(විනීතා එම් ගමගේ)
කල්පිටිය අර්ධද්වීපයේ කාන්තාවන්ගේ හිසකෙස්වල අධික මාත්‍රාවෙන් රසදිය අඩංගු වන බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසයි.
එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ශරීරවල රසදිය අඩංගුදැයි බැලීමට රුධිර පරීක්ෂාවක් සිදු කළ යුතු යැයි ඒ මහතා ලංකාදීපයට පැවසීය.
කල්පිටියේ අවුරුදු 18 සිට 44 දක්වා වයස් කාණ්ඩයන්හි කාන්තාවන් යොදා ගෙන සිදුකළ මෙම අධ්‍යයනයේ දී හෙළි වූයේ මිනිස් සිරුරේ තිබිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති රසදිය ප්‍රමාණය ඉක්මවා විශාල ප්‍රමාණයක් ශරීරගතව තිබූ බව ද විතානගේ මහතා කීය.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ පැවැතිය හැකි උපරිම රසදිය ප්‍රමාණය කොටස් මිලියනයකට එක් කොටසක් පමණක් බවත් අධ්‍යයනයට ලක් කළ සමහර කාන්තාවන්ගේ සිරුරුවල මිලියනයකට කොටස් හයක් හතක් පමණ තිබූ බව ද සඳහන් කළේය.
අධ්‍යයනයට ලක් කළ කාන්තාවන් සියලු දෙනා කළපුවෙන් අල්ලන මසුන් ආහාරයට ගන්නා බවත් ඒ අනුව කළපු මසුන්ගෙන් මෙම රසදිය ඔවුන්ගේ ශරීරවලට ඇතුල් වූයේ යැයි සිතිය හැකි බවත් කළපුවට රසදිය එක් වීමට ඇති එකම හේතුව එහි ඇති ගල් අඟුරු බලාගාරය විය යුතු බවත් විතානගේ මහතා කීය.
මෙරටට ගෙනෙන ගල් අඟුරුවල රසදිය ප්‍රමාණය බැලීමේ ක්‍රමයක් නොමැති බව පෙන්වා දුන් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා එවැනි ක්‍රමයක් සකස් විය යුතු බව ද කියා සිටියේය.
මිනිස් සිරුරේ රසදිය ප්‍රමාණය මැන බැලීමට තම සංවිධානයට හැකියාව නොමැති බවත් ඒ සඳහා රජයේ සෞඛ්‍ය අංශ වහා මැදිහත් විය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.