ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති
කෙහෙළිය රඹුක්වැල්ල
උත්සව සමය එළඹුණද වෙෙළඳ පොළේ තත්ත්වය යහපත් නැත. බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් නොමැති බවට ද චෝදනාවකි. මේ ඒ ගැන විමසමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- කොහොමද අලුත් ඇමැති තනතුර?
පිළිතුර:- රටට ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක් මේක. මේ රටට තවදුරටත් ණය අරගෙන සංවර්ධන වැඩ කරන එක සුදුසු නෑ. ඒ නිසා පුළුවන් තරම් ආයෝජකයන් ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ආයෝජන හරහා තමයි රටට මුදල් ගලා එන්නේ. ඒ වගේම රැකී රක්ෂා ප්‍රශ්නය විසඳගන්න ලැබෙන්නේ.
ප්‍රශ්නය:- ආණ්ඩුවක් අලුතෙන් ආවම නොයෙක් සිහින මාළිඟා හදනවා. නමුත් අන්තිමට මුකුත් නෑ.
පිළිතුර:- අපි ඉතිහාසය ගත්තොත් පොරොන්දු වෙච්ච දේවල් අපි කරලා පෙන්වලා තියෙනවා. හැටනව ලක්ෂයක් ජනතාව අප කෙරෙහි විශ්වාසය තැබුවෙත් ඒ නිසයි. අපි බාරගත්ත අමාත්‍යාංශවල අපි හොඳට වැඩ කරලා තියෙනවා. මම අවුරුදු 12 ක් කැබිනට් ඇමැතිවරයෙක්. ඒ පවරපු වගකීම් ඉතාම සාර්ථකව කරලා තියෙනවා.
ප්‍රශ්නය:- මේ උත්සව සමයයි. නමුත් ජනතාව ඉන්නේ බොහෝම අමාරුවෙන්. මොකක්ද ආණ්ඩුවට තියෙන උත්තරය?
පිළිතුර:- මෙතැන තියෙන ප්‍රශ්නය තමයි කවුරුවත් කාලය ගැන බලන්නේ නැහැනේ. අපි තාම ඇවිත් මාසයයි. ආණ්ඩුවක් ඇවිත් අඩුම තරමින් මාස තුනක් යනකම් මූලික සැලසුම් හා ආර්ථිකය හැසිරවීම් සඳහා වැය කළ යුතුයි. ඒ කාලය ඉවසන්නම වෙනවා. ඒ සුළු කාලය ඉවසන්නේ නැත්නම් ඒක දේශපාලන වාසියට හරවා ගන්න උත්සාහ කරනවා නම් ඒක දේශපාලන කුහකකමක්. හැබැයි ජීවන වියදම සම්බන්ධයෙන් ආණ්ඩුව සෘජු මැදිහත්වීමක් කළ යුතුයි. ඒ නිසා තමයි රටේ ඉහළම පුරවැසියා ජනාධිපතිතුමා මේ වෙනකොට ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොස් පෞද්ගලිකව සොයා බැලීම් කරනවා. ඒ තුළින් ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.
ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය ආර්ථික මධ්‍යස්ථානවලට යෑම මාධ්‍ය සංදර්ශනවලින් වෙනස් වෙන්නේ කොහොමද?
පිළිතුර:- එ් වචන ඔබතුමාලනේ පාවිච්චි කරන්නේ. රටේ ජනාධිපතිට සංදර්ශන පවත්ව පවත්ව ඉන්න වෙලාවක් නෑ. රටේ ජනාධිපතිවරයට සෘජුවම දැනගන්න යමක් තියෙනවා නම් වෙළෙඳපොළේ ඇති තත්ත්වයන් වගේම වෙනස්කම් දැකගන්න දැනගන්න අවශ්‍ය නම් එහෙම යා යුතුයි. තව එකක් තියෙනවා. රාජ්‍ය නායකයා එවැනි දේවල් වලට පෞද්ගලිකවම සම්බන්ධ වෙනකොට ඒ අය තුළත් උනන්දුවක් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් නිලධාරියෙක් ගිහිල්ලා කතා කරනවා වගේ නොවෙයි. දේශගුණික කාලගුණික ප්‍රශ්න තියෙනවා. එළවළු මිල ඉහළ යාම ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. එය පාලනය විය යුතුමයි. නමුත් අපට අත්දැකීම් තියෙනවා. අධික වර්ෂාපතනයක් තියෙන කොට එළවළු මිල ඉහළ යාමක් වෙනවා. අපට ඒකට විකල්ප තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමුවෙලා තියෙනවා.
ප්‍රශ්නය:- ආණ්ඩුව නිර්භයනම් සහල් මාෆියාවට අත තියන්න කියලා අභියෝගයක් තියෙනවා?
පිළිතුර:- මමත් එතැන ඉන්නවා. ඒ ගැන ඔබතුමත් එක්ක මගේ ප්‍රති තර්කයක් නැහැ. හාල් මාෆියාව නියත වශයෙන්ම පාලනය කළ යුතුයි. එය විනාශ කර දැමිය යුතුයි. අභ්‍යන්තර වෙළෙඳ ඇමැතිතුමාට මම සුබ පතනවා එවැනි දේවල්වලට භය නැතිව අත ගහන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දෙතුන් දෙනෙකුගේ අවශ්‍යතාව වෙනුවෙන් රටේ ජනතාවගේ පොදු අවශ්‍යතාව පාවාදිය යුතු නෑ. ඕනෑම ව්‍යාපාරයක අරමුණ ලාභ ගැනීමයි. නමුත් ඒ ලාභය අයුතු ලෙස ගන්න දෙන්න බෑ. ජනතාව පීඩාවට පත්කරලා අයුතු හා අසාධාරණ ලෙස ලාභ ලබනවා නම් ආණ්ඩුවට වගකීමක් තියෙනවා ඒ ප්‍රශ්නය නිරාකරණය කරන්න. ඒ නිසා ඔබ කියපු සහල් මාෆියාව බිඳ දැමිය යුතුයි කියන ස්ථාවරයේ මම බොහෝම පැහැදිලිව ඉන්නවා.
ප්‍රශ්නය:- හාල්වලට සහතික මිලක් නියම කළාට ඒ සහතික මිලට හාල් කඩේ නෑ?
පිළිතුර:- මටත් පොඩි අත්දැකීමක් තියෙනවා ඔය සම්බන්ධයෙන්. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා වෙළෙඳ ඇමැති වශයෙන් ඉන්න කාලේ ඔය වගේ ප්‍රශ්නයක් මතු වුණා. එතුමා මට උදේ 6 ට විතර කතාකරලා කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි සහතික මිලක් නියම කළාට ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. මම කිව්වා තැන් දෙකක් රේඩ් කරන්න. එහෙම රේඩ් කරලා වැරැදි කරලා තිබුණොත් ඒ දේපොළ රාජ සන්තක කරන්න කියලා. කිව්වා වගේම තැන් දෙකක් රේඩ් කළා. පහුවදා ඉඳලම හාල් මිල යථා තත්ත්වයට පත්වුණා. ඉතින් මම මේ ඉඟියක් දෙන්නේ. කළ යුත්තේ කුමක් ද? කළ හැක්කේ කෙසේද කියලා.
ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව කාලේ රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්න කොට ඔබලා කිව්වේ ‘දේශපාලන පළිගැනීම් කරනවා’ කියලයි. දැන් ඒක එහෙම නොවෙයි ද?
පිළිතුර:- මේ දෙක දෙකක්. මේ දෙකේ වෙනස තේරුම් ගන්න. එෆ්.සී.අයි.ඩී. කියලා එකක් හැදුවනේ. ඒක ක්‍රියාත්මක වුණේ අරලියගහ මන්දිරයෙ කියලා කවුරුත් දන්නවනේ. අරලියගහ මන්දිරයේ කමිටුවකින්නේ අත්අඩංගුවට ගත යුතු අය කවුද කියලා තීරණය කළේ. චම්පික රණවක, රාජිත සේනාරත්න හා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකලා තමයි එදා නිර්දේශ කළේ මෙන්න මේ අයට නඩු දාන්න. මේ අය හිරේ දාන්න කියලා. අපි නොවෙයිනේ මේවා කිව්වේ. සුහද ගම්ලත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්තුමා එ් තොරතුරු අනාවරණය කළා. අල්ලස් දෙපාර්තමේන්තුවේ හිටපු දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඒ වගෙම එෆ්.සී.අයි.ඩී. ප්‍රධානියා රවි වෛද්‍යලංකාර මේ අය කිව්වනේ එදා දඩයම් කරපු හැටි. ‘සුහද ගම්ලත්ට කියලා තියෙනවා. ‘ඔයා අපි කියන විදියට වැඩ කරන්න. ඔයා ගැන අපි බලාගන්නම්’ කියලා. ඒ දේශපාලන දඩයම නොවෙයි අද ක්‍රියාත්මක වෙන්නේ. අරලියගහ මන්දිරයේවත්, ජනාධිපති මන්දිරයේවත් පැලවත්තේ තියෙන ජනතා විමුක්ති මූලස්ථානයේවත් නොවෙයි අද තීන්දු ගන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. අපි ඒවාට ඇඟිලි ගහන්නේ නැහැ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩහැරලා අපි බලාගෙන ඉන්නවා. එදයි අදයි අතර වෙනස ඔබ හඳුනාගන්න.
ප්‍රශ්නය:- පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩලා මහ රෑ උසාවි ඇරලා ඇමැති චම්පික රණවකව අත්අඩංගුවට ගත්තේ?
පිළිතුර:- බැසිල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගත්තේ රෑ 10 ට. උසාවිය ඇරගෙන හිටියා ඒ වෙනකම්.
ප්‍රශ්නය:- මේ ඒ නිසයි?
පිළිතුර:- නෑ... නෑ.. එහෙම දෙයක් නොවෙයි මම මේ කියන්නේ. එදා තිබුණේ අරලියගහ මන්දිරයේ නියෝග. අද තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිය හා සාමය ක්‍රියාවට නංවන ආයතන ක්‍රියාත්මක වීමක්. කථානායකගෙන් අවසර නොගැනීම ආදිය නිසා යම් කෙනෙක් අගතියට පත් වුණා නම් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඔහුට අයිතියක් තියෙනවා. දැන් බලන්න රාජිත සේනාරත්න අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය තුන් පාරක් ඉදිරිපත් කළානේ.
ප්‍රශ්නය:- රාජිත සේනාරත්නටත් වරෙන්තු නිකුත් කරලා. ඊළඟට ගන්නේ කාවද?
පිළිතුර:- ඒක අහන්න තිබුණේ ඔබතුමාලට 2015 දී අරලියගහ මන්දිරයේ එෆ්.සී.අයි.ඩී. තියෙන කාලේ. එදා ඔය ප්‍රශ්නය අරලියගහ මන්දිරයෙන් ඇහුවා නම් සෘජු උත්තරයක් ගන්න තිබුණා. 2019 නොවැම්බර් 16 න් පස්සේ එහෙම අහන්න කෙනෙකුත් නෑ. ආයතනයකුත් නෑ.
ප්‍රශ්නය:- ස්විස් තනාපති කාර්යාලයේ නිලධාරිනියගේ ප්‍රශ්නයේදී ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික නොවන විදියට ක්‍රියාත්මක වුණා කියලත් චෝදනාවක් තියෙනවා?
පිළිතුර:- රාජ්‍ය තාන්ත්‍රික කියන ලේබල් එක ගහගෙන ඉතාමත්ම පහත් මට්ටමේ ක්‍රියාවල නියැළෙනවා නම් ඒ සම්බන්ධයෙන් රටේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒක වැරැදිද? රටක් හැටියට ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් තියෙනවා නම් ඊට අදාළ නිලධාරීන් ගෙන්වලා විදේශ අමාත්‍යාංශය කතාකරන එක වැරැදිද? ඒක වැරැදියි කියලා කියන්නේ මොන පදනමක් උඩ ද? ඒ අර පෙර තිබ්බ දීන මානසිකත්වයෙන් බලනකොට තමයි ඒවා වැරැදියි කියලා පේන්නේ. සුද්දෙක් ඇවිල්ලා බලවත් රටකින් කෙනෙක් ඇවිල්ලා ඕනෑම තක්කඩි වැඩක් කරනකොට ඒකට ඔළුව පාත් කරගෙන ‘එහෙමයි සර් සමාවෙන්න සර් කියලා’ ඉන්න මානසිකත්වයක් තියෙන අයට තමයි එ්ක එහෙම පේන්නේ. අපි චණ්ඩි නොවෙයි. විදේශ අමාත්‍යාංශයට ඒ අදාළ පාර්ශ්ව ගෙන්වලා කරුණු කාරණා ඉදිරිපත් කරලා ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන අපේ අසතුට අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒකේ වරදක් නෑ. අපෙන් වරදක් වුණොත් යුරෝපය අපේ තානාපතිවරුන් ගෙන්වලා ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කරනවා. ඒ හා සමානම අයිතියක් අපටත් තියෙනවා. අපේ රට පුංචි වෙන්න පුළුවන්. අපේ ආර්ථිකය පුංචි වෙන්න පුළුවන්. නමුත් අපිටත් සමාන අයිතියක් තියෙනවා.
ප්‍රශ්නය:- ලබන 3 වැනිදාට පාර්ලිමේන්තුව රැස්වෙනවා. ඔබලාට බහුතරය නෑ. කොහොමද දුවන්නේ?
පිළිතුර:- තුන් වැනිදාටම බලාගමු අපි දුවන විදිය. අපි සූදානම්නේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න. අවසාන ප්‍රතිඵලය මහ මැතිවරණයනේ. මහ ජනතාව ඉදිරියට යන්න භය අයනේ මේ අය.
ප්‍රශ්නය:- නමුත් මාර්තු වෙනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ?
පිළිතුර:- පුළුවන්. විසුරුවන්න පුළුවන්. ව්‍යවස්ථාවේ සෑම ප්‍රතිපාදනයක්ම තිබෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න ක්‍රමවේදය. හැබැයි ඒ ක්‍රමවේදයට අනුගත වෙන්නේ නැත්තේ ජනතාව ඉදිරියට යන්න භය අය. උදාහරණයට ගන්නකෝ. 2015 ජනවාරි 9 වැනිදා ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුව දිගින් දිගටම ලිච්ඡවි පාලනයක් ගැන කතා කරමින් මැතිවරණ කල්දැම්මා. කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ. නමුත් මැතිවරණ කල් දැම්මා. 2018 පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව ඉතාම නිවැරැදි තීන්දුවක් දෙමින් පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුවෙන් උදුර ගත්තා ඒත් ඒ ආණ්ඩුව ඒ ජනමතයට හිස නැමුවේ නෑ. ඊට පස්සේ ජනාධිපතිවරණය ආවා. ඒ මැතිවරණයෙන් ලක්ෂ 70 කට ආසන්න ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. තිබුණ ආණ්ඩුව කුජීත වෙලාම ගියා. ඉතින් දැන් ආත්ම ගෞරවයක් තියෙනවා නම් කළ යුත්තේ තුනෙන් දෙක දීලා පාර්ලිමේන්තුව විසුරුවලා මහජනතාව ඉදිරියට යන්න.
ප්‍රශ්නය:- 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්කරලා නැවත පාර්ලිමේන්තුව කල් තියන්න ඉඩ තියෙනවා?
පිළිතුර:- ඒක එදාට තියෙන පසුබිමත් එක්ක බලන්න ඕනෑ. ඒක අද කියන්න බෑ. මොකද පාර්ලිමේන්තුව කල් දැමීමේ අදහසක් අපට මේ මොහොතේ නෑ.
ප්‍රශ්නය:- පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැම්මා. දැන් ආණ්ඩුව ඔබේ. පළාත් සභා මැතිවරණය තියන්නේ කවද ද?
පිළිතුර:- ඉතාම ඉක්මනින් පළාත් සභා මැතිවරණය තියන්න අපි උත්සාහ කරනවා.
ප්‍රශ්නය:- මහ මැතිවරණයට කලින් ද?
පිළිතුර:- මහ මැතිවරණයට කලින් තියන්න බෑ මම දන්න විදියට. මොකද එතැන නීතිමය ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. මේ මාස දෙක තුන තුළ ඒක කරන්න බැරි වේවි.
ප්‍රශ්නය:- ඇමැතිවරයෙකු විදියට ඔබට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාවක් තියෙනව ද? ජනාධිපතිවරයාගේ කමිටුවලින් බලපෑම් නැද්ද?
පිළිතුර:- මට නම් එහෙම බලපෑම් නෑ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්