බලය පතා කරන කතා


නගරයේ බලය ගන්න ජනාධිපති සටනට බසියි

ආණ්ඩුව හෝ විපක්ෂයට ඍජුව බලය හිමි වී නැති පළාත් පාලන ආයතන 178 අතුරින් සියයක පමණ බලය තමන්ට ලබාගත හැකියැයි විපක්ෂය විශ්වාස කරයි. හවුලේ බලය ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන් අතර නිරතුරුවම සාකච්ඡා පැවැත්වෙන්නේ ඒ ඒ ආයතනවල ඉහළ තනතුරු බෙදාගැනීම සම්බන්ධයෙනි. මේ වන විට එජාපයට ආයතන හතරක බලය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආයතන විස්සක බලය ද පොදුජන එක්සත් පෙරමුණට ආයතන දහයක බලය ද ඉතිරි ආයතන සමගි ජන බලවේගයට ද ලබාගැනීමට එකඟතාව පළව ඇත. මෙම සාකච්ඡාවල දී වැට උඩ තිබෙන ආයතනවල බලය ලබාදීම සඳහා ආසන දෙක තුනක් ඇති කුඩා පක්ෂ කේවෙල් කරන්නේ තමන්ට උපසභාපති ධුර අවශ්‍ය බව පවසමිනි. එම ඉල්ලීම් නිසා දිනපතාම පහේ පක්ෂ නායක රැස්වීම් පැවැත්වීමට විපක්ෂයට සිදුව තිබේ.

මේ අතර කොළඹ මහ නගර සභාවේ බලය තමන්ට ඇති බව විපක්ෂයත් ජාතික ජනබලවේගයත් නිරන්තරයෙන්ම පැවසුවද කුඩා පක්ෂ සහ ඇතැම් ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතීත්වය කාටදැයි තවමත් නිශ්චිතව කිව නොහැකි බවද දැනගන්නට ඇත. විශාල වශයෙන් මූල්‍ය ප්‍රදාන මෙන්ම තමන් ජයගත් පසු නගරයේ කඩ සාප්පු බද්දට ලබාදෙන බවද මෙම මන්ත්‍රීවරුන්ට පොරොන්දු ලැබී තිබීම එයට හේතුවය. විපක්ෂයේ පක්ෂ නායකයන් නොදැනීම මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකුවත් ජාතික ජන බලවේගය සමග යම් අවබෝධතාවක සිටින බවද දැනගන්නට තිබේ. මේ වන විට දේශපාලන පිටියේ තීරණාත්මකව ස්ථානය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවය.

විපක්ෂයෙන් කොළඹ නගර සභාවේ බලය පිහිටුවන උත්සාහයේ නියැළී සිටින්නේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාය. ජාතික ජන බලවේගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකය. මෙහිදී ස්වාධීන කණ්ඩායම් තමා වෙත ගෙන්වා ජනාධිපතිවරයා ඉකුත් දිනවල සාකච්ඡා පැවැත් වූ අතර එම සාකච්ඡා ඵලදායක වී ඇති බවද දැනගන්නට ඇත. ස්වාධීන කණ්ඩායමක නගරසභා මන්ත්‍රීවරයකුට ලෙහෙසියෙන් රටේ ජනාධිපතිවරයා මුණගැසීමට ඉඩ නොලැබේ. මෙම ලැබුණු අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි සියලු දේ ඉටුකර දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවද දැන ගන්නට ඇත. ඇතැම් මන්ත්‍රීවරයෙකුට නගර සභාවේ ක්‍රියාත්මක කමිටුවල සභාපති ධුර ද තවත් මන්ත්‍රීවරුන්ට කොළඹ නගරයේ රාජ්‍ය අංශයට අයත් විවිධ තනතුරු ද ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී ඇති බවද කියැවේ.

නගර සභාවේ බලය මාලිමාව යටතට ගැනීම සඳහා ජනාධිපතිවරයා ඍජුවම සටනට බැස ඇති හෙයින් (6 වැනිදා) පවතින ඡන්ද විමසීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සැලකේ.

මාලිමාව බණ්ඩාරවෙල බලය පිහිටු වූ හැටි

බහුතර බලයක් නොතිබූ පළාත් පාලන ආයතන අතරින් පළමුවැන්න ලෙස බණ්ඩාරවෙල නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය ඉකුත් බදාදා සමත් විය. ඉකුත් මැතිවරණයේදී ජාතික ජනබලවේගයට මන්ත්‍රීවරුන් හය දෙනකු ද ස්වාධීන කණ්ඩායම අංක එක සඳහා මන්ත්‍රීවරුන් පස් දෙනකුද සමගි ජනබලවේගය සඳහා මන්ත්‍රීවරුන් තුන්දෙනකුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් මන්ත්‍රීවරයෙකු සහ තවත් ස්වාධීන කණ්ඩායමකට මන්ත්‍රීවරයකු ද ලෙස මන්ත්‍රීවරුන් හිමිව තිබිණි. ඉකුත් බදාදා පළාත් පාලන කොමසාරිස් සභාව පිහිටුවීමේ ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම අංක  එකේ මන්ත්‍රීවරයකු හා ස්වාධීන කණ්ඩායම අංක දෙකට අයත් මන්ත්‍රීවරයකු ජාතික ජනබලවේගයට සහාය පළ කළ අතර එම පක්ෂයේ නාගරික මන්ත්‍රී සාගර ධීර විශ්වවික්‍රම මහතා නගරාධිපතිවරයා ලෙස තේරී පත්විය. මෙම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය වනවිටත් සජබ මන්ත්‍රීවරුන් තිදෙනා නම්කර නොතිබුණි.

සජබ ආසන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වූයේද එම පක්ෂයේ මන්ත්‍රීවරුන්  තිදෙනා නම් කිරීම සඳහා පැවැති ආරවුලක් නිසාය. එම නිසා සභාව රැස්වූයේ විපක්ෂයට අයත් සජබ මන්ත්‍රීවරුන් තිදෙනා නොමැතිවය. පළාත් පාලන නීතිය අනුව මන්ත්‍රී ඡන්දයෙන් පත්කර ගන්නා මෙම තනතුරු වසර දෙකක් යනතුරු වෙනස් කළ නොහැකිය. ඡන්ද විමසීම සඳහා ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයෙකු අත ඔසවා රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර එයට විරුද්ධවීමට විපක්ෂයක් සභාවේ තිබුණේ නැත. එහිදී ජාතික ජනබලවේග අපේක්ෂක සාගරධීර විශ්ව වික්‍රම සහ ස්වාධීන කණ්ඩායම් අංක එක නායක මොහොමඩ් නවුසාඩ් අතර තරගය පැවැති අතර ජාතික ජන බලවේග අපේක්ෂකයාට මුළු ඡන්ද අටක්ද මොහොමඩ් නවුසාඩ්ට ඡන්ද 4ක්ද ලැබී තිබිණි. ඔහුගේ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයකු ද සහාය දී තිබුණේ ජාතික ජනබලවේග අපේක්ෂකයාටය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් මන්ත්‍රීවරයා කිසිවකුටවත් ඡන්දය ප්‍රකාශ නොකිරීම විශේෂත්වයකි.

පොසොන් පෝදා සජිත් දෙව්රම් වෙහෙරේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල පැතිරයන සෙම්ප්‍රතිෂ්‍යා තත්ත්වයට ගොදුර වී සිට රාජකාරී කටයුතු ආරම්භ කළේ පොසොන් පුන් පොහෝදා පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සංවිධානය කළ ආගමික වැඩසටහනට එක්වෙමිනි. විපක්ෂනායක කාර්යාලය. සෑම පොහෝ දිනකට සංවිධානය කරන ධර්මදේශනා පිංකම මෙවර පැවැත්වූයේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේදීය. මහකුඹුක්වැව චන්ද්‍රානන්ද හිමියන් පැවැත් වූ ධර්ම දේශනය අවසන් වනතුරුම ශ්‍රවණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශකයාණන් වහන්සේට පිරිකරද පූජා කළේය.

බදාදා උදෑසන සජිත් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජිත කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවට සහභාගිවීම පිණිසය. එජාප මහලේකම් තලතා අතුකෝරාල, හිටපු මන්ත්‍රී සාගල රත්නායක යන මහත්ම මහත්මීන් එජාපයෙන් සහභාගි වූ අතර විපක්ෂනායකවරයා සෙසු පක්ෂ සමග එකඟතාව පිළිබඳව දැනට එළඹ ඇති කාරණා ගැන විස්තර කළේය. මෙම සාකච්ඡාවට සහභාගි වූ සජබෙ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ පොදු විපක්ෂය ඒකාබද්ධව බලය ලබාගත හැකි ආයතන සියයක් ඇති බව තමන් මේ වන විට සලකුණු කර ඇති බවය. එදිනම නුවරඑළිය මහ නගර සභාවේ බලය ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවක්ද අංක දහතුන දරන තැන විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි.

කොළඹ නගර සභාවට පත්ව සිටින ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ද බදාදා දවස පුරාම විපක්ෂනායක සජිත් හමුවී සාකච්ඡා කළේ නගර සභා ඡන්දයේදී තම සහාය ලබාදීම පිළිබඳවය. මෙම සියලු සාකච්ඡා සඳහා ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ද සහභාගි විය.

විපක්ෂය එකතු වී වැඩ කරන සාකච්ඡාවක්

පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලින් පත්වී සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් ඉකුත් පාර්ලිමේන්තු සතිය පුරාම හමුවී සාකච්ඡා කළේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් එකතු වී වැඩ කළ හැකි ආකාරය පිළිබඳවය. රවි කරුණානායක, ජීවන් තොණ්ඩමන්, රවුෆ් හකීම්, දිගම්බරම්, දිලිත් ජයවීර වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් අතර මෙම සාකච්ඡා පැවැත්විණි.

‘‘අපි හැම තැනම පොදු විපක්ෂයක් හැටියට වැඩ කරන්න ඕනෑ.’’ රවි කරුණානායක මහතා කීවේය.

‘‘ඒක ඇත්ත... මොන මත තිබුණත් අපි එක ස්ථාවරයකට එන්න ඕනෑ.’’ රවුෆ් හකීම් මහතා ද සඳහන් කළේය. ජීවන් තොණ්ඩමන්ට වතුකරයේ සභා පිහිටුවීමේදී යම් යම් ප්‍රශ්න තිබුණත් එම ප්‍රශ්න විසඳා දීමට මැදිහත් වන බවද සෙසු මන්ත්‍රීවරු කීහ.

ඉන්දීය මහ කොමසාරිස් නිවසේ භෝජන සංග්‍රහය

ඉන්දියානු සහ ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් හා රාත්‍රී භෝජන සංග්‍රහයක් ඉකුත් බදාදා ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, ගජේන්ද්‍ර පොන්නම්බලම්, ශ්‍රීධරන් යන මන්ත්‍රීවරු හා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ද එම සංගමය වෙනුවෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූහ. මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට බඳුන් වූයේ ඉන්දියානු සහ ලංකාව අතර මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කරගන්නා ආකාරය  පිළිබඳවය. ‘‘දෙරටම එකිනෙකාට ගෞරව කරමින් මිත්‍රශීලි ගමනක් යන බව අපට පෙනෙන්න තිබෙනවා. ඒ මැදට පැනල කාටවත් බාධා කරන්න දෙන්න එපා. අපි ඔබගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිගටම ඉන්නවා’’ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සඳහන් කළේය.

‘‘අපේ රට වෙනුවෙන් දිගටම උදව් කරන්න’’ සංගමයේ නිලධාරීහු එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියහ.

බන්ධනාගාර ලොක්කා ගැන අධිකරණ ඇමැති දුන් හෝඩුවාව

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බන්ධනාගාර පද්ධතියේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදී ඉකුත් සඳුදා දහවල් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූයේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටිමිනි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු ක්‍රියාකාරීන් එම විරෝධතා ව්‍යාපාරය පවත්වද්දී අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට බන්ධනාගාර පද්ධතියේ දූෂණ පිළිබඳ පියවර ගන්නා ලෙස සංදේශයක් භාරදීමට ද සූදානම් කර තිබිණ. එම සංදේශය පිළිගැනීමට කැමැත්ත පළ කළ ඇමැතිවරයා කමිටුවේ නිලධාරීන් දස දෙනකුට තමා හමුවීමට අවස්ථාව ලබාදිය හැකි බවද දන්වා එවීය. ඒ අනුව සේනක පෙරේරා ප්‍රමුඛ එහි කැඳවුම්කරුවන් සුරේශ් චන්දිමාල් ද සිල්වා, රසික ගුණවර්ධන, අයෝමා ගමගේ, නීතිඥ අචලා සෙනෙවිරත්න ලැසිල් ද සිල්වා ඇතුළු පිරිසක් ඇමැතිවරයා සමග සාකච්ඡාවකට එක්වූහ.

‘‘අවුරුදු ගානක ඉඳලම බන්ධනාගාර ඇතුළෙ සිරකරුවන්ට විවිධ හිංසා වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ගන්න රැඳවියන්ගෙන් මුදල් ගන්නවා. විවිධ වංචා දූෂණ මේ බන්ධනාගාර ඇතුළේ වෙනවා. ඒ ගැන පැමිණිලි පවා දාල තියෙනවා. ඒත් පියවර ගත්තෙ නෑ... දැන් ජනාධිපතිවරයාගේ පොකට් එකටත් ගහල වංචා කරල... මේ ගැන පියවරක් ගන්න කියලයි අපි මේ උද්ඝෝෂණ ව්‍යාපාරය කළේ’’ නීතිඥ සේනක පෙරේරා මහතා කීවේය.

‘‘අපි ඒ ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා’’ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා කීවේය.

‘‘ඔබතුමා හොයල බලන්න යහපත් කල් ක්‍රියාව නිසා සිරදඬුවම් විඳින සිරකරුවන්ට නිවෙසට ගිහින් එන්න අවස්ථාවක් දෙනවා. මේකත් සමහර බන්ධනාගාරවල මුදල් අරගෙන තමන්ට හිතවත් සිරකාරයො නිවෙස්වලට යවන මට්ටමට පත්වෙලා... මේවා හොයල බලන්න..’’ නීතිඥ සේනක පෙරේරා මහතා කීවේය.

‘‘හොඳයි... මේ සියලු දේ ගැන අපි හොයා බලාගෙන යනවා. ඉදිරියේදී වැරදිකාරයො අහුවෙයි. අපි දැනටම කැබිනට්ටුවට මේ ප්‍රශ්නෙ දාන්න තීන්දු කරල තියෙන්නෙ. අද සවස කැබිනට් රැස්වීමේදී  වැදගත් තීන්දු කීපයක් ගනියි.’’ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

ඇමැතිවරයාගේ එම ප්‍රකාශය තහවුරු කරමින් එදින සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් අතර එදින සවසට ඔහු රහස් පොලිස් අත්අඩංගුවට ද පත්විය.

කළුතර බලය ගන්න විපක්ෂයම එක්වෙයි

කළුතර දිස්ත්‍රික්කයේ බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල එක්ව බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂවල සාකච්ඡාවක් ඉකුත් බදාදා පැවැත්විණි. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ අජිත් පී පෙරේරා යන මහත්වරු සජබයෙන්ද දොස්තර රාජිත සේනාරත්න මහතා එජාපය වෙනුවෙන්ද සංජීව එදිරිමාන්න පොහොට්ටුවෙන්ද රෝහිත අබේගුණවර්ධන වෙනුවට ඔහුගේ ලේකම්වරයාද පැමිණ සිටියේය.

මෙහිදී සභා ගණනාවක තනතුරු අර්බුදයකින් තොරව පක්ෂ අතර බෙදාගත්තත් සභා කිහිපයක මුල් පුටු පිළිබඳව එකඟතාවක් නොලැබිණි. එජාපයට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන තිස් එකක් ලැබී තිබේ. ශ්‍රීලනිපයට ආසන විස්සකි. දොස්තර රාජිත මෙහිදී කියා සිටියේ මුල් පුටුවලට පත් කිරීමේදී චෝදනා ඇති අය පත් නොකරන ලෙසය. පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පොහොට්ටුවට හිමිවෙන අතර තෝරාගෙන ඇති මන්ත්‍රීවරයාට ඇතැම් පක්ෂවල විරෝධතා පළවිය. හොරණ නගර සභාවේ සභාපති ලෙස ස්වාධීන කණ්ඩායම් නායකයා පත්වන අතර සජබයට උපසභාපති ධුරය හිමිවෙයි. වසර දෙකකින් සභාපති ධුරය එජාපයට ලබාදීමටත් උපසභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාදීමටත් එකඟතාව පළවිය. කළුතර මහ නගර සභාවේ මුස්ලිම් කොංග්‍රසයෙන් පත්වූ මන්ත්‍රීවරයකුට එජාපයේ විරෝධය පළවිය. එජාපයට හිමි වී ඇත්තේ බුලත්සිංහල ආසනයේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පමණකි. කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත්වන මන්ත්‍රීවරයාට ශ්‍රීලනිප නියෝජිතයාගේ විරෝධය පලවිය. බේරුවල ප්‍රාදේශීය සභාවේදී ස්වාධීන කණ්ඩායමට සභාපති ධුරයත් සජබයට උපසභාපති ධුරයත් පක්ෂ නායක සාකච්ඡාවලදී යෝජනාවී තිබුණද සජබය මෙහිදී මුල් පුටු දෙකම අවශ්‍ය බව කියා සිටියේය. තවත් ආයතන ගණනාවකම පක්ෂනායක මට්ටමේදී එකඟ වූ තනතුරුවලට එරෙහිව මත පළ විය. දොස්තර රාජිත එහිදී පෙන්වා දුන්නේ මේ ඔක්කොම නායක මට්ටමේදී එකඟ වූ ඒවා. දැන් විරුද්ධ වෙලා වැඩක් නෑ කියාය.                                                                                     

ජගත් විතාන මන්ත්‍රීවරයා සංවිධානය කළ අගලවත්ත සහ මතුගම කොට්ඨාස දෙකේ සභා පහේම බලය පොදු විපක්ෂයට ලබා ගත හැකි තත්ත්වයක් උද්ගතව ඇත. දිස්ත්‍රික්කයේ සභා දෙකක පමණක් තනි බලය ජාතික ජනබලවේගයට ලැබී ඇති අතර ඉතිරි සියලු සභා පවතින්නේ විපක්ෂයට ද ජාතික ජන බලවේගයටද තරග කර බලය පිහිටුවීමේ විවෘත මට්ටමකය. විපක්ෂයේ මෙම රැස්වී​මේදී තනතුරු සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවක් නැති   ආයතන ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට තීන්දු කෙරිණි. කළුතර දිස්ත්‍රික්කයේ සභා පිහිටුවීමේ ඡන්ද විමසීම් 19 වැනිදා ආරම්භ වන අතර උදෑසන දොඩම්ගොඩ සහ සවස බේරුවල ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම් පැවැත්වේ.

ගම්මන්පිල සීඅයිඩියෙන් ප්‍රශ්න කරයි

වත්මන් රජය බලයට පත්වූ පසු රේගු අංශයේ තදබදය නිසා පරීක්ෂාවකින් තොරව මුදාහළ බව කියන කන්ටේනර් තුන්සිය විසිතුන ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට විවිධ අදහස් පළවී තිබේ. මේ සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතාද අදහස් පළකළ අතර ඉකුත් සඳුදා ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට රහස් පොලිසියේ පෙනී සිටින්නැයි ඒ මහතාට කැඳවීමක් ලැබිණි. ගම්මන්පිල මහතා රහස් පොලිසිය වෙත ගොස් එම කන්ටේනර් තුන්සිය විසිතුන පිළිබඳ ලැයිස්තුව රහස් පොලිසියට භාර දුන්නේය.

‘‘මේක තමයි කන්ටේනර් ලැයිස්තුව. මේක පදනම් කරගෙන ඔයාලගෙ පරීක්ෂණ කරන්න. ගම්මන්පිල කීවේය. රහස් පොලිස් නිලධාරීහු එම පත්‍රිකා භාර ගත්හ.  ප්‍රකාශය ලබාදීමෙන් පසු ගම්මන්පිලගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා වෙනුවට ඔහු කළේ පොලිසියෙන් ප්‍රශ්න කිරීමය.

‘‘මේ කන්ටේනර් ගැන මුලින්ම කතා කළේ රේගු වෘත්තීය සමිති සංධානය. ඒ අයව ගෙන්නල ප්‍රශ්න කළාද? මේ කන්ටේනර් නිදහස් කිරීමේ කමිටුවේ සභාපති තුමා සීවලී අරුක්ගොඩ. එයාගෙන් ප්‍රශ්න කළා ද? රේගු අධ්‍යක්ෂ ජනරාල් මාධ්‍ය නිවේදනයකින් කියනවා ජනාධිපතිතුමයි ප්‍රවාහන ඇමැතිතුමයි තමයි කන්ටේනර් නිදහස් කරන්න කියල උපදෙස් දුන්නෙ. එයාව ප්‍රශ්න කළා ද? එහෙම රේගු අධ්‍යක්ෂ ජනරාල් කියනවා නම් ජනාධිපති උපදෙස් දුන්නෙ කියල ජනාධිපතිවත් ගෙන්නල ප්‍රශ්න කරන්න ඕනෑ... ජනාධිපතිව ගෙන්නුව ද? නියෝජ්‍ය ඇමැති චරිත කොඩිතුවක්කු කියල තියෙනවා අපියි උපදෙස් දුන්නෙ පරීක්ෂා නොකර එළියට දාන්න කියලා. එතුමාගෙන් ප්‍රශ්න කළා ද?’’ උදය ගම්මන්පිල ප්‍රශ්න කළ ද ‘‘නැත’’ යන්න රහස් පොලිසියේ පිළිතුර විය. වගකිවයුතු ඒ කිසිවෙකුගෙන් ප්‍රශ්න නොකර මේ ගැන කිසිම අදාළත්වයක් නැති එළියෙ ඉඳල බලා ඉඳල මේ ගැන අඩුපාඩු පෙන්වන අපිව ගෙන්වල ප්‍රකාශ ගැනීමේ තේරුම මොකක්ද? ගම්මන්පිල විමසුවේය. අර්ජුන මහේන්ද්‍රත් රටින් පැනල ගිය නිසා මහ බැංකු බැඳුම්කර නඩුව එහෙම්මම කඩාකප්පල් වුණා. දැන් කන්ටේනර් නිදහස් කරපු සීවලී අරුක්ගොඩ නොවැම්බර් මාසෙ බෙල්ජියමෙ තියෙන ලෝක රේගු සංවිධානෙ තනතුරකට යන්න නියමිතයි. ඒක නිසා එයාට විදෙස් ගමන් තහනමක් පනවන්න. නැතිනම් ඉතින්  මහබැංකු බැඳුම්කර විමර්ශනයට වූ දේමයි මේකටත් වෙන්නේ...’ උදය ගම්මන්පිල රහස් පොලිසියෙන් පිටව ආවේ එසේ කියමිනි.

විදුලි බිල වැඩිකරයි මීළඟ කොන්දේසිය  ශ්‍රී ලංකන්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය එක්ව ක්‍රියාත්මක කර ඇති මෙරට ආර්ථිකය යථාවත් කිරීමේ වැඩසටහන යටතේ මෙරටට ලබාදුන් ණය පැකේජයේ හතරවැනි වාරිකය තවමත් නිදහස් කර නැත. ඒ සඳහා විදුලි බිල නිෂ්පාදන වියදමට ගැළපීම විදුලි බල මණ්ඩලය කොටස් කිහිපයකට වෙන්කිරීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීම, රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය කිරීම හා ලක්ෂ 12ක් වන රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ නවය දක්වා පහත දැමීම වැනි කොන්දේසි අනාගත ණය වාරික ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මගින් ඉටු කළ යුතුය.

මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙම 15 හා 16 යන දිනවල මෙරට සංචාරයක නිරත වන්නේ ලංකා රජය විදුලිබිල වැඩිකිරීම කල් දමමින් සිටි අවස්ථාවකය. එහෙත් මූල්‍ය අරමුදලේ දෙවැනියාගේ මෙරට සංචාරයට දින දෙකතුනකට පෙර ඉකුත් බදාදා විදුලි බිල සියයට 15කින් ඉහළ දැමීමට රජය පියවර ගත්තේය. එම ඉහළ දැමීම එදින මධ්‍යම රාත්‍රියේ සිටම ක්‍රියාත්මක වුවත් බිල වැඩි වන්නේ ජූලි මාසයේ සිටය.

දේශපාලන අංශ අතර මේ වන විට කතාබහට ලක්ව ඇත්තේ මූල්‍ය අරමුදලේ පස්වැනි වාරිකය ලබාගැනීම සඳහා කොන්දේසිය පිළිබඳවය. විදුලි බල මණ්ඩලය කොටස් හයකට වෙන් කරන පනත ඉන් එකකි. එම පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකන් සමාගම රාජ්‍ය පාලනයෙන් බැහැර  කිරීම අනෙක් කොන්දේසියයි. පස්වැනි හෝ හයවැනි වාරික මුදාහැරීම සඳහා ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය අනිවාර්ය කොන්දේසියක් වනු ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

රනිල් CIDයට

රනිල් බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවට  කැඳවා  තිබිණි. ඒ අනුව එහි ගිය හිටපු ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ගෙන් තමන්ව කැඳවූයේ මන්දැයි විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ගෙන්වීමේ සිද්ධියට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව විමසීම සඳහා මෙසේ කැඳවූ බවය.

එහිදී හිටපු ජනාධිපතිවරයා එම නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින්, මේ ආකාරයෙන් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දේවල් විමසිය නොහැකි බවත් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දෑ ගැන ප්‍රශ්න කිරීමට අධිකරණයටවත් නොහැකි බවත් සඳහන් කර ඇත.

කැබිනට් තීරණ සම්බන්ධ තොරතුරු කිසිවෙකුට පිටතට ලබාදිය නොහැකි බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා එසේ කැබිනට් තීරණයකට එකඟ වූ, එකඟ නොවූ අය පිළිබඳව පිටස්තර පාර්ශ්වයකට තොරතුරු ලබාදෙන්නේ නම් එකී කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ එකඟතාව මත එය සිදුකළ යුතු බවත් එසේ නොවන්නේ නම් එය නීතියට පටහැණි බවත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයට අදාළ නීතිය පිළිබඳව ග්‍රන්ථයක නමක් ද පවසා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විමර්ශන සිදුවන්නේ මේ ආකාරයට නම් තමන්ට සිදුවන්නේ එම ග්‍රන්ථයත් රැගෙනවිත් නීතිපතිවරයාට නීතිය කියාදීමට බවත් ප්‍රකාශ කර CIDයෙන් පිටව ගොස් ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මෙසේ CIDය හමුවට ගොස් කෙටි වේලාවකින් පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදී රුසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා විය.

රාජ දූත