විවිධ මානයන්හි චරිතවලට පණ පොවමින් වේදිකාවත්, ටෙලි තිරයත්, සිනමාවත් වර්ණවත් කරමින් වසර ගණනාවක්ම කලාවේ රැඳෙමින් තම දක්ෂතා පෙන්වන ඇය මේ දිනවල ප්‍රේක්ෂක නෙතට හමුවන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වන “පිරිමි ළමයි” ටෙලි නිර්මාණයේ “අකුරණ හාමිනේ” ගේ චරිතයෙනි.
ඉතින් නයනා හෙට්ටිආරච්චි නම් ඇගේ ඒ කලා කටයුතු ගැන කතා බහ කරන්නට මෙවර සැඳැල්ලෙන් වෙන්කළ ඉඩකඩයි මේ.....
ප්‍ර අකුරණ හාමිනේ ගෙන්ම කතාව පටන් ගමුකෝ ?
පිරිමි ළමයි ටෙලි නිර්මාණයේ පිටපත රචනා කරන සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගෙයි, IMPAS ආයතනයේ චේතනී විජේතුංග මහත්මියගෙයි, නාට්‍ය අධ්‍යක්ෂක ජය ප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගෙයි ආරාධනයක් විදිහට තමයි මට අකුරණ හාමිනේ ගේ චරිතය ලැබෙන්නේ. මම ඒ ආරාධනාව ඉතාම සතුටින් භාරගත්තා. මොකද මීට පෙරත් ඒ පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකතුමා එක්ක මම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ අයගේ නිර්මාණ ගැන පැහැදීමක් තිබුණ නිසා මම මේ නිර්මාණයටත් සම්බන්ධ වෙන්න හිතුවා. අද වෙනකොට මට ගොඩක් සතුටුයි ඒ නිර්මාණයට දායකවෙන්න අවස්ථාව ලැබීම ගැන.
ප්‍ර වලව් පෙළැන්තිය නියෝජනය කරන තරමක් වලව් මාන්නයෙන් ඉන්න ඒ චරිතය ගැන ඔබේ අදහස මොකද්ද ?
පිරිමි ළමයි ටෙලි නිර්මාණය ඇතුළේ වලව්වේ හාමු මහත්තයා නිහඬ, නිවුණු චරිතයක්. ඒත් අකුරණ හාමිනේ ගේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්. විවාහයත් සමග තම හිස මත කඩා වැටුණු වලව්වේ නම්බුවත්, එම පරම්පරාවේ නම්බුවත් රැකගැනීම වෙනුවෙන් වැඩිපුරම පෙනී සිටින්නේ ඇය. වලව් පෙළැන්තියේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු එක්ක ගැටෙන ප්‍රමාණය සහ ගනුදෙනු කරන අවස්ථා හරිම අඩුයි. එතන දි පුරුෂ පාර්ශ්වය පිටත සමාජයට නිරාවරණය වුණත් කාන්තාවන් විවෘත වෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේම තමයි ඒ අයට ඒ සමාජ පන්තිය ඇතුළේ තියන බැමි එක්ක ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඒ අය යම් පීඩනයක ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම එක්ක ඇය ඒ වලව්වට පැමිණි පසු මුහුණ දුන්න සිදුවීම්, ඇයට ඇතිවුණ ඝට්ටන, අහිමිවුණු අයිතිවාසිකම් එක්ක තමයි ඇගේ තද ගති, බලපෑම් සහගත ක්‍රියාකාරකම්, සමග සංකලනය වෙලායි මේ චරිතය ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් මේ හැම දේම එක්ක බලද්දි අකුරණ හාමිනේ කියන්නේ මුළු පවුලම පාලනය කරන් ඉන්න චරිතයක්.
ප්‍ර නයනා හෙට්ටිආරච්චිත් අකුරණ හාමිනේ වගේ පවුල පාලනය කරගෙන ද ඉන්නේ?
අනේ නැහැ. නයනා හෙට්ටිආරච්චි ඊට හාත්පසින්ම වෙනස් විදිහේ කෙනෙක්. මම බොහොම නිශ්ශබ්ද කෙනෙක්. අපේ ගෙදර ඒ විදිහේ සද්ද බද්ද නැහැ. අපේ ගෙදර ප්‍රශ්නවල දි අවස්ථාව අනුව මම හෝ මගේ සැමියා ප්‍රසන්නජිත් නිහඬ වෙලා ඒ දේවල් තේරුම් බේරුම් ඇතිව විසඳගන්නවා. ඒ නිසා සාමකාමීව ගෙවෙනවා.
ප්‍ර කොහොමද ලැබෙන ප්‍රතිචාර, බැණුම් එහෙම තියෙනවාද?
බණින්නෙත් නැහැ. නමුත් ඉඳලා හිටලා ඒ වගේ ප්‍රතිචාරත් ලැබෙනවා. නාට්‍ය විකාශනය වෙන්න පටන් ගත්ත මුල්ම දවස්වල එක අම්මා කෙනෙක් මට කිව්වා "මට ඔයාව පේන්න බැහැ" කියලා. නමුත් දැන් නම් හොඳ ප්‍රතිචාර තියෙනවා.ගොඩක් දෙනෙක් ඒ චරිතයට කැමති වග ඒ අය එක්ක කතා කරනකොට තේරුම් යනවා. ලංකාවේ වගේම පිටරටවලත් මේ ටෙලිනාට්‍යයට හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.ළඟදි මම සම්බන්ධ වුණු නවසීලන්ත චාරිකාවක දී මට හමුවුණු ප්‍රේක්ෂකයෝ වැඩිදෙෙනක් මට කතා කළෙත් අකුරණ හාමිනේ කියලා.
ප්‍ර පිරිමි ළමයි ටෙලි නිර්මාණයේ තරුණ- අලුත් රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය එක්ක වැඩ කරන එක කොහොමද දැනෙන්නේ?
හරිම පහසුයි ඒ අය එක්ක වැඩ කිරීම. ඒ ගනුදෙනුව හරියාකාරව සිද්ධ වෙනවා. ඇත්තටම ඒ හැමකෙනෙක්ම වගේ හරිම දක්ෂයි. මාත් සමග ගැටෙන හැම චරිතයක්ම නිරූපණය කරන අය තමන්ගේ ඒ වගකීම- රාජකාරිය හරියට ඉෂ්ට කරනවා. තමන් ගෙන් ඒ නිර්මාණයට ලැබෙන්න ඕන සහයෝගය නිවැරදිව ලබා දෙනවා. ඉතින් මම හිතනවා ඒ නාට්‍යය සාර්ථක වෙන්න වගේම මෙතරම් ජනප්‍රිය වෙන්න හේතුවත් දක්ෂ පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය සමග එකතු වුණු ඒ එකමුතුකම සහ නිවැරදිව තම රාජකාරිය ඉටුකිරීමේ ගුණය කියලා.
ප්‍ර ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට කලාවේ අනාගතය ගැන සතුටු වෙන්න පුළුවන් ද?
ඇත්තටම හොඳ අධ්‍යක්ෂකවරු, හොඳ කලා නිර්මාණ, දක්ෂ නළු නිළියෝ තාමත් බිහිවෙනවා. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, සිනමා පට වේවා හොඳ හැදෑරීමකින් යුතුව මේ ක්ෂේත්‍රයට පැමිණි අයගේ නිර්මාණ ඉතාම සාර්ථක මට්ටමක ඇතිබව අපි දකිනවා. ඉතින් හැම කෙනෙක්ම හොඳ හැදෑරීමකින් යුතුව කලාවට සම්බන්ධ වෙනවා නම්, කලා ක්ෂේත්‍රයට අවශ්‍ය අවධානය රජයෙන් ලැබිලා හරියාකාරව අවශ්‍යතා ඉටුවෙනවා නම්, කලාවේ අනාගතය තවත් හොඳ වේවි කියලා මම හිතනවා.
ප්‍ර ඔබේ අනෙක් කලා කටයුතු ගැනත් මතක් කරමු?
මේ දිනවල වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරනවා. එදිරිවීර සරච්ච්න්ද්‍ර මහත්මයාගේ වේදිකා නාට්‍ය කිහිපයක් එම මැතිනියගේ නව නිෂ්පාදන ලෙසින් එළි දැක්වූවා. ඒ අතරින් එළොව ගිහින් මෙලොව ආවා, මඟුල් පරස්තාව, වෙල්ල වැහුම්, පබාවතී කියන නාට්‍යවල රංගන කටයුතු කරනවා. ඊට අමතරව ආර්.ආර්.සමරකෝන් මහත්මයාගේ කැලණි පාලම නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතය වෙනුවෙන් දායක වෙනවා. ඒ වගේම ප්‍රසන්නජිත් අබේසූරිය ගේ අගෝස්තු මස පැවැත්වෙන නාට්‍ය උලෙළ සඳහා රඟ දැක්වෙන වේදිකා නාට්‍යවලත් සම්බන්ධ වෙලා කටයුතු කරනවා. වේදිකාව පැත්තෙන් ඒ දේවල් කරන අතරතුරම සිනමා පට කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ නිර්මාණත් ඉදිරියේදී දකින්න ලැබේවි.
ප්‍ර වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන ගමන් පවුල් ජීවිතයත්- මව් භූමිකාවත් සාර්ථක කරගන්න මේ කලා කටයුතු බාධාවක් වුණේ නැද්ද?
මම මොන දේ කරත් පලවෙනි තැන දෙන්නේ මගේ පවුලට. මගේ දරුවෝ දෙන්නට සහ පවුලේ අනෙකුත් වැඩ කටයුතු වලට. ඒ නිසා ඒ හැම දේකටම වෙලාව වෙන් කරගෙන තමයි කලා කටයුතු කරන්නේ. වෘත්තීයමය කීවත් මම එක හැල්මේ නිර්මාණ පසුපස යන කෙනෙක් නෙවෙයි. මට ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඕන කියලා අදහසක් නැහැ. ඒ නිසා තෝරාගැනීමකින් පසුව තමයි නිර්මාණ භාර ගන්නේ. හරවත් නිර්මාණයක් නම්, එම නිර්මාණයේ පිටපත් රචකයා හෝ අධ්‍යක්ෂවරයා ගැන අවබෝධයක් තියෙනවා නම්, තමයි මම ඔවුන් ගේ නිර්මාණවලට දායක වෙන්නේ. ඒ නිසා මට ගෙදර වැඩ කරගන්න කාලය තියෙනවා. ඒ වගේම පවුලේ අයත් මට සහයෝගය දෙන නිසා ඒ දේවල් සමබරව කරගන්න පුළුවන්.
ප්‍ර ඒ විදිහට කලා කටයුතු සාර්ථක කරගන්න පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
ඇත්තටම අපි හැමෝම වගේ කාර්ය බහුලයි. ලොකු පුතා දැනට කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස රැකියාවක් කරනවා. ඒ අතරතුරම නිදහස ලැබෙන අයුරින් කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.මේ දිනවල සසංකාරා ටෙලිනාට්‍ය යේ එයා පොඩි හාමුදුරුවෝ විදියට රඟපානව. පොඩි පුතාත් අධ්‍යාපන කටයුතු අවසන් කරලා කලාවට සම්බන්ධ වෙලා වැඩ කරනවා.මේ දිනවල මල්වාරේ ටෙලිනාට්‍යයේ එයා ප්‍රධාන චරිතයක් රඟපානව. පවුලෙ අපි ඔක්කොම මේ දවස්වල ප්‍රසන්නජිත්ගෙ දුක්ගන්නාරාල හා දොර්දණ්ඩා නාට්‍ය දෙකේ නව නිෂ්පාදනවල පුහුණවීම් කරගෙන යනවා. ඉතින් ඒ විදිහට වැඩ රාජකාරි අධික වුණත් කාලය බෙදා හදාගෙන අනෙක් අයටත් සහයෝගය ලබාදෙනවා.
ප්‍ර මොනවද කලාවේ අලුත් බලාපොරොත්තු?
ඉදිරියේ දී නිර්මාණ කාර්ය ආරම්භ කිරීමට නියමිත ටෙලිනාට්‍ය තුනක් තියෙනවා. ඒ වගේම සිනමා පට කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් කරගෙන දරුවො දෙන්නත් එක්ක සතුටින්, කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.
දුලක්ෂි ලියනගේ