සැඩ සුළඟින් අත්තනගල්ලේ නිවාස රැසකට හානි


(ආනන්ද ඉ ජයකොඩි)

රන්පොකුණගම ඇතුළු ගම්මාන කිහිපයක් හරහා අද පාන්දර හමා ගොස් ඇති සැඩ සුළගින් ගස් කඩා වැටීමෙන් හා නිවාසවල වහල කඩා ගෙන යාමෙන් හානි සිදු වී ඇති බවත් වහල තහඩු වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති බව අත්තනගල්ල ආපදා සහන සේවා නිලධාරී ටී බී නිර්මාල් මහතා පවසයි.

රන්පොකුණම නිවාස සංකීර්ණයේ පමණක් නිවාස තිස් පහකට පමණ හානි සිදු වී ඇති බවත් එම නිවාස සංකීර්ණයේ වහල තහඩු කඩා වැටීමෙන් එහි පදිංචි කාන්තාවන් දෙදෙනකුට තුවාල සිදු වී රෝහල් ගත කොට ඇති බවද ආපදා සහන සේවා නිලධාරී වරයා කියා සිටියේය.

එයට අමතරව මාඹුල, යටියන හා තිහාරිය යන ප්‍රදේශවල ද ගස් කඩා වැටී නිවාස පහළොවකට පමණ හානි සිදුවී ඇති බවද ආපදා සහන සේවා නිලධාරී වරයා සදහන් කළේය.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර යන මහත්වරු සමග ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ගේ මග පෙන්වීම යටතේ සැඩ සුළගින් හානි වී ඇති නිවාස හා අනෙකුත් දේපල පිළිබඳව එම ගම්මානවලට ගොස් තක්සේරු කර ගෙන යන බවත් ඒ අනුව සියළු දෙනාට වන්දි ගෙවීමට කටයුතු කරන බවද සහන සේවා නිලධාරී වරයා කීය.