
වත්මන් රජයේ දෙවැනි අයවැය යෝජනාවලිය ඉකුත් දා ඉදිරිපත් කෙරිණි. මේ දිනවල ඒ පිළිබඳ කාරක සභා විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ආණ්ඩුව තමන්ගේ අයවැය වර්ණනා කරන අතර විපක්ෂය අයවැයට එරෙහිව දැඩි විවේචනයක යෙදෙයි. මෙරට දේශපාලන පක්ෂ ක්‍රමයේ සාමාන්‍ය ස්වභාවය අනුව එම පක්ෂ වීම සහ විපක්ෂ වීම සිදුවේ.
ලංකාවට නිදහස ලැබී වසර හැත්තෑපහක් ගතවුවද මෙරට අයවැය යෝජනාවලිය එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. අයවැය යෝජනාවලියේ ප්‍රධානම අරමුණ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම පමණය. සැබෑ ආර්ථික සංවර්ධනයක් ඇතිවන අයවැයක් ඉදිරිපත් කරන්නේ කවදාද? ඒ සඳහා රටවැසියන්ගේ වගකීම කුමක් ද?
ලක්ෂ දාහතරක අතිවිශාල සාමාජිකයන් පිරිසකගෙන් යුතු මෙරට රාජ්‍ය සේවය නඩත්තු කිරීම රජයකට ඇති ලොකුම කර්තව්‍යය වේ. උපයන හැම සතයක්ම පෙරළා යෙදවිය යුතු වන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීම සහ කාර්යාල නඩත්තු කිරීම සඳහාය. රටේ ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ කළමනාකරුවකුගේ රාජකාරිය ඉටුකළ යුතු වන්නේ මෙවැනි අවස්ථාවකය. පෞද්ගලික අංශයේ කම්මැළියන්ට වාචාලයන්ට ඉඩක් නැත. සියලු දෙනා වැඩ කළ යුතුය. සිය දෙනකු උවමනා තැනට බඳවා ගන්නේ පනහකි. ඒ පනස්දෙනා සියදෙනාගේ වැඩ කළ යුතුය. වැඩ හොඳ නම් උසස්වීම් දිරිදීමනා ඒ ඒ හැටියටය. පෞද්ගලික අංශය ඇද නොවැටී ලාබ ලබන්නේ ඒ නිසාය. ඒ දෙයම කරන ඇතැම් රාජ්‍ය අංශ කම්මැළියන්ගෙන් වෘත්තීය සමිති පරපෝෂිතයන්ගෙන් පිරී ඉතිරිලාය. දුප්පත් ජනයාගෙන් සීනි ඇටයෙන් පාන් කාලෙන් පරිප්පු ඇටයෙන් අයකරන බදු මුදලින් නඩත්තු කරන්නේ මේ රජයේ සේවයේ අතිවිශාල සාමාජික පිරිසය. ඉතිරි බදු මුදල් දේශපාලන හැත්ත බුරුත්තටම වියදම් කළ විට රටට සල්ලි නැත. වෙලා තියෙන්නේ ඕකය. කවුරු මොනවා කීවත් ජේ.ආර්. ගේ කාලයේ ජාතික සේවක සංගමය හැර සෙසු වෘත්තීය සමිති පොළොවටම සමතලා කෙරිණි. රාජ්‍ය සේවයට බඳවා ගත්තේ එජාප වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමයට බැඳෙන අය පමණකි. ප්‍රේමදාසගේ කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක් විකුණා දමා රාජ්‍ය සේවයේ බර අඩු කර ගත්තේය. මහින්ද රාජපක්ෂ සමයේ පෞද්ගලික අංශයට විකුණා තිබූ ආයතනත් ආපසු ගෙන අතිවිශාල රාජ්‍ය සේවයක් ආපසු හදා ගත්තේය. රාජ්‍ය ආයතන වැඩි කරගත් පමණින් රජයට වූ සෙතක් නැත. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තිබෙන තරම් රැස් වළල්ලක් බුදු හාමුදුරුවන්ටවත් තිබුණේ නැත.
ජනාධිපතිවරයා යනු රටේ එක් පිරිසක හෝ එක් ජන කොටසක නායකයා නොවේ. ඔහු රටේ සියලු දෙනාගේම නායකයාය. අතිවිශාල රාජ්‍ය සේවයක් බිහිකර රාජ්‍ය සේවය පුළුල් කළේ තමා යැයි වේදිකා හොල්ලනවාට වඩා වඩාත් කාර්යක්ෂම මෙන්ම සීමිත රාජ්‍ය සේවයකින් රටේ ජනතාවට සේවය සැලසීම ජනාධිපතිවරයාගේ යුතුකමය. ජනාධිපතිවරුන් හයදෙනකුම එම යුතුකම ඉටු නොකළ බව කවුරුත් තේරුම්ගත යුතුය.
කුඩා මඩ ගොහොරුවකින් සිංගප්පූරුව නමැති විස්මිත වෙළෙඳ අධිරාජ්‍යය ගොඩනංවා එය ලොව ධනවත්ම රටවලින් එකක් බවට පත්කළ ජනාධිපති ලී ක්වාන් යූ ලංකාව ගැන මතකාවර්ජනය කරන මෙම ඡේදය ඔහුගේ ජීවිත කතා පොතෙනි.
“ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ ආදර්ශ පොදු රාජ්‍ය මණ්ඩලීය රට විය. එය නිදහස සඳහා සැලකිලිවන්තව සූදානම් කර තිබිණ. යුද්ධයෙන් පසු (1944) එය මිලියන දහයකට බොහෝ අඩු ජනගහණයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ රටක් විය. එහි සාපේක්ෂ වශයෙන් ප්‍රමිතිගත අධ්‍යාපනයක් පැවතිණ. එහි ඉංගිරිසියෙන් උගන්වන කොළඹ සහ මහනුවර විශ්වවිද්‍යාල දෙකකි. බෙහෙවින්ම දේශීය පරිපාලන සේවයකි. 1930 ගණන්වලදී පළාත් පාලන මැතිවරණවලින් ඇරඹුණු නියෝජිත ආණ්ඩු පාලනයේ අත්දැකීමය. එක්දහස් නවසිය හතළිස් අටේදී නිදහස ලබන විට එය නිදහස කරා අනුක්‍රමික විකාශනයේ සම්භාව්‍ය ආකෘතිය විය. අහෝ ඒ සියල්ල වැඩ කර නැත. අවුරුදු ගණනක් තිස්සේ ආ ගිය ගමන්වලදී මා දුටුවේ බලාපොරොත්තු තැබිය හැකි රටක් විනාශ වී යන හැටිය. 1966 දී ලන්ඩනයේ සිට පෙරළා යන ගමන් මම අගමැති ඩඩ්ලි සේනානායක හමුවීමි. එකල පැවැති කොළඹ රාජකීය ගොල්ෆ් පිටියෙහි අනවසර පැල්පත් ද එළුවන් හා හරකුන් ද සිටීම ගැන ඔහු සමාව අයැදියේය. ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ නිසා එය නොවැළැක්විය හැකි යැයි ඔහු කීවේය.”
ලී ක්වාන් යූ මේ කියන්නේ අප රටට අත්වූ පරිහානිය ගැනය. ඉංගිරිසින් යටතෙහි පිළිවෙළට ක්‍රමානුකූලව තිබූ කොළඹ ගොල්ෆ් පිටිය නිදහසින් පසු ලාංකිකයන්ගේ පාලනය යටතේ හරකුන් හා එළුවන් ලගින අපිරිසිදු තැනක් වී ඇති හැටිත් එහි දේශපාලකයන් අනවසර පදිංචිකරුවන් පදිංචි කර තිබූ හැටිත් ගැන අපූරු චිත්‍රයක් අප හමුවේ තබයි. පිළිවෙළට තිබූ අපූරු රටක් විනාශ කළේ දේශපාලනය විසිනි. ඉංගිරිසින් විසින් පුහුණු කර පුරුදු කර තිබූ දේශීය පරිපාලන සේවය දේශපාලන ගැති පරිපාලන සේවයක් බවට පත් කළේ අපගේ දේශපාලකයෝය.
එක්දහස් නවසිය පනස් හයේ බණ්ඩාරනායකගේ මූලිකත්වයෙන් ඇතිකළ ආණ්ඩුව සැලකෙන්නේ ගොවි කම්කරු ආණ්ඩුවක් හැටියටය. එජාපය ධනවත් ව්‍යාපාරිකයන්ගේ, සුළු ජාතිකයන්ගේ පක්ෂයක් විය. මේ නිසා වෘත්තීය සමිති, සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේග එකතු වී හැදූ බණ්ඩාරනායක ආණ්ඩුවට ටික කාලයක් යද්දීම වෘත්තීය සමිතිවලින් තදබල විරෝධයක් එල්ල වූයේ තමන් හැදූ ආණ්ඩුවේ සමාජවාදී ලක්ෂණ නොමැති බව කියමිනි. වරායේත් ප්‍රවාහනයේත් තැපෑලේත් නිරතුරුව වැඩවර්ජන සිදුවිය. වර්ජන ප්‍රධානීන් අතරින් වරායේ කම්කරු නායකයා වූයේ පී.ඒ. පියදාසය. ඔවුන්ට වැඩි පඩි උවමනා වී තිබිණ. වරායේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු පඩි වැඩි කිරීමට අකැමැති විය. කම්කරු නායකයා කළේ අත දිගහැර නියෝජ්‍ය කොමසාරිස්ට පහර දීමය.
නිලධාරීන් තීන්දු කළේ කම්කරු නායකයාට එරෙහිව නඩු පැවරීමටය. ඔහුට වරාය ද තහනම් විය. අගමැති ඇතුළු දේශපාලකයන් තැත් කළේ කම්කරුවාගේ පැත්ත ගෙන වැඩේ ගොඩින් බේරුම් කරන්නය. එහෙත් සිවිල් සේවයේ නිලධාරීන් ඉතා තදින් සිටියේ නඩු පැවරිය යුතුම බව කියමිනි. අගමැති දෙලොවක් අතර රැඳුණේය.
අගමැති බණ්ඩාරනායක නිලධාරීන් හමුවේ බැගෑපත් වූ අයුරු එකල අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් මෙසේ සටහන් කර තැබුවේය.
“අගමැති කාර්යාලයේ පැවැති ඉහළ පෙළේ රැස්වීමකදී අගමැතිවරයා ප්‍රවාහන හා රජයේ වැඩ අමාත්‍යාංශයේ ස්ථාවර ලේකම් ජයරත්නට බැගෑපත් වූ අයුරු මට කිසිවිටෙක අමතක නොවේ. අගමැතිවරයා ඉල්ලා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැඩි ස්ථාවරය වෙනස් කර සේවකයන් හා යම් ස්ථාවරයකට පැමිණ වර්ජනය අවසන් කරන්නටය. බණ්ඩාරනායක නැගිට රවුම් මේසය වටා ස්ථිර ලේකම් ළඟට ඇවිදගෙන ගියේය. මගේ ජීවිතය අහිමි වුවත් තීරණය වෙනස් කළ නොහැකියි. අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය. වරාය සේවකයාට එරෙහි නඩුව ගොනු කෙරුණි. අගමැති පරාජය විය.”
අගමැතිගේ ඉල්ලීමක් එදා එසේ ප්‍රතික්ෂේප කළේ අමාත්‍යාංශ ලේකම්වරයාය. පරාජය වූයේ අගමැතිවරයාය. අද අගමැතිගේ තනතුරේ ඉන්නේ ජනාධිපතිවරයාය. ජනාධිපතිගේ වචනයක් නිලධාරියකුට ප්‍රතික්ෂේප කළ හැකිද? එසේ ප්‍රතික්ෂේප කළ නිලධාරියකු ගැන අපට මෑත කාලයේ අසන්නටවත් ලැබුණාද? රටේ පාලකයා නියෝග කළත් රටේ නීතියට එකඟ නැතිනම් ඒ නියෝගය ප්‍රතික්ෂේප කිරීමට එදා අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලය තිබුණේය. අනෙක් අතට එදා ඇමැතිවරුන් පමණක් නොව රටේ අගමැතිවරයාත් නිලධාරීන්ට නියෝග කළේ නැත. ඔවුන් කළේ ඉල්ලීම්ය. ඒ ඉල්ලීම් වැරදි නම් - ඉටුකළ නොහැකි නම් නිලධාරියා ඒ ඉල්ලීම ඉටුකළේ නැත. එවැනි ස්වාධීන – විශිෂ්ට රාජ්‍ය සේවයක් අශිෂ්ට තත්ත්වයට පත් කළේ කවර ආණ්ඩු සමයක ද?
ගාල්ලේ දහනායක අගමැති ධුරයෙන් පැරදී තමාගේ සබ්බසකලමනාවම ඔබා තිබූ හමගිය සූට්කේස් දෙකත් රැගෙන අරලියගහ මැඳුරේ පඩිපෙළ මත බලා සිටියේ අගමැති ලේකම්වරයාගේ කාරුණික අනුග්‍රහයෙන් තමාට ගාල්ලට යාමට මෝටර් රථයක් ලැබෙනතුරුය. දේශපාලකයා නිලධාරියා පසුපස ගිය, නිලධාරියාගෙන් ලැබෙන දේ පමණක් ලබාගත් ඒ සොඳුරු සමය කොතරම් වාසනාවන්ත ද?
අපේ ආණ්ඩු ගණනාවකටම වැරදුණු තැනක් වූයේ තම විදේශ ප්‍රතිපත්තිය සමබර නොවීමය. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වුවත් රට පාලනය කරන්නට සිදුවන්නේ කරදිය වළල්ලෙන් එපිට රටවල බලපෑම් සහ එම රටවල උවමනා එපාකම් ද සලකා බලමිනි. 1956 බණ්ඩාරනායක රජය මගින් ඇතිකළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ශ්‍රීලනිපයට ආවේණික වුවත් ඉන්පසුව බිහිවූ එජාප ආණ්ඩුවලටද එම මාර්ගය අතැර යාමට හැකි වූයේ නැත. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු ගැතිකම නිසාම ඔහු හැඳින්වුණේ “යැංකි ඩිකී” නමිනි. එහෙත් ඔහු ඇමෙරිකානු විරෝධී සෝවියට් සංගමයේ සුහද මිතුරෙක් විය. ජපානයේ ළෙන්ගතු මිතුරකු වන අතරම චීනයේ ළෙන්ගතු මිතුරෙක් විය. ඔහුට සෑම වසරකම කියුබාවේ කොමියුනිස්ට් නායක පිදෙල් කැස්ත්‍රෝගෙන් ඉස්තරම්ම හවානා සුරුට්ටු පෙට්ටියක් තෑගි ලැබුණි. පිදෙල් කැස්ත්‍රෝ මෙම සුවිශේෂ ත්‍යාගය ලබා දුන්නේ තමාගේ සමීපතම මිත්‍රයන්ටය. ජේ.ආර්. ඉන් අයෙක් විය. ඊළාම් ත්‍රස්තවාදීන් සමග සටන් ඇරඹුණු පසු ඉන්දියාව උදව් කළේ ශ්‍රී ලංකා රජයට නොව ඊළාම් සංවිධානවලටය. ත්‍රස්තවාදීන් සතුව තිබුණේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් ජීවිතයටම දැක නොතිබූ ආයුධය. ඒකේ 47 සහ යුරෝපීය එම් 16 ප්‍රහාරක රයිෆල, රාත්‍රී පෙනෙන කණ්ණාඩි (නයිට් විෂන් දුරදක්න) රොකට් වෙඩි ත්‍රස්තවාදීන් සතුව තිබිණි. ශ්‍රී ලංකා හමුදා අකර්මණ්‍යව සිටියදී නවීන අවි ආයුධ සපයමින් සතුරා සමග කරට කර සිටීමට මග පාදා දුන්නේ කොමියුනිස්ට් රටක් වූ මහජන චීනයය. මුස්ලිම් රටක් වූ පාකිස්ථානයේ කලාපීය හොඳම මිතුරා ශ්‍රී ලංකාවය.
අන් රටවල් සමග එසේ වුවත් ළඟම අසල්වැසියා සමග කාලයක් තිස්සේම අප පවත්වාගෙන ගියේ ගැටුම් පිරි විදේශ ප්‍රතිපත්තියකි. එනිසාම ඊළාම් ත්‍රස්තවාදය රට වෙලා ගත්තේය. දශක තුනක යුද ගැටුමකින් පසු අසල්වැසියා සමග සුහදව සිටින්නට ආණ්ඩු දෙක තුනක්ම උත්සාහ ගෙන තිබේ. අසල්වැසියා බලවත් හෙයින්ම ඔහු කලාපීය චණ්ඩියා ද වන්නේය. චණ්ඩියා සමග සාමයෙන් සහ යාප්පුවෙන් සිටීම චණ්ඩිකම් බැරි අයට ඇති හොඳම ප්‍රතිපත්තියය. ත්‍රිකුණාමල වරාය, එහි තෙල් ටැංකි තමිල්නාඩුව හා මන්නාරම යා කරන මුහුදු මාර්ගය තමිල්නාඩුවේ සිට මන්නාරමට යෝජිත ඛනිජ තෙල් නළ මාර්ගය අසල්වැසියාගේ මෑත කාලීන උවමනාවය. එහිදී ඉටුකළ හැකි දේ ඉටුකර, ඉටු නොකළ හැකි දේ ඉටු නොකර සිටීමට මෙරට පාලකයා බුද්ධිමත් විය යුතුය. ඒ සඳහා ජනතාව දැනුවත් කර ජනතාවට කරුණු පැහැදිලි කර අසල්වැසියාගේ බලය සහ ශක්තිය ද පැහැදිලි කර දුන්නේ නම් ජනතාව එහිලා යමක් තේරුම් ගන්නවා ඇත. එහෙත් එවැන්නක් මේ දක්වාම ජනතාවට පැහැදිලි කර දෙන්නට සමතකු සිටියේ නැත.
ජනාධිපති තනතුර යනු ලෝකයේ භාණ්ඩ වෙළෙඳපොළේ මෙරට නියෝජිත තනතුරය. බලසම්පන්න රටවල් ලෝකයේ තමන්ට හිමි ස්ථානයක් අල්ලාගෙන සිටින්නේ ලෝකයේ භාණ්ඩ වෙළෙඳපොළ තුළ තම රටේ බඩු භාණ්ඩ විකුණා ලැබෙන මුදල්වල පිහිටෙනි. ඉන්ධන, දුරකථන, බෙහෙත්, යුද අවි ආදියේ සිට සරුංගලය සෙල්ලම් බඩු දක්වා එයට අයත්ය. ඇමෙරිකාව යුක්‍රේනයට යුදමය ආධාර සපයන්නේ රුසියානු ගෑස් සහ පාරිභෝගික භාණ්ඩ අඩු මිලට යුරෝපීය රටවල විකිණීම වළක්වා ඇමෙරිකානු වෙළෙඳපොළ යුරෝපයේ ස්ථාවර කර ගැනීම සඳහාය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ද වෙළෙඳ දූතයෙකි. මෙරට ජනාධිපතිවරයා එම තනතුරට පත්වූ පසු බලවත් රටවලින් ගලා එන වෙළෙඳ බඩු ගෙන ඒම ඒ ලෙසම කරන බවට සහතික වීම බලවත් රටවල බලාපොරොත්තුවය. ජනාධිපතිවරයාගේ ධුරයේ පැවැත්ම සහ රටට ලැබෙන විදේශාධාර ලැබීම සහතික වන්නේ ඒ අනුවය. ඒ අනුව බලන විට ජනාධිපති මැතිවරණය වූ කලී බලවත් රටවල වෙළෙඳපොළ අවශ්‍යතා ඉටුකිරීම සඳහා අපගේ නියෝජිතයා පත් කරන අවස්ථාවය.
ඒ වනවිට ලෝකයේ තිබූ බලවත් වෙළෙඳ සමාගම්වලට මෙරටට ඒමට ඉඩකඩ සලසා දීම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආරම්භ කළ විවෘත ආර්ථිකයේ අරමුණ ලෙස වටහාගත හැකිය. එතෙක් පැවැති රජය ආනයන සීමා පනවා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට උත්සාහ කළ ද ක්‍රමානුකූලව කිරීම වෙනුවට එම කටයුතු එකවරම ඇරඹීමේ ප්‍රතිඵලය වූයේ ජනතාවට එම රජය තිත්ත වීමය. ජේ.ආර්. ට විවර වූයේ එම එපාවීමේ ප්‍රතිලාභයය. එහෙත් එතෙක් පැවැති රජයේ ප්‍රතිපත්ති යටතේ සෙමින් වුවත් ස්ථාවර දේශීය වෙළෙඳපොළක් ගොඩනැගෙමින් පැවතුණු බව අපට පිළිගැනීමට සිදුවේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එකවරම ආනයන පාලන සීමා ඉවත් කර විදේශ වෙළෙඳපොළට දොර ඇරීමේ ප්‍රතිඵලය වූයේ එක අතකින් ගොඩනැගෙමින් ආ දේශීය වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම විනාශ වී යාමය. දෙවනුව සෑම වසරකම පිටරැටියන්ට ණය වෙන්නට සිදුවීමය. ජයවර්ධන ජනාධිපතිවරයා ඇතිකළ විවෘත ආර්ථිකය හොඳ වුවත් දේශීය ආර්ථිකයක් ගොඩනැංවීමට ඉඩ දුන්නේ නම් අද පවතින විශාල මූල්‍ය අර්බුද මෙතරම් උග්‍ර වන්නේ නැත.
ලංකාවේ ජනාධිපතිවරුන්ට එතෙක් සරුසාරව පැවැති ගොවිතැන රැක ගැනීමට බැරි විය. පරිසරය හා බැඳුණු ගොවිතැන වෙනුවට පොහොර හා බැඳුණු ගොවිතැනක් ඇතිවිය. දේශීය බීජ නැත්තටම නැති වී ගොස් මැලේසියාවෙන් බීජ ගෙනෙනතුරු බලා සිටින්නට ගොවියාට සිදුවී තිබේ. වී එළවළු ඇතුළු කෘෂි භෝග සඳහා මැලේසියානු බීජ ගෙන ඒම මෙරටට පුරුදු කළේ දෙදාහ වසරෙන් මෙහා පැවැති ආණ්ඩුය. පොළොව අපේ වුණාට වට්ටක්කා වැල මැලේසියන්ය. පැපොල් ගස මැලේසියන්ය. තක්කාලි පඳුර මැලේසියන්ය. එහෙත් පොළොව අපේය. අපේ පොළොව නිසරුය. ඒ නිසා පොහොර එක්කෝ චීනයෙනි. නැතිනම් රුසියාවෙනි. මේ සන්තෑසිය අපේ ජනපතිවරුන් යුතුකම් ඉටු නොකළ නිසාය.
ජේ.ආර්. ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ ප්‍රධාන ප්‍රතිපත්ති සියල්ලම පාහේ ඔහුට ඉටුකළ හැකි විය. නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීම, සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීම, පැවැති ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජේ.ආර්. පොරොන්දු විය. මේ සියල්ල ඇතුළත් ඔහුගේ ආණ්ඩු සැලැස්ම නම්කර තිබුණේ ධර්මිෂ්ඨ සමාජයක් යනුවෙනි. ධර්මිෂ්ඨ සමාජය හැර අන් පොරොන්දු සියල්ල ඉටුකළේ අලුත් විවෘත ආර්ථික ක්‍රමය, ජනාධිපති ක්‍රමය හා සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ඔහුගෙන් පසු කිසිදු ජනාධිපතිවරයකුට ධර්මිෂ්ඨ සමාජයක් මෙරට ඇතිකිරීමට ඉඩ නොතබමිනි. මැතිවරණයට පෙර ජේ.ආර්. සියලු රටවැසියන්ට නොමිලේ ධාන්‍ය රාත්තල් අටක් දෙන්නට පොරොන්දු වුවද එය කිසිදා ඉටුකෙරුණේ නැත.
නිදහසෙන් පසු පැවැති සෑම ආණ්ඩුවක්ම රටේ ජනතාවට සහල් සහනාධාරයක් ලබා දුන්නේය. ජේ.ආර්. එය නවතා දුප්පත් පවුල්වලට ආහාර මුද්දර ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එය ඉන්පසුව ජනසවිය ලෙසද පසුව සමෘද්ධිය ලෙසද යළි යළිත් අර්ථ ගැන්වුණත් එමගින් ලබා දුන්නේ හාල්, තුනපහ, භූමිතෙල් පොදියටය. අද ද එම බඩු මල්ල නොකඩවා ලබා දෙයි. එසේ තිබියදීත් මෙරට ජනගහණයෙන් හතරෙන් එකක් කන්නේ අසල්වැසියන් දෙන දෙයකිනි. ඒ බව කියන්නේද ළමා මන්දපෝෂණ තත්ත්වය සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවය. ළමයින් දහසයදාහක් මන්දපෝෂණයෙන් පෙළෙන බව කියන්නේද එම කාරක සභාවය. මේ තත්ත්වය උදා වී ඇත්තේ ව්‍යවස්ථාවෙන්ම රටේ ජනාධිපතිවරයා විධායක බලවතා වන රටක බව අප අමතක නොකළ යුතුය.
මේ වනවිට රාජ්‍ය පාලනයේ දූෂණ වංචා කොමිස් ගැනීම් නැති බව අප පිළිගත යුතුය. ඒ සඳහා වත්මන් රජයට ස්තූතිවන්ත විය යුතුය. එහෙත් රට නිවැරදි පාරට පිවිස තිබේද යන්න විවාදාපන්නය. අපට කීමට ඇත්තේ වත්මන් ආණ්ඩුවටද රට නියමිත මාවතට ගැනීමට නොහැකි වුවහොත් යළිත් රටට එවැනි අවස්ථාවක් උදා නොවන බවය.
ප්‍රේමකීර්ති රණතුංග

