මහා පරිසර විනාශයක් කොටුකළ STF මෙහෙයුම


 

පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලයට පත් වූ විවිධ රජයන් විවිධ අනපනත්, නීතිරීති ගෙන ඒම් මෙන්ම විවිධ වැඩසටහන්ද හඳුන්වා දී තිබේ. ඊට අමතරව පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පරිසර කමිටු මෙන්ම දහස් ගණනක් පරිසර සංවිධානද බිහිව තිබේ. එලෙස විවිධ අනපනත් මෙන්ම කොතෙකුත් වැඩසටහන් හඳුන්වා දුන්නද, කොතරම් සංවිධාන බිහිව තිබුණද තවමත් ඒ තුළින් බලාපොරොත්තු වූ දේ සිදුව තිබේද යන්න වරක් නොව දහස්වරක් සිතාබැලිය යුතුය. වන ගණත්වය වැඩි කිරීම වෙනුවෙන් මිනිසාට නොමිලේ ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ගුවනින් බීජ දැමීම් මෙන්ම ගොඩබිම සිටි සිදුකර ඇති විවිධ වැඩසටහන්ද හිසේ කෙස් ගාණටත් වැඩිය. එය එසේ වුවත් දිවයින පුරා දිනෙන් දින සිදුවෙන පරිසර සංහාරවල නම් කිසිදු අඩුවක්ද දක්නට නොමැති බව සංවේගයෙන් නමුත් ලිවිය යුතුව තිබේ.   


පාඨක ඔබට අද කියන්නට යන මේ කතාව අපට වාර්තා වූයේ වත්මන් පරිසර අමාත්‍යවරයාගේද ඡන්ද බලප්‍රදේශය වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකටම මායිම්ව පිහිටි බැදිගම්තොට ප්‍රදේශයෙනි.   


ජාවාරම්කාරයන්ට ඇත්තේ ගණ දෙවි නුවණ යැයි අපේ පැරැණ්නන් එදා කීවේ නිකමකට නොවේ. ජාවාරම්කරුවන් ඒ තරමටම සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්ය. සූරියවැව බැදිගන්තොට වළව ගඟ ආශ්‍රිතව කලක් වැලි එකතු කිරීමේ තොටුපොළක් පැවති නමුත් කලකට පෙර එහි බලපත්‍ර වලංගු කාලය අවසන් වීමෙන් පසු එය නවතා දැමුණි. ඉන් පසු එම ප්‍රදේශයේ වැලි හා පස් කැණීම් වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම් සිදු නොකෙරුණි. එය එසේ වුවත් ජාවාරම්කරුවන් ප්‍රදේශයේ විවිධ දේශපාලන නායකයන්ගේ ආශිර්වාද ඇතිව බැදිගන්තොට හා වළව ගංගාව දෙපස පරිසර පද්ධතියට දැවැන්ත හානියක් කරමින් වැලි කැණීම්, වැලි සේදීමේ ජාවාරමක් හා ගඟ දෙපස ඇති කුඹුක් ඇතුළු වටිනා ශාක කැපීමේ ජාවාරමක් කලක සිට පවත්වාගෙන ගොස් තිබුණේ ඇතැම් බලධාරින්ට දොළපිදේනි ලබාදෙමිනි. සූරියවැව බැදිගම්තොට වැලි ජාවාරම ජයටම සිදුවෙන බව ප්‍රදේශයේ නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එපමණක් නොව එය කිසිදු බලපත්‍රයක්ද නොමැතිව පරිසර නීති අමු අමුවේ උල්ලංගණය කරමින් මෙම ජාවාරම සිදුවෙන බවද නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එහෙත් මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නොහැකිව තිබුණේ අදිසි හස්තයක ආශිර්වාදය ලැබීම නිසා විය යුතුය.   

 

 

ජාවාරම්කරුවන් ගමේ බොහෝ දෙනෙකුගේද සහාය ඇතිව මෙම ජාවාරම කරගෙන ගියේ ආරක්ෂක අංශවල ඇස්වලටද වැලි ගසමිනි. දිනෙන් දින ජාවාරම්කරුවන් වළව ගඟ දෙපසට දැඩි හානියක් කරමින් හා ඒ අවට පිහිටි භූමිවලද තැනින් තැන විශාල වළවල් හාරමින් දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් රුපියල් සත සොයන්නට කටයුතු කෙරුණේ අවට ජන ජීවිතවලට මෙන්ම පරිසර පද්ධතියටද දැඩි බලපැමක් එල්ල කරමිනි. එවන් පසුබිමක් තුළ බැදිගම්තොට ජනතාව හා ගොවි සංවිධාන නියෝජිතයින් විසින් මෙම ජාවාරම පිළිබඳව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට දැනුම් දීමට පියවර ගත්තේ කෙසේ හෝ මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසුකර දෙන්නටය.   


දිනය 2021.03.06 ය. වේලාව අළුයම 06ට ආසන්නය. සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව ප්‍රනාන්දු මහතාට දුරකතන ඇමතුමක් ලැබුණි. “සර් වැලි ගෙනියන ටිපර් එකක් ඔන්න දැන් බැදිගන්තොට පැත්තට ගියා“ ඇමතුමෙන් කියවුණි. වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් කණ්ඩායමක්ද රැගෙන එම ප්‍රදේශයට පිටත් විය. මෙම ප්‍රදේශයට කවුරුන් හෝ නිලධාරියෙකු පැමිණෙන්නේ නම් වහා ඒ පිළිබඳව වූ ඔත්තුව ජාවාරම්කරුවන්ට ලැබෙන බව දැන සිටි නිලධාරීන් ඉතා ෂූක්ෂ්ම අයුරින් ගඳ දිගේ පහළට ඇදී ගියේ මෙම ජාවාරමේ සුල මුල සොයන්නටය. නිලධාරින් කණ්ඩායම එහි යන විටත් එක් බෝට්ටුවක වැලි පටවා ගඟ අයිනේ කැලෑ රොදක් අසල නවතා තිබූ අතර ටිපර් රථය පැමිණ වැලි ප්‍රවාහනය සඳහා වැලි පටවා තිබුණි. වහා ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි. එහි තිබී වැලි පැටවීමට යොදා ගත් සවල්, උදළු හා එක් බෝට්ටුවක්, ටිපර් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංවට ගැණුණි.   
අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව විශේෂ කාර්ය බළකා නිලධාරින් ගඟ දෙපස දැඩි පරික්ෂාවකට ලක් කෙරිණි. එහිදී ගඟ දෙපස වැලි ගොඩ දැමීමට යොදාගත් තවත් බෝට්ටු 05ක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි විය. වැටලීම සිදුකරන අවස්ථාව වන විට ජාවාරම්කරුවන් වැලි ගොඩ දමමින් සිට ඇති අතර විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ පැමිණීම පිළිබඳව ආරංචි කනවැකීම නිසා ගොඩ දමමින් සිටි වැලි බෝට්ටු පිටින්ම ගඟ මැද අතහැර දමා පලාගොස් තිබුණි.   


ජාවාරම්කරුවන් සූරියවැව බැදිගම්තොට ප්‍රදේශයට අමතරව අම්බලන්තොට, මාමඩල, වළවේවත්ත, මල්පෙත්තාව, ජංසගම හා කුඩාබෝලාන යන ප්‍රදේශවලද තැන තැන වැලි ගොඩ දැමීමේ ජාවාරම් කරගෙන ගොස් තිබුණේ සිය බලපුළුවන්කාරකම්වලින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමිනි.   
ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි ගම් වැසියෙක් අපත් සමග මෙලස පැවැසූහ. 

 
“මේ මිනිස්සු මේක දැන් කාලයක් තිස්සේ කරගෙන ආවා. අපි බලධාරීන්ට මේ ගැන කිව්වට වැඩක් වුණේ නෑ. අනික නිතර නිතර ගිහින් අපිට මේ කෙරෙන පිරිසර හානිය පිළිබඳව බලධාරීන්ට කියන්න පුළුවන්කමක් නෑ. මොකද මේ නිලධාරීන් අතරත් මේ ජාවාරම්කරුවන්ට හිතවත් අය ඉන්නවා. බැරිම තැන තමයි අපි ගම්මුන් එකතුවෙලා මේ ගැන විශේෂ කාර්ය බළකා නිලධාරින්ට කිවුවේ. මේ මිනිස්සු ගඟ දෙපස විනාශ කරා විතරක් නෙමෙයි මේ තියෙන ගොඩ ඉඩම්වලත් හැම තැනම මහා වළවල් හාරලා වැලි ගොඩ දැමීම් කළා. අපි මේ බොරු නම් කියන්නේ ඇවිත් බලන්න පුළුවන් මේ ප්‍රදේශයට කරලා තියෙන විනාශය මොකද්ද කියලා. ගොවිතැන් කරන්න වැව් හදන්න කියලා සමහරු මහා වළවල් හාරලා වැලි පස් ජාවාරම කළා. අද බැදිගන්තොට ගමේ වළව ගඟ දෙපසට වෙන්න හැම තැනම මහා වැව් වගේ වළවල් හාරලා. මේ නිසා ළිංවල ජල මට්ටම අඩු වෙලා ගියා. තැන තැන පොළොව ගිලා බැසීම්වලට ලක් වෙලා. නොදන්න කෙනෙක් ගියොත් වළවල්වලට වැටිලා මැරෙනවා. මේවා බලධාරීන් කොහොම බලාගෙන හිටියද දන්නේ නෑ. ජාවාරම්කාරයෝ ටික එකතුවෙලා ගඟ දෙපස තිබුණ කුඹුක් ඇතුළු වටිනා ගස් කැපීමේ ජාවාරමත් ජයටම කරගෙන ගියා” යැයි පැවසීය.   


මේ ප්‍රදේශය පුරා අප කළ සංචාරයේදීද අපට දැකිය හැකි වූයේ ජාවාරම්කරුවන් පරිසරය පිළිබඳව තුට්ටුවකට මායිම් කර නොතිබූ අයුරුය. වළව ගංගාවේ ප්‍රධාන ගං ඉවුරු ජාවාරම්කාරයන්ට ඕනෑ ඕනෑ විදියට කපා දමා තිබුණි. ඔවුනට හිතූ හිතූ ස්ථානවල දැවැන්ත වළවල් හාරා තිබුණි. එමෙන් පොල් වගාවන් තුළ පොල් ගස් බිම හෙළමින් වැලි කැණීම් සිදුකර තිබුණි. වැලි ප්‍රවාහනය හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග පද්ධතියටද දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබුණි. ජාවාරම්කරුවන්ගේ මෙම ක්‍රියාකලාපයන් හේතුවෙන් බැදිගන්තොට ප්‍රදේශයේ පමණක් පවුල් 500කට පමණ ඍජු බලපෑම් එල්ල වී තිබූ අතර අම්බලන්තොට ප්‍රදේශය ලේකම් බල ප්‍රදේශයට අයත් කුඩා බෝලාන ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් පවුල් 1318ක්, වලවෙවත්ත නැගෙනහිර හා බටහිර ප්‍රදේශයේ පවුල් 2111ක්, මාමඩල උතුර හා දකුණ ප්‍රදේශයේ පවුල් 3002ක් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබුණි.   
කාලාන්තරයක් තිස්සේ මෙම ජාවාරම්කරුවන් මෙම ජාවාරම මෙහෙයවද්දී ප්‍රදේශයේ බලධාරීන් මෙය නොදැක්කා සේ සිටීම පුදුම සහගත බවයි ප්‍රදේශයේ ජනතාව පවසන්නේ. දැවැන්ත පරිසර විනාශයක් සිදුවීමට මත්තෙන් එය නවතා ගැනීමට ප්‍රදේශයේ බලධාරීන්ට ඕනෑතරම් අවස්ථාව තිබියදීත් ඔවුන් එය නොකළේ කාගේ හෝ ඉහළ අයෙකුගේ දේශපාලන හයියකට බව නම් ඉතා පැහැදිලිය.   


විශේෂ කාර්ය බළකා නිලධාරින් සිදුකළ මෙම වැටලීමේදී බෝට්ටු 06ක්, ටිපර් රථයක්, වැලි ගොඩදමාගැනීමට යොදාගන්නා සවල්, උදලු‍ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුණි. අත්අඩංගුවට පත් සැකකරු හා උපකරණ තොගය අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සූරියවැව පොලිසියට බාර දී තිබේ.   
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුරනාත දිසානායක, ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ආනන්ද පේමසිරි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සූරියවැව කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව ප්‍රනාන්දු, දෙවැනි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක අනුර රණසිංහ, පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ. රණසිංහ, උපපොලිස් පරීක්ෂක මහරසිංහ, පොලිස් සැරයන්වරුන් රණසිංහ, පොලිස් කොස්තාපල්වරුන් ගුණවර්ධන, අධිකාරී, බංඩාර, අබ්රත්න, ලක්ෂාන්, හතුරුසිංහ, පුෂ්පකුමාර, බණ්ඩාර, කුමාර විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් එක්ව වැටලීම සිදුකර තිබේ.   

 

 

සටහන හා සේයා රූ- සූරියවැව 
දිලීප් ජයසේකර