පොදු සමාව පෞද්ගලික සමාවක් කරගත් බන්ධනාගාර ලොක්කෝ


2014 ජුනි 9 වැනි දින එවක බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ටී.එන් උපුල්දෙණිය මෙවැනි ප්‍රකාශයක් කළේය. 
 
“ක්‍රි.ව. 1818 දී අධිරාජ්‍යවාදීන් විසින් මහනුවර බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ඇහැලේපොළ නිලමේ තුමා, ආචාර්ය එන්.එම් පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරතුංග, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ආදී දේශපාලනඥයන්ගේත්, උතුවන්කන්දේ සරදියෙල්, මරු සිරා වැනි නමගිය අපරාධකරුවන්ගේත් තොරතුරු ඔවුන් බන්ධනාගාරයේ දී පාවිච්චි කළ බඩු භාණ්ඩ, සිරගත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට අදාළ අධිකරණ නියමයන් ඇතුළු ලිපිලේඛන යෝජිත බන්ධනාගාර කෞතුකාගාරයේ තැන්පත් කෙරෙනවා. මේ වන විටත් එම භාණ්ඩ රුස්කිරීමේ කටයුතු ඒ ඒ බන්ධනාගාර හරහා සිදුවෙමින් පවතිනවා.”
 
එයින් වසර 11 ට පසු ටී.එන්.උපුල්දෙණිය ගැන 2025 ජුනි 10 වැනි දින පුවත්පත්වල මෙවැනි වාර්තාවක් පළකොට තිබේ.
 
“වෙසක් දිනය නිමිත්තෙන් පිරිනැමෙන ජනාධිපති පොදු සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙක් ජනපති පොදු සමාව ලැබුණු සිරකරුවෙකු ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09දා) ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ඉතා කඩිනමින් සිදුකරමින් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස් වරයාට පරීක්ෂණ අවසන් වන තෙක් වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු කළ බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කොට තිබුණි.
 
මෙම පුවතේ ඇති විශේෂත්වය වන්නේ පිලිප්ලා, කොල්වින්, විජයලා බන්ධනාගාරයේ දි භාවිත කළ භාණ්ඩ බන්ධනාගාර කෞතුකාගාරයට යොමු කළාක් මෙන්ම උපුල්දෙණිය බන්ධනාගාරගතව සිටියදී භාවිත කළ භාණ්ඩ බන්ධනාගාර කෞතුකාගාරයේ තැන්පත් කිරීමට සිදුවිය හැකිවීමය .  
 
මේ අතර අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කොට ඇති අතර ඔහු මෙයට පෙර 2015 වසරේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය හෙබවීය.
 
සැප්තැම්බර් මාසය සැලකෙන්නේ සාහිත්‍ය මාසය ලෙස වුවත් බන්ධනාගාර දිනය හෙවත් සිරකරු දිනය යෙදෙන්නේ සැප්තැම්බර් 12 වැනිදාටය. සැප්තැම්බර් 12 වැනිදා වන තුරුත් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාරගතව සිටිය හොත් සිරකරු දිනයේත් බන්ධනාගාරගතව සිටි ලොව ප්‍රථම බන්ධනාගාර කොමසාරිස් ලෙස ඔහු ඉතිහාස ගතවනු නියතය.
 
බන්ධනාගාර ඉතිහාසය
 
බන්ධනාගාර ඉතිහාසය සොයද්දී පෙනීයන්නේ වැලිකඩ බන්ධනාගාරයටත් පෙර අලුත්කඩේ බන්ධනාගාරයක් තිබී ඇති බවය. බිතාන්‍යයන් ශ්‍රී ලංකාව තම පාලනයට නතු කරගැනීමෙන් පසු පිහිටුවනු ලැබූ පළමු බන්ධනාගාරය අලුත්කඩේ බන්ධනාගාරය ලෙස සැලකේ. වත්මන් උපරිමාධිකරණයට අයත් භූමියෙහි එවකට පිහිටා තිබුණේ එම බන්ධනාගාරයයි. 1815 දී උඩරට ගිවිසුමෙන් පසු බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවම තම පාලනයට නතු කරගත් පසු හටගත් 1818 කැරුල්ලේ ප්‍රතිඵලයක් ලෙස මහනුවර බන්ධනාගාරය ඉදිකරන ලදි. ඇහැලේපොළ මහාඅධිකාරම් වාසය කළ වලව්ව ඒ සඳහා යොදා ගැනිණ. 
 
1875 දී මහර බන්ධනාගාරයත්, 1876 දී බෝගම්බර බන්ධනාගාරයත් ස්ථාපිත කෙරුණු අතර බන්ධනාගාර ඉන්ස්පෙක්ටර් ජෙනරාල්වරයකු යටතේ ඒකීය බන්ධනාගාර ක්‍රමයක් ඇරඹෙන්නේ 1877 අංක 16 දරන පනත මගිනි. පොලිස්පතිවරයෙකු යටතට පත්වන මෙම බන්ධනාගාර ක්‍රමය අනුව 1833 දී දණ්ඩ නීති සංග්‍රහය මගින්, සිරකරුවන් එල්ලා මැරීම ආරම්භ කරන ලදි. 1905 වසරේ ජූලි 16 දා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවෙන් වෙන් කරන ලද බව ඉතිහාසයේ ලිඛිතව ඇත. සැලකිය යුතු කලක් අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යෑම සඳහා නව අමාත්‍යාංශයක් බවට පත්වූයේ වර්ෂ 2010 දීය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලෙස නම් කොට 2012.04.18 දින ස්ථාපිත කෙරෙන මෙම අමාත්‍යාංශයේ පළමු ඇමතිවරයා වූයේ ඩීව් ගුණසේකර යි.
 
ඊට වසර 4කට පසු 2014 මා ර් තු 17 වැනිදින ලෝකයේ ප්‍රථම බන්ධනාගාර පාසල වටරුක බන්ධනාගාරයේ විවෘත කරමින් ලංකා වේ බන්ධනාගාර පද්ධතිය ජාත්‍යයන්තරව ඉතිහාසයට එක් විය.
 
මේ අතර බන්ධනාගාර රුඳවියෙකු සඳහා අනීතිකව ජනාධිපති සමාව ලබාදීම සහ බන්ධනාගාරවල බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් විරෝධතාවක් පසුගිය 09 වැනිදා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට දී සිරකරුවන් සුරුකීමේ සංවිධානය විසින් සිදු කරන ලදි.
 
පැවති විරෝධතාවෙන් පසු එහි සාමාජිකයන් පිරිසක් අධිකරණ ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.
 
මෙහිදී ඇමැතිවරයා මෙම සාමාජිකයන් හමුවේ පවසා සිටියේ පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීමේ දී අනුරාධපුර බන්ධනාගාරයේ රුඳවියෙකු සඳහා ජනාධිපති සමාව ලබාදීමේ සිද්ධියේ දී බරපතළ අක්‍රමිකතාවක් සිදු වී ඇති බවයි. ආණ්ඩුවක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම් කිසි සේත් අනුමත නොකරන බව සඳහන් කළ ඇමැතිවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිර්දේශ කළ නම් ලැයිස්තුවේ සඳහන් නොමැති පුද්ගලයෙකු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදහස් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ඉතා කඩිනමින් සිදුකරමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස්වරයා පරීක්ෂණ අවසන් වන තෙක් වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු කළ බව ද ඇමතිවරයා පැවසීය.
 
මෙම බන්ධනාගාර අර්බුදය ජුනි 11 වැනිදා බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රුස්වීමේදී ඇදී ආවේය.
 
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට වැඩ තහනමට ලක් ව ඇති කාලසීමාවෙහි වැටුපෙන් අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  පැවසීය.
 
ඇමතිවරයාගේ ප්‍රකාශය
 
අනීතික ලෙස සිරකරුවන් පිරිසක් නිදහස් කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අධිකරණ අමාත්‍යාංශයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් එම විමර්ශනවලට බාධා නොවන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
“මේ ජනාධිපති සමාව දීම පළමුවැනි වතාවට සිදුවීමක් නෙමෙයි. ජනාධිපති සමාව යටතේ අයථා ක්‍රියා සිදුවන බවට වාර්තා වූ පළමුවැනි අවස්ථාව මෙයයි. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අධිකරණ අමාත්‍යංශයෙන් විමර්ශන ක්‍රියාත්මක වනවා. ඒ විමර්ශනවලට බාධා නොවන ලෙස තමයි බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ තහනමට ලක් කළේ.
 
ඒ අනුව කළ පරීක්ෂණවලදී මීට කලිනුත් මෙවැනි සිදුවීම් සිදුව ඇති බව හෙළිදරව් වී තියෙනවා. 2024 නත්තල් දිනයේ දී රුඳවියන් 332 කට පොදු සමාව ලබා දී තිබුණත් 389 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රධානීන්ට අමතරව තවත් අය සිටී නම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා.”ඇමතිවරයා කීය.
 
මේ අතර මේ ප්‍රශ්නය ගැන මුහුණු පොතේ උපහාසත්මක වැකියක් සටහන් කොට තිබුනේ මෙසේය. “වෙසක් පෝයට සිරකරුවන්ට නිදහස. පොසොන් දවසේ බන්ධනාගාර කොමසාරිස් ඇතුළට” 
 
සිද්ධිය වඩාත් බරපතළවෙද්දී අනුරාධපුර බන්ධනගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු ඉකුත් වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි සොයාබැලීමට ජනාධිපති ලේකම් කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
 
පැමිණිල්ලෙන් පසු, මෙවර වෙසක් පොහොය දින ජනපති පොදු සමාව දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිප දෙනෙකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පුළුල් විමර්ශනයක දී හෙළිදරව් විය. 
 
මේ අනුව සිරකරුවන් 20ක් හෝ ඊට ආසන්න පිරිසක් මෙවර වෙසක් දින ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් නිදහස් කර ඇති බවට සැකකරන තොරතුරු රුසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. ඒ හැරුණු කොට පසුගිය වසරේ ද මේ ආකාරයට සිරකරුවන් 30ක් හෝ 35 ක් ජනපති පොදු සමාවට මුවාවී නිදහස් කර ඇති බවට සැකකරන තොරතුරු නිරාවණය කරගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
 
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍යට පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය. ‘ජනාධිපති ලේකම් කාර්යාලයේ පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තව දුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතව ද ඇත. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතකර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශනවලින් හෙළිදරව් වෙමින් පවතී.
 
මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එම විමර්ශනයේ දී, හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. ඒ සම්බන්ධව ද ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරයෙන්න් මෙලෙස අධිකරණය මඟින් වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.’ යනුවෙන් එම පොලිස් නිවේදනයේ සඳහන් කොට තිබිණ.
 
රාජ්‍ය ලීලාවෙන් වැඩකරන නිලධාරියෝ
 
මේ අතර අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස්වරයා පසුගිය 10 වැනිදා දහවල් 12 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය මඟින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් අධිකරණයට කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ සඳහන් කළේය.
 
“ස්වාමිනී අද වන විට ඇතැම් නිලධාරීන් රාජ්‍ය ආයතන තුළ රාජ්‍යයක් හදාගෙන රාජ්‍ය ලීලාවෙන් වැඩ කරනවා. නීතිය සාමය රකින හිටපු පොලිස්පතිවරයා, හිටපු ආගමන විගමන පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තියෙන්නේ මෙවැනි අපරාධ වැඩ නිසා. ස්වාමිනී, එම ආයතනය වගේ නෙවෙයි. අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වන්නේ බන්ධනාගාරයයි. බන්ධනාගාරය තුළ මෙවැනි දුෂිත ක්‍රියා සිදුකරන පාලකයන් ගැන විමර්ශන කටයුතු සිදු කළ යුතුයි.”
 
“ස්වාමිනී. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ පොදු සමාව දීමේ බලය හිමිව තිබෙනවා. ඇතැම් ජනාධිපතිවරු එම බලය තම අභිමතේ පරිදි දීලා මේ වන විට වන්දි නඩු පවා පැවරී තිබෙනවා. රෝයල් පාක් එකේ සමන්ත නිදහස් කිරීම එලෙස වන්දි ගෙවීමට සිදුවුණු නඩුවක්. ජනාධිපති සමාව යටතේ සුවිශේෂ දිනවල එනම් වෙසක්, නත්තල් දිනවල දී ශ්‍රී ලංකාවේ පවතින බන්ධනාගාර 28 න් අංශ හතරක් යටතේ සමාව දීමට නිර්දේශ කර තිබෙනවා. එලෙස නිර්දේශ කරන ලද සිරකරුවන් අධිකරණ හා ජාතික ඒකාබද්ධ ලේකම් කාර්යාල හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසුව ජනාධිපතිගේ අත්සන යොදනු ලබනවා.”
 
“ස්වාමිනී, මෙම සිද්ධියට අදාළව අනුරාධපුර මහාධිකරණයේ පැවති නඩුවකට අදාළ සැකකරු වන තිලකරත්නට 2022.5.22 දින දඩයක් නියම කර තිබෙනවා. එම දඩය නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවම් නියම කර තිබෙනවා. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ සැකකරු ඉකුත් වෙසක් පොහොය දින නිදහස් කර තිබෙනවා. දඩය නොගෙවන්නේ නම් වන්දියක් ලෙස මෙම දඬුවම් නියම කර තිබුණේ. ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 388 ක් නිදහස් කිරීමට තිබුණු අතර එයින් සිරකරුවන් 36 ක් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නම් කර තිබෙනවා.”
“ස්වාමිනී එලෙස ඇතුළත් කරන 36 දෙනාගේ නාමලේඛනයේ අතුල තිලකරත්න නමැති සිරකරුවාගේ නම තිබුණේ නැහැ. මෙම සියලු සිදුවීම් සිදුව තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ අනුදැනුම ඇතිව. ස්වාමිනී, මෙම සිද්ධිය පමණක් නොවේ, 2024 ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 57 දෙනෙකු නිදහස් කර තිබෙනවා. අධිකරණයෙන් දඬුවම් නියම කරලා තිබෙද්දී එම නියෝග නොතකා තම බලය අභිමතය පරිදි භාවිත කරන්නේ මොවුන් බන්ධනාගාර රජ්ජුරුවන් ලෙස ක්‍රියා කරන නිසා” 
 
“ස්වාමිනී ඔබතුමා දන්නවා නඩුවක් පැමිණිල්ලක් මඟින් ඔප්පු කරන්න බොහෝ කාලයක් ගත වෙනවා. ඊට වියදම් වෙන්නේ මහජනතාවගේ මුදල්. අධිකරණය මඟින් දෙන්නේ මධ්‍යස්ථ දඬුවම්. එලෙස දෙන දඬුවම් පවා නොසලකා සිරකරුවන්ට ගෙදර යන්න සලස්සවා තිබෙනවා.
 
ඉන්පසු මේ නඩුව නැවතත් ජුනි මස 11 වැනි දින අධිකරණය හමුවේ විභාගයට ගන්නා ලදි. ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් බන්ධනාගාරගත කර සිටි සිරකරුවකු අනීතික ආකාරයට බන්ධනාගාරයෙන් නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ලබන 25 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එදින නියෝග කළාය.
 
අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම සැකකරු මෙම ප්‍රශ්නගත සිද්ධි ජාලයට අදාළ ලේඛන විනාශ කිරීමට සූදානම් බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවයි. 
 
මෙකී සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් අධිකරණයට කරුණු දැක් වූ අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට මෙසේ කරුණු දැක්වීය. 
 
“ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28 ක් පවතිනවා. ඒ බන්ධනාගාර 28 තුළ සිටින සිරකරුවන් රජයේ විශේෂ දවස්වල දී නිදහස් කරනු ලබනවා. ඒ දවස් නම් නත්තල්. වෙසක්, සිංහල අවුරුදු උත්සවය, නිදහස් දවස ලෙස කියන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ජනාධිපති වරයාට හිමිවන බලතල අනුව සිරකරුවන්ට සමාව හිමිවෙනවා. ඒ අනුව මෙම ජනාධිපති පොදු සමාව හිමිවෙන ආකාරය කොටස් හතරක් යටතේ දක්වා තිබෙනවා.
 
2025/05/12 නිකුත් කළ ඇති චක්‍රලේඛය අනුව සියලුම සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ ක්‍රියාවලියේ දී කොටස් හතරකට අයත් වෙනවා. ඒවා නම් සැකකරුවන් හට වසරක සිර දඬුවමක් හිමිවී එය අවසන් වීමට සතියක කාලයක් තිබේ නම් ඔවුන්ට ජනාධිපති සමාව හිමි වෙනවා. දෙවැනි පිරිස වන්නේ දඩ මුදල් නියම වී එය ගෙවීමට අපහසු වීම හේතුවෙන් සිරගත කර ඇති සිරකරුවන්. ඔවුන්ට ජනාධිපති සමාව යටතේ ගෙවීමට ඇති දඩ මුදල් ශේෂය අහෝසි කරනවා. තුන්වැනි කාණ්ඩය අනුව දඩ මුදල් භාගයක් ගෙවා තිබෙනවා නම් ඉතුරු දඩ මුදල ශේෂය අහෝසි කර සිරකරුවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනවා. හතරවැනි කාණ්ඩය වන්නේ වසර තිහකට අධික කාලයක් බන්ධනාගාර දඬුවම් හිමි වී තිබේ නම් වසර විස්සක් අවසන් කර තිබේ නම් ඉතිරි අවුරුද්දක කාලය ජනාධිපති සමාව යටතේ අහෝසි කිරීමයි”
 
ලැයිස්තුවේ නැති නමක්
 
“ස්වාමිනී.මේ ආකාරයටයි ජනාධිපති සමාව හිමිවන්නේ, ස්වා මිනී, දිවයිනේ තිබෙන බන්ධනාගාර 28 න් ඒ ඒ බන්ධනාගාර අධිකාරි වරුන් විසින් ජනාධිපති සමාව හිමි වන සිරකරුවන්ගේ ලිස්ට් එක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරනවා. ඒ ලිස්ට් එක තමා සැකකරු විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරන්නේ. ඊට පස්සේ මෙම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා”
 
“ස්වාමිනී. පසුගිය වෙසක් දිනයක මේ ආකාරයට 388 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ගොස් තිබෙනවා. ඒ ලැයිස්තුවේ මෙම ප්‍රශ්නගත සිද්ධියට අදාළ අතුල තිලකරත්න යන විත්තිකරුගේ නම සඳහන්ව නැහැ.”
 
“ස්වාමිනී.  මම විත්තිකරු මහාධිකරන විනිසුරුතුමා විසින් නියම කළ ලක්ෂ විස්සක දඩ මුදල ගෙවීමට නොහැකි වීම නිසයි වන්දියක් ලෙස මෙලෙස බන්ධනාගාර ගතකර තිබෙන්නේ. මෙලෙස ක්‍රියා කිරීම වින්දිතයාට කර තිබෙන අසාධාරණයක්. අධිකරණයෙන් වරදකරුකර  ඇතුළට දාන විත්තිකරු බන්ධනාගාර රජ්ජුරුවන්ගෙන් නිදහස ලබාගෙන එළියට එනවා”
 
මෙහිදි අධිකරණයට කරුණු දැක් වූ සොලිසිටර් ජනරාල්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට තවත් චෝදනාවක් කළේය. 
 
“අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කළ අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකුට අධිකරණය විසින් රුපියල් ලක්ෂ වි ස්සක දඩයක් නියම කර තිබෙනවා. එම දඩය නොගෙවීම නිසා එය වන්දියක් වශයෙන් අය කරගන්නා ලෙස දන්වා එම පුද්ගලයා  අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කළා. අධිකරණය මගින් මොහුට දඬුවම් නියම කරලා දවස් පහයි. කොහොමද මොහු නිදහස් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් වුණේ. අනුරාධපුර බන්ධනාගාරයෙන් සමාව අයැද 37 දෙනෙකුගේ ලැයිස්තුවක් එවනවා. සැකකාර බන්ධනාගාර කොමසාරිස්වරයා ජනාධිපති ලේකම් කාර්යාලයට යවන්නේ 36 දෙනෙකුගේ නම් පමණයි. එතනිනුත් එකක් හලනවා. ඊට පස්සේ සමාව දී එම ලැයිස්තුව එව්වාම අනුරාධපුර බන්ධනාගාරයට යවනවා ඔබගේ ලැයිස්තුව අනුමත කළා කියලා. එතකොට අනුරාධපුර බන්ධනාගාරේ අධිකාරිවරයා මොකද හිතන්නේ තමන්ගේ 37 ම නිදහස් කළා කියලා නේද?
 
මෙහෙම බලකොට අනුරාධපුර බන්ධනාගාරයේ තුන් දෙනෙක්ම අනීතිකව නිදහස් කරලා. බන්ධනාගාරය තුළ ඔවුන්ගේම රාජ්‍යයක් හදාගෙන. ඒකේ රජ්ජුරුවෝ වගේ තමයි මේ අය වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් ගැන විමර්ශනයක් කරන්න රහස් පොලීසිය පටන් අරගෙන තියෙනවා.
 
මේ ගැන සැකකාර පාර්ශ්වයේ තර්කය මොකක්ද? ඔවුන් කියන්නේ අදාළ චක්‍රලේඛ අනුව මෙම නිකුත් කිරීම් සිදු කළා කියලා.
 
සිද්ධිය සම්බන්ධයෙන් කෙටි කාලය තුළ අපි විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත්තා. එම පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා මේ ආකාරයෙන් සැකකරුවන් නිදහස් කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වී තිබෙන බවට. 2024 වසරේ නත්තල් දින ජනාධිපති පොදු සමාව යටතේ සැකකරුවන් 330 ක් නිදහස් කර තිබෙනවා. 330 න් සැකකරුවන් 57 දෙනෙකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වෙලා තිබෙනවා. ඊට අමතරව පසුගිය පෙබරවාරි 04 වැනිදාට යෙදුණු නිදහස් දින තවත් සැකකරුවන් 274 ක් නිදහස් කර තිබෙනවා. එම පිරිස අතරින් 11 දෙනෙකු අනීතිකව නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා.”
 
අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩි දුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ “අධිකරණ විනිසුරුවන් මඟින් නඩු අසා වරදකරුවන් කර සිරගත කරන සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුම්වත් කිරීමේ ක්‍රියාවලිය තිබිය බවය. “එය මම පෞද්ගලිකව මෙම උසාවියේ කියනවා. ස්වාමිනී, මේ ජනාධිපති පොදු සමාව හිමි වන බොහෝ සිරකරුවන් මහේස්ත්‍රාත් අධිකරණ සහ සෙසු උසාවිවල ඉන්නේ සුළු පිරිසක්. එතකොට මේ බන්ධනාගාර නිලධාරීන්ට ඒ ඒ ප්‍රදේශවලට අයත් බන්ධනාගාරවල සිටින සිරකරුවන් නිදහස් වීම පිළිබඳව මහේස්ත්‍රාවරුන් දැනුම්වත් කිරීම කළ හැකියි”
 
“ඒත් මොවුන් එය නොකරන්නේ, තමුන්ගේ ඒකාධිපති ආධිපත්‍යය බන්ධනාගාරය තුළ පවත්වාගෙන යෑමටයි” අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පීරිස් මහතා මෙසේ කරුණු දක්වමින් සැකකරු හට ඇප ලබා දීමට විරුද්ධ විය.
 
“ස්වාමිනී, මෙම ක්‍රියාවලිය බූවල්ලකුගේ ක්‍රියාවලියක්. මහ මොළකරු ඇතුළේ හිටියට ඔහුගේ අඬු වටේටම තිබෙනවා. ඔවුන් මීට අදාළ සාක්ෂි විනාශ කරන්න කටයුතු කරන්න පුළුවන්. ස්වාමිනී, මෙම ක්‍රියාවලිය අතිශය භයානකයි. කවදා ඉඳන් ද මේ ක්‍රියාවලිය සිදු වන්නේ. මෙය අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වෙන ක්‍රියාවලියක්. අවුරුදු දහයක සිට පටන් ගත් විමර්ශනය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හා මට අද හෙට ඉවර කරන්න බැහැ. අපි යාන්ත්‍රිකයෝ නෙමෙයිනෙ. ඉදිරි නඩු දිනයේ දී ඔබතුමිය විස්මයජනක වන නඩු ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමට මම සූදානම්. ඒ නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මම ඉල්ලනවා.
 
අධිකරණ අමාත්‍යාංශය කියන්නෙ රටේ පවතින සුවිශේෂ ආයතනයක්. මේවා රාජ්‍ය ආයතන. මහජන සල්ලිවලින් නඩත්තු කටයුතු සිදු කරන්නේ. ස්වාමිනී, මෙම සිද්ධිය පමණක් නොව ලංකාවම පුරා මීට පෙර ද සිරකරුවන් 68 දෙනෙකු තම අභිමතය පරිදි අදාළ බන්ධනාගාර අ ධිකාරි වරුන් නිදහස් කර තිබෙනවා. එම බන්ධනාගාර අධිකාරිවරුන් පිළිබඳවත් අපි විමර්ශනය කරලා වාර්තා ඉදිරිපත් කරනවා. සියලු බන්ධනාගාර අධිකාරිවරුන් ඒ පිළිබඳව සැලකිලිමත්ව සිටීම වැදගත්” යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් වැඩි දුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වීය. බන්ධනාගාර කොමසාරිස් වරයාට එරෙහි අධිකරණ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධි කරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස සඳහන් කරනු ලැබූවේ මෙවැන්නකි.
 
“2025.6.6 පුවත්පත් වාර්තාවක තිබූ දැන්වීමක අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවකුට ජනාධිපති සමාව දුන් බව කියන සිද්ධියක් වාර්තා වුණා. අනුරාධපුර මහාධිකරණයේ තිබූ නඩුවකට අදාළ සැකකරු ලක්ෂ විස්සක වන්දියක් නොගෙවන්නේ නම් ඔහුට මාස 6ක සිර දඬුවම් නියම කර තිබුණා. ඉකුත් පොහොය දින ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරු නිදහස් කර තියෙනවා. ස්වාමිනී,ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරු නිදහස් කර තියෙනවා. ස්වාමිනී, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමේ සිරකරුවන් 388 යටතට මෙම සැකකරු සඳහන් වන්නේ නැහැ. එසේ වීමට හේතුව රජය මඟින් නිකුත් කර තිබූ බන්ධනාගාර සිරකරුවන් නිදහස් කිරීමේ චක්‍රලේඛයට අදාළ බන්ධනාගාර අධිකාරිවරයාට පවතින බලතල අනුව නම් කරන ලද සිරකරුවන්ට අමතරව නිදහස් වීමට හැකි සිරකරුවන් නිදහස් කිරීමට හැකි බව දන්වා තිබීමයි. නමුත් ස්වාමිනී, එම චක්‍රලේඛයේ කිසියම් සිදු වීමක් සිදු වුව හොත් බන්ධනාගාර අධිකාරිවරයා විසින් නිදහස් කරන ලද සිරකරුවන් පිළිබඳ සියලු වගකීම ලබාගත යුතු බව එහි දක්වා තිබෙනවා. එම කරුණින්ම පැහැදිලි වෙනවා ස්වාමිනී, මගේ සේවාදායකයා, බන්ධනාගාර කොමසාරිස්වරයා මෙම සිද්ධියට කිසිදු සම්බන්ධනයක් නොමැති බව”
 
“ස්වාමිනී, මෙම සිද්ධියට මගේ සේවාදායකයා විතරක් නෙවෙයි. අධිකරණ අමාත්‍යවරයා පවා සැකකරුවෙකු වෙනවා. 388 නම් කරන ලද සිරකරුවන් ලැයිස්තුව ඇතුළත් ලේඛනය අධිකරණ ඇමතිවරයා හරහා ජනාධිපති ලේකම් වරයා වෙත යොමු කිරීම සිදුවන නිසා. 2025/06/07 වැනි දින බෝගම්බර බන්ධනාගාරයට ලිපියක් යවලා තියෙනවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්න කියලා”
 
“ස්වාමිනී, මගේ සේවාදායකයා මෙම ක්‍රියාවට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැහැ. ස්වාමිනී, සාමාන්‍යයෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කර තිබෙනවා. ස්වාමිනී,මගේ සේවාදායකයාගේ වැඩ තහනම් කරලා තිබෙන්නේ. එම නිසා ඔහුට විමර්ශනවලට කිසිදු බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් නෑ. එම නිසා සු දුසු ඇපයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් මම ඉල්ලනවා” යනුවෙන් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා තව දුරටත් කරුණු දැක්වීය.
එහෙත් සොලිසිටර් ජනරාල් වරයා බන්ධනාගාර කොමසාරිස් වරයාට ඇප ලබාදීමට එරෙහිව අධිකරණයට කරුණු දැක් වීය.
 
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුට ඇප දීම ප්‍රතික්ෂේප කරමින් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, ඇප සම්බන්ධයෙන් වන නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බව ද සඳහන් කළාය.
 
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මෝහාන් කරුණාරත්න යන අය අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව හමුවට ඉදිරිපත් කරන ලද්දේ ජුනි 11 වැනිදාට වීම විශේෂත්වයකි.
 
මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ කරුණු දැක්වූ සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙසේ කරුණු දැක් වීය.
 
“වෙසක් පොහොදා ජනපති පොදු සමාව දුන් සිරකරු නාම ලේඛනයේ ප්‍රශ්නගත ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති සිරකරුගේ නම ඇතුළත් නොවන බව පිළිගත් සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්ද හබක්කල වසර කිහිපයකට පෙර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් නීතිමය ප්‍රතිපාදන මත ඔහු නිදහස් කිරීමට පියවර ගෙන ඇතැයි’ මහේස්ත්‍රාත් වරයාට කරුණූ ඉදිරිපත් කරන ලදි.
 
මූල්‍ය වංචා නඩුවකට වරදකරු වූ රුඳවියකු වෙසක් පෝය නි මිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි දැනුම් දෙ මින් අනුරාධපුර මහාධිකරණයට කූට ලේඛනයක් ඉදිරිපත් කරන ලදැයි කියමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින අනුරාධපුර බන්ධනාගාර අ ධි කාරීවරයාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජිව ජයසූරිය, ලබන 13 වැනිදා දක්වා ඔහු තව දුරටත් රිමාන්ඩ් භාරයට පත් කළේය.
 
ජනාධිපති ලේකම් කාර්යාලය කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
 
මෙම සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහූ, අනුරාධපුර මහාධිකරණයේ පැවැති එච් සී 69/2018 අංක දරන නඩුවේ විත්තිකරු වෙන විජයකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තාට ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට සැකකරුගේ අත්සනින් යුතු කූට ලේඛනයක් මහා ධිකරණයට ඉදිරිපත් කරන ලදි.
 
මෙකී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත්  මහත්මිය කරුණු දක්වමින්, ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති විත්තිකරුගේ නම ජනාධිපතිවරයා විසින් වෙසක් පොහොය දින ජනපති පොදු සමාව යටතේ නිදහස් කරනු ලැබූ සිරකරුවන්ගේ නාම ලේඛනයේ නොමැති යැයි පැවසුවාය.
 
ජුනි 11 වැනිදාම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවකට මහත් ආන්දෝලනයට පත් වී ඇති අනීතිකව ජනපති සමාව ලැබූවා යැයි කියන එම්. අතුල තිලකරත්න පෙනී සිටීම කාගෙත් කතාබහට ලක් විය.
 
තිලකරත්න නමින් මෙම සැකකරු නීතිඥ සුරංග මොහොට්ටි මඟින් අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ ඔහුට එරෙහිව පැවති නඩුවකටය. පසුව එම නඩුව අවසන් වී ඔහු අධිකරණයේ සිට ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට එරෙහිව පැවති නඩුව දැක බලාගැනීමට බවට වාර්තා වී තිබේ.
 
මහින්ද රණවීර