බඩඉරිඟු වගාව ගොවීන් අතර ව්‍යාප්ත කර නිෂ්පාදන ගොවීන්ගෙන් මිලදී ගෙන සත්ව ආහාර සමාගම් වෙත සපයන බඩ ඉරිඟු ව්‍යාපාරිකයෝ මේ වනවිට තම තොග ඇට කිලෝ කෝටි පහක් අලෙවිකර ගත නොහැකිව බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති.
බලධාරීන් මැදිහත් නොවීමත්, සමාගම් බඩ ඉරිඟු මිලදී ගැනිම ප්‍රතික්ෂේප කිරීමත්, පිටරටින් ගෙන්වීමත් හේතුවෙන් ඇතිවී ඇති ගැටලු හේතුවෙන් මේ වනවිට බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි පවසන ඔවුහු කඩිනමින් ආණ්ඩුව මේ සඳහා මැදිහත් වන්නැයිද ඉල්ලා සිටිති.
මේ වනවිට මොනරාගල, අම්පාර, අනුරාධපුර, බදුල්ල දිස්ත්‍රික්කවල අතරමැදි ව්‍යාපාරිකයන් විසින් මිලට ගත් බඩඉරිඟු මෙට්‍රික් ටොන් පනස්දහසකට වැඩි ප්‍රමාණයක් ගබඩාවල ගොඩ ගැසී ඇති අතර යල කන්නයේ අපේක්ෂිත මෙට්‍රික් ටොන් 20000ක් ද මිලදී ගැනීමේ ගැටලුවකට ඔවුහු මුහුණ පා සිටිති.
පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඌව වෙල්ලස්ස බඩ ඉරිඟු තොග රැස් කරන්නන්ගේ සංගමය හා උතුරුමැද පළාත් බඩඉරිඟු තොග රැස් කරන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පවසන්නේ මෙවන් අදහසකි.
ඌව වෙල්ලස්ස බඩ ඉරිගු තොග රැස් කරන්නන්ගේ සංගමයේ ලේකම් කසුන් සංජය කෝනාර මෙසේ පවසයි.
බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කර නිෂ්පාදන ගොවීන්ගෙන් මිලදීගෙන සත්ව ආහාර සමාගම්වලට සපයන සැපයුම්කරුවන් ලෙස කටයුතු කරන සංගම් විදිහට අපි ගොවි ජනතාව වෙන්වෙන් සිදුකරන්නේ සුළුපටු කාර්ය භාරයක් නොවෙයි. මෙම ව්‍යාපාරයේ නියැළී සිටින සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් 400 ක් 500 ක් විතර ඉන්නවා. මෙම වගාවට බැංකුවලින් ගොවි මහත්වරුන්ට ණය ලබාදෙනවා. ණය ගන්න බැරි ක්‍රීබ් එකේ ඉන්න ගොවි මහතුන්ට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ණය දෙනවා. ඒ වගේම කන්නය වෙලාවට ණය අනුමත ගොවි මහතුන්ට බැංකු මඟින් ණය මුදල් වෙලාවට ලබා දෙන්නේ නැහැ. ඒ අයටත් ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තමයි බැංකුවෙන් ණය මුදල ලැබෙන කම් ණයට හාලා බීජ පොහොර ලබා දෙන්නේ. අපේ ආයෝජනවලට ලාභයක් අරගන්නේ කන්නයේ දී අස්වනු මිලදීගෙන සත්ව ආහාර සමාගම්වලට විකිණීමෙනුත්, ගබඩා කරන තොග කන්නෙන් පස්සේ විකිණීමෙනුත් තමයි. ගොවියන් නිෂ්පාදන කරන බඩ ඉරිඟුවලින් සියයට 90 ක්ම ගන්නේ සත්ව ආහාර නිෂ්පාදනයට. විශේෂයෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය සතුන්ගේ ආහාර සඳහා අමුද්‍රව්‍යයක් ලෙස වයස් කාණ්ඩ අනුව සියයට 25 සිට 60 දක්වා බඩ ඉරිඟු යොදා ගන්න පුළුවන්. ඔවුන්ගේ ව්‍යාපාරික ජාලයේ ආරම්භය පටන් ගන්නේ සත්ව ආහාරවලින්. ඒත් සත්ව ආහාර සමාගම් ගොවි ජනතාව එක්ක බඩඉරිඟු වගා කර මිලදී ගන්න කැමැති නෑ. ඔවුන් හොඳින්ම දන්නවා ඒක හරි අවදානම් ක්‍රියාවක් බව. ගොවීන් එක්ක වගාකර නිෂ්පාදන මිලදීගන්න ගිහින් අවදානමක වැටෙනවාට වඩා පිටරටින් ගෙන්නන එක ඒ අයට ලාබයි. පසු අස්වනු තාක්ෂණය වෙනුවෙන් ඇට පිරිසුදු කර, වියළා, ගබඩා කිරීම දක්වා යොදාගන්න යන්ත්‍ර සූත්‍ර වැඩ කරන්නේ අස්වනු නෙළන මාසේ ඉඳලා මාස 02 ක් විතරයි. අනෙක් මාස 10 ම ඒ යන්ත්‍ර සූත්‍රවලින් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ගොවි මහත්වරුන්ගේ නිෂ්පාදන වියදම වැඩියි. පිටරටින් අපේ මිලට වඩා කිලෝවකට රුපියල් 50 ක් විතර අඩුවෙන් ගේන්න පුළුවන්. ඒ වගේම ගොවීන්ට බඩ ඉරිඟුවලට වඩා ඒ කන්නේ වෙනත් ෙභා්ගයක් ලාභදායකයි කියලා හිතුණොත් වැඩි දෙනෙක් ඒ වගාවට යනවා. එතකොට අර සමාගමේ ආයෝජන ඵලක් නැති වෙනවා. ඒ වගේම බඳවගත්ත සේවකයන්ගේ පඩි නඩිත් එක්ක විශාල පාඩුවක් දරන්න සිද්ධ වෙනවා.*
උතුරුමැද පළාත් බඩ ඉරිඟු තොග රැස්කරන්නන්ගේ සංගමයේ සභාපති ජේ. ඒ. අසංක රූපසිංහ මෙසේ අදහස් දක්වයි.
කිලෝ කෝටි පහක් ගබඩාවල තව ටොන් 12,000ක් ගොවියන් ළඟ
වෙන අය ගන්නෙ නැති අවදානමක් අරගෙන ගොවි ජනතාව එක්ක අපි එකතුවෙලා මේ බඩ ඉරිඟු ව්‍යාපාරය කරන්න පෙලඹුණේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති. ඒ වගේම ඇයි අපි අවදානමක් ගන්නේ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඒකට පිළිතුර තමයි 2010 වගේ රජය මැදිහත් වෙලා තමයි අපි වගේ ව්‍යාපාරික ජාලයක් බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කරන්න හැදුවේ. සත්ව ආහාර නිෂ්පාදනයට බඩ ඉරිගු පිටරටින් ගෙන්නන්න කෝටි ගාණක විදේශ මුදල් වැය වීමත් , උතුරු මැද, ඌව වෙල්ලස්ස පළාත්වල මේ වගාව සාර්ථකව කරන්න පුළුවන් වීම වගේම ඒ ප්‍රදේශවල දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවන්න මේ වගාවෙන් පුළුවන් වීම යන හේතු නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි, දේශපාලන අධිකාරියයි එකතු වෙලා මේ වගාව ගොවීන් අතරට ගෙනියන්න අපි වගේ ව්‍යාපාරික ජාලයක් බිහිකළා. පළමුවෙන්ම රජය බඩ ඉරිගු ආනයනයට සියයට 20 ක සෙස් බද්දක් පැනෙව්වා. නව සපිරි ග්‍රාමීය ණයයෝජනා ක්‍රමය යටතේ සියයට 4 ක අඩු පොලියට ගොවීන්ට ණය ලබා දෙන්න කටයුතු කළා. ගොවීන් එක්ක ගිවිසුම්ගතව මෙම වගාව ව්‍යාප්ත කරන ව්‍යාපාරිකයන්ට අස්වනු ගබඩා කරන්නත්, නවීන ගබඩා, වියළන යන්ත්‍ර හා පිරිසුදු කිරීමේ යන්ත්‍ර මිලදී ගන්නත් සියයට 4 ක සහන පොලියට ණය ලබා දුන්නා. රජය තීරණය කරන මිලට අපේ බඩ ඉරිඟු තොග සත්ව ආහාර සමාඟම් අරගෙන ඉවර වෙනකම් ආනයන බලපත්‍ර ඒ අයට ලබාදීම නතර කළා. රජයේ මේ ක්‍රියාකලාපය නිසා ග්‍රාමීය මට්ටමේ බොහෝ ව්‍යාපාරිකයන් මේ වගාව ගොවීන් අතර ව්‍යාප්ත කරන්න ඉදිරිපත් වුණා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෙනකොට දේශීය අවශ්‍යතාවයෙන් සියයට 50 ක් අපි නිෂ්පාදනය කරන්නෙ. නිෂ්පාදන වියදම අඩු කරලා ආනයන මිලට අපේ ගොවීන්ට බඩ ඉරිඟු හඳන්න බැරි ඇයි කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. හැමදෙයින්ම සමාන වුවත් අපේ නිෂ්පාදනය අඩු වෙන්න හේතුව ඒ රටවල ගොවි මහතුන්ගේ කුඩා ගොවිබිම් එකතු වෙලා ලොකු කරලා අක්කර 50, 100, 200, ගොවි බිම් හදලා මහා පරිමාණ යන්ත්‍ර යොදවලා තමයි වගා කරන්නේ. අපේ ගොවියෝ ගොවි පවුලම එකතු වෙලා අක්කර 2 ක් වගා කරද්දී අර අක්කර 200 ම වගා කරන්න ශ්‍රමය යොදවන්නේ දෙතුන් දෙනයි. එහෙ ගොවියෝ අඩිය ගොවි බිමේ තියන්නේ නැතුවයි අස්වැන්න ගෙදර ගේන්නේ. අවුරුදු 76 ක් තිස්සේ අපේ කෘෂිකර්ම බලධාරීන් සහ පර්‌යේෂකයන් පිටරට ගිහින් ඕවා දැක්කට ඔය ක්‍රමවේද මෙහෙ හදන්න ඒගොල්ලො කටයුතු කරලා නැහැ. ඒ වගේම හිටපු ඇතැම් දේශපාලකයන්ටත් ඕනෑ කළේ තිරසාර සැලැස්මකට මේ වගාව කරන්න නෙමෙයි. කොහෙන් හරි ලැබෙන ආධාරෙකින් බීජ පැකට් එකක්, පොහොර පැකට් එකක් ගොවියට දීලා කීයක් හරි සාක්කුවෙත් දාගන්නයි. අපි හිතනවා අලුත් ආණ්ඩුව මේ ක්‍රමය වෙනස් කරයි කියලා.හැබැයි මේ වෙනකොට සත්ව ආහාර ඇතැම් සමාගම් අපිට නගන චෝදනාවක් තමයි අතරමැදි ව්‍යාපාරිකයන් විසින් බඩ ඉරිඟු ගබඩා කරලා කිලෝවකින් රු. 50 - 75 අයුතු ලාභයක් ගන්නවා කියලා. මේක බඩඉරිඟු ගබඩා කරන ව්‍යාපාරිකයන්ගේ මාෆියාවක් කියලා. ඔය මේ වගාව ගැන අවබෝධයක් නැති අය තමයි ඔය චෝදනා පිළිගන්නෙ. ඔච්චර ලාභයක් තියෙනවනම් අවුරුද්දකට බිලියන ගණන් ලාභ ලබන ඔය සමාගම් ඇවිල්ලා ගොවියොත් එක්ක ඇයි මේ වගාව කරන්නෙ නැත්තේ ?
මේ වෙනකොට බැංකු පොලිය, ගබඩා කුලී, කම්කරු කුලී, වියළි බර අඩුවීමත් එක්ක අපේ ගබඩාවල දැන් තියෙන තොග කිලෝවක් රුපියල් 160 ක් වෙලා තියෙනවා. මේ වෙනකොට අපේ තොගවලට අපි ඉල්ලන්නේ සත්ව ආහාර සමාගම්වලට ප්‍රවාහනය කරලා දෙන්නම කිලෝවකට රුපියල් 175 යි. එතකොට මේ ව්‍යාපාරයෙන් අපිට ශුද්ධ ලාභය තියෙන්නේ කිලෝවකට රුපියල් 10 යි.
ඉතිහාසයේ කිසිම අවස්ථාවක අස්වැන්න නෙළන වෙලාවේ කිසිම ධාන්‍ය වර්ගයක් ආනයනය කරන්න අවසර දීලා නෑ. බඩ ඉරිඟු අස්වැන්න නෙළන්න ගන්නෙ පෙබරවාරි මාසෙ. අස්වනු නෙළලා ඉවර කරන්නෙ අප්‍රේල් මාසේ. මේ කාලෙ තමයි අපි බඩ ඉරිඟු ගබඩා කරන්නෙත්, මැයි මාසෙන් පස්සෙ මිල වැඩිවෙන හින්දා සත්ව ආහාර සමාගම් තරග කරලා බඩ ඉරිගු මිලදී ගන්නෙත්. මාර්තු මාසෙ කුකුළු කෑම සමාගම් අපේ බඩඉරිඟු රු. 155 ට 160 ට මිලදී ගත්තා. එකපාරටම අප්‍රේල් මාසෙ මිල දී ගැනීම් නතර කළා. එතකොට තමයි අපි දන්නෙ මාර්තු මාසෙ 06 වැනිදා සත්ව ආහාර සමාගම් 65 කට බඩ ඉරිඟු ආනයනය කරන්න අවසර දීලා කියලා.
පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනක දී කෘෂි ඉහළ නිලධාරියකු කියනවා බඩ ඉරිඟු ආනයනය කරන්න අවසර දෙන්න ඒ අය එකඟ වුණේ පිටරට වෙළෙඳපොළේ බඩ ඉරිඟු මිල අඩුවෙන් තිබුණු නිසා කියලා. ඒ වෙලාවෙ තොග ඇණවුම් කළාම සත්ව ආහාර සමාගම්වලට වැඩි ලාභයක් ගන්න පුළුවන් වෙනවා වගේම මිල වැඩිවීමෙන් වැඩිවන ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් වෙන නිසායි කියලා. රා බොන්න ගහට ගියපු මිනිහත් අහුවුණාම කිව්වේ තණකොළ කපන්න ගහට ගියා කියලානෙ.
ගොවි රැස්වීම්වල දී ගොවියන්ට කියන්නේ කන්නෙදී ඔක්කොම අස්වැන්න එකපාර විකුණන්න එපා කියලා. ඔක්කොම අස්වනු වෙෙළඳපොළට ආවම තමයි අධික විදියට මිල අඩු වෙන්නේ කියලා. තමුන් ගත්ත ණය බේරන්න විතරක් අස්වැන්න විකුණලා කන්නෙන් පස්සේ මිල වැඩි වුණාම ඉතිරි තොගය විකුණන්න කියලා. ව්‍යාපාරිකයෝ තොග ගබඩා කරනවා වගේම ගොවි මහත්තුරුත් දන්නවා කන්නෙන් පස්සේ මිල වැඩි වෙනවා කියලා. හැකියාවක් තියෙන ගොවි මහත්තුරු පුළුවන් විදියට මිල වැඩි වෙනකම් අදටත් තොග තියන් ඉන්නවා. ස්වාධීනව කණ්ඩායමක් එව්වානම් අනුරාධපුර, මොනරාගල අම්පාර ගොවි මහත්වරුන්ගේ බඩ ඉරිඟු තොග අපිට පෙන්නන්න පුළුවන්. අදටත් ඒ ගොවියන් ගාව බඩ ඉරිඟු ටොන් දහ දොළොස් දාහක් විතර ගෙවල්වල තියෙනවා. කෘෂිකර්මාන්තය ගැන හසළ දැනුම තියෙන්නෙ කෘෂිකර්ම බලධාරීන්ට. ඇමැතිවරයාට නිවැරැදි කරුණු හා තොරතුරු ලබා දීම ඔවුන්ගේ යුතුකමක්. ඒක හින්දයි අපි කියන්නේ අස්වනු නෙළන වෙලාවේ බඩ ඉරිඟු ආනයනයට අවසර දීම දේශීය බඩ ඉරිඟු තොග ගබඩාකරුවන් අද පත් වී සිටින මේ තත්ත්වෙට බලධාරීන් වග කියන්න ඕනෑ කියලා. තිරසර වගාවක් ලෙස මෙම වගාව ගොවීන් අතර ව්‍යාප්ත කරලා වාර්ෂික අවශ්‍යතාව දේශීය ගොවි ජනතාව අතරින් නිෂ්පාදනය කර ලබාගන්න රජයට මැදිහත් වෙන්න කියලා තමයි අපි කියන්නේ
අපි අවසන් වශයෙන් කියන්නේ දේශීය බඩ ඉරිඟු ගොවියා වගේම ව්‍යපාරිකයා ආරක්ෂා කරන යාන්ත්‍රණයක් වැඩපිළිවෙළක් සකස් කිරීමට ආණ්ඩුව මැදිහත්විය යුතුයි කියලයි.
වැල්ලවාය අයි.ආර්. ඉන්දික
අපි තීරණ ගන්නේ හැම පැත්තක් ගැනම හිතලයි
ඇමැති ලාල්කාන්ත
- වැල්ලවාය අයි.ආර්. ඉන්දික බඩඉරිඟු එකතුකරන්නන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් නගන චෝදනා සම්බන්ධයෙන් අප කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු මෙසේ අදහස් දැක්වීය.
සුළුපරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයෝ ගොවියන්ගෙන් ගන්නවා. ඒ ගොල්ලෝ ප්‍රධාන ආයතනවලට දෙනවා. මේ අය මොකද කළේ අර ගොවියන්ගෙන් අරගෙන අර ව්‍යපාරිකයන්ට දෙන්නේ නැතුව මිල ඉහළ යනකල් තදකරගෙන හංගගෙන හිටියා. ඒ ගොල්ලො බලාපොරොත්තු වුණා බඩ ඉරිඟු කිලෝවක් රුපියල් දෙසීයට විතරයයි කියලා. රුපියල් 140ට 150ට ගොවියන්ගෙන් අරගෙන අර කුකුළු කෑම නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයන්ට ඒ ගොල්ලෝ 150ට 160ට ඉල්ලද්දී නොදී තදකරගෙන හිටියා දෙන්නේ නැතුව. දෙසීයට විතර යනකල් මේක අපි දෙන්නේ නෑ කියලා. අපි තීරණය කළා ආණ්ඩුවක් විදිහට බඩඉරිඟු කිලෝවක් 200ට ගියොත් බිත්තරයක් කීයක් වෙයිද කුකුල් මස් කිලෝවක් කීයක් වෙයිද දැන් මිලදී ගන්න පුළුවන් මට්ටමක තියෙනවනේ. එහෙම වුණා නම් ඇත්තම කියන්නේ රුපියල් 200ක් විතර වෙනවා. බඩඉරිඟු කිලෝවක් 200 වෙන්න දුන්න නම් පාරිභොගිකයා අසරණ කරන්න දෙන්න බෑ. ඒ නිසා පිටරටින් බඩ ඉරිඟු ගේනවා කියලා අපි තීරණය කළා. දැන් අරගොල්ලන් ළඟ කොටසක් තියෙනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ගේනවා. රටේ නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් තුනක් තුන හමාරක් විතර. ඒක ගෙනාවේ නැත්නම් මොකද වෙන්නේ, මස් බිත්තර කන්න වෙන්නේ නෑ . ඔන්න අපි තීරණය කළා ගේන්න තීරණය කරපු ගමන් අර ගොල්ලෝ අපිට ඇවිල්ලා කියනවා පිටරටින් ගෙන්නන්න එපා කියනවා. තව සමහරු කියනවා පිටරටින් ගේන අයට ලොකු බද්දක් ගහන්නලු. නැත්නම් විකුණගන්න බැරිවෙනවලු. දැන් කම්පැනි තදකරගෙන හිටපු අයගෙන් ගන්නේ නෑ. අපි බඩඉරිඟු ගොවියා බලන්නත් ඕනෑ ව්‍යපාරිකයත් බේරන්න ඕනෑ. කර්මාන්තය ආරක්ෂා කරන්නත් ඕනෑ. වෙළෙඳපොළේ බිත්තර මිල බලන්නත් ඕනෑ. මේක සමබර කරන්න ඕනෑ. අපිට තියෙනවා එහෙම වගකීමක්. එක එක ජාවාරම්කාරයෝ ව්‍යපාරිකයෝ එක එක නම්වලින් ඉන්න අය බඩු අරගෙන හංගගෙන තියාගන්නවා එතකොට මුළු වෙළෙඳපොළම අවුල් වෙනවා. ඒ නිසා අමාත්‍යංශය කටයුතු කරන්නේ ඔය හැම පැත්තක් ගැනම කල්පනාකරලා හිතලා සමබරව* යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.