශෝක තම ඇමැතිවරුන්ගේ පක්ෂපාතීත්වය පරීක්ෂා කිරීමට උපායක් යෙදීය. සියලු මල් හා පලතුරු ගස් කපා දමන ලෙසත්, නමුත් කටු ගස් තනිවම තබන ලෙසත් නියෝග කළේය. මේ නියෝගය ඇමැතිවරුන්ට අවබෝධ කර ගැනීමට නොහැකි වූ ප්‍රහේලිකාවක් විය. අශෝකගේ නියෝගය පැහැදිලි කර ගැනීම සඳහා ඇමැතිවරු ප්‍රශ්න කළහ. ඔවුන් තුන් වතාවක් අධිරාජ්‍යයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අශෝක කෝපයට පත් වී ඔහු තම ඉන රැඳි කඩුව ගෙන ඇමැති පන්සියයකගේ හිස් කපා දැමූ බව වාර්තා වේ. තවත් අවස්ථාවක අශෝකයන්ගේ හිතවත් අමාත්‍යවරයකු වූ යසස් නමැත්තාට, තම රාජ්‍යයේ ජීවත් වන සියලුම වර්ගයන්හි සතුන්ගෙන් එකා බැගින් ද, එක මිනිසෙක් ද මරා ඔවුන්ගේ හිස් වෙළෙඳ ගෘහයෙහි අලෙවියට තබන ලෙසට නියෝග කළේය.  


අශෝකට සමේ රෝගයක් හටගත් අතර, ඔහුගේ සම රළු හා අප්‍රසන්න වූ අතර, දුර්ගන්ධයක් වහනය වන්නට විය. දිනක් අශෝක තම අන්තඃපුර කාන්තාවන් ඔහුගේ සමේ පිළිකුල් ස්වභාවය සහ ඔහු ඇසුරේ ගත කරන විට ඔහුගේ සිරුරේ ස්පර්ශයට තමන් දක්වන අප්‍රසන්නතාව පිළිබඳවත් ඔවුනොවුන් කතා කරනු අසා සිටියේය. ඊට අමතරව රාජකීය උද්‍යානයෙහි රජුගේ නමින් නම් කර තිබු අශෝක මල් ගොමුවේ පිපී තිබුණු අශෝක මල් සියල්ල රජු කෙරෙහි තමන් තුළ තිබූ පිළිකුල ප්‍රකාශ කරන්නට අන්තඃපුර ස්ත්‍රීන් විසින් විනාශ කර තිබෙනු රජුට දැක ගන්නට ලැබිණි. මහත් කෝපයට පත් අශෝක ඔහුගේ අන්තඃපුර කාන්තාවන් 500ක් පුළුස්සා මරා දැමීමට පෙළඹුණු බවටද තොරතුරු එක්තරා ඉපැරැණි වෘතාන්තයකින් හෙළිවේ.  


දැඩි එහෙත් ක්‍රමවත් රාජ්‍ය පාලනයක් පවත්වා ගැනීමට අශෝක දරූ උත්සාහයේ දී දැනුම යාවක්කාලීන කර ගැනීම පිණිස ඔහු අතිශය රහස්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබිණි.  


ඒ සඳහා අශෝක අධිරාජ්‍යයා විසින් ක්‍රි.පූ. 226දී ඉන්දියාවේ කුශාග්‍ර බුද්ධියෙන් අගතැන්පත් මිනිසුන් නව දෙනෙකුගෙන් සමන්විත රහස්‍ය කණ්ඩායමක් පත්කර තිබුණි.  


මෙම කණ්ඩායම අශෝකගේනොදන්නා මිනිසුන් නව දෙනාගේ කල්ලිය ලෙස ප්‍රසිද්ධ විය.  


එම පිරිස මගින් ඔහු විශ්වීය දැනුම ලබා ගැනීම හා එම දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම පිණිස ඒවා ගබඩා කර තැබීමේ ක්‍රමවේදයක් සකසා තිබූ බව පැවසේ.  


පුරාවෘත්තයට අනුව, මෙම බුද්ධිමත් මිනිසුන් නවදෙනා ස්වභාව ධර්මය හා තාක්ෂණය පිළිඳ දැනුම එක්රැස් කිරීමේ කාර්යය නිර්නාමිකව කරගෙන ගිය අතර, ඒ ආශ්‍රයෙන් ඔවුහු න්‍යායන් සකසා ​අශෝක අධිරාජ්‍යයා වෙත ඉදිරිපත් කරනු ලැබිණි.  


අශෝකගේ නාඳුනන මිනිසුන් 9 දෙනාගේ කල්ලියට ලෝක දේශපාලනය හා සිදුවීම් හැසිරවීමේ සුවිශේෂී බලයක් තිබූ බව ද පැවසේ.  


අශෝක අධිරාජ්‍යයා බවට පත්වී වසර කිහිපයකට පසුව ඔහුගේ ජීවිතයේ 40 දශකයේ මුල් භාගයේදී (ක්‍රි.පූ. 262) කාලිංග දේශය සමග සටන් වැදුණි. ඇෆ්ගනිස්ථානයේ සිට මයිසූර් දක්වා වූ ඉන්දීය මහාද්වීපය මෞර්ය අධිරාජ්‍ය යටතේ පැවතුණි. කාලිංග යනු මෞර්ය අධිරාජ්‍යය යටතේ නොතිබූ අවසාන රාජධානිය වන අතර, අශෝකට අවශ්‍ය වූයේ එය කෙසේ හෝ තම රාජධානියට ඈඳා ගැනීමටය. මෞර්ය හමුදාව ඔරිසා හිදී කාලිංග හමුදාව සහ සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළහ. අශෝකගේ ඇස්තමේන්තුවට අනුව කාලිංග පරාජය වීමෙන් පසු එදින ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් සමූල ඝාතනය කරන ලදී. කාලිංගයේ දයා නම් වූ ගඟ දිය මිනිස් රුධිරය මුසුවීමෙන් දින ගණනාවක් රතු පැහැයට හැරී තිබුණි. කාලිංග යුද්ධයෙන් පසු කාලිංග පුරවැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අශෝක විසින් වහලුන් ලෙස පිටුවහල් කරනු ලැබීය. 

 
අශෝක බොහෝ බ්‍රාහ්මණ හා වෛෂ්ණාව සහ ජෛන භික්ෂුන් සහ ආජීවිකයන් (තපස්) මරා දැමීය. මහාවීරගේ අනුගාමික ආජීවිකයන් දහ අට දහසගේ ජීවිත එක් දිනකදී අශෝක නියෝගයෙන් ඝාතනයට ලක් විය.  


අශෝක තම උදහසට ලක්වන්නන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා තම මාලිගාව අසල පාටලීපුත්‍ර නගරයේ (ක්‍රි.පූ. 304-232) සිර ගෙයක් ඉදිකරවූවේය.  


එය හැඳින් වූයේ ‘‘අශෝකගේ නිරය’’ යනුවෙනි. මෙම වධහිංසා මාලිගයේ පුරාවෘත්තය අශෝකාවදාන නම් සංස්කෘත කෘතියෙහි කදිමට විස්තර වේ.  


පුරාවෘත්තයන්ට අනුව මාලිගා වධකාගාරය එහි බාහිර දෘෂ්‍යමය ප්‍රසන්න වන පරිදි කාලාත්මකව නිර්මාණය කර තිබිණි. කෙසේ වෙතත් සුන්දර මන්දිරයට යටින් සුවිශේෂී ගැඹුරින් කුටි ඉදිකර ඇත්තේ සිරකරුවන්ගේ සිරුරට උණු කළ ලෝහ දියර වත් කළ හැකි පරිද්දෙනි. ගිනි යම් වී දැවෙන යකඩ තට්ටුවක් මත වින්දිතයන් සැතැපවීම, පණ පිටින් උල් හීයක අමුණක ලද සිරකරුවන් පද්දවමින්, ඔවුන් මරහඬ තලද්දී ගිනි දැල් මතට යොමු කිරීම, උණු ලෝදිය පෙවීම වන් අති බිහිසුණු දඬුවම් සමුදායක් අශෝක නිරයේදී ක්‍රියාත්මක විය. කුරිරු වධ හිංසා වලින් පිරී පැවැති නිරය තුළින් නිරන්තරයෙන් වින්දිතයින්ගේ විලාප දුක් අඳෝනා ඇසෙන්නට වූ බව ද පැවසේ. අධිරාජ්‍යයාගේ අලුතෙන් පත් කරන ලද අලුගෝසු ප්‍රධානියා වූ ‘ගිරිකා’ විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම වදකාගාරය ඉදිවූ බව ද පැවසේ. ඔහු අශෝකයන් සමග නිරයේ පංචවිධ වධහිංසා නරඹමින් මහත් ආශ්වාදයක් ලබාගත්තේය.  


එක් පුරාවෘත්තයක සඳහන් වන්නේ ගිරිකාට ගොදුරු වූවන්ගෙන් එක් අයෙකු සමුද්‍රා නම් බෞද්ධ භික්ෂුවක් බවයි. ගිරිකා විසින් ඔහුට වධ හිංසා කළ ද, ඔහු නිරුපද්‍රිතව සිටි අතර, මෙම ප්‍රාතිහාර්යය පිළිබඳ පුවත අධිරාජයාට දැනගන්නට ලැබුණි. සමුද්‍රා තෙර මුණගැසුණු අධිරාජයාට උන්වහන්සේ දුන්නේ බුදුන් වහන්සේ දේශිත අනාවැකියට අනුකූලව ස්තූප 84,000ක් ගොඩනගන ලෙසත්, සියලු සත්වයන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත්ය. එම ඉල්ලීම්වලට එකඟ විය. ඔහු සිය අපරාධ පාපොච්චාරණය කර බුදුන් හා ධර්මය පිළිගත්තේය. ​අශෝක නිරිඳුන් බුදුසමය වැළඳ ගැනීම පිළිබඳව වූ පුවත දිව්‍යාවදාන කෘතිය එසේ සඳහන් කළ ද, පැරණි මූලාශ්‍ර බොහොමයක සඳහන් වන්නේ කාලිංග යුද්ධයෙන් අනතුරුව අශෝකයන් බුදු සමය වැළඳ ගත් බවයි.  


දිනක් අශෝක, පාඨලීපුත්‍ර නගරයේ පිඬු සිඟා වඩින නිග්‍රෝධ නම් තරුණ බෞද්ධ භික්ෂුවක් දුටුවේය. රජු නොදැන සිටියද ඔහු සිංහාසනය සඳහා වූ ගැටුමේදී මරා දැමූ අශෝකගේ සහෝදරයකුගේ පුතෙකි. නිග්‍රෝධ තෙරණුවන්ගේ සන්සුන් ගමන අශෝකයන්ගේ සිත් ගත්තේය.   


උන්වහන්සේගේ ඇදහීම තමන්ට උගන්වන්නැයි අශෝක එම තෙරුන්ගෙන් අයැද සිටියේය. උන්වහන්සේගේ දේශනය අවසානයේ රජු බෞද්ධයකු වූ බැව් ඇතැමි පෞරාණික ලේඛන ගෙන හැර දක්වයි. අශෝක කාලිංග යුද්ධයෙන් පසු බුද්ධාගම පළිගත්ත ද අභිලේඛන සාක්ෂිවලින් පෙනී යන්නේ ඔහු බුදු දහමට අනුගතවීම ක්ෂණිකව නොව ක්‍රමයෙන් සිදුවූ ක්‍රියාවලියක් බවයි. 

 

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්