‘යුරෝපා සංගමයේ ඉල්ලීම බලපෑමක් නොවේ‘



( චමිල් රූපසිංහ)


රටේ ඇතිව තිබෙන ගැටලු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉක්මනින් විසඳා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත් එය බලපෑමක් නොවන බවත් ජත්‍යන්තරයේ විශ්වාසය දිනා ගනිමින් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමට තමන්ට හැකි බවත් විදේශ කටයුතු ඇමැති ආචර්ය සරත් අමුණුගම මහතා මල්වතු අස්ගිරි මහනායක හිමිවරු හමුවේ අද (04) පැවසීය.


එක්සත් ජාතික පක්ෂය රටට පෙන්වීමට උත්සහ කරන ආකාරයේ බලපෑමක් මෙරටට ජත්‍යන්තරයෙන් එල්ලවී නොමැති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යය සරත් අමුණුගම මහතා අද (04) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහවිහාර වලට ගොස් මහනායක ස්වාමින් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදි මේ බව පැවැසිය.


විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇතිවූ අවස්ථාවක ව්‍යවස්ථාව අර්ථකතනය කරමින් අර්බුදය විසඳා ගැනීම සඳහා යායුතු වන්නේ අධිකරණයට වුවත් එජාපය මේ මොහොතේ එසේ නොකරන්නේ ජනපති ව්‍යවස්ථානුකූලව කටයුතු කර තිබෙන බව ඔවුන් හොඳින් දන්නා නිසා බවද විදේශ කටයුතු ඇමැති අමුණුගම මහතා කීවේය.


තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ ප්‍රේමාදාස ජනපතිවරයා එදා පාර්ලිමේන්තුව මාස දෙකක කාලයක් කල් දැමු බවත් ජනපති තුමන්ට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව මාස දෙකක උපරිම කාලයක් දක්වා පාර්ලිමේන්තුව කල් දැමිය හැකි බවත් එය ඊට එක් උදාහරණයක් බවත් ඒ මහතා කීය. 


අද පුංචි සිදුවීමක් පවා අද ඉතා ඉක්මනින් ජත්‍යන්තරය දක්වා ගෙන යාමට තරම් මාධ්‍ය ප්‍රබලවී තිබෙන බවද ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු සිදු වෙත්දී ජත්‍යන්තරයට බලපෑම් එල්ල කළ නොහැකි නමුත් මෙම සිදුවීම් මුල් කරගෙන රටේ යම් යම් ගැටුම් හා ලේ වැගිරීම් සිදුවුව හොත් එය රටට අහිතකර ලෙස බලපෑ හැකි බවත් මෙම තත්ත්වය කෙරෙහි රජය පූර්ණ අවධානය යොමුකර තිබෙන බවත් කී ඒ මහතා ජනපතිතුමන් මෙරට තත්ත්වය සම්බන්ධයෙන් තානාපතිවරුන් කැඳවා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන අතරම තමන්ද සාක් රටවල තානාපතිවරු හමුවී සාකච්ඡා කළ බවත් අමුණුගම මහතා කීවේය.


ජේ.ආර් ජයවර්ධන මහතා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ එමඟින් ශ්‍රීලංකාවේ ඒකිය භාවය සම්බන්ධයෙන් විමසීමට අධිකරණයට ගිය බවත් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර මතබේදයක් ගැටුමක් ඇත්නම් කළ යුතු සුදුසුම දේ අධිකරණයට යාම බවත් කී ඒ මහතා එජාපය අධිකරණයට නොයෑම තුළම මෙතන ප්‍රශ්නයක් නොමැති බව පැහැදිලි වන බවද පැවසුවේය.


අයවැය සකස් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සැසිවාර කල්දමා යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මෙම 05 වැනි දින බවත් එය 16 දින දක්වා කල් දැමීම එතරම් දීර්ඝ කාලයක් නොවන බවද විදේශ කටයුතු ඇමැතිවරයා කීය.


අගමැති ධූරයට පත්වූ හෝ පත් වීමට අපේක්ෂාවෙන් සිටින කවුරුත් පාර්ලිමේන්තුව තුළදී බහුතරය පෙන්විය යුතුව තිබෙන බවත් අනිකුත් අය පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රශ්නයක් කරගත යුතු නැති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැන් බහුතරය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවද අවධාරණය කළේය.