තනිව ණය ගෙවන සිහිනය ඉටුවේද?


දෙදාස් විසිඅට වසර වනවිට ලංකාව ගෙවිය යුතු විදේශීය ණය ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සඳහන් කළේය. 2028 වසර යනු ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසගෙන ඇති ණය යෝජනා ක්‍රමය අවසන් වන වසර වේ. මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා අවසන් ව්‍යාපෘතිය මෙය බවට පත්කිරීමට තමන්ට අවශ්‍ය බවද ජනාධිපතිවරයා පැවසුවේය. 

තනිව ණය ගෙවන රටක් බවට මෙරට පත්කිරීම ජනාධිපතිවරයා තුළ ඇති අදහස අගය  කළ යුතුය. මෙයට පෙරසිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ එකල පැවසුවේද මූල්‍ය අරමුදල සමග ලංකාව  එළඹ ඇති ණය යෝජනා ක්‍රමය මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා අවසාන ණය යෝජනා ක්‍රමය බවට පත් කළ යුතු බවය. 

ජාත්‍යන්තර සහ විවිධ මූල්‍ය සංවිධානවලට කොතරම් ණය වුවත් මෙරටට තනිව ණය ගෙවන තත්ත්වයක් කරා යාමට හැකි ආර්ථික වර්ධනයක් මෙතෙක් ඇතිකර ගැනීමට නොහැකි වූයේ ඇයි? ලබාගත් ණය මුදල් නිකරුණේ විනාශ වී ගියා ද යන්න අප මෙහිදී සලකා බැලිය යුතු කරුණකි. 

1977 වර්ෂය අවසාන වනවිට ශ්‍රී ලංකාවේ නොගෙවා තිබූ මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් දස ලක්ෂ 13321ක් විය. 1981 දී එය රුපියල් 34824ක් දක්වාද 1983 දී රුපියල් 46025 දක්වාද 1986දී රුපියල් දසලක්ෂ 86208ක් දක්වාද ඉහළ නැංගේය. අද වනවිට එම ප්‍රමාණය ඩොලර් බිලියන 37කි. මෙම ණය ප්‍රමාණය ඉහළ යාමට විනිමය අනුපාතිකයේ ඉහළ යාම,  භාණ්ඩ හා සේවාවල අපනයන ඉපැයීම් පහළ වැටීම ණය ගෙවීම් ඉහල යාම ආදිය බලපෑවේය. 

විදේශ ණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට 1982 දී 37%ක්ද 1984 දී 52%ක්ද 1985දී 63%ක්ද විය. විවෘත ආර්ථිකය ආරම්භක සමයේ එසේ වුවද අද වනවිට එම ප්‍රතිශතය 105% දක්වා ඉහළ ගොස් ඇත. ගෙවීගිය කාලය පුරාම විදේශීය ණය ඉපැයීමට වඩා  වේගයෙන් විදේශ ණය ප්‍රමාණය වැඩිවීම සිදුවූ අතර විදේශ ණය ගෙවීම සඳහාවත් උපයන විදේශ විනිමය ප්‍රමාණය නොසෑහුණේය. මෙහි ප්‍රතිඵලය වූයේ ණය ගෙවීම සඳහා තව තවත් ණය ගැනීමට සිදුවීමය. 1987 දී ‘“ෆාඊස්ටන් ඉකොනොමික් රිවීව්’ සඟරාව පැවසුවේ ශ්‍රී ලංකාවේ එකල ආදායමෙන් සියයට තිහක් (30%) විදේශ ණය සඳහා පොලී වශයෙන් ගෙවීමට වැයවන බවය. 

ශ්‍රී ලංකාව වැටුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ මාර්ගයට සමාන මාර්ගයක වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයද ගමන් කරන අතර එම මාර්ගය ජාත්‍යන්තර ණය දෙන අංශවලද ප්‍රසාදයට ලක්ව තිබේ. ජනාධිපතිවරයා පවසන පරිදි ශ්‍රී ලංකාවට තමන්ගේම ණය ගෙවීමට හැකිවන ආකාරයට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම රජයේ පමණක් වගකීමක් නොවේ. එය  ජනතාවද දායක විය යුතුය. 

නිසි ඵල නෙළා නොගන්නා ඊළඟ සම්පත වන්නේ මත්ස්‍ය සම්පතයි. මුදල් බවට පත්කළ හැකි සුවිශාල මත්ස්‍ය සම්පතක් ඇති රට වටා ඇති සාගරයෙන් ඵල නෙලා ගැනීම තවමත් ඇත්තේ සම්ප්‍රදායික මට්ටමේය. මෙරට නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්න අති බහුතරයක් ආහාරය පිණිසත් ඉතා කුඩා කොටසක් අපනයනයටත් යෙදවෙයි. රට වටා මුහුදක් ඇතත් වාර්ෂික විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් ‘ටින් මාළු’ පිටරටින් ගෙන එයි.

ස්වශක්තියෙන් නැගී සිටිය හැකි ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට මෙරටට නොහැකි වන ප්‍රධානම කරුණවන්නේ තවමත් මෙරට සුබසාධන රාජ්‍යයක් ලෙස පැවතීමය. විශාල මුදලක් වැයකර රජය මගින් ලබාදෙන නිදහස් අධ්‍යාපනයත් නොමිලේ ලැබෙන නිදහස් සෞඛ්‍ය සේවයත්, අනවශ්‍ය ආනයන හා අස්වැසුම, සමෘද්ධිය වැනි විවිධ නම්වලින් ක්‍රියාත්මක වන ජනතා සුබසාධන ව්‍යාපෘතිත් වැය පමණක්ම සිදුවන මෙරට රාජ්‍ය සේවයත් මෙරට ජාතික ධනය වැය වන ප්‍රධානතම අංශ කිහිපය වේ. ශ්‍රී ලංකා රජය ඉතා අසීරුවෙන් එකතු කර ගන්නා මුදල් ප්‍රමාණය ඉහත කී අංශ සඳහා වැය කරනවා මිස ආදායම් උපදවන වෘත්තීන්වල ශ්‍රී ලංකා රජය නිරත නොවේ. ඒ නිසා රජයට වැය මිස අය නැත. අය ලෙස එකතු කරන්නේද පාරිභෝගික භාණ්ඩ සහ ශ්‍රමය මත අය කරන බදු මුදල් පමණකි. 

ජාත්‍යන්තරය තුළ දියුණු යැයි සම්මත සෑම රටක්ම එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය තම රටේ නිපදවයි. අවි ආයුධ නිපදවා අලෙවි කරයි. කුඩා කර්මාන්තවල සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා රට තුළ ගොඩනඟා ඇති එම රටවල් තම රටවැසියන්ගේ ශ්‍රමයෙන් නිපදනවල එවැනි දෑ ලෝක වෙෙළඳපොළේ විකුණා මුදල් රැස් කරයි.  අප රටේ එවැනි කිසිවක් නැත. 

ඊළඟ ප්‍රශ්නය නම් නිදහස් අධ්‍යාපනය එක් අතකින් ජනතාවගේ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ඵලදායක වුවත් අනෙක් අතින් ජාතික ආර්ථිකයට සුවිශාල බරක් බවට පත්වීමය. නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නද එම පිරිසට අවසානයේ රැකියා සොයා දීමට සිදුව ඇත්තේද රජයටය. නිදහස් අධ්‍යාපනය ලබා නොදෙන රටවලට සාපේක්ෂව මෙරට තරුණ පරම්පරාව රටට ආදායම් උපදවන රැකියාවලට යොමුවීමේ සම්භාවිතාවද ඉතා පහලය. 

ලංකාවේ ජාතික සංවර්ධනයට හේතු වන විවිධ කාර්යයන් රාශියක් ඉටු කිරීමට අධ්‍යාපන ක්‍රමය සමත් වී ඇතත් එම ක්‍රමය බහුතර ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිකර දෙන ධනෝපායන ආර්ථික ක්‍රමයකට බාධාවක් වූවාද යන්න ප්‍රශ්නාර්ථයකි. 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වාගේ නඩත්තු වන්නේ මහජනතාවගෙන් අය කෙරෙන බදු මුදල් වලිනි. බහුතර ජනතාව සතු සම්පත්වලින් නඩත්තු කරන ව්‍යාපාරයකින් සුළුතරයකට පමණක් ඵල නෙළා ගත හැකි වනවිට එම ව්‍යාපාරය අසාර්ථකවීම පුදුමයක් නොවේ. නිදහස් අධ්‍යාපනය නිසා ඉහළට ඉගෙනගත් සමාජයේ සුළු කොටසක් පමණක් වරප්‍රසාද භුක්ති විඳිද්දී අතිවිශාල පිරිසක් වරප්‍රසාද අහිමිව බලා සිටිති. 

මෙරටට නිදහස ලැබී දැනට දශක අටක් පමණ ගෙවී ඇත. නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය මෙරටට ලැබුණේ ඊටත් අවුරුදු ගණනකට ඉහතදීය. රටේ ජනගහණය වසරින් වසර ඉහල යමින් පවතිද්දී පාසල් යන ශිෂ්‍ය සංඛ්‍යාවත් ඔවුන්ට උගන්වන ගුරුවරුන් සංඛ්‍යාවත් ඉහළ නගියි. උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාවද වසරින් වසර ඉහළ යයි. මේ සියල්ලම සඳහා රටේ ජාතික ආදායමෙන් වැය කරන මුදල වසරකට රුපියල් බිලියන 500ක් පමණ වේ. එහෙත් එතරම් විශාල මුදලක් වැය කර උගන්වන මෙරට දරු ප්‍රජාව අධ්‍යාපනයෙන් පසු රටට උපයා දෙන ආර්ථික වටිනාකම කුමක්ද? නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස සරසවි අධ්‍යාපනය ලබන පිරිසෙන් අති විශාල සංඛ්‍යාවක් යළිත් තම මාසික වේතනය ලබා ගන්නේ රජයේ සේවයට බැඳීමෙනි. එහි වැය බරද මහජනතාවටය. උසස් පෙළ සමත් වීමෙන් පසු රජයේ රැකියාවකට බැඳෙන සෑම දෙනාටම වැටුප් ගෙවීමේ බර එකතු වන්නේ මහජනතාවටය. ඔවුන් කිසි කෙනෙකුගෙන් රටට නව නිපැයුමක් එකතු  නොවේ. නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්ති වින්දත් අධ්‍යාපනයෙන් ඉහළට යාමට නොහැකිව අතරමං වූ ලක්ෂ ගණනක ජනතාවට විවිධ සහනාධාර ලබාදී නඩත්තු කිරීමේ වගකීමද වැටෙන්නේ රජයේ කරපිටටය. ඒ සමගම සුවිශාල මුදලක් වැයකර අධ්‍යාපනය ලබා දුන්නත් අධ්‍යාපනය අතරමග බිඳ වැටුණු  ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නඩත්තු කිරීමේ වගකීමද රජය සතුය. මේ අනුව බලන විට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන අති විශාල මුදල රජයට ජනතාවගෙන් පෙරළා එන මාර්ගයක් නැත.

නිසි ඵල නෙළා නොගන්නා ඊළඟ සම්පත වන්නේ මත්ස්‍ය සම්පතයි. මුදල් බවට පත්කළ හැකි සුවිශාල මත්ස්‍ය සම්පතක් ඇති රට වටා ඇති සාගරයෙන් ඵල නෙළාගැනීම තවමත් ඇත්තේ සම්ප්‍රදායික මට්ටමේය. මෙරට නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්න අති බහුතරයක් ආහාරය පිණිසත් ඉතා කුඩා කොටසක් අපනයනයටත් යෙදවෙයි. රට වටා මුහුදක් ඇතත් වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් ‘ටින් මාළු’ පිටරටින් ගෙන එයි. 

මෙරට මුදල් සංචිතය විනාශ කර දමන ඊළඟ කරුණ ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට දැරිය නොහැකි තරම් විදේශීය ආහාර වර්ග ආනයනය කිරීමය. ඉන් මුල් තැනක් තිරිඟුපිටිවලට හිමි වේ. 

ලංකාවට ඇමරිකානු පාන් පිටි පුරුදු කළේ පී.එල්. 480 ගිවිසුමෙනි. පී.එල්. 480 නොහොත් 1954 කෘෂිකාර්මික වෙළෙඳ සංවර්ධන සහ ආධාර පනත ඇමරිකා එක්සත් ජනපදය සංවර්ධනය වෙමින් පවතින රටවලට ආහාර ආධාර සැපයීමට යොදා ගත් පනතකි. මෙමගින් එම රටවල මන්දපෝෂණය දුරැලීමට උපයෝගී කෙරෙන බව ලොවට ප්‍රකාශ කළද සැබැවින්ම සිදුවූයේ එක්සත් ජනපද  කෘෂිකාර්මික නිෂ්පාදන ලොව පුරා රටවල අලෙවි කිරීම මග පාදාගැනීමය. ඒ යටතේ ලංකාවට මුලදී තිරිඟු පිටි නොමිලේ පිරිනමා පුරුදු කළ අතර ඉන්පසු මිලදී ගැනීමට හුරු කළේය. 

දේශපාලකයන්ගේ නම පවත්වා ගැනීම සඳහා කරන ඊනියා සංවර්ධන වැඩසටහන්වලට ලබා ගන්නා ණය මුදල්වලට මෙරට අති විශාල ණය කන්දෙන් සෑහෙන ප්‍රමාණයක් වැයවී ඇති බව නිතර කියනු ලබන කතාවකි. එම ණය දේශපාලන වාසි සඳහා ඔවුන් යොදාගත් බවද කියනු ලැබේ. ඒ සඳහා වත්මන් ආණ්ඩුව ඇතුළු ආණ්ඩු ගණනාවක්ම විවිධ පරීක්ෂණ දියත් කළද තවමත් සාධාරණ සංඛ්‍යා ලේඛනයක් එළිදරව් වී නැත. එහෙත් එම ජාත්‍යන්තර ණය මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රජය ක්‍රියාත්මක කරන සුබසාධක වැඩසටහන් සඳහා ද වැයකර ඇත. ඇතැම් ආණ්ඩු සුබසාධන වැඩසටහන් නවත්වාදැමීමට උත්සාහ කළද එම වෑයම් අසාර්ථක විය. 1990-94 කාලයේ එවකට පැවැති එජාප රජය සහනාධාර යම් තරමකට කප්පාදු කළත් 1994 බලයට පැමිණි රජය තමන්ගේ පාක්ෂිකයන්ට යළිත් සහනාධාර ලබා දීම ඇරඹුවේය. අද වනතුරුද සහනාධාර කප්පාදුව සාර්ථක වී නොමැති අතර ‘අස්වැසුම’ නමින් අලුත් සහනාධාර ක්‍රමයක් එකතුවීම පමණක් සිදුවිය. පිටරටින් ණය ගෙන තම පාක්ෂිකයා නඩත්තු කරන දේශපාලකයන් සේම එම සහනාධාර ලබන ඡන්ද දායකයන්ද විදේශ ණය කන්දට වගකිව යුතු වුවත් එවැන්නක් ගැන කතිකාවක් තවමත් ඇතිවී නොමැත. 

2028 දී රටේ ණය ගෙවීමට හැකි ක්‍රමයක් ගැන කතාබහක් ඇති වුවත් තවමත් ණය ගෙවන්නට මුදල් උපයා ගන්නා ක්‍රමයක් ගැන රජයේ පාර්ශ්වයෙන් යෝජනා වී නොමැත. ණය ගෙවීම සඳහා මුදල් උපයා ගන්නා ක්‍රමයක් අවශ්‍යය. බදු මුදල් එකතු කිරීමට උත්සුක වීම හැර මුදල් උපයා ගන්නා වෙනත් මාර්ග ගැන වත්මන් රජයද නිහඬය. 

සංචාරක කර්මාන්තය, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සුළුවෙන් කෙරෙන අපනයන කිහිපයකින් ලැබෙන ආදායමින් යැපෙන මෙරටට ආර්ථික දියුණුවක් ලබා ගත හැකි එකම මග දේශීය යැපුම් කෘෂිකර්මය අපනයන කෘෂිකර්මයක් බවට පත් කිරීම පමණකි. 

මෙරට කෘෂිකාර්මික රටක් වුවත් එළවළු බීජ සියල්ලම ගෙන එන්නේ විදේශයෙනි. අපගේ වන්නේ වවන භූමිය පමණකි. ඒ සඳහා වැය කෙරෙන මුදල අති විශාලය. මෙරට කෘෂිකර්මය එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය සහල් සහ එළවළු නිෂ්පාදනයට පමණක් සීමා වී තිබේ. එහෙත් නූතන ලෝකයේ අපනයන කෘෂිකර්මය විදේශ විනිමය උපයා ගත හැකි ප්‍රධාන මාර්ගයකි. පලතුරු අපනයනය ඒ අතරින් ප්‍රධානය. එහෙත් අපගේ අවධානය ඒ සඳහා යොමුවී ඇත්තේ අඩු වශයෙනි. 

අලිගැටපේර වර්තමානයේ බොහෝ දිස්ත්‍රික්කවල වැවෙන පලතුරකි. දශක කිහිපයකට පෙර එය සීමා වී තිබුණේ උඩරට සහ සබරගමු පළාත්වලටය. වර්තමානයේ වැඩිදියුණු කළ අලිගැට පේර ප්‍රභේද වයඹ දකුණ උතුරුමැද වැනි පළාත්වලත් සරුවට වැවේ. දශක කිහිපයකම රූස්ස ගස් වශයෙන් වැවුණු රඹුටන් අද වෙද්දී අඩි හත අටක් උස ගස් බවට නව ප්‍රභේද පැමිණ ඇත. ඕනෑම කාලගුණික තත්ත්වයක වැවෙන රඹුටන් අලුත් ප්‍රභේද දැන් මෙරට බහුලය. මේවා මනා නඩත්තුවකින් හා සාත්තු කිරීමකින්  යුතුව වවන්නේ නම් එතෙර වෙෙළඳ පොළට යැවිය හැකි පලතුරුය. චීන රේගුවේ නිල දත්තවලට අනුව 2020 වසරේ මුල් මාස නවය තුළ ටොන් 18900 ක අලිගැට පේර එතෙරින් ගෙන්වා ඇත. එම ඉල්ලුමෙන් අඩක්වත් සැපිරීමට මහා පරිමාණ වගාබිම් මෙරට ඇරඹීමට හැකිනම් ඩොලර් මිලියන ගණනක් පහසුවෙන් උපයා ගත හැකිය. අලිගැටපේර යනු දිනපතා පොහොර සැපයීමට හෝ නඩත්තු කිරීමට වුවමනා ගසක් නොවේ. උඩරට සබරගමුවේ හා වයඹ පළාත්වල වැවිලිවලින් තොරව හිස්ව ඇති ඉඩම් අක්කර ලක්ෂ ගණනක් මේ සඳහා යොදාගත හැකිය. ගෘහ වගාවක් ලෙස කුඩා ඉඩම් හිමියන්ටත් වැවිය හැකි අලිගැටපේර සඳහා රජයෙන් අවශ්‍ය වන්නේ විකුණා ගැනීමට නිසි මග පෙන්වීමකි. අන්නාසි හා අලිගැටපේර වැනි පලතුරු මෙරට ඉතා සරුවට වැවෙන අතර එය අන් රටවල පලතුරුවලට වඩා රසයෙන්ද ඉහළය. මෙම පලතුරු වර්ග දෙකටම යුරෝපා රටවල් තුළත් ඉහළම ඉල්ලුමක් තිබේ. මේ වගාබිම් විශාල වශයෙන් ඇති කිරීම සඳහා අලෙවි පහසුකම් ඇති කරමින් ජනතාව පෙලඹවීම රජයේ වගකීමකි. රාජ්‍ය මැදිහත්වීම සහ මග පෙන්වීම් ලැබේ නම් පලතුරු වවන්නට ගොවියා සූදානම්ය. මෙවැනි පලතුරක් ගෘහ වගාවක් ලෙස දැනට වවන්නේ ගසක් හෝ දෙකකි. ඒ ගෙදර ප්‍රයෝජනයටය. එහෙත් ඉඩම්වල ඇති වල් ගස් කපා මෙවැනි පලතුරු වගාවට ජනතාව පොලඹවන්නට හැකිනම් අපනයනය සඳහා විශාල අස්වැන්නක් කුඩා ඉඩම්වලින්ද එකතු කරගත හැකිය. ලංකාව කෘෂිකාර්මික රටක් බවට පාසල් පෙළ පොතේ පමණක් උගන්වා පලක් නැත. අවශ්‍ය වන්නේ භාවිතය. නැවුම්ව හෝ අගය එකතු කළ හෝ පලතුරු සහ එළවළු සඳහා ලෝක වෙෙළඳපොලේ විශාල ඉඩක් තිබෙන අවස්ථාවක ඵල නෙළාගැනීම අපේ වගකීමය. 

ප්‍රේමකීර්ති රණතුංග