
වර්තමාන රජය යටතේ මන්ත්‍රී සැප අවසන් වෙමින් පවතින ආකාරයක් පෙනෙන්නට තිබේ. මන්ත්‍රී සැප ලෙස අර්ථ දැක්විය හැකි වන්නේ පොලිස් ආරක්ෂාව නිල නිවාස තීරු බදු රහිත සුඛෝපභෝගී වාහන සහ විශ්‍රාම වැටුපෙන් යුතු සුපිරි ජීවිතයකි. මේ වනවිට මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකසා ඇති අතර නිල නිවාස, මන්ත්‍රී ආරක්ෂාව සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය මන්ත්‍රීවරුන්ට නොලැබෙයි. මන්ත්‍රීවරයාට පෞද්ගලිකව අයිතිය ලැබෙන මෝටර් රථ ගෙන්වා ගැනීමේ බලපත්‍රය වෙනුවට ධුරය දරණ කාලයේ තුළ පාවිච්චි කර රජයට යළි බාරදීම සඳහා රජයෙන් වාහනයක් ලබාදීමට නියමිතය. ඒ සඳහා කැබ් රථ ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇතැයි රජය පවසයි.
ඩොනමෝර් කොමිසමේ නිර්දේශ යටතේ මෙරට වැසියන්ට ලැබුණු සර්වජන ඡන්ද බලය රට නව මගකට යොමු කිරීමට සමත්විය. එදා සර්ව ජන ඡන්ද බලය යටතේ මහජන සේවයට පිවිසි දේශපාලනඥයෝ මහජන නියෝජිතයන් ලෙස ජනතාවගේ ගෞරවාදරයට පත් වූහ. අද වනවිට මේ දේශපාලකයෝ රටට බරක් ලෙස මහජනතාවගෙන් ගැරහුම් ලබමින් පසු වෙති.
ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ මෙරටට සම්පූර්ණ පාලන බලතල නොලැබිණි. එහෙත් එය එකල යුරෝපීය රටවලත් ජනප්‍රිය වෙමින් තිබූ සර්ව ජන ඡන්ද බලය මෙරට අවුරුදු 21ට වැඩි සියලු ස්ත්‍රී පුරුෂයන් සඳහා ලබා දුන්නේය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ බ්‍රිතාන්‍ය රජය මෙරට ජනතාවට ඡන්ද බලය ලබා දුන්නා මිස මෙරට පැවැති දේශපාලන පක්ෂ සියලු ජනතාවට ඡන්ද බලය ලබා දෙන්නැයි ඉල්ලා නොසිටි බවය. 1947 දී සර්වජන ඡන්ද බලය යටතේ පළමු මහා මැතිවරණය පැවැත්විණි. එහිදී තිස් ලක්ෂ හතළිස් අට දහස් එකසිය හතලිස් පස් දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ. එදා සිට අද දක්වාම මෙරට ජනතාව මැතිවරණයක දී උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂ ලක්ෂණයකි. එයට හේතුව තමන් ද රටේ පාලනයට හවුල්වන බවට හැඟීමක් ඔවුන්ට ඇතිව තිබීමය.
එදා දේශපාලනය සම්පූර්ණයෙන්ම ලාභ අපේක්ෂාවෙන් තොර සමාජ සේවයක් විය. එහෙත් අද මෙරට ලාබ උපයන ලොකුම ව්‍යාපාරය දේශපාලනයය. සමාජ සේවකයා හා ගරු මන්ත්‍රීවරයා නැත්තටම නැතිවී ගොස් අද ඉන්නේ ගනුදෙනුකරුවන් පිරිසකි. එකල මෙරට මන්ත්‍රීවරු සැබෑ ලෙසට මහජන නියෝජිතයන් ලෙස ගෞරව බහුමානයට පාත්‍ර වූහ. එහෙත් මේවන විට අපේ දේශපාලකයන් මහජනයාගෙන් ගැරහුම් ලබන තත්වයකට පත්ව සිටින බව බොරුවක් නොවේ.
එදා ලාබාපේක්ෂාවෙන් තොර වූ මහජන සේවයක ලෙස පැවැති දේශපාලනය අද පස් වසකින් විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ ලෙහෙසි රැකියාවක් බවට ද එදා මැතිවරණ දිනට පමණක් උණුසුම් වූ නමුත් සාමකාමීව තිබූ එය අද වනවිට මඩගසා ගැනීම්වලින් පිරී ‘‘මැතිවරණ සටනක්’’ බවට ද පත්ව තිබේ. එදා ගෞරවණීය පුද්ගලයකු වූ මන්ත්‍රීවරයා අද මහජනතාවගෙන් ගැරහුම් ලබන ‘‘සූර චෞරයකුගේ’’ තැන ලබා සිටියි.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක බළකාය හෙවත් එම්.එස්.ඩී. ගෙවී ගිය දශක කිහිපයේ පොලිස් සේවය තුළ ක්‍රියාත්මක වූ විශේෂ අංශයක් විය. රට යුද උණුසුමෙන් වෙලී යද්දී ප්‍රභූ ආරක්ෂක අංශයක් ලෙස වර්ධනය වූ මෙම ඒකකය මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් රැක ගැනීම සඳහා සුවිශාල මෙහෙයක් ඉටු කළේය.
ත්‍රස්ත තර්ජන තිබූ යුගයේ මෙම ප්‍රභූ ආරක්ෂක අංශ නිලධාරීන් ගණනාවකටම තම ජීවිත පූජා කිරීමට ද සිදුවිය.
මෙම ඒකකයේ නිලධාරීන්ට තමන්ගේ නිවෙස්වලට යාමට සිදු වූයේ ද මාස කිහිපයකට වතාවකි. ප්‍රභූවරයා පිරිවරා සිටිමින් ඔහුගේ රාජකාරි දින පොතද ප්‍රභූවරයාගේ පෞද්ගලික ඇඳුම් පැළඳුම් ආදිය ද නිවෙසට ආහාර ගෙන ඒම දරුවන් හා ආර්යාව සාප්පු සවාරි කැඳවාගෙන යාම ඇතුළු අති මහත් පෞද්ගලික වැඩද ඉටු කර දීමට මෙම නිලධාරින්ට සිදුවිය.
යුද ගැටුම හා ත්‍රස්තවාදය අවසන් වූ පසුවද ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් භාවිත කළේ දේශපාලකයන්ගේ බලය ජනතාවට පෙන්වන සංකේතයක් වශයෙනි. ප්‍රභූ වාහනය පිරිවරා ඒ පසුපස දුවමින් යන ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් පෙන්වා ජනතාව හා තමන් අතර දුරස්ථභාවයක් ආරෝපණය කර ගැනීමට දේශපාලකයෝ සමත් වූහ. යුද්ධය අවසන්ව ත්‍රස්ත තර්ජන නොමැති යුගයකදීද මෙවැනි ‘‘රංගනයක්’’ දුටු ජනතාවට දේශපාලන සංහතියම අප්‍රසන්නවීම පුදුමයක් වූයේ නැත. විපක්ෂ දේශපාලකයන් කුමක් කීව ද අදට ද බොහෝ පිරිසක් සිටින්නේ එම පිළිකුලෙන් යුතුවය.

වර්තමානයේ සැබෑ ලෙසම මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් අවශ්‍යව ඇත්තේ තමා විසින්ම වපුරණ ලද දේශපාලන භාවිතය හේතුවෙන් මිස ත්‍රස්තවාදී තර්ජන වලින් නොවේ. මෙරට පාලනය කරන ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ සියලු පක්ෂ රටවැසියන් එකිනෙකා අනෙකාට එරෙහිව පෙළ ගැස්වූ අවිචාරවත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳ වගකිව යුතුය. දශක කිහිපයක් තිස්සේ වත්මන් විපක්ෂය ද වත්මන් රජය ද ජනතාවට ලබා දුන්නේ බොරුව මිත්‍යාව සහ රුධිර ගංගාවකි. සමාජය තුළ වපුරා දැමූ අස්වැන්න නෙලා ගැනීමට අද දේශපාලකයන්ටම සිදුවී තිබේ. මේ නිසා ත්‍රස්තවාදයක් අද මෙරට නැතත් ආරක්ෂාවක් නොමැතිව ගමන් කළ නොහැකි තත්වයට දේශපාලකයෝ පත්ව සිටිති.
මෙරට දේශපාලනය ආරම්භ වූ නිදහසට පෙර යුගයේ මෙන්ම නිදහසෙන් පසු යුගයේද මහජන නියෝජිතයා හෙවත් මන්ත්‍රීවරයාට පොලිස් ආරක්ෂාවක් නොලැබිණි. ඇමැතිවරුන්ටද ආරක්ෂාවක් නොවීය. අග්‍රාමාත්‍යවරයාට ලැබුණේද පොලිස් භටයන් දෙදෙනකුගේ සහ පොලිස් පරීක්ෂකවරයකුගේ ආරක්ෂාව පමණය. ඒ යුගය මහත්වරුන්ගේ දේශපාලනය මෙරට ක්‍රියාත්මක වූ යුගය වූ හෙයින් ආරක්ෂාවක් නොමැතිව මන්ත්‍රීවරුන්ට මහ මග ගමන් කළ හැකි විය. අගමැතිවරයාට ද තිබුණේ ඉතා සුළු ආරක්ෂාවකි. අගමැති ඩී.එස්. සේනානායකගේ ළඟින්ම සිටි සේවක කරෝලිස් ගැන මිස වර්තමානයෙන් මෙන් පොලිස් අධිකාරිවරුන් හෝ මේජර්වරුන්ගේ ආරක්ෂාවක් ගැන එදා අසන්නට නොලැබිණි.
මන්ත්‍රී ආරක්ෂාව පිළිබඳ සමාජ විරෝධය මතු වූයේ ප්‍රධාන පක්ෂ දෙකේ ආණ්ඩුවලට එරෙහිව ගෙවීගිය දශක එක හමාරක පමණ කාලයේ මතුව ආ මහජන විරෝධතා මඟිනි. විශේෂයෙන්ම 2005 බලයට පත්වූ රාජපක්ෂ රජය යුද ජයග්‍රහණයත් සමඟ ආරෝපනය කරගත් සුපිරි දේශපාලන භූමිකාවත් සමඟ මන්ත්‍රීවරයා ද සමාජයේ සුපිරි පුද්ගලයෙක් බවට පත්විය. සමාජයේ සෑම තැනකදීම මන්ත්‍රීවරයා ඉස්මතු කෙරුණේය. මන්ත්‍රී දරුවන්ට මෙරට විදේශීය දූත මණ්ඩවල රැකියා අවස්ථා හිමිවිය. බොහෝ මන්ත්‍රීවරු තම දරුවන්ට විදේශ අධ්‍යාපනයට යාව වියදම් කළමනාකරණය සහ ආරක්ෂාවේ අංශයක් ලෙස විදේශ දූත මණ්ඩල රැකියා අවස්ථා හිමිකර දුන්හ.
රාජපක්ෂ විරෝධය රටේ මතු වෙද්දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයද එයට හේතු වී තිබිණි. සුපිරි වාහන ආනයනය කර සුපිරි ආරක්ෂාවක් ඇතිව ජනතාවගෙන් දුරස්ථව සිටින මන්ත්‍රීවරයා රාජපක්ෂ විරෝධයේ මෙන්ම රෙජීම ‘‘විරෝධයේද සංකේතයක් බවට පත්විය. මන්ත්‍රී ආරක්ෂාව ඉවත් කළ යුතු බවට ප්‍රබල මතයක් ගොඩනැගුවේ එමඟිනි.
වත්මන් රජය මැතිවරණ සමයේ පොරොන්දුව ලෙසම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇත. එය සමාජයේ ඇගැයුමට ද ලක්ව තිබේ. එහෙත් ලංකාව වැනි සතුරු දේශපාලන පක්ෂ කෙරෙහි වෛරයකින් බලන සමාජයක් තුළ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොමැතිව දේශපාලනය කළ හැකිද යන්න කෙරෙහි වත්මන් රජය අවධානයක් යොමු කර නැති බවත් පෙනී යයි.
එක් දහස් නවසිය අසූ හතේ භීෂණ සමය එළඹෙනතුරුම මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලැබුණේ නැත. එජාප රජයේ හිටපු ඇමැති මහියංගනයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කියන පරිදි ඇමැතිවරුන්ට පමණක් පොලිස් පරීක්ෂක හෝ උප පොලිස් පරීක්ෂක නිලයේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂාවක් ලැබිණි. සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කරයි. ‘‘භීෂණ සමයේ මන්ත්‍රීවරුන්ට තර්ජන ආවම... ඒ කියන්නේ 1988 විතර තමයි මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලැබුණේ. එතකන් අපිට කිසිම ආරක්ෂාවක් ලැබුණේ නෑ... රටේ තත්වය වෙනස් වෙන්න ගත්තම තමයි ආරක්ෂයෝ ලැබුණේ. ඇමැති කෙනෙකු නම් ආරක්ෂාව ලැබුණා. මගේ තාත්තට ඒ කියන්නේ කපිතාන් ඩී.පී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයාට එස්.අයි. කෙනෙකුගේ ආරක්ෂාව ලැබුණා. ජේ.වී.පී. එකෙන් තංගල්ලේ එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහව මැරුවා... ඒ එක්කම දහතුන් වැනි සංශෝධනය ආවා... පළාත් සභාත් එක්කම එතකොට මන්ත්‍රීවරුන්ට හරියට තර්ජන එල්ල වුණා. ඊට පස්සේ එල්.ටී.ටී.ඊ. ප්‍රශ්න වැඩි වුණා. ඒ වෙලාවේ තමයි මන්ත්‍රීවරුන්ට පොලිස් නිලධාරීන් දෙන්නෙක් ආරක්ෂකයෝ හැටියට දුන්නේ ලක්ෂ්මන් සෙනෙවිරත්න හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.
මන්ත්‍රී සැප පිළිබඳව ගැවසුණු ඊළඟ වරප්‍රසාදය තීරු බදු රහිතව පෙන්වීමට ඉඩ ලැබුණු සුඛෝපභෝගී මෝටර් රථයය. එම බොහෝ වාහනවලින් අධික ලෙස ඉන්ධන දහනය වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වත්මන් රජය ලබා දෙන්නට සූදානම් වන්නේ කැබ් රථය. මෙම රථය මන්ත්‍රීවරයාගේ තනතුර අහෝසි වෙද්දී රජයට භාර දිය යුතුය. ජවිපෙ මන්ත්‍රීවරුන් 2004 වර්ෂයේ සිටම තමන්ට ලැබුණු වාහන බලපත්‍රය වෙනුවෙන් ලබා ගත්තේද කැබ් රථය. එනිසා ඔවුන් කැබ් රථ පාවිච්චිය සියලුම මන්ත්‍රීවරුන්ට හුරු කරන්නට යනවා වන්නටද පුළුවන.
මෙමඟින් රටට යම් මුදල් ඉතිරියක් සිදුවන බවද අපට පිළිගන්නට සිදුවෙයි. එහෙත් වසර පහක පාවිච්චියෙන් පසු මෝටර් රථයක වටිනාකම ක්ෂය වී යකඩ ගොඩක් බවට පත්වන හෙයින් රජයට ආපසු ලැබෙන්නේ දිරූ වාහන තොගයක් වීමේ අවදානම ද බැහැර කළ නොහැකිය.
මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත මෝටර් රථ බලපත්‍රයක් ලබාදීම ආරම්භ වූයේ 1985 වසරේදීය. 1977ට පෙර මන්ත්‍රීවරයකුට රජයෙන් මෝටර් රථයක් හිමි වූයේ නැත. ඔහු ගමන් කළේ තමන්ගේ හෝ අනුන්ගේ ඉල්ලා ගත් වාහනයකය. එකල රටේ මෝටර් රථද බහුලව නොතිබිණි. 1977 දී හයෙන් පහක ජන බලයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් වාහනයක් ලබාදීම ආරම්භ කළේය. එහෙත් එය නඩත්තුවකින් තොරව පාවිච්චි කළ මන්ත්‍රීවරුන් වාහනයෙන් දුවපු දිවිල්ලේ හැටියට අවසානයේ යකඩ ගොඩක් මිස රජයට භාර දෙන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත. මෙම තත්වය රජයට පාඩුවක් බව තේරුම්ගත් ජයවර්ධන ජනාධිපතිවරයා එම විනාශය සිදු නොවන හෝ තමන්ටම කියා මෝටර් රථයක් තීරු බදු රහිත මිලට ගෙන්වා ගැනීමට බලපත්‍රයක් නිකුත් කළේය.
එම බලපත්‍රයක් තීරු බද්ද දැරීම ආණ්ඩුව බාර ගත්තේය. පසුකාලීනව ලොව මිල අධික වාහන එම බලපත්‍රය යටතේ ගෙන්වා ගත් මෙරට දේශපාලකයන් මන්ත්‍රී තීරු බදු රහිත බලපත්‍රය අධික මිලකට විකුණා දැමීමට පටන් ගත්හ. රට ටිකෙන් ටික බංකොලොත් වෙමින් යද්දී මන්ත්‍රී වාහන බලපත්‍රයට ජන විරෝධයක් මතු වෙන්නට පටන් ගත්තේය. වත්මන් රජය අහෝසි කිරීමට තීරණය කර ඇත්තේ ජනතා විරෝධයට ලක් වූ එම මන්ත්‍රී වාහන බලපත්‍රයය.
1977ට පෙර මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් ලැබුණේ නැත. එකල දුප්පත් පොහොසත් භේදයකින් තොරව බොහෝ මන්ත්‍රීවරුන් කොළඹ ආවේ දුම්රියෙනි. මෝටර් රථ ඇති මන්ත්‍රීවරුන්ට තම මෝටර් රිය දුම්රියේ පටවාගෙන කොළඹව ගෙන ඒම සඳහා බලපත්‍රයක් ද රජයෙන් සැපයිනි. එකල දුම්රියවල මෝටර් රථ පටවා ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය බඩු පෙට්ටි ද ඇතුළත්ව තිබුණි.
ආසනයට ගිය විට මන්ත්‍රීවරයාට ආසනය තුළ ගමන් බිමන් යාමට උදව් කළේ ධනවත් ව්‍යාපාරිකයන්ය. මේ නිසා මන්ත්‍රීවරයා මුදලාලිලාගේ වුවමනා එපාකම් ඉටු කරන බවට මතයක් ද සමාජයේ පැතිර පැවතුණේය. ජේ.ආර්. මේ නිසා මෝටර් රථයක් රජයෙන් ලබාදීමට තීන්දු කළේය. හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්නගේ පියා වන මහියංගනයේ හිටපු මන්ත්‍රී සී.පී.ජේ. සෙනෙවිරත්නට ද රජයෙන් මෝටර් රථයක් හිමිවිය. ලක්ෂ්මන් සෙනෙවිරත්න හිටපු මන්ත්‍රීවරයා එම අතීත අත්දැකීම කියන්නේ මේ අයුරිනි.
‘‘ඉස්සර බොහෝමයක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසනේ දිනපු ගමන් පාර්ලිමේන්තු එන්නේ ගමේ ධනවත්ම මුදලාලිගේ වාහනේ. ඒ කාලේ ගම්වල වාහන නෑ. ඉන්න ධනවත්වම මුදලාලි එක්ක පාර්ලිමේන්තු එනවා. මුදලාලිත් මන්ත්‍රීතුමා නග්ගගෙන බොහෝම උජාරුවෙන් පාර්ලිමේන්තුවට එනවා. මේකෙන් මන්ත්‍රීතුමා මුදලාලිගේ ඉත්තෙක් වෙනවා කියලා මතයක් පැතිරිලා තිබුණා. මේ ගැන ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කීවා. එතකොට රජය දැවැන්ත සංවර්ධන ජාලයක් පටන් අරගෙන තිබුණේ. විවිධ කොන්ත්‍රාත් එහෙම මන්ත්‍රී හරහා කරන්න සිදු වෙනවා. මන්ත්‍රී මුදලාලිගේ හිතවතෙක් වුණාට ඒ කොන්ත්‍රාත් ඔවුන්ට භාර දීලා විවිධ චෝදනා අහන්න වෙයි කියලා ලලිත් ඇතුලත් මුදලි මහත්තයා ජේ.ආර්.ට පෙන්වලා දුන්නා. ඊට ජනාධිපතිතුමා එකඟ වෙලා තමයි මන්ත්‍රීවරුන්ට රජ්‍ය ගණනේ වාහනයක් දුන්නේ. මගේ පියා වන කපිතාන් ඩී.පී.ජේ. සෙනෙවිරත්නට මුලින්ම ලැබුණේ ජේ. 44 මිට්ෂුබිෂි ජීප් එකක්. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
මෙසේ ලබාදුන් වාහන රජයට ආපසු ලබා ගැනීමට ගිය විට ප්‍රශ්න මතු විය. ඒ බොහෝ වාහන නිසි ලෙස නඩත්තු නොකර එන්ජින් සවුත්තු වී තිබූ නිසාය. සමහර වාහන යකඩ ගොඩවල් බවට පත්වී තිබිණ. මෙයට ප්‍රතිකර්මයක් ලෙස තමන්ටම වාහනයක් ගෙන්වා ගැනීම සඳහා තීරු බදු රහිත බලපත්‍රයක් ලබා දුන්නේ ඉන් පසුවය.
පසු කාලීනව මෙම බලපත්‍රය මහා ජාවාමරක් බවට පත්විය. ඒ යටතේ බොහෝ මන්ත්‍රීවරුන් ලොව මිල අධික සුපිරි වාහන ගෙන්වා ගත්තේය. සමහරු බලපත්‍රය විකුණා අධික ලාබයක් ලබාගත්හ. මෑත කාලයේ ගෙන් වූ මිල අධික එක් රථයක් වන්නේ වී 8 ජීප් රථය.
ඉකුත් දශකයක පමණ කාලය තුළ බොහෝ මැති ඇමැතිවරුන් ගමන් ගත්තේ සුපිරි වී 8 ජීප් රථවලය. දේශපාලකයන් දෙතුන් දෙනකුනේ පටන් ගත් වී 8 ජීප් රථ පිස්සුව ටිකෙන් ටික බොහෝ දේශපාලකයන්ට වැළදුණි. ඉන් පසුව දේශපාලකයන්ට පමණක් නොව අමාත්‍යංශ ලේකම්වරුන්ට ධනවත් ව්‍යාපාරිකයන්ට ජනප්‍රිය ධර්ම කථික භික්ෂූන් වහන්සේලාට ද වැළඳුණි. කොටින්ම කියන්නේ නම් මෑත කාලයේ වී 8 ජීප් රථයකින් යන ගමන සමාජයේ ඉහළින් කැපී පෙනෙන උන්මාදයක් තරමටම ඉස්මතු වී තිබුණි.
මෙම සමාජය බිහිවූයේ දේශපාලනය නිසාය. තමාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් මගින්වත් එම සමාජයෙන් අත්මිඳීමට රජය පියවර ගන්නේ නම් අගය කළ යුතුය.
මෙරට ඇමැතිවරයෙක් මාරු වී අලුතෙන් ඇමැතිවරයකු පත්වෙද්දී නිල වාහනය ද අලුත් වෙයි. එසේ වන්නේ නිල වාහනය අබලන්වී ඇති නිසා නොවේ. ඇමැතිවරයාගේ උද්දච්චකම නිසාය. හිටපු ඇමැතිගේ පංචස්කන්ධය සතපවාගෙන ගිය රථයේ යන්නට අලුත් ඇමැති අකැමැතිය. අලුත් ඇමැතිගේ පංචස්කන්ධය ගෙනයාම වෙනුවෙන් අලුත්ම රථයක් ආනයනයට රජයට සිදුවෙයි. ගෙවී ගිය දශක කිහිපය පුරාම අපට අසන්නට ලැබුණේ එවැනි ප්‍රවෘත්තිය.
දැන් නව රජය නවදේශපාලන සාදාචාරයක් ගොඩනගමින් සිටියි. දැනට නම් මන්ත්‍රීවරුන් පිළිබඳ දේශපාලන සාදාචාරය විපක්ෂයට මෙන්ම ආණ්ඩු පක්ෂයට ද එක හා සමානය. එමඟින් මන්ත්‍රීවරයා 1977ට පෙර තිබූ තැනට පත්වෙමින් සිටින්නේය. එය එලෙසමය පවත්වා යන්න ජනතා අපේක්ෂාවය.
ප්‍රේමකීර්ති රණතුංග

