ත්‍රිකුණාමලය, කොටුව පාරේ මීට වසර ගණනාවකට පෙර තිබූ දහම් පාසලක් යළිත් එම ස්ථානයේම ඇති කිරීමට සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉකුත් 16 වැනිදා මුල් ගලක් තබා එම ස්ථානයට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවීම මුල් කරගෙන නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය. මේ වනවිට ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජය පුරා පැතිරෙයි. ඒවා එක් එක් අයගේ මත අනුව වෙනස් වන කරුණු බව අමුතුවෙන් කිව යුතු නැත. අප මෙහිදී විමසන්නේ එම අදහස් නොව සිදුවූ සිදුවීම කුමක් ද යන්නයි.
දහම් පාසලක් තිබුණා ද?
කොටුව පාරේ මුහුදු වෙරළ ආසන්නයේ මෙම ඉදිකිරීම ඉකුත් 16 දින ආරම්භ කරන ලද්දේ ත්‍රිකුණාමලයේ තිබූ ප්‍රථම දහම් පාසල වූ ශ්‍රී බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ල නැවත ඇති කිරීම සඳහාය. 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි ව්‍යසනයට ගොදුරු වී විනාශ වී යෑම නිසා එම දහම් පාසල විනාශ විය. සුනාමියට පෙර මෙම දහම් පාසල ඊට නුදුරින් පිහිටා තිබූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පවත්වාගෙන ගියේ යුද ගිනිදැල් ඇවිළීම හේතුවෙනි.
ප්‍රශ්නගත ස්ථානයේ පොල් අතුවලින් සෙවිලි කළ මුල් දහම් පාසල වූ ශ්‍රී බෝධිවර්ධන දහම් පාසල ලෙස එහි ආදි කර්තෘ වූ අපවත් වී වදාළ බළපිටියේ ශාන්ත නායක හිමියන් විසින් ආරම්භ කරන ලද්දේ 1951 වසරේ දීය. 1951 වසරේ සිට දහම් අධ්‍යාපනය ලබා දුන් මෙම ස්ථානයේ එකල සිටි ගුරුවරු ස්වේච්ඡාවෙන් දරුවන්ට රාත්‍රී පන්ති පවත්වාගෙන ගොස් තිබුණි. එකල රෑ පන්ති යනුවෙන් ජනප්‍රිය වූ මෙම අධ්‍යාපනික ආයතනයෙන් හා දහම් පාසලෙන් ඉගෙන ගත් බොහෝ දෙනා අද වයස අවුරුදු හැට ඉක්මවූවෝ වෙති.
බලපිටියේ සිට ත්‍රිකුණාමලයට වැඩම කළ ශාන්ත නායක හිමියන් මෙම ස්ථානයේ වැඩ වාසය කරමින් ආගමික හා ශාසනික සේවා සිදුකරද්දී අද මෙන් එදා මෙම ස්ථානය ජනාවාස වී නොතිබිණ. මුව ගහනයකින් යුතු ලඳු කැළෑ තිබූ මෙම ස්ථානයේ වැඩ සිටිමින් වර්තමානයේ කොටුව පාරේ තුංමන්හන්දිය ඉදිරිපිට කොටුව බෞද්ධ මධ්‍යස්ථාන විහාරය හෙවත් වර්තමානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය ඉදිකරන ලදී. අපවත් වී වදාළ බළපිටියේ ශාන්ත හිමියන් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ප්‍රශ්නගත ස්ථානයේ දහම් පාසල අඛණ්ඩව අසූව දශකය දක්වා පවත්වාගෙන ගියේය. උන්වහන්සේගේ අපවත්වීමෙන් විහාරාධිපති වූ මිහිඳුපුරේ මහින්දවංශ තිස්ස හිමියන් අසූව දශකය යුද ගැටුම් හේතු කොට ගෙන එම දශකයේ අග භාගයේ දහම් පාසල වර්තමාන ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට එනම් එකල ප්‍රකටව තිබූ කොටුව බෞද්ධ මධ්‍යස්ථානයට රැගෙන ගියේ 1987 වසරේ ඉන්දියන් සාම සාධක හමුදාවේ ආගමනයත් සමඟ යුද ගැටුම් උග්‍රවීම නිසා ආරක්ෂක පියවරක් ලෙසිනි.
දහම් පාසලේ අභාවය
මහින්දවංශ තිස්ස හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලයේ සංචාරය කළ අවස්ථාවක ප්‍රශ්නගත දහම් පාසල් භූමියේ පූජා ඔප්පුවක අවශ්‍යතාව පෙන්වාදීමෙන් පසුව 2014 මෙම ආගමික ස්ථානයට ප්‍රදාන පත්‍රයක් නීත්‍යනුකූලව ලැබුණි. බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මෙම දහම් පාසල 1987 වසරේ ඉන්දියන් සාම සාධක හමුදාවේ ආගමනයත් සමඟ යුද ගැටුම් උග්‍ර වීම හේතුවෙන් සිංහල ජනතා ජනතාව අවතැන් වී දකුණට පලායෑම නිසා වැසී ගියේය.
ප්‍රශ්නයට තුඩු දී ඇති දහම් පාසල් ගොඩනැගිල්ල භූමියේ දැනට වැඩහිඳුවා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ
1987 සිට 1993 දක්වා මෙම සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය අවතැන් කඳවුරක් ලෙස පවත්වාගෙන යන ලදී. යුද ගැටුම් නිසා සිරිමාපුර, උප්පුවේලී, මහමායාපුර, ත්‍රිකුණාමල නගරයේ උන් හිටි තැන් අහිමි සිංහල ජාතිකයන්ගේ තාවකාලික වාසස්ථානය වූයේ මෙම විහාරස්ථානයයි. 1993 දී බලයට පත් වූ රජය ඉන්දියන් සාම සාධක හමුදාව ආපසු හරවා යැවීමෙන් පසුව අවතැන්වූවන් යළි ගම්බිම්වල පදිංචි කළ අතර එවකට වැඩ විසූ මහින්දවංශ තිස්ස හිමියන් දහම් පාසල මුලින් පවත්වාගෙන ගිය ස්ථානයට රැගෙන නොගොස් සිය විහාරස්ථාන පරිශ්‍රයේ පවත්වාගෙන ගියේ යුද ගිනිදැල් සම්පූර්ණයෙන්ම නිවී ගොස් නොතිබීම නිසාය. එකල දහම් පාසල් ලියාපදිංචියක් නොතිබුණු යුගයක මෙලෙස ආරම්භ කළ දහම් පාසල වර්තමානයේ පවත්වාගෙන යන ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල ලෙස 1996 පෙබරවාරි 13 වන දින ලියාපදිංචි කළේ ලියාපදිංචි කළ යුතු යැයි රජය ගත් තීරණයක් අනුවය.
1951 දී ආරම්භ කළ මෙම දහම් පාසල සහිත ගොඩනැගිල්ල විවිධ ආගමික කටයුතු සඳහා පසුව භාවිත කරද්දී 2004 දෙසැම්බර් 26 වන දින සුනාමි ව්‍යසනයට ගොදුරු වී විනාශ වී යද්දී එම ස්ථානයේ තිබූ බුදු මැදුර හා බෝධීන් වහන්සේ පමණක් ඉතිරි විය. විනාශ වී ගිය ගොඩනැගිල්ල යළි ස්ථාපිත කිරීමට එකල වැඩ සිටි නායක හිමියන්ට හෝ දායක කාරකාදීන්ට මූල්‍ය ප්‍රතිපාදන නොතිබීම නිසා එය ඉදිකිරීමට නොහැකි වුවත් දහම් පාසල යුද ගැටුම් නිසා ආරක්ෂිත ස්ථානයක් ලෙස දැනට පවතින ස්ථානයේම එනම් ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේම අඛණ්ඩව පවත්වාගෙන යෑමට මහින්දවංශ තිස්ස හිමියෝ කටයුතු කළහ.
විහාරස්ථානයේ පිබිදීම
මිහිඳුපුරේ මහින්දවංශ තිස්ස හිමිගේ අභාවයෙන් අනතුරුව විහාරාධිපති වූයේ වර්තමාන විහාරාධිපතිත්වය දරන ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන්ය. නායක හිමියන්ගේ අපවත්වීමෙන් වසර කිහිපයකට පසුව නව දායක සභාවක් හා තරුණ බෞද්ධ සංගමයක් විහාරස්ථානයේ ගොඩනැගීමට මුල් විය.
වත්මන් විහාරාධිපති හිමියන් විහාරස්ථානය භාර ගැනීමත් සමග විහාරයේ නඩත්තු කටයුතුවලට මූල්‍ය අර්බුදයක් මතුවිය. 2022 වසරේ ආර්ථික අර්බුද හේතුවෙන් තෙවරක් විදුලි බිල ඉහළ යද්දී දෙවරක් ජල බිල ඉහළ යෑමත් සමඟ මූල්‍ය අර්බුදය විහාරයේ නඩත්තු කටයුතුවලට හරස් විය. මූල්‍ය අර්බුදය තීව්‍ර විය. ඒ අතරේදී ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකාව වන එම්.එච්. දීපානි මහත්මිය විහාරස්ථානයේ දායිකාවක ලෙස විහාරයේ නඩත්තු කටයුතුවලට සුනාමියෙන් කැඩීගිය දහම් පාසල් භූමියේ කොටසක සිය බෑනණුවන් වෙනුවෙන් ආපණ ශාලාවක් පවත්වාගෙන යාමට අවසර ගත්තේ ඉන් ලැබෙන ආදායමෙන් විහාරස්ථානය නඩත්තු කිරීම ජල හා විදුලි බිල් පත් ගෙවීමටය. මේ වන විට සුනාමි ව්‍යසනය නිසා වෙරළ කලාපයේ මීටර් සීයක සීමාවෙහි සියලු ඉදිකිරීම් තහනම් කර තිබිණ.
සුනාමියට පෙර එනම් 2004 ට පෙර තිබූ දහම් පාසල් ගොඩනැගිල්ලේ ගූගල් සිතියමේ පෙන්වන වහලය
මේ අනුව විහාරාධිපති හිමියන් මැදිහත්ව මෙම ස්ථානයේ කොටසක මෙම ආපනශාලාව පවත්වාගෙන යෑම සඳහා අදාළ ආයතනවලින් අවසර ඉල්ලූ විට 2022 වසරේ කොන්දේසි කිහිපයකට යටත්ව තාවකාලික ඉදිකිරීමක් ලෙස ආපනශාලාව පවත්වාගෙන යෑමට අවසර ලැබුණේ එය කඩා ඉවත් කරගත යුතු යැයි කී විට එය කඩා ඉවත් කිරීමේ නියෝගයකට යටත්වය. මේ අනුව පුල්මුඬේ සිට කින්නියා දක්වා වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ගත් තීරණයක් මත මෙම ආපනශාලාව ද කඩා ඉවත් කිරීමේ නියෝගය ලබා දී තිබුණි. දැනට එය කඩා ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ගෙන ඇති නිසා වැඩිදුර විස්තර දැක්විය නොහැකිය. නමුත් මෙම ආපන ශාලාවෙන් ලැබූ ආදායමෙන් විහාරස්ථානය නඩත්තු විය.
එසේ තිබියදී ඉකුත් 16 වැනිදා ඊට යාබද ස්ථානයේ පැරණි දහම් පාසල යළි නඟා සිටුවීමට මුල් ගලක් තබන ලදී. විහාරාධිපති හිමියන් පවසන පරිදි මෙම ස්ථානයේ තාවකාලික ඉදිකිරීමක් කළේ මුල්ගල තැබීමත් සමඟ චාරිත්‍රානුකූලව තුන්වරු පිරිතක් කීමට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවීම සඳහාය. ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ගැනීමට සූදානම්ව සිටි තමන් වහන්සේ ඇතුළු දායක සභාව මෙම කටයුත්ත කළේ ආපනශාලාව කඩා ඉවත් කිරීම වළක්වාගැනීමට යැයි නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද උන්වහන්සේ පැවසූහ. මෙම ස්ථානයේ ගොඩනැගිල්ල ඉදි කළ යුතු යැයි කලක සිට දායක සභාව සහ තරුණ බෞද්ධ සංගමය කළ ඉල්ලීමකට අනුව නැකතක් බලා මෙයට මුල් ගල් තැබූ බව වත්මන් විහාරාධිපති හිමියෝ පවසති.
කලබලය
බුදු පිළිමය තැන්පත් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් ඉදිකිරීම නතර කරන ලෙස දන්වා සිටියත් එය නතර නොවූ බව පොලිසියේ චෝදනාවයි.
විහාරාධිපති හිමියන් පවසා සිටියේ මුල්ගල තැබීමෙන් පසු ස්ථිර ඉදිකිරීම් සඳහා අදාළ ආයතනවලින් අවසර ගැනීමට සූදානමින්ව සිටියදී පොලීසිය ආරක්ෂ වැටේ කම්බි කපා මෙම පිළිම වහන්සේ ඉවත් කළ බවයි. එම අවස්ථාවේ දී විහාරස්ථානයේ හිමිවරුන් සහ පොලිසිය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය පවසන්නේ හිමිවරුන්ට පහර නොදුන් බවයි. පොර බැඳීමක් සිදු වූ බව පොලිසිය කියයි. කෙසේ වුවද මේ සිද්ධියෙන් තුවාල ලැබූ විහාරාධිපති හිමි රෝහල් ගත කරනු ලැබූහ.
තත්ත්වය පාලනය කිරීමට ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවලින් අමතර පොලිස් බල ඇණි කැඳවීමට සිදුවිය. කැරලි මර්දන කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක්ද එම ස්ථානයේ ආරක්ෂාවට යොමු කිරීමට සිදුවිය.
කෙසේ වුවද පොලිසිය විසින් රැගෙන ගිය බුදු පිළිමය පසුදා නැවත එම ස්ථානයේම ස්ථාපනය කෙරිණි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ නොසන්සුන් තත්ත්වය මත බුද්ධ ප්‍රතිමාවට යම් අයකු හානියක් කළේ නම් එය ගැටුමක් දක්වා දුර දිග යන හෙයින් බුදුපිළිමයේ ආරක්ෂාවට එය පොලීසියට වැඩම කළ බවයි .
කෙසේ වුවද අවසානයේ ඊට පසුදා (17දා) බුදුපිළිමය යළි තිබූ පොලීසිය විසින් වඩමවන ලදී.
පාර්ලිමේන්තුවේ කියවුණු කතා
මේ සම්බන්ධයෙන් 17 වැනිදා පාර්ලිමේන්තුවේ දී කතා බහක් ඇති වූ අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ බුදු පිළිමයට හානි කිරීමට ඉඩ ඇති බවට ලද තොරතුරක් නිසා පිළිමය එතැනින් ඉවත් කළ බවයි.
ස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ත්‍රිකුණාමලයේ ආරක්ෂාවට හානිකර තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ද ඇමැති විජේපාල පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස:- මහ රෑ පොලිසිය යවා විහාරස්ථානයක සිදු කෙරෙන සංවර්ධන වැඩ කටයුතුවලට එහෙම අත ගහන්නේ කොහොම ද?
පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ:- බුදු පිළිමයේ ආරක්ෂාවට එළියට වැඩම කළා යැයි පොලිසිය බාර ඇමැතිවරයා ප්‍රකාශ කළා. හැබැයි ‘‘බුදු පිළිමේ ආරක්ෂාවට එළියට වඩමවන විට හාමුදුරුවන් දෙනමක් ඉස්පිරිතාලේ. පොලිසියෙන් ගහලා. බුදු පිළිමෙ වැඩම වූයේ පොලිසියෙන් බේරගන්න ද කියන ප්‍රශ්නය එනවා. ආණ්ඩුව විදියට මේ ගැන සාකච්ඡා කරන්න. මේක ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත් කරන්න එපා. ජාතිවාදී ගැටලුවක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඒක ඔබලාගේ දේශපාලනය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර:- (ස.ජ.බ) බුදු පිළිමයේ ආරක්ෂාවට තබා තිබූ මුතු කුඩය දෙකට කඩලා හාමුදුරුවන්ට පහර දෙන්නේ. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ආවා නම් හාමුදුරුවන් ගෙන්වා ඒ පිළිබඳ විභාග කළා නම් ඉවරයි.
කඩා ඉවත් කිරීමට යෝජිත ආපණශාලාව
ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්:- නීතිවිරෝධී දේවල්වලට දේශපාලනය නිසා අත දාන්න යන්න එපා. මම ඒක විපක්ෂ නායකතුමාටත් කිව්වා. වැරැද්ද නම් වැරැදියි කියලා කියන්න. ඒක නීත්‍යනුකූලව හදන පන්සලක් නම් ඊට අවශ්‍ය සියලු ලිපි ලේඛන තිබේ නම් ගිහින් ප්‍රාදේශීය ලේකම් හමුවෙලා කටයුතු කරන්න. ඉරිදා උදේ නිවාඩු දවසක ඇවිල්ලා මුල් ගල් තියලා රෑ නවයහමාරට පිළිමයක් වඩම්මනවා කියන කොටම මේකෙ යම් කාරණයක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මට නම් හිතෙන්නෙ නොවැම්බර් 21 රැස්වීමට පෙර සූදානමක් ලෙස තමයි මේ දේ කළේ. නොවැම්බර් 21 රැස්වීමට සෙනඟ අවශ්‍ය නම් වෙන කාරණා කරන්න. නීතිවිරෝධී දේවල් කරලා මේ රටේ ජාතිවාදය වපුරවන්න එපා.
නඩුවට මොකද වුණේ
ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ ‘අනවසර ඉදිකිරීමක්‘ කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේ අදාල කටයුත්තට වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව බාධ කිරීම සම්බන්ධයෙන් නීතිමය විරෝධය පළකරමිනි. අදාළ ඉදිකිරීම මගින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර සිය ඉදිකිරීම් කඩා ඉවත්කිරීමේ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන් ම ද්වේෂසහගත තීන්දුවක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබුණි. මෙම පෙත්සම නොවැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනුණි. ඒ ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ෂේන් ෆොස්ටර් කරුණු දක්වමින් එම භූමියේ වලංගු භාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජූලි මස 18 වැනිදා ලිපියක් එවමින් අදාළ භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට නියෝග කරමින් ලිපියක් එවා තිබෙන බවද අධිකරණයට දැන්වීය. ඊට එරෙහිව සිය සේවාදායකයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වෙරළ සංරක්ෂණ පනත ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කළත් එම අභියාචනය නිෂ්ප්‍රභ කෙරුණු බව නීතිඥවරයා දැන්වීය. විහාරාධිපති හිමියන්ට සවන් දීමකින් හෝ උන්වහන්සේගෙන් කරුණු විමසීමකින් තොරව අභියාචනය නිෂ්ප්‍රභ කිරීම සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් මෙහිදී තර්ක කෙරුණි.
දහම් පාසල් භූමියේ ප්‍රදාන පත්‍රය
දහම් පාසල් ලියාපදිංචි සහතිකය
මෙහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළ විහාරස්ථාන භූමිය සඳහා අනුමත සැලසුමක් තිබුණද එම අනුමත සැලසුමට ඔබ්බෙන් ගොස් නව ඉදිකිරීම් සිදුකිරීම නීතියට පටහැනි බවයි. එවැනි ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ පනත යටතේ වගඋත්තරකරුවන්ට බලය තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා පෙන්වා දුන්නේ ය.
දෙපාර්ශ්වයෙන්ම නැඟුණු කරුණු විමසා බැලූ විනිසුරු ධම්මික ගනේපොළ පෙන්වා දුන්නේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බව ය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යොමු කොට එම භූමියේ ඉදිකිරීම් පිළිබඳ අධ්‍යයනයක් කර එහි යම් ගැටලුවක් ඇත්දැයි සොයා බැලීම යෝග්‍ය බවත් ඒ අනුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ භූමිය යළි පරීක්ෂා කර ඊට අදාළව නිරීක්ෂණ ලබාගැනීමටත් ඉන්පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණ ගැනීමටත් එහිදී දෙපාර්ශවයේ එකඟතාව පළවිය..
සති දෙකක කාලයක් මෙම කටයුතු වෙනුවෙන් ලබා දෙන ලෙස මෙහිදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ, මෙම කටයුතු අවසන් වන තුරු පාර්ශ්වකරුවන් අනවශ්‍ය ගැටලුවලට මැදිහත් නොවී සාමය ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතු බව ය.
අදාළ පෙත්සම සලකා බැලීම දෙසැම්බර් මස 16 වන දාට කැඳවීමට නියෝග කළ විනිසුරු මඬුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් පාර්ශ්වකරුවන්ට නියෝග කෙරුණි.
ත්‍රිකුණාමලය
අමදෝරු අමරජීව
ජාතිවාදී කණ්ඩායම් මේ සිද්ධිය පිටුපස ඉන්නවා
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල
සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මෙසේ කීය.
“මොකක් හරි සිද්ධියක් පදනම් කරගෙන ජාතිවාදය අවුස්සන්න උත්සාහ කරන්න ඉඩ දෙන් නැති බව අප පැහැදිලිව කියනවා. ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්සලා ගිනි තියන්න කිසිදු ආකාරයක ඉඩක් නෑ. ඒ සිද්ධියට අදාළව පොලිසිය වෙනම අධිකරණයට කරැණු වාර්තා කළා. භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් පූජා ඔප්පුවක් තියෙනවා කියනවා. ඉතින් ඒ හින්දා මෙය විභාග කරන්නේ අධිකරණයෙන්. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් පැමිණිල්ලක් තියෙනවා.
රූ එකොළහයි හතළිහට පොලිසිය පොලිස් පොතේ සටහනක් දාලා තියෙනවා බුදු පිළිමය පොලිසියට රැගෙන ආවේ එහි ආරක්ෂාව පතා කියලා. ඒක තමා මම පාර්ලිමේන්තුවෙදි කිව්වේ. කෙනෙක් අහනවා බුදුපිළිමයෙ ආරක්ෂාවට ගාඩ් එක දානවද කියලා. ඒවා මෝඩ කතානෙ. බුදු පිළිමයක් හදිසියේ රෑ වැඩමවපු බව මේ රටේ මිනිස්සු දන්නේ නෑ. බුදු පිළිමය කවුරැ හරි කඩලා ගියොත් ආරක්ෂාව සලසන්න ආරක්ෂක සැලැස්මක් ඕනෑ. අපි ඒ සඳහා ක්ෂණිකව ආරක්ෂාව දෙන්න ඕන නිසා ආරක්ෂක උපක්‍රමයක් පාවිච්චි කළා.
පොලිසියේ ක්‍රියා කලාපය පිළිබඳවත් විවිධ කතා කියනවා. ඒ නිසා ජනාධිපතිතුමා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට කියලා තියෙනවා මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරලා වාර්තාවක් දෙන්න කියලා. මේ වෙද්දි අදාළ ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තියෙනවා. විශේෂ කාර්ය බළකායෙ සෙබළුත් දාලා තියෙනවා. කවුරු දැඟලුවත් කිසිම ආකාරයක ජාතිවාදයකට ඉඩ දෙන්නෑ. ජාතිවාදී කණ්ඩායම් තමයි මේක පිටිපස්සේ ඉන්නේ.”