ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයි ද?


පසුගිය 2020-2023 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ඇති වූ විදේශ විනිමය අර්බුදයට විසඳුම් සපයන්නෙකු ලෙස ඉදිරිපත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉන්පසු බලයට පත්වූ ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කරමින් සිටී. එම උපදෙස් මත 2022 වසර මුල සිට මේ දක්වා සිදු වී ඇති ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 50කට වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණය කිරීම, විදුලි ගාස්තු, ජල ගාස්තු සහ අනෙකුත් සියලු ගාස්තු වැඩි කිරීම්, වැට් බදු සියයට 8 සිට සියයට 18 දක්වා වැඩි කිරීම සහ පුද්ගලික ආදායම් බද්ද සියයට 18 සිට සියයට 36 දක්වා, වැඩි කිරීම මෙන්ම අපනයන ඇතුළු අනෙකුත් සියලු ව්‍යාපාර සඳහා ආදායම් බද්ද  සියයට 24 සිට සියයට 30 දක්වා වැඩිකිරීමද සිදුකර ඇත. 

ඉහත සියලු මිල වැඩි කිරීම සහ බදු වැඩි කිරීම නිසාවෙන් පොදු ජනතාවට තමන්ගේ ආදායම් වියදම් සමබර කරගැනීම කළ නොහැකි තත්ත්වයකට පත්වී ඇති අතර - වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් සහ කළමනාකරුවන් ඇතුළු වයස අවුරුදු 50 අඩු විශාල ජනතාවක් විදේශ රටවල කුලී වැඩ කිරීමට පවා සූදානමින් ශ්‍රී ලංකාව හැර යාමද මේ වනවිට සිදු වෙමින් පවතී. එසේ රට හැරදා යාමට අකැමැති හෝ නොහැකි ජනතාව දේශපාලනඥයින් දේශන කරන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒජන්තයා ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි දැනට ජනතාව වෙත බලහත්කාරයෙන් පොවන්නා වූ තිත්ත බෙහෙත් මගින් කෙටි කලකදී රටට සෞභාග්‍යය උදාවෙනු ඇතැයි අපේක්ෂා කරමින් බැරි බරක් කර තබාගෙන රටතුළම ජීවත් වෙති. 

නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය පාලනය සිදු කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. එය 1950 වසරේදී 1949 අංක 58 දරන මුදල් නීති පනත  යටතේ ස්ථාපිත කර ඇත. 1950 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පළමු අධිපති ලෙස ඇමෙරිකානු ජාතික ජෝන් එක්ස්ටර් ක්‍රියා කර ඇති අතර, එතැන් සිට මේ දක්වා වූ වසර 75ක කාලයක් පුරා ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් හිස් මුදුනින් පිළිගනිමින් ක්‍රියා කරන ලද ආයතනයක් බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් විශ්‍රාම ගැනීමෙන් පසු පිවිසෙන්නා වූ දිව්‍ය ලෝකය ලෙස ඔවුන් දකිනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකු අනුබද්ධ ආයතනයක කුමන හෝ තනතුරක් ලබාගෙන ඒ සඳහා “ඩොලර් වැටුපක්’ ලබමින් විදේශගතව සිටීම බව රහසක් නොවේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන විදේශ විනිමය ප්‍රතිපත්තීන් මත 1950 වසරේදී ඇමෙරිකානු ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියල් 4.76 ක් වූ අතර 2022 මැයි මස ඉහළම අගයක් වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියල් 360/- ඉක්මවා යන ලෙස මහ බැංකුව විසින් රුපියල බාල්දු කරනු ලැබීය. ආනයන මත යැපෙන්නා වූ රටක් වන ශ්‍රී ලංකාවට රුපියල බාල්දු කළද ආනයන ඉක්මවමින් අපනයනය වැඩි කර ගැනීමට පසුගිය වසර 75ක් පුරාවට හැකි වී නැත. සිදුවී ඇති එකම දේ ජීවන බර වැඩිවීම සහ විදේශ ණය වැඩිවීමයි. මෙම ක්‍රියාවලියේ අවසානය කුමක්දැයි තේරුම් ගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උපදෙස් මත ඊජිප්තුවේ මහ බැංකුව සහ රජය ක්‍රියා කළ ආකාරය තේරුම්ගැනීම ඉතා වැදගත් වේ. 

අනෙක් පැත්තෙන් මහා සමාගම් සිදුකරන රේගු බදු, සුරා බදු සහ ආදායම් බදු වංචා මැඬලීමට ආණ්ඩුව කිසිදු නීතිමය හෝ ආයතනමය පියවර ගැනීමට අසමත් වන තත්ත්වයක් යටතේ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වී ඇත.

ඊට අදාළව ඊජිප්තුවේ කයිරෝ නුවර ඇමෙරිකානු විශ්ව විද්‍යාලයෙහි (American University in Cairo) සහකාර මහාචාර්යවරයෙකු සහ ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ඇඩ්ලි විසින් Bretton Woods Project ආයතනයේ වෙබ් අඩවියෙහි 2023 වසර අවසානයේදී පළ කරන ලද (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවේ ප්‍රශ්නයේ කොටසක් වූ හැටි) යන මාතෘකාව යටතේ ඉතා වැදගත් ලිපියක් පළ කර ඇත. ආචාර්ය ඇඩ්ලි ඔහුගේ ලිපියෙහි පවසන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පසුගිය වසර 10 තුළ දී ගෝලීය දකුණෙහි ඇති රටවල මූල්‍ය ප්‍රතිපත්තීන් සහ පාලන තන්ත්‍රයන් වෙනස් කිරීම් සඳහා කැපීපෙනෙන වැඩි වීමක් සහිතව දායක වී ඇත. එහි එක් පියවරක් ලෙස 2016 වසර වන විට ඊජිත්තුවේ ඇතිව තිබූ විදේශ විනිමය අර්බුදය සමනය කිරීම සඳහා යැයි පවසමින් 2016 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුව වෙත ඩොලර් බිලියන 12ක ණය මුදලක් ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඉතා දරුණු සමාජ සුභසාධන කප්පාදු කිරීම්, බදු වැඩි කිරීම්, ඊජිප්තු පවුම අවප්‍රමාණය කිරීම් සිදු කර ඇත. 

ඉන්පසුව ඉහත සඳහන් කළ ඩොලර් බිලියන12 ට අමතරව 2016-2019 වකවානුවේ තවත් ඩොලර් බිලියන 9 ක මුදලක් ජාත්‍යන්තර වෙ​ෙළඳ පොළෙන් ලබා ගැනීමට ද ඊජිප්තුවට උපදෙස් ලබාදී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් හමුවේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තීන් අනුව 2019 වසර අවසන් වන විට රටේ දුප්පත්භාවය සියයට 5 කින් වැඩි වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය සාධාරණීකරණය කරන ලද්දේ රටේ ලෙඩ සුව කර ගැනීමට නම් ජනතාව “තිත්ත බෙහෙත්” ගතයුතු බව පවසමිනි. IMF ආගමනයට පෙර 2015 අවසානය වන විට ඊජිප්තුවේ තිබූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 49.87 ක් වූ අතර 2016 සිට ජනතාව IMF තිත්ත බෙහෙත් බොමින් බැරි බර කර තබාගෙන  වසර 4ක් ගත කිරීමෙන් පසුවද ඊජිප්තුවේ විදේශ ණය ප්‍රමාණය 2019 වසර අවසන් වන විට ඩොලර් බිලියන 114.91 දක්වා වැඩි වී ඇත. එසේ ණය ප්‍රමාණය වැඩි වී තිබුණ ද ආර්ථිකය පවත්වා ගෙන යෑම සඳහා තවත් ඇ.ඩො. බිලියන 7.9 ක මුදලක් IMF වෙතින් ණයට ගැනීමට 2020 වසරේදී ඊජිප්තුවට සිදු විය.

ආචාර්ය ඇඩ්ලිට අනුව IMF සහ ලෝක බැංකුව විසින් විශාල වශයෙන් උදම් ඇනූ ඊජිප්තුවේ ‘පිබිදීම ව්‍යාජ හෙවත් ඇදවැටී නොසිටීම සඳහා විදේශ ණය විශාල ලෙස වැඩිවීම මත පදනම් වූ  ක්‍රියාවලියකි. ඒ සමගම, විදේශ ණය පියවීම සඳහා ගෙවිය යුතු මුදල් මුළු විදේශ ආදායමට සාපේක්ෂව 2018 දී  සියයට 15.3ක් වූ අතර, 2022දී එය සියයට 23.1ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊට අමතරව 2017දී විදේශ ණය ප්‍රමාණය 2022 වන විට ඇ. ඩොලර් බිලියන 156ක් දක්වා වැඩි වී ඇත. එම කාලය අතරතුර, ඊජිප්තුව වාර්ෂිකව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 7.3 (2016) සිට ඇ. ඩොලර් බිලියන 26.3ක් (2022) දක්වා සෑම අවුරුද්දකම වැඩිවීමක් සිදුවිය. මෙම වැඩිවීම ඊජිප්තුවට දරාගත නොහැකි තත්ත්වයක් වූ අතර ඊජිප්තුවට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමේ හැකියාවද නැතිවිය. එම තත්ත්වයන් යටතේ ඊජිප්තුව IMF ග්‍රහණයට තවත් යටත් විය. 2022 වසර වන විට ඊජිප්තු විදේශීය ණය ප්‍රමාණයෙන් සියයට 42 ක්ම IMF සතුව තිබිණි. මෙම තත්ත්වය භයානක ලෙස ඊජිප්තුවට බලපානුයේ ද්විපාර්ශ්වික ණය සහ බැඳුම්කර ගෙවීම් කොන්දේසි වෙනස් කරගත හැකි වුවද IMF වෙත ලබාදී ඇති කොන්දේසි වෙනස් කරගත නොහැකි බැවිණි. එම තත්ත්වය යටතේ ජනතාව මත තව දුරටත් බර පටවමින් සහ දේශීය ආර්ථිකය බිඳ වට්ටවමින් එම කොන්දේසි දිගින් දිගටම ඉටු කිරීමට සිදුවිය. 

ඊජිප්තුවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට හා පොදු ජනතාවට IMF සහ ඔවුන්ගේ ශ්‍රී ලාංකික ඒජන්තයින් විසින් ඉදිරියේදී කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් 2022 ට පෙර වකවානුවලදී පවා ශ්‍රී ලංකාව IMF වෙතින් ණය ලබාගෙන තිබුණද 2022 ආර්ථික අර්බුදයෙන් පසු පත් කරන ලද වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ පාලන කාලයේදී මෙන් IMF කොන්දේසි අකුරටම ක්‍රියා කිරීමෙන් ජනතාව වෙත බැරි බර පටවන වකවානුවක් ශ්‍රී ලංකාවේ තිබී නොමැත. මේ වනවිට ශ්‍රී ලංකාවේ මහබැංකුව ක්‍රියාත්මක කරනුයේ IMF උපදෙස් පමණක්ම බව බැලූබැල්මට පෙනීයයි. එබැවින් IMF විසින් ඊජිප්තුවට කළ දේ ශ්‍රී ලංකාවේද සිදුවනු ඇතැයි සිතීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ වේ.

ඊජිප්තුවට සමගාමීව ශ්‍රී ලංකාවේ සමස්ත ණය තොගය වසර 4ක් තුළ වැඩී වී ඇති ආකාරය පුදුම සහගතය. ඒ අනුව 2021 දී ඩොලර් බිලියන 60ක් වූ දේශීය සහ විදේශීය ණය තොගය 2025 මැද භාගය වන විට ඩොලර් බිලියන 128ක් දක්වා එනම් දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. රුපියල් බිලියන 18500 ප්‍රමාණයක් ලෙස සටහන් වූ 2024 වන විට පැවති දේශීය ණය තොගය 2025 වන විට රුපියල් බිලියන 2300ක් දක්වා වර්ධනය වී ඇත. දේශීය ණය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලිය පමණක් රුපියල් බිලියන 1600 දක්වා වැඩිවී ඇති අතර එය සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයකි. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව 2025 දී ශ්‍රී ලංකාවේ රාජ්‍යය විසින් ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය සහ අදාළ පොලී එකතුව ඩොලර් බිලියන 2.45කි. ආණ්ඩුව විසින් මාසිකව බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ලෙස එදිනෙදා වියදම් සඳහා ලබා ගන්නා ණය ප්‍රමාණය මාසිකව රුපියල් බිලියන 400 සිට 700 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ විදේශ ණය ආපසු ගෙවීම 2029 දක්වා කල් දැමීම මගින් ලැබී ඇති “අපායේ විවේක කාලය” තුළ දේශීය ණය බර දෙගුණයකින් ඉහළ යන බව නොවේද? එවැනි තත්ත්වයක් තුළ දේශීය බැංකු පද්ධතිය තුළ බරපතළ ප්‍රාග්ධන අර්බුදයක් නිර්මාණය වීමේ තත්වයක් පැන නගින අතර රජයට වැටුප් ගෙවීම සඳහා පවා දේශීය මූල්‍ය වෙළෙඳපොළින් ණය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්වනු ඇත. මූල්‍ය අරමුදලේ බල කිරීම මත 2023 දී සම්මත කළ මහ බැංකු පනත මගින් මහ බැංකුවෙන් ණය ලබා ගැනීම හෙවත් “මුදල් අච්චු ගැසීම” වළක්වා ඇති බැවින් සහ අදාළ පනත සංශෝධනය කිරීමට මූල්‍ය අරමුදල ඉඩ නොදෙන බැවින් දේශීය ණය අර්බුදයේ ගිලීම හැර වෙනත් කෙටි කාලීන විකල්පයක් තේරීමේ හැකියාවක් ද නැත. 

වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

අනෙක් පැත්තෙන් මහා සමාගම් විසින් සිදුකරන රේගු බදු, සුරා බදු සහ ආදායම් බදු වංචා මැඬලීමට ආණ්ඩුව කිසිදු නීතිමය හෝ ආයතනමය පියවර ගැනීමට අසමත් වන තත්ත්වයක් යටතේ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වී ඇත. පසුගිය අයවැය ලේඛනය තුළ අයවැය පරතරය බිලියන 2200ක් ලෙස පවතිද්දී ණය ගැනීමේ සීමාව බිලියන 4400ක් දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට සිදුවන්නේ මහ බැංකු නිලධාරීන් මෙම තත්ත්වය අවබෝධ කරගෙන සිටින නිසා බව ඉතා පැහැදිලිය.  ඒ අතර ඊනියා දේශපාලන රජය විසින් සම්මත කළ නව විදේශ විනිමය පනත මගින් කළු වෙළෙඳපොළ සහ නීතිවිරෝධී ක්‍රියා ප්‍රචලිත කෙරෙන බැවින් එම පනත සංශෝධනය කිරීමෙන් තොරව විදේශ විනිමය අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් සෙවීම පීඩනයක් පමණක් වනු ඇත. 

ඒ අතර වැට් බදු ඉහළ දැමීම තුළ අවංකව බදු ගෙවන දේශීය සමාගම් එකින් එක වැසී යන අතර, විදුලි බිල ඉහළ යෑම සමග තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇත. එම තත්ත්වය තුළ පැවතිය හැක්කේ බදු වංචා කරන සහ ආනයන දිරිමත් කරන ජාවාරම්කාර ව්‍යාපාරික ප්‍රජාවට පමණක් වන අතර, දේශීය නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටීමේ අවදානමක් ඇත. ගෝලීය තීරු බදු යුද්ධය තුළ දේශීය ඇඟලුම් කර්මාන්තයට තවදුරටත් පැවතිය නොහැකි තත්ත්වයක් වර්ධනය වන අතර දහස් ගණනින් රැකියා අහිමිවීමේ තත්ත්වයක් පැන නැගී ඇත.

මෙම සියල්ලෙහි එහි අවසාන ප්‍රතිඵලය ලෙස මූල්‍ය අරමුදලේ ප්‍රකාශයන්ට අනුව දැනටමත් සියයට50 මට්ටමේ පවතින දුප්පත්කමේ රේඛාවට පහළින් සිටින පවුල් සංඛ්‍යාව කුමන ප්‍රතිශතයක් දක්වා වර්ධනය වනු ඇත් ද? ඊට අමතරව අපරාධ ඉහළ යාම, දිවි නසා ගැනීම් වැඩිවීම, දරුවන්ගේ මන්ද පෝෂණය ඉහළ යාම, දරුවන් සිඟමන් යැදීමට පෙලඹවීම වැඩිවීම ආදි වශයෙන් ආර්ථිකයේ බරපතළ බිඳ වැටීම් පමණක් නොව සමස්ත සමාජයේ බිඳ වැටීමක් ද සිදුවීමේ අනතුර බැහැර කළ නොහැක. අදවන විට මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි ඊජිප්තුවේ මිලියන 100ක් ජනතාව ඒ සියල්ල අත්දකිමින් සිටිති.