ජනාධිපති සමාව යනු රටක රාජ්‍ය නායකයා විසින් බන්ධනාගාරගත පුද්ගලයෙකුට ස්ව කැමැත්ත පදනම් කොට ගෙන සමාව දීමේ අභිමතානුසාරී විධායක ක්‍රියාවලියකි. මෙය ලොව බොහෝ රටවල එක් එක් රටට ආවේණික වූ නෛතික ප්‍රතිපාදනයන්ට අනුකූලව ක්‍රියාත්මක වේ. මින් සෑම විටම දඬුවමෙන් සම්පූර්ණයෙන් නිදහස් කිරීම අදහස් නොවන අතර දඬුවම ලිහිල් කිරීම, කාලසීමාව අඩු කිරීම ද ජනාධිපති සමාව යන්නට ඇතුළත් වේ. මෙම බලය අධිකරණ පද්ධතියේ දෝෂ නිවැරදි කිරීමට මෙන්ම නීතියේ සානුකම්පිතභාවය පෙන්වීමටත්, ජාතික සංහිඳියාව ප්‍රවර්ධනයටත් භාවිත වේ.
මෙවැනි සද් අරමුණකින් ස්ථාපනය කරන ලද ජනාධිපති සමාව පිළිබඳ නීතිමය තත්ත්වයන් වරින් වර අධිකරණයේ ස්වාධීනත්වය නමැති මූලධර්මය සමඟ ගැටීමත් සමඟ විවිධ සාකච්ඡා ඉස්මතු වුව ද, මේ පිළිබඳව දැඩි කතාබහක් මතුවූයේ පසුගියදා වෙසක් පෝය නිමිත්තෙන් සිරකරුවන්ට ජනාධිපති සමාව ලබා දීමේ දී, නිසි ක්‍රියා පටිපාටියෙන් තොර ව, දූෂණ චෝදනා ලබා අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු නිදහස් කිරීමේ සිදුවීමත් සමඟයි.
- ජනාධිපති සමාවේ ඉතිහාසය
ජනාධිපති සමාව ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වේ. එය ලොවට හඳුන්වා දී ඇත්තේ මහා බ්‍රිතාන්‍යය විසින් කිරීටයට ඇති සම්ප්‍රදායානුකූල අයිතියක් හා වරප්‍රසාදයක් වශයෙනි. එනම් අධිකරණය මඟින් යමෙකු වරදකරු කොට බන්ධනාගාරගත කළ පසු, එතුළදී සිරකරුගේ සුචරිතවත් පැවැත්ම හා කල්ක්‍රියාව මත රජු හෝ රැජිනගේ අභිමතයෙන් සමාව දීමේ ක්‍රියාවලියක් ලෙස මෙය ආරම්භ විය. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ ද විධායක ජනාධිපතිවරයාට ලැබෙන බලයකි. කෙසේ වෙතත්, ලොව මහා ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා මෙම බලය භාවිත මෙන් ම අවභාවිත වෙන අවස්ථා දක්නට ලැබේ.
- ශ්‍රී ලංකාවට ජනාධිපති සමාව හඳුන්වා දීම
ශ්‍රී ලංකාවට මෙය විධිමත්ව හඳුන්වා දී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. එහි 34(1) වැනි ව්‍යවස්ථාවෙහි මෙම ජනාධිපති සමාව පිළිබඳ සඳහන් පරිදි, ශ්‍රී ලංකා ජනරජයේ කවර හෝ අධිකරණයක දී වරදකරුවෙකු කරන ලද කවර හෝ වරදකරුවෙකුට සම්පූර්ණ සමාවක්, නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක් ලබාදීමේ හැකියාව ජනාධිපතිවරයා සතු ව පවතී. එහි දී විධායකය ප්‍රශ්න කිරීමේ හැකියාව කිසිවෙකුට නැත. එසේම නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම, කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් දක්වා කල් තැබීමට ද හැකියාව ඇත. නියම කරන ලද දඬුවමට වඩා ලිහිල් දඬුවමක් ලබා දීම ද ජනාධිපති සමාව යන්නට අයත් වේ. එසේ ම නියම කරන ලද දඬුවම මුළුමනින් ම නිෂ්ප්‍රභා කිරීමටත්, කොටසක් අඩු කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත. නමුත් මෙම සියලු ම ක්‍රියාවන් සිදු විය යුතු ක්‍රියා පටිපාටියක් ද ව්‍යවස්ථාව තුළම
අඩංගු වේ.
- ජනාධිපති සමාව - සංවර්ධනය හා විකාශනය
මෙම ජනාධිපති සමාව නම් මූලධර්මයට බලපාන වැදගත් ප්‍රතිසංස්කරණයක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය හැකි ය. 1978 ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයාට සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැක. නමුත් 19 වැනි සංශෝධනය යටතේ ඔහුට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ නඩු පැවරිය හැකි ය. මෙහි මූලික ම අරමුණක් වූයේ, ජනාධිපති සමාව අත්තනෝමතික ලෙස භාවිත කරමින් ජනාධිපතිවරු විසින් නීතියේ සමාන රැකවරණය ලැබීම සඳහා ඇති අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සඳහා ඇති ඉඩප්‍රස්ථා අවම කිරීමයි.
ඒ අනුව වරදකරුවෙකුට අධිකරණයෙන් මරණ දඬුවම නියම වූ විටෙක එවැන්නෙකු නිදහස් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ගෙන අධිකරණ විෂයභාර අමාත්‍යවරයා වෙත යවා අමාත්‍යවරයාගේ නිර්දේශය මත එම වාර්තාව යළිත් ජනාධිපතිවරයා වෙත යැවිය යුතුය.
ඒ අනුව වරදකරුවෙකුට අධිකරණයෙන් මරණ දඬුවම නියම වූ විටෙක එවැන්නෙකු නිදහස් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ගෙන අධිකරණ විෂයභාර අමාත්‍යවරයා වෙත යවා අමාත්‍යවරයාගේ නිර්දේශය මත එම වාර්තාව යළිත් ජනාධිපතිවරයා වෙත යැවිය යුතු අතර ජනාධිපති සමාව ලබා දිය හැක්කේ ඉන් අනතුරුවයි. එසේම දූෂණ වංචා හෝ වෙනත් මරණ දඬුවමට අඩු දඬුවම් ලබා ඇති අවස්ථාවන්හි දී, කල්ක්‍රියාව ආදිය පරීක්ෂා කොට සමාව ලබා දීමට සුදුසු රැඳවියන්ගේ නාම ලේඛන අධිකරණ අමාත්‍යංශයට යොමු කොට, යළිත් නීතිපතිවරයා වෙත යවා අනුමැතිය ලැබුණු පසු නිදහස් කිරීමේ කටයුතු සිදු කරයි. බොහෝ විට මේ යටතේ නිදහස් වෙනුයේ සුළු වරදවලට යටත්ව දඩ ආදිය ගෙවීමට නොහැකිව සිරගත වෙන රැඳවියන්ය. ඒ අනුව මෙම නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව සිදුවෙන ජනාධිපති සමාව ලබා දීම් සඳහා මූලික මිනිස් අයිතිවාසිකම් නඩු පවරා ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැකිය.
- ජනාධිපති සමාව ලබා දුන් අවස්ථා
ඉතිහාසයේ මෙම ජනාධිපති සමාව දේශපාලනික බලපෑම්වලට නතු වෙමින් අනිසි ලෙස ක්‍රියාත්මක වූ අවස්ථා රාශියක් හමු වේ. නිදසුන් ලෙස ජේ.ආර්. ජයවර්ධන සමයේ දූෂණ චෝදනා ලබා සිටි ගෝනවල සුනිල් පෙරේරා, මරදාන ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට වරදකරු වූ මනෝහරී ඩැනියෙල්ස්, චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ ආදායම් බදු වංචා චෝදනා ලැබූ වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති, මහින්ද රාජපක්ෂ සමයේ උසාවියට අපහාස කිරීමේ චෝදනා ලැබූ එස්.බී. දිසානායක, ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සඳහා මරණ දඬුවම් ලබා සිටි මේරි ජුලියට් මොනිකා ෆර්නැන්ඩු, මෛත්‍රීපාල සිරිසේන සමයේ සරත් ෆොන්සේකා, ගලගොඩ අත්තේ ඥානසාර හිමි, රෝයල් පාක් ඝාතනය සිදු කළ ජූඩ් ජයමහ, එල්ටීටීඊ ත්‍රස්තයෙකු ව සිටි සිවරාජන් ජෙනිවන්, ගෝඨාභය රාජපක්ෂ සමයේ දමිළ සිවිල්වැසියන් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි සුනිල් රත්නායක, මනුෂ්‍ය ඝාතන චෝදනා ලැබ සිටි දුමින්ද සිල්වා යන රැඳවියන් නිදහස් කිරීම් පෙන්වා දිය හැකි ය.
මෙම ජනාධිපති සමාව භාවිත කොට ඉතිහාසයේ ලබා දුන් අනීතික තීන්දු නිවැරැදි කළ අවස්ථා ලෙස, බ්‍රිතාන්‍ය සමයේ දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ, ඌව වෙල්ලස්ස කැරැල්ලේ නායකයින් 19 දෙනෙකු මෛත්‍රීපාල සිරිසේන සමයේ ජාතික වීරයන් ලෙස නම් කිරීම, රනිල් වික්‍රමසිංහ සමයේ හෙන්රි පේද්‍රිස් හට ජනාධිපති සමාව ලබා දීම ආදිය දැක්විය හැකිය.
කෙසේ නමුත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල ව හිමි වූ අභිමතානුසාරී බලයක් වෙන මෙය, අවභාවිත වූ අවස්ථා මෙරට පමණක් නොව සමස්ත ලෝකය පුරාම දක්නට ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ජෝ බයිඩන්, සිය ධුර කාලය නිම වීමට පෙර, මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිරගතව සිටි සිය පුත්‍රයා නිදහස් කර ගැනීම මේ සඳහා හොඳම නිදසුනකි.
- බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වත් මහඋළු ගෙදර යැවූ ජනාධිපති සමාව
මෙම ජනාධිපති සමාව පිළිබඳ අද සමස්ත රටේම අවධානය යොමුව ඇත්තේ, පසුගිය වෙසක් පෝය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබා දීමේ දී, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරුව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු නිසි ක්‍රියාමාර්ගයෙන් තොරව නිදහස් කිරීම සම්බන්ධවයි. එහිදී උක්ත ක්‍රියාපටිපාටියෙහි දැක්වූ පරිදි, ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අනුමැතිය සඳහා යවා තිබූ රැඳවියන් 388 දෙනාගේ නාම ලේඛනයේ ඔහුගේ නම ඇතුළත් නොවූ අතර මේ සම්බන්ධයෙන් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගට ම පරීක්ෂණ කරමින් පවතී.
මෙසේ ජනාධිපතිවරයාගේ පවා අනුදැනුමකින් තොර ව ජනාධිපති සමාව ලබා දීම දැඩි ලෙස සොයා බැලිය යුතු කරුණකි. කෙසේ නමුත් මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව ද මෙය නොවේ. මෙවැනි දූෂණ, වංචා වැළැක්වීම් හුදෙක් අත් අඩංගුවට ගැනීම්වලින්ම පමණක් වැළැක්වීමට ද නොහැක. මේ සඳහා අධිකරණය, බන්ධනාගාර, අමාත්‍යාංශ හා ජනාධිපති ලේකම් කාර්‍යාලය යන සියලු පද්ධතීන් අතර සන්නිවේදන පද්ධතියක් ගොඩනගා යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුය.
එසේම ක්‍රියාදාමය නියාමනය සඳහා ව්‍යවස්ථානුකූලව අපක්ෂපාතී කමිටුවක් පත් කිරීම අතිශය වැදගත්ය. මන්දයත්, වරදකරුවන් අනෛතික ලෙස නිදහස් වීමටත් වඩා අල්ලස් හා දූෂණ වංචාවන්ට නතු වෙන නිලධාරී පද්ධතියක පාලනය අතිශයින්ම භයානක ය.
ලවංගා මාධවී දෑරංගල