පවුලක් ජීවත් කරවන දරුවෙක්


 

 

“එයා පොඩි ළමයෙක් හින්දා ගොඩක් අය එයාගෙන් වැඩ ගන්නවා. හරියට පඩියක් දෙන්නෙ නෑ. මුළු දවසම වැඩ කරලා දරුවා අරගෙන එන රුපියල් 500න්, 600 න් අපි හත් දෙනෙක් ජීවත් වෙනවා. එයා ඉගෙනීම අතරමග නතර කරලා දාලයි මේ කුලී වැඩ කරන්නෙ.”‍ පිරිමි දරුවන්ම පස් දෙනෙකුගේ මවක් තම වැඩිමහල් දරුවා ගැන එලෙස සඳහන් කළාය.   


අනුරාධපුර ,මධ්‍යම නුවරගම් පළාතේ 316, තෙප්පන්කුලම ග්‍රාම සේවා වසමේ පදිංචි පී. වී. නිලූකා (37) සහ ඒ.එම්. චම්පික නිරෝෂණ (45) යන දෙමව්පියෝ දාහත් (17) හැවිරිදි දරුවාගෙන් යැපෙන්න වීම පිළිබඳව ඉතාමත් කනගාටුවෙන් කතා කළහ.   


පිළිවෙළින් වයස අවුරුදු 6, 7, 8, 10, වයසේ පසුවන මල්ලිලා හතරදෙනත්, අම්මත්, ආබාධිත පියාත් ජීවත් කරවන්නට ඔහු විටෙක වැලි පටවන්නේය. විටෙක පොහොර පැකට් කරන්නේය.   
ජීවිතයේ සුන්දරම කාලය එළඹෙත්ම, තවත් ඉගෙන ගන්නා වයසේ සිටින,   


නිෂාද පසිඳු අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය. ඉගෙන ගන්න වියදම් කරන්න තියා හරියට කුසට ආහාරයක් නැතිව, ඔහු පෙනී සිටි විභාගයෙන් විෂයන් හයක් සමත්ව සම්මාන දෙකක් ලබා ගන්නට සමත් විය. එහෙත්, උසස් අධ්‍යාපනය ලබන්නට ඔහු වරම් නොලබන්නේ, අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අඩුපාඩුවකට නොව, පවුලේ තිබෙන ආර්ථික අපහසුතා හේතුවෙනි. ඒ වන විටත් ඔහුගේ පියා වහලයකින් වැටී පාදයක් ආබාධ තත්ත්වයට පත්ව තිබිණි. ඔහුගේ පියා පොල් කැඩීම, අතු කැපීම වැනි කුලී වැඩ කර, ලැබුණු දවසේ කුලියෙන් ඔවුන්ට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවුණි.   


මේ සියලු‍ කාරණා හේතුවෙන් නිෂාද ද කුලී වැඩ කරන්නට ගියේය. දැන් ඔහු හොයන මුදලින් තුන් වේලෙන් එකක් හෝ කන්නට සිදුව තිබේ. ඒ පිළිබඳව පවුලේ වගකීම් සියල්ල ම කරට ගෙන කටයුතු කරන ඔහුගේ මව නිලූකා අප සමඟ මෙලෙස කීවාය.   


“දරුවා හැමදාම වැඩ කළාට හරියට කෑමක් නෑ. එක මිටට එයාගේ ඉන අල්ලන්න පුළුවන්. අපිට ජීවත් වෙන්න තැනක් නැතුව බස්හෝල්ට්වලත් ඉඳලා තියෙනවා. එහෙම දුක් විඳපු දරුවෙකුයි අදත් ඔය තත්ත්වයේ ඉන්නේ. අපේ උපන් ගම් මේ සාලියපුරම තමයි. ඒත්, අපිට ඉන්න කියලා ඉඩමක් ගෙයක් දොරක් නෑ. හැමදාම හිටියෙ කුලී ගෙවල්වල. අපි වව්නියාවේ බෝගස්වැවටත් ගියා ඉඩම් ඉල්ලගෙන. ඒත් අපිට ඉඩම් ලැබුණේ නෑ.   
මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කාලේ අපිට වැලිඔය-සම්පත්නුවර ඉඩමක් හම්බවුණා. ඒ අලි ගහන කැලේ අපි වගේ ඉතාමත් අහිංසක මිනිස්සු පුංචි පුංචි ගෙවල් හදාගෙන ජීවත් වුණා. අපි ඒකෙ පුංචිවට කටු මැටි ගහල ගෙයක් හදාගෙන ජීවත් වුණා. ඒ වුණාට මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණාට පස්සේ, ඒ ඉඩම ඔක්කොම අපෙන් ආපහු ගත්තා. අපිට යන්න එන්න තැනක් තිබුණෙ නෑ. ඒ වෙනකොට මගේ තාත්තා සාලියපුර අපි මේ අද ඉන්න ඉඩම බලා කියා ගත්තා. ඒ වෙනුවෙන් එයාට රුපියල් දෙදහක මාසික කුලියක් ගෙව්වා. තාත්තා කිව්ව මේ ගෙදර ඇවිත් ඉන්න කියලා. ඔය අතරේ දී තාත්තා මියගියා.   


මේ ඉඩම් අයිති කට්ටිය අපිට මේ ගෙදරින් යන්න කියනවා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ, කන්න බොන්න නැතුව මදිවට ඉන්න හිටින්න තැනක්වත් නැතුව මේ ප්‍රශ්නත් එක්ක මහත්තයා මානසික රෝගියෙක් වෙලා. කකුල් ආබාධිතයි. දැන් ඇවිදින්න බෑ. කිහිලිකරුවක් නැති නිසා අල්ලගෙන ඇවිදින්න ඕනේ.   


ළමයි පස් දෙනාගෙන් තුන් දෙනෙක් ඉස්කෝලේ යනවා. ගෙදර ඉඳලා කිලෝමීටර් තුනක් දුරින් තියෙන හතරැස් වළ ප්‍රාථමික විද්‍යාලයේ ඒ දරුවො තුන්දෙනා ඉගෙන ගන්නවා. ගොඩක් දුරට ළමයි තුන්දෙනත් එක්කරගෙන මම පයින් ඉස්කෝලෙට එනවා . ලොකු දරුවා හොයන මුදලින් අපිට ජීවත් වෙන්න බැරි හින්දා මම පාන්දරින් ඉස්කෝලෙට ඇවිත් පන්ති කාමර දෙකක පිරිසුදු කිරීම් කරනවා. Toilet හෝදනවා . ඒකට එක අම්මෙකුගෙන් රුපියල් 75ක් මාසෙකට හම්බවෙනවා. එක පන්තියක අම්මලා විස්සක් විසිපහක් ඉන්නවා. එ් වගේ පන්ති දෙකක් මම හැමදාම පිරිසුදු කරනවා. මං එහෙම කරන්නෙත් ළමයෙක් අසනීප වුණ වෙලාවකට හරි බෙහෙතක් හරි ගන්න ඕනනේ කියලා හිතලා. අපේ ගෙදර තුන්වේල කන්නෙ නෑ. ගොඩක් වෙලාවට උදේ උයන බත් එක විතරයි. ඒ බත් දවල්ටත් දීලා ඉතිරි වුණොත්, රෑටත් දෙනවා. රෑට හැමදාම මායි මහත්තයයි බඩගින්නෙ ඉන්නවා.   


මේ ගැන තොරතුරු ආරංචි වුණාම ගොඩක් අය මගෙන් දරුවො තමයි ඉල්ලන්නේ . එක්කෝ මහණ කරන්න ඉල්ලනවා. නැත්තං දරුකමට හදාගන්න ඉල්ලනවා. ඒත් මං දරුවන්ට ආදරෙයි. මට දරුවෝ කාටවත් දෙන්න බෑ. ඒ නිසයි අපි දරුවෝ හදා ගත්තේ. දැන් ඉතින් මේ දරුවන්ට කොහොමහරි උගන්න ගන්න ඕනේ.   
මට ඉස්කෝලේ ගුරුවරු ගොඩක් උදව් කරනවා. සමහර වෙලාවට අපිට උදේට මොකුත් උයන්න නැති උනාම ළමයි නිකං ඉස්කෝලේ එක්ක යනවා. ගුරුවරු දෙමව්පියන්ට කියලා ළමයින්ගේ බඩගින්න නිවනවා. ලබන අවුරුද්දෙ තව එක දරුවෙක් ඉස්කෝලේ යන්න ඉන්නවා. කොහොමහරි දරු පැටවුන්ට ඉන්න තැනකුයි ඉගෙන ගන්න ක්‍රමයකුයි තමයි හදාගන්න ඕනේ. මේ ප්‍රශ්න දිහා බලලා ලොකු පුතා ආමි එකට යන්න සූදානමින් ඉන්නවා. තාම එයාට වයස මදි.   


මුල ඉඳලම මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ ලොකු පුතා. අපි බස් හෝල්ට්වලත් ඉඳලා තියෙනවා. අපිටම කියලා ගෙයක් දොරක් නැති නිසා ගහක් කොළක් හදාගෙන වත් ඉන්න විදිහක් නෑ. මහත්තයාට නැගිටින්න පුළුවන් වුණත් ආයෙ එයාට ගස් නගින වැඩ කරන්න බැරි වෙයි. දැනුත් අපියි එයා අල්ලගෙන ඇවිදින්නෙ. එයාගෙ ආවතේව කටයුතු සියල්ල කරන්න ඕනෙ. සමාජ සේවා කටයුතු කරන චතුරි කියලා මිස් කෙනෙක් අපි ගැන තොරතුරු හෙළි කළා. ඊට පස්සේ අපිට ඇඳන් දෙකක් හම්බ වුණා. ඒ මිස් තමයි මේ සැරේ දරුවන්ට ඉස්කෝලේ යන්න පොත් ටිකත් අරං දුන්නේ. මේ ආර්ථික අපහසුතා කියන්න කෙනෙක් නෑ. අපිට ගෙයක් තිබුනොත් ඒ හොඳටම ඇති” ඇය කීවාය.     

 

 

චාන්දනී දිසානායක