
පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය තිබුණේ ඉකුත් සතියේය. මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව ආණ්ඩුවේ තුනෙන් දෙකේ ඡන්දද සමග අයවැය ඉතා ඉහළින්ම සම්මත වුණේය.
අයවැය අවසන් වී විපක්ෂය සාදයක
අයවැය ඡන්ද විමසීමෙන් පසු එදින රාත්‍රිය විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සාදයකින් රසවත් වුණේ සර්ව ජනබලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ නිවසේදීය. දිලිත්ගේ ඇරියුමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, රාමනාදන් අර්චුනා, මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, දිගම්බරම්, චමින්ද්‍රානි කිරිඇල්ල, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි, සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වූහ. සාදය අතරතුර දීද මන්ත්‍රීවරුන්ගේ කතාබහට ලක්වූයේ විසිඑක්වැනිදා නුගේගොඩ රැලිය පිළිබඳවය. රංජිත් මද්දුම බණ්ඩාර වටකර ගත් දයාසිරි, හර්ෂණ ඇතුළු පිරිස කියා සිටියේ ඔබතුමයි සුජීව සේනසිංහයි දෙන්නවත් රැලියට යන්න කියාය. ‘අපිට පක්ෂයෙන් අවසරයක් නැතිව යන්න බෑනේ...’ හර්ෂණ රාජකරුණා ද කීවේය.
සාදය රසවත් වූයේ මන්ත්‍රීවරුන්ගේ ගීත ගායනයෙනි. දයාසිරි සිංහල සින්දු සමග දෙමළ සිංදුවක්ද ගායනා කළේය. රාමනාදන් අර්චුනා දෙමළ සින්දු කිහිපයක්ම ගායනා කළේය.
ජේ.සී. අලවතුවල හා හෙක්ටර් අප්පුහාමි ද ගීත ගායනා කළහ. අර්චුනා තමන්ගේ ගීත සහ සෙසු මන්ත්‍රීවරුන්ගේ ගීත ගායනා ඒ මොහොතේම සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ අතර එයට විශාල ප්‍රතිචාරයක් ද හිමිව තිබිණි.
ඔයා අපේ පඬුවස්නුවර සංවිධායකනෙ
පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හමුවී මන්ත්‍රී දයාසිරි ජයසේකර තමා ශ්‍රීලනිපය නියෝජනය කරන බැවින් එම තීන්දුව අනුව නුගේගොඩ රැලියට සහභාගි වීමට සිදුවනු ඇති බව කියා සිටියෝය. ‘ඔයා කොහොමද යන්නෙ... ඔයා අපේ පඬුවස්නුවර සංවිධායකතුමානෙ.....’ සජිත් දයාසිරිට කීවේය. ‘නෑ..නෑ.... මං ඔයාලගෙ නෙවෙයි. මං එහෙම තනතුරු අරගෙන නෑ....’ දයාසිරි සජිත්ට කීවේ සිනාසෙමිනි. ‘මට කතාවකුත් තියෙනවා. නීතියේ ආධිපත්‍යය ගැන.... මං ගිහින් කතා කරන්නම ඕනෑ...’ එසේ කී දයාසිරි සජිත්ගෙන් සමුගෙන නික්ම ආවේය.
වෛද්‍ය සංගමය විපක්ෂය හමුවෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ ප්‍රශ්න ගැන ඉකුත් සතියේ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. දයාසිරි ජයසේකර, රවි කරුණානායක, දිලිත් ජයවීර, ශානක්‍යයන් රාසමානික්කම් එම හමුවට සහභාගි වූහ.
‘වෛද්‍ය සේවය සංවෘත සේවයක් කරගන්න ඔයාලා’ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න. එතකොට ඔය ප්‍රශ්න වෙනම සාකච්ඡා කරල විසඳගන්න පුළුවන්....’ දයාසිරි කීවේය. වෛද්‍ය සංගමය කියා සිටියේ මෙරට වෛද්‍යවරුන් විසිතුන්දාහක් සිටින මුත් ඉන් පන්දහසක් රට හැරයාමට ඉල්ලුම් කර ඇති බවය. එක් වෛද්‍යවරයකු පමණක් සිටින රෝහල් පන්සීයකට වඩා ඇති බවද එම වෛද්‍යවරයාට පැය විසිහතරම සේවය කිරීමට සිදුවී ඇති බවද වෛද්‍ය සංගමය කියා සිටියේය. වසර ගණනාවකින් වාහනයක් ආනයනය කර ගැනීමේ බලපත්‍රය ලැබී නොමැති බවද ඔවුහු කීහ. තමා මුදල් ඇමැති සමයේ වෛද්‍යවරුන්ට ලබා දුන් පහසුකම් ගැන රවි කියද්දී වෛද්‍යවරු එම කටයුත්තට ස්තූතිය පළ කළහ. ‘මට කරන්න පුළුවන් ප්‍රචාරයක් දෙන එක. මම ඔයාලගෙ සේවය ගැන ප්‍රචාරය දෙන්නම්.... ඔයාල ගැන ජනතාව අතර තියෙන්නෙ ටිකක් නරක ප්‍රතිරූපයක්. ඉස්සෙල්ල ඒක හදාගෙන ඉඳිමු....’ දිලිත් ජයවීර මහතා කීවේය.
දොස්තර රාජිතගේ නිවසේ සාකච්ඡාව
විපක්ෂයේ දේශපාලනය ගැන කතාබහක් හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ බත්තරමුල්ල නිවසේ දී ඉකුත් දා පැවැත්විණි. හිටපු මන්ත්‍රී අනුර යාපා, තුසිත හල්ලොලුව සහ මාධ්‍ය හිතවතුන් පිරිසක් එම හමුවට එක්ව සිටියහ. ආණ්ඩු විරෝධි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ආකාරය සාකච්ඡාවට ලක්විය.
‘සමහරු මතයක් ගෙනියනවා. ඊළඟ පාර ජනාධිපතිවරණයෙන් දකුණ දිනනවා කියල...ඒක බොරු මතයක්. කොහෙද මේ රටේ දකුණක් තියෙන්නේ. මගෙ තියරි ඒකනම් ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු වමේ මිනිස්සු. යූඇන්පී එකත් සුබසාධක පක්ෂයක්. යූඇන්පියට දක්ෂිණාංශික පක්ෂයක් කියන්නෙ කොහොමද මහජනතාව රැකබලා ගන්න සියලු ව්‍යාපාර පටන් ගත්තෙ යූඇන්පී එකෙන්. රජරට, නැගෙනහිර පළාතෙ ඩී.එස්. සේනානායකගෙ ගොවි ජනපද... ඩඩ්ලි සේනානායක බත් දුන් පියා....ජේ.ආර්. ජයවර්ධන මහවැලි මහා ව්‍යාපාරය වේලි බැඳල විදුලි බලාගාර හදල ආයෝජන ගෙනත් ප්‍රේමදාස ජනසවියෙන් මිනිස්සුන්ගෙ සුබසාධනය කළේ මේ යූඇන්පී නායකයො. ඔය ලෝකයේ දකුණ කියන ලිබරල් ආර්ථිකයේ ඒවා නෑ..... අද ලෝකෙම වමක් නෑ... එතකොට දකුණක් තියෙන්නත් බෑ. මේ බොරු කතා.....’ දොස්තර රාජිත කීවේය.
මම නම් හැමදාම ලිබරල් අදහස්වල හිටිය මිනිහෙක්....’ අනුර යාපා කීවේය. ‘මං පිළිගන්නවා. ඔයා ශ්‍රී ලංකා එකේ ඉන්න කොටත් හිටියෙ ලිබරල් මතවාදයේ... ඒක යූඇන්පී එකට ගොඩක් කිට්ටු මතයක්....’ දොස්තර රාජිත අනුර යාපාට කියා සිටියේය.
ලබන පාර ජනතාව පෙළගස්වන්න ඕනෑ යූඇන්පී එක රටට කළ සේවය පෙන්වල... දැන් මුළු රටේම ජනතාව ලොකු පීඩනයක ඉන්නෙ... ඒ හැමෝටම තියෙන්නෙ ආර්ථික ප්‍රශ්නෙ. ආර්ථිකය ගොඩ නගන්නේ නැතිව මේ රට ගොඩගන්න බෑ.... එතෙන්ටයි ජනතාව පෙළගස්වන්න ඕනැ...’ දොස්තර රාජිත තවදුරටත් කියා සිටියේය.
පළාත් සභා ඡන්දය පිළිබඳ ගැටුම
අප මෙයට පෙරද මෙම තීරයේ සඳහන් කළ පරිදි එළඹෙන 2026 වසරේදි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු නීතිමය පනතක් මේ වන විට නැත. පැවැති ආණ්ඩු විසින් පළාත් සභා මැතිවරණ පනත අහෝසි කර නව පනතක් ගෙන ආවද එම නව පනත අතරමග කඩාකප්පල්වීම එයට හේතුවය.
මේ වන විට විපක්ෂය පැරණි ඡන්ද ක්‍රමය යළිත් සක්‍රිය කර ඡන්දය පැවැත්වීම සඳහා හදිසි පනතක් ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී සිදුකළේය.
එහෙත් රජය පැහැදිලිවම කියා සිටින්නේ පැවැති ආණ්ඩු විසින් ජනතා විරෝධයට තුඩු දී ඇති බව පවසා අක්‍රිය කරන ලද පැරණි ඡන්ද පනත යළි කිසිසේත්ම සක්‍රිය නොකරණ බවය.
දෙමළ සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම්ගේ පියාගේ අවමඟුලේ දී දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා පවසා තිබුණේ ළඟදීම තමා හමුවන ලෙසය. ඒ අනුව ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ඉකුත් බදාදා පැවැත්විණි. එහිදී පළාත් සභා මැතිවරණය යළි පැවැත්වීමම සහ උතුරු නැගෙනහිර විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ආශ්‍රිතව පැන නැගී ඇති ප්‍රශ්නය සාකච්ඡාවට ලක්විය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාව අවසන් වී පිටතට ආ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැති නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී යැයි ජනාධිපතිවරයා පැවසූ බවය. එළඹෙන වසරේදී පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබා දුන් බවද සුමන්තිරන් පැවසීය. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම විසඳුම් සොයන ක්‍රියාවලියක් ලබන ජනවාරි මාසයේදී පමණ ආරම්භ කරන බව ජනාධිපතිවරයා පැවසූ බවද සුමන්තිරන් පැවසීය.
එහෙත් මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ එයට හාත්පසින්ම වෙනස් මතයකි. උතුරු හා නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින් ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමුවිය යුතු බවට රජය විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ඒ සඳහා සියලු දෙනාගේම සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය උතුරු හා නැගෙනහිර ජනතාවගේ ධීවර හා ඉඩම් ගැටලු ගැනද යටිතල පහසුකම් සංවර්ධනය ගැනද මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. මේ මොහොතේ විසඳිය හැකි ප්‍රශ්න වහාම විසඳන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම සහාය ලබාදෙන බවය. ජාතිවාදයට එරෙහිව රජය ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය සහාය ලබා දෙන බවද සුමන්තිරන් එහිදී කියා සිටියේ ත්‍රිකුණාමල බුදු පිළිමයේ ප්‍රශ්නය ගැන සඳහන් කරමිනි.
රජය ඉතා පැහැදිලිව පවසන්නේ නව ස්ථාවර පළාත් සභා ඡන්ද ක්‍රමයක් සකස් කිරීමෙන් තොරව පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය නොපවත්වන බවය. ඒ සඳහා සියලු පක්ෂවල සහ ජනතාවගේ අදහස් ලබා ගන්නා බවද රජය පවසයි. පාර්ලිමේන්තුවට ජනතා අදහස් ලබාගත හැක්කේ තේරීම් කාරක සභාවක් පත්කිරීමෙනි. ඒ අනුව එවැනි ක්‍රියාවලියක් ලබන වසරේ ආරම්භ වීමට ඉඩ ඇතත් 2026 වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉතා කඩිනමින් එම නීති සම්මත නොවේ. ඒ අනුව 2026 වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම අඩමානයක් පමණක් බව දේශපාලන අංශ අතර කතාබහට ලක්ව තිබේ.
සජබ – එජාප එක්වීම සිදුවන දවස?
සමගි ජනබේලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වී දේශපාලනය කළ යුතු බවට එම පක්ෂ දෙක තුළම මතවාද පවතී. එහෙත් සජබයේ ඇතැමුන්ගේ මතය වන්නේ ප්‍රධාන පෙළේ මැතිවරණයක් නොමැති මෙම අවස්ථාවේ එකතු වීම ප්‍රතිඵලදායක නොවන බවය. දෙපක්ෂයම එකතුවිය යුත්තේ මැතිවරණයක් අබියසදී බව ඔවුන්ගේ මතය වේ.
නුගේගොඩ රැලිය සහ අනාගත දේශපාලනය ගැන කෙටි සාකච්ඡාවක් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මන්ත්‍රී ජගත් විතාන අජිත් පී පෙරේරා අතර ඉකුත් සතියේ පාර්ලිමේන්තු ලොබියේ දී සිදුවිය.
‘ජනතාවගේ බලාපොරොත්තුව තියෙන්නේ පක්ෂ දෙක එකතුවීම...ඒත් තවම ඒකට වෙලාව නෙවෙයි......’ ජගත් විතාන මන්ත්‍රීවරයා පැවසීය.
‘ඔව්. ඡන්දයක් ළංවුණාම එකතු වෙන එකයි කරන්න ඕනැ කියන එකයි මගේ පෞද්ගලික මතය.’ අජිත් පී සහ රංජිත් මද්දුම බණ්ඩාර ද කීහ.
‘අපේ සංවිධායක තනතුරු ගණනාවක්ම හිස්නෙ.... ඒ ටිකත් පුරවල දාන්න...’ ජගත් පක්ෂ මහලේකම්ගෙන් ඉල්ලා සිටියේය.
විපක්ෂය සංවිධානය කළ නුගේගොඩ රැලිය ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයටද යළි යළිත් සිතා බැලීමට අවස්ථා කිහිපයක්ම ඉතිරි කළේය. ජනතාව නොඑන බව ආණ්ඩුව කීවාට විශාල ජනතාවක් රැලිය වෙනුවෙන් ගෙන ඒමට විපක්ෂය සමත්විය.
සමගි ජනබලවේගය නිල වශයෙන් එම රැලියට සහභාගි නොවුවද පළාත් පාලන මට්ටමෙන් යම් පිරිසක් රැලියට පැමිණියහ. විපක්ෂයේ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් ගණනාවක්ම රැලියට සහභාගි නොවුවද ඔවුන්ගේ ආධාරකරුවන් එම රැලියට යොමුකළහ. ඒ සියලු දෙනාවම අවශ්‍ය වූයේ විපක්ෂයේ පිබිදීමකි. රැලියේ වේදිකාව සකස් කිරීමේ කටයුතු සහ සැරසිලි භාර ගත්තේ එජාපයය. කොළඹින් දහසක පමණ එජාප සාමාජිකයන් පිරිසක්ද ජාතික සේවක සංගමයේ වෘත්තිය සමිතිවලින් තවත් තුන්සියයක් පමණ ද රැලියට සහභාගි කරවීමට එජාපය පියවර ගෙන තිබුණේය.
ප්‍රශ්න ඇසීම සීමා කරලා
පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතු තීන්දු කෙරෙන ‘බිස්නස් කමිටුවේ’ රැස්වීමක් ඉකුත් සතියේ පැවැත්විණි. කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයෙන් ඇමැති බිමල් රත්නායක ඇතුළු පිරිසක්ද විපක්ෂයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක, ශානක්‍යයන් රාසමානික්කම් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
මන්ත්‍රීවරුන් ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න අසන ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩු පක්ෂය ගෙන ඇති තීරණයක් ගැන මෙහිදී විපක්ෂය තම විරෝධය පළකර සිටියේය. විපක්ෂනායක සජිත් ඒ ගැන පැහැදිලි කළේය.
‘දැන් තමුන්නාන්සේලා තීන්දු කරලා තියෙනවා මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන ක්‍රමයත් වෙනස් කරන්න. මන්ත්‍රීවරුන් ප්‍රශ්නයක් අහන කොට ඒකට අදාළ අනු ප්‍රශ්න ගණනාවකුත් නගනවා. ඒක මන්ත්‍රීවරුන්ට තියෙන අයිතියක් ‘විපක්ෂනායක සජිත් කියා සිටියේය. ආණ්ඩු පක්ෂය පැහැදිලි කළේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න අසන විට දීර්ඝ ප්‍රශ්න අසන නිසා නිලධාරීන්ට එම තත්ත්වය කළමනාකරණය කරගැනීම අපහසු බවය. ඒ නිසා ප්‍රශ්නයට අදාළ කෙටි ප්‍රශ්න නැගීමට අවස්ථාව සලසන බව ආණ්ඩු පක්ෂය පැවසුවේය.
‘ඔයාලට බලතල තියෙන නිසා ඔයාලට ඕනෑ තීන්දුවක් ගන්න පුළුවන්. ඒත් කරුණාකර අතීතයේ මන්ත්‍රීන් ප්‍රශ්න නගපු හැටිත් බලන්න.... මේක විපක්ෂයේ කටවහන්න හදන වැඩක් වගේ පෙනෙන්නෙ....’ මන්ත්‍රී රවි කරුණානායක එහිදී සඳහන් කළේය.
රනිල්ගේ වියදම් හොයන්න රට ගිය පිරිස
රනිල්ගේ රට ගමන ගැන වතගොත හොයන්නට යැයි කියා නීතිපතිටත් හොරා එංගලන්තයට ගිය පිරිස දඹුලු ගිහින් තලගොයින් මරන්නා සේ එංගලන්තේ සිට ලංකාව ගැන ලියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කරන්නට සූදානම් වෙන බව ළැව් ගින්නක් සේ පැතිර ගියේය. ඒ කතාව අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ද කණ වැකී තිබිණ.
මේ ක්‍රියාව ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නීති පියවර ගන්නට යන බව රනිල්ටද ආරංචි විය. මේ ගැන බොහෝ කතා ඇතිවිය.
“රනිල්ගේ වියදම් ගැන හොයන්නට ගිය මේ පිරිස රනිල් වියදම් කළා යැයි කියන ගානට වඩා තුන් හතර ගුණයක් රජයේ මුදල් කාබාසිනියා කළා” යැයි කීවේ මන්ත්‍රී චාමර සම්පත්ය.
“හොඳම කාරණය වෙන්නේ සරෝජා සිරිසේන මාපියන් බලන්නට ලංකාවට පැමිණ මාසයක පමණ කාලයක් මෙහි ගතකර නැවත එංගලන්තය බලා ගිය පසුව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කණ්ඩායම එංගලන්තයට පිටත් වීමයි.” යැයි මේ ගැන කතා කළ හිටපු මන්ත්‍රීවරයෙක් කීවේය.
තංගල්ලේ රැලිය
ඒකාබද්ධ විපක්ෂයේ ජන රුලියට දවසකට පෙර ආණ්ඩුවද තංගල්ලේ දී රැලියක් පැවැත්වීය. ඒ කුඩු නැති කරන දෙවැනි ජන රැලියයි.
“මිනිස්සු දැන් වැල නොකැඩී තංගල්ලේ මහින්දගේ ගෙදරට එනවනේ. ආණ්ඩුව ඔය කාරණයට බය වුණා. ඒකට තමයි ඔය තංගල්ලේ ගිහිල්ලා රැලියක් තියන්නේ. ඔය රැලි තිව්වා කියලා මිනිස්සු මහින්ද බලන්න එන එක නවතින්නෙ නෑනේ” මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී රනිල් සමඟ මන්ත්‍රීවරයෙක් එසේ කීය.
“ජනාධිපති මහජන රැලිවල කතා කරන්න හරි ආසයි. හැබැයි ඒකට නිමිත්තකුත් ඕන. මේවා දේශපාලනට රැලි විදියට තියන්නත් බෑනේ. මොකක් හරි නිමිත්තක් අල්ලගෙන මේවා කරනවා. අනෙක කුඩු නැති කරන රැලිය කිව්වම ආණ්ඩුවෙ දේපොළ පාවිච්චි කරන්නත් ලේසියි” චාමර කීය.
“මේක කරන්න ඕන ඇමතිනේ. මම ජනාධිපති කාලේ මේ වගේ දේවල් බාර දුන්නේ ඇමැතිවරයාට. ඔක්කොම බදාගෙන කරන්න අවශ්‍ය නෑ. මෙහෙම ගියොත් හොරු අල්ලන්නත් රැස්වීම් දාන්න වේවිනේ” රනිල් සිනා මුසුව පැවසීය.
“කොටි අල්ලනකොට මහින්ද රාජපක්ෂ මේ වගේ රැස්වීම් තිබ්බෙ නෑ නේද? චාමර සම්පත් විමසූයේ ඇත්තටම නොදන්නා දෙයක් දැනගන්නට මෙනි.
ඒකාබද්ධ රැලියට බයවෙලා
ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියට ආණ්ඩුව බියවී පෝස්ටර උඩින් පෝස්ටර් ගැසීම වැනි බාල ගණයේ ක්‍රියා සිදුකිරීමටද පටන්ගෙන තිබූ බව හිටපු මන්ත්‍රීවරයෙක් රනිල්ට කීවේය.
“මමවත් මහින්දවත් මේ රැලියට එන්නෙ නෑ කියල තියෙද්දි ඔච්චර බයවෙන්නෙ මොකටද? මේක ප්‍රධාන නායකයෝ එකතු වෙලා කරන රැලියක් නෙමෙයිනේ. මේ දෙවෙනි පෙළ පළවෙනි වතාවට කරන දෙයක්.”
රනිල් සිකුරාදා ඉන්දියාවට පිටත්ව ගියේ ජීවන් තොණ්ඩමන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වීමටයි.සමස්ත විපක්ෂයම නියෝජනය කරමින් රනිල් එම විවාහ මංගල උත්සවයට සහභාගී වෙයි.
බන්දුලගේ පොත
මේ අතර හිටපු කැබිනට් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ලියූ ”ෂඵත් ප්‍රකීර්ණ විසඳුම්” (නියමාර්ථය පිළිබඳ තුලනාත්මක විමර්ශනය) පොත දොරට වැඩුම රනිල්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
මාධ්‍යවේදිනියට බැන්න නි. ඇමති
ප්‍රසිද්ධ මාධ්‍යවේදනියකට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් බදාදා නියෝජ්‍ය ඇමැත්තකුගෙන් සිදුවූ වාචික හිංසනයක් දුර දිග යන ලකුණු පහළ වෙමින් තිබේ.මේ හිංසනය ගැන මාධ්‍යවේදිනිය ජා.ජ.බ ඉහළම තැන්වලට පැමිණිලි කර තිබෙන බව ආරංචි වේ.
රාජ දූත

