අපි හැමදෙනාගේම කැමැත්ත පොහොට්ටුව ලකුණින් තරග කිරීමයි


 වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති  
වෛද්‍ය රමේෂ් පතිරණ   

 

රටේ දේශපාලනය උණුසුම්ය. මේ ඒ උණුසුම් දේශපාලනය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කළ සාකච්ඡාවකි.  

 

ප්‍රශ්නය:- කොහොමද අලුත් ඇමැති ධුරය?   


පිළිතුර:- විශාල වගකීමක් තියෙන අමාත්‍යාංශයක්. ඒ වගේම ජාතික ආර්ථිකයට විශාල ද‌ායකත්වයක් ලබා දෙන්න පුළුවන් අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශයේ වගකීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් වැඩ පටන් අරගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා අනාගතයේදී මේ ක්ෂේත්‍රය හරහා දැනට මේ රටේ ආර්ථිකයට ලබා දෙන ද‌ායකත්වයට වඩා විශාල ද‌ායකත්වයක් ලබා දීමට පුළුවන් කියලා.   


ප්‍රශ්නය:-  මේ ඇමැති මණ්ඩලයේ අලුතෙන් ඇමැති තනතුරු ලැබුණේ ඔබටයි ප්‍රසන්න රණතුංගටයි විතරයි. මොකක්ද මේ ඔබට තියෙන විශේෂ සැලකිල්ල?   


පිළිතුර:- මේකට පාදක වෙච්ච ප්‍රධානම කාරණය තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව පහුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන් විශිෂ්ට ජයග්‍රහණය. සියයට 65 ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම ඇත්ත වශයෙන්ම පහසු කටයුත්තක් නොවෙයි. ඒ අපහසු කටයුත්ත බොහොම පහසුවෙන් ගාලු දිස්ත්‍රික් ජනතාව ඉෂ්ට කළා. ඒ ගාලු දිස්ත්‍රික් ජනතාවට කරන ගෞරවයක් විදියට තමයි මේ ඇමැති තනතුර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ බැසිල් රාජපක්ෂ මැතිතුමත් ලබා දීලා තියෙන්නේ. රමේෂ් පතිරණටත්, මොහොන් ද සිල්වාටත් පෞද්ගලිකව ලබා දුන් තනතුරුවලට වඩා ගාලු ජනතාවට ලබා දුන් දෙයක් ලෙසයි ​අපි මේක දකින්නේ.   

ප්‍රශ්නය:-  ඇමැති කාර්ය මණ්ඩලයට පවුලේ ඥ‌ාතීන් හෝ දේශපාලන සමීපතම සගයන් ළංකර ගන්න එපා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කරලා තියෙනවා. ඔය විදියට ලංකාවේ දේශපාලනය කරන්න පුළුවන් ද?   


පිළිතුර:- මම නම් හිතන්නේ ඒක හොඳ ප්‍රතිපත්තිමය කාරණයක්. ක්‍රමානුකූලව අලුත් හොඳ තත්ත්වයන්ට අනුගත වෙන්න කියලා ජනතාවගෙන් බල කිරීමකුත් තියෙනවා. අපිත් පුළුවන් තරම් ඒ වගේ පැරැණි දේවල්වලින් වැළකිලා අලුත් ගමනක් යන්න තමයි උත්සාහ කරන්නේ.   


ප්‍රශ්නය:-  රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කරන්නේ විශේෂ කමිටුවකින්. නිලධාරිවාදයට ජනමතය යට කිරීමක් මේ හරහා වෙනවා?   


පිළිතුර:- ඔබ කියන දේ නෙවෙයි වෙන්නේ. ඔය තීරණය මේ රටේ ජනතාව විශාල වශයෙන් අගය කළ දෙයක්. විවෘත භාවයකින් යුතුව ඔය කටයුතු සිදුකිරීම නිසා සුදුසුකම් තියෙන අති විශාල පිරිසකට අයැදුම් කිරීමේ හැකියාවක් ලැබෙනවා. සෑම කෙනෙකුටම අදාළ තනතුර ලබා දිය නොහැකි වුවත් ඒ සම්බන්ධයෙන් පරිචයක් ඇති පිරිසක් ඒ ඒ ක්ෂේත්‍රවලට පත් කිරීම රටේ අනාගතය වෙනුවෙන් සුබද‌ායකයි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් මදක් ඔබ්බට ගිහින් අලුත් හැඟීමකින් අලුත් දර්ශනයකින් කටයුතු කිරීමට අපි හැම කෙනෙක්ම සූද‌ානම් වෙලා ඉන්නවා. මෙබඳු ක්‍රියාමාර්ගවලින් තමයි මේ රටට ඉදිරියට යන්න තියෙන්නේ.   

ප්‍රශ්නය:-  ආණ්ඩුව හාල්වලට සහතික මිලක් නියම කළාට ඒ මිලට හාල් නම් නැහැ. මෙච්චර ඉක්මනට ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවුණේ කොහොමද කියලා මිනිස්සු අහනවා? 

 
පිළිතුර:- කුඩා ගැටලුවක් හාල් සම්බන්ධයෙන් මතුවෙලා තියෙනවා. අස්වනු ප්‍රමාණය අඩුවීම නිසාත් සමහර හාල් මෝල් හිමියන් වී තොග සඟවාගෙන සිටීම නිසාත් ඔය කියන ගැටලුව මතුවෙලා තියෙනවා. ඔය තත්ත්වය ඇතිවෙන්න බලපාපු ප්‍රධාන කාරණය තමයි පහුගිය කාලයේ කෘෂිකර්මාන්තයේ ඇති වූ පසුගාමී තත්ත්වය. අපි 2015 දී ආණ්ඩුව බාර දෙනකොට අටුකොටු පිරෙන්න සහ මත්තල ගුවන් තොටුපළේ ගබඩා කරන්න තරමට හාල් නිෂ්පාදනය කරලා තිබුණේ. නමුත් පහුගිය කාලයේ නිසි වැඩපිළිවෙළක් හා ක්‍රමවේදයක් නැති නිසා ඒ තත්ත්වය බිඳවැටුණා. අස්වනු කපන කාලය අත ළඟයි. ඒ වෙනකොට මේ තත්ත්වය පහව යැයි කියලා අපි හිතනවා.   


ප්‍රශ්නය:-  පොල් මිල ඇහුවම එළොව පොල් පේනවා. එළවළු ගිනි ගණන්. කෝ ආණ්ඩුවට උත්තරයක්?   


පිළිතුර:- ආණ්ඩුව අපි බාර අරගෙන මාසයක් පමණ කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ. පොල් මිල සම්බන්ධයෙන් නම් කිව යුතුව තිබෙන්නේ සෑම වසරකදීම නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ඇතිවන ඵලද‌ායිතාවේ අඩුකම නිසා තමයි පොල් මිල ඉහළ ගිහින් තියෙන්නේ. අපි මේකට විකල්ප ක්‍රියාමාර්ගයක් විදියට තවත් පොල් මිල ඉහළ යනවා නම් පොල්තෙල්වල බදු අඩු කරලා සහන කාලයකට පිටරටින් ගෙන්වන්න අදහස් කරනවා. ඒ හරහා පොල් මිල පාලනය කරන්න උත්සාහයක් ගන්නවා. දීර්ඝ කාලීන වශයෙන් නැවත වතාවක් ඒකාබද්ධ වැඩසටහන් මාර්ගයෙන් පොල්, තේ හා අපනයන භෝග ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය වැඩසටහන් සකස් කරලා නිෂ්පාදනය වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.   


ප්‍රශ්නය:- ‘මිල ගණන්, එළවළු කන්න එපා.’ කියන තරමට ඇමැතිවරුන් ‘ජෝකර්ලා’ වෙලා?   


පිළිතුර:- ඔබ කියපු කාරණය සත්‍යයක්. ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන පරිදි සැපයීමේ ගැටලුවක් තියෙනවා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුව වෙනුවෙන් ක්ෂණික හා වේගවත් ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලද‌ායිතාව සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවක් තියෙනවා. අපි ජනතාවට පණිවිඩයක් වශයෙන් දෙන්න කැමැතියි මේ රටේ එළවළු වේවා, සහල් නිෂ්පාදනය වේවා ඒ වගාවන්හි නියැළෙන සියලු දෙනාගෙම අතමිට සරු කිරීමට අවශ්‍යයි. ඒ නිසා වගාවන්හි නියැලෙන පිරිස් දිරිමත් කරලා නිෂ්පාදනය වැඩිදියුණු කරලා ඔවුන්ගේ අතමිට සරු කරන ගමන්ම සාධාරණ මුදලකට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පාරි​භෝගිකයාට අවස්ථාව තිබිය යුතුයි. ඒකට අවශ්‍ය තීන්දු තීරණ අනාගතයේදී අනිවාර්යයෙන්ම ගන්නවා.   


ප්‍රශ්නය:- ඔබලා විපක්ෂයේ ඉන්න කාලේ දිගටම කිව්වේ ‘යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පලිගැනීම් කරනවා’ කියලා. ඔබේ ආණ්ඩුවට මාසයක් යන්න කලින් ඒ චෝදනාව එල්ල වෙලා?   


පිළිතුර:- පසුගිය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ මුලින්ම තිබුණේ හාමුදුරුවරුන්, රණවිරුවන්, දේශපාලනඥයන් හා රාජ්‍ය සේවකයන් දඩයම් කිරීම. අපේ ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යභාරය වෙලා තියෙන්නේ රටේ ආර්ථිකය, රටේ ආරක්ෂාව හා අධ්‍යාපනය වැනි කරුණු. හැබැයි එක කාරණයක් කීමට අවශ්‍යයි. මේ රටේ නීතියට පටහැණිව යම් කිසි කටයුත්තක් සිද්ධවෙලා තියෙනවා නම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීම් නොවෙයි. නීතියට එරෙහිව කරලා තියෙන දේවල්වලට විරුද්ධව කටයුතු කිරීම දේශපාලන පළිගැනීමක් වෙන්නේ කොහොම ද?   


ප්‍රශ්නය:- හිටපු ඇමැති චම්පිකගේ නඩුව විභාග කරලා තීන්දුවක් දීපු නඩුවක්. ඒක නැවත උඩට අරගෙන දැන් චම්පික රිමාන්ඩ් කරලා?   


පිළිතුර:- එම සිද්ධියට සම්බන්ධ තරුණයාට සාධාරණය ඉටු නොවුණ බව අද කවුරුත් පිළිගන්නවා. ඒ තරුණයාට සාධාරණ වන්දියක් ගෙවලත් නෑ. ඔහු තාම දුක් විඳිනවා. ඒ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණයේදී ඇසින් දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කරපු අද‌ාළ ඇමැතිවරයව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. ඒ පරීක්ෂණ කටයුතු සාධාරණ ලෙස සිදුවෙලා නෑ කියලත් පැහැදිලියි. ඒ නිසයි සාධාරණ විභාගයක් නැවත සිදුවන්නේ.   

ප්‍රශ්නය:-  ස්විස් තානාපති නිලධාරිනියගේ ප්‍රශ්නයේදී රජය හැසිරුණු ආකාරය රාජ්‍ය තාන්ත්‍රික නැති බවත් එමගින් ඉදිරියේදී බරපතළ ප්‍රශ්න මතුවිය හැකි බවත් කියැවෙනවා?   


පිළිතුර:- ඔය සිදුවීමට පෙර මේ රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. ඒ තමයි නිශාන්ත ද සිල්වා කියන පොලිස් නිලධාරියා හදිසියේම රටින් පැන යාම. ඒ සිද්ධියත් සමගම තමයි ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ ප්‍රශ්නය මතු වෙන්නේ. එම තානාපති කාර්යාලයේ අනුදැනුම ඇතිව හෝ නැතිව සිද්ධ වුණු මේ ක්‍රියාද‌ාමයන් හරහා රටේ කීර්තිනාමය බිඳවැට්ටවීමේ උත්සාහයක් තිබෙන බව පැහැදිලියි. ඒ නිසා නැවත වතාවක් අප රට ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක් කිරීමට තව තවත් උත්සාහයන් තිබෙනවා ද කියන සැකය අපට ඇතිවෙනවා. මේ සිද්ධියේදී සෑම පාර්ශ්වයකින්ම සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. ඒ සම්බන්ධ මූලික පැමිණිල්ල පවා යොමු වෙන්නේ අද‌ාළ කාන්තාවගෙන් නෙවෙයි, තානාපතිතුමාගෙන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරලා සත්‍ය හෙළිදරව් කිරීම අපේ වගකීමක්. එ් පරීක්ෂණවලට රජය අතපෙව්වේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් තමයි ඒ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම සිදුවුණේ. එතැනදී සිදුනොවුණු සිදුවීමක් ගැන සැක සංකා මතුවෙලා තියෙනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව සියලු තානාපති අංශ දැනුම්වත් කරලා තියෙනවා. අපේ රට ලෝකයේ අනෙකුත් රටවල් සමග සුහදශීලීව මැද මාවතේ ගමන් කරන රටක් බවත් ජනාධිපතිතුමා එතුමාගේ පදවි ප්‍රාප්තියේදීම ප්‍රකාශ කළා. අපට අවශ්‍ය ඒ තත්ත්වය පවත්වාගෙන යන්නයි. හැබැයි එයින් නිදහස් කෙරෙන්නේ නෑ රටේ කීර්තිනාමයට ස්වෛරීත්වයට හානි කෙරෙන කටයුතුවලදී නිහඬව ඉන්නවා කියලා.   


ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය කිව්වා. තරුණ ඇමැතිවරයෙක් හැටියට ඔබ එයට එකඟ ද?   


පිළිතුර:- ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සාකච්ඡාවට බඳුන් විය යුතුයි කියලා සංවාදයක් රටේ තියෙනවා. එතැනදී බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වීමත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පක්ෂ දෙකකින් පත්වීම නිසාත් රට තුළ දැවැන්ත අරාජිකත්වයක් ඇති වෙනවා අපි දැක්කා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට හිතකර ලෙස සිදුවිය යුතු බවත් විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය පිළිබඳවත් ජයග්‍රහණය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේදී ශක්තිමත් ආණ්ඩුවක් පත්කර ගැනීමේ විධි විධාන ව්‍යවස්ථාවෙන්ම පැනවිය යුතුයි කියන කතිකාව මතු වෙලා තියෙනවා. අනික් පැත්තෙන් ස්වාධීන කොමිෂන් ස්වාධීනව කටයුතු කරනවා නම් රටට හිතකර බවත් සමාජයේ පොදු මතයයි. ඒ නිසා ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යයි. නැත්නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැරි වීම හරහා මතුවෙච්ච නීති අර්බුදත් අපි පහුගිය කාලයේ දැක්කා. ඒ නිසා ඒ ගැන නිශ්චිත තත්ත්වයක් රටට අවශ්‍යයි.   


ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය හරහා අගමැතිවරයා බලවත් වෙලා තියෙනවා. 19 සංශෝධනය කරලා තමන්ගේ බලතල කප්පාදු කරගන්න අගමැති මහින්ද කැමැති වෙයි ද? 

 
පිළිතුර:- රටේ යහපත වෙනුවෙන් ගන්න තියෙන තීන්දු තීරණවලට මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් දේශපාලන පක්ෂයක් විදියට අපි සියලු දෙනාත් එකඟතාවෙන් තමයි වැඩ කරන්නේ.   


ප්‍රශ්නය:-  එම්.සී.සී. ගිවිසුමට මොකද වෙන්නේ? කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කර ගැනීමේ න්‍යායක් තමයි අපි දකිමින් ඉන්නේ?   


පිළිතුර:- අපි තාම කන බව කියලත් නෑ, කෑවෙත් නෑ. ඒ නිසා ඒ පිළිබඳව රටට ජනතාවට ඒ ගිවිසුම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අනාවරණය කිරීමේ වගකීමක් අපට තියෙනවා. පහුගිය කාලෙදි රටට ඉතාම අහිතකර කොන්දේසි ඇතුළත් එම ගිවිසුම ගැන විවේචනයක් ඉදිරිපත් කළා. ඒ වගේම අපේ ඉල්ලීම වුණේ එම ගිවිසුම ජනතාව හමුවේ තබන්න. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලයි අපි කිව්වේ. ඒ අනුව ඒ ගිවිසුම ජනතාව හමුවේ තබලා එය තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ ගිවිසුම එක පාරටම වීසි කළොත් ඔබ අහන්න පුළුවන් ‘දැන් ඇමෙරිකාව තරහා කරගත්තා නේද එම්.සී.සී. ගිවිසුම අහක ද‌ාලා’’ කියලා. ඒ නිසා ඒක හොඳට අධ්‍යයනය කරලා රටට අහිතකර කරුණු තියෙනවා නම් ඒවා පෙන්වාල දීලා ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුතු බව තමයි රජයේ ස්ථාවරය.   


ප්‍රශ්නය:- - මහ මැතිවරණයට මාස තුනක පමණ කාලයක් තියෙන්නේ? මොකක්ද ලාංඡනය? පොහොට්ටුව ද? පුටුව ද?   


පිළිතුර:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑත මැතිවරණ දෙකම ජයග්‍රහණය කළ පොහොට්ටුව ලාංඡනයට අපේ පාක්ෂිකයන් විශාල කැමැත්තක් දක්වනවා. මගේත් පෞද්ගලික කැමැත්ත ඒකටයි. හැබැයි සන්ධානගත දේශපාලනයේදී යම් නම්‍යශීලීත්වයක් පෙන්වීමට අවශ්‍ය වූ විට සියලු දෙනාගෙම එකඟත්වයෙන් පොදු තීරණයකට එන්න බැරිකමක් නෑ. නමුත් වර්තමානයේදී නම් අපි සියලු දෙනාගෙම කැමැත්ත පොහොට්ටුව ලකුණින් තරග කිරීමයි.   


ප්‍රශ්නය:-  ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ලිඛිත එකඟතාවකට ආවා මහ මැතිවරණයට යන්නේ පුටුවෙන් කියලා?   


පිළිතුර:- එහෙම එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා නම් වෙනස් විය යුත්තෙත් එකඟතාවෙන්. අපිට ඔය ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳ‌ා ගන්න පුළුවන්.

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්