(නිමල කොඩිතුවක්කු)
අගමැතිධුරය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා තේරීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික විද්වත් සංසදයේ ආචාර්ය මහාචාර්යවරු කොළඹදී අද(28) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළහ.
ව්‍යවස්තාවට පටහැනි ආකාරයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරිම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් රට සෑම අංශයකින්ම අස්ථාවර වීම මින් සිදුවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
කොළඹ නිපෝන් හෝටලයේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර එහිදී අදහස් දැක්වූ කාළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙණියේ පියරතන හිමියෝ මෙසේ පැවසූහ.
‘‘ 2015 ජනවාරි 08 වනදා අපි ජනාධිපතිවරයාට වරමක් ලබාදුන්නා. ඒ ජනවරම මගින් අපි මේ වගේ දේවල් බලාපොරොත්තු වුනේ නැහැ.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉවත්කරන ක‍්‍රමවේදය පැහැදිළිව පෙන්වා දෙනවා. ඒ ගැන අවධානය යොමුකරලා රට ගැනත් හිතලා තීරණයක් ගත යුතුයි.
2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. අගමැතිවරයා විදියට පත්වෙන්න බලයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ගත් කෙනාටයි. ව්‍යවස්ථාවේත් එය සදහන්ව තිබියදී රට අස්ථාවර කරන එක එච්චර හොද දෙයක් නෙමෙයි.
මාස කිහිපයකට පෙරත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා. ඒ වෙලාවේත් විශ්වාසභංගය ගෙනාවේ වඩාත් උත්තරීතර පාර්ලිමේන්තුවේ මතව විමසිම සදහායි. එතනදීත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ජයගත්තා.
අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාගෙන්, කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. පාර්ලිමේන්තුව කැඳවලා වැඩිම බලයක් තියෙන කෙනාට අගමැතිධුරය ලබා දිය යුතුයි’’ යනුවෙන්ද උන්වහන්සේ පැවැසූහ.