(විනීතා එම් ගමගේ)
අගමැති පුටුවේ ඉගන්නේ කවුදැයි තීරණය කිරීමට කථානායකවරයාට කිසිදු අයිතියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
ඒ සඳහා කථානායකවරයාට කිසිදු නෛතික, සදාචාරාත්මක හෝ ව්‍යවස්ථාමය බලයක් ද නැතැයි ඇමතිවරයා කීය.
කථානායකවරයා ගෙන ඇත්තේ පුද්ගලික හා දේශපාලනමය තීන්දුවක් යැයි ද, එය කතානායකවරයෙකුට තරම් නොවේ යැයි ද අමුණුගම මහතා කියා සිටියේය.
මේ තත්ත්වය යටතේ යම් ගැටුම්කාරි වාතාවරණයක් රට තුළ නිර්මාණය වුවහොත් එයට කතානායකවරයා වගකිව යුතු යැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද(05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිිටියේ අගමැතිවරයා පත් කිරීමේ ප‍්‍රශ්න කළ නොහැකි බලයක් ජනාධිපතිවරයාට ඇති බවකි.
රාජ්‍යනායක, සේනාධිනායක, ආණ්ඩුවේ නායක හා අමාත්‍ය මණ්ඩල නායක වන්නේ ජනාධිපතිවරයා බව කතානායකවරයා නොදන්නවා නොවිය හැකි යැයි ද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අලූතෙන් පත්වූ ආණ්ඩුවේ පළමු කටයුත්ත වන්නේ ලබන වසර සඳහා අයවැය ලේඛනයක් සකස් කිරීම බවත් එහි දී විපක්ෂයට කළ හැකි එකම කාර්යය වන්නේ අයවැය ලේඛනය පරාජය කරමින් ආණ්ඩුව පෙරලීම යැයි ද රාජපක්ෂ මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවීමට ඇති ක‍්‍රම තුන වන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති ස්ථාවර නියෝග අනුව සෑම මාසයකම පළමුවන සතියේ හා අවසන් සතියේ පාර්ලිමේන්තුව කැඳවීම බවත් දෙවැනි අවස්ථාව ලෙස අගමැතිගේ අවසරය ඇතිව කථානායකවරයාට පාර්ලිමේන්තුව තවත් දිනවල කැඳවීමට හැකි බවත් අගමැතිවරයාට නියමිත දිනවලට කළින් කැඳවන ලෙස කථානායකවරයාට නියෝග කිරීමට හැකියාවක් ඇති බවත් කී අමාත්‍යවරයා මේ හැර වෙනත් ක‍්‍රමයක් ඒ සඳහා නැතැයි ද කීය.
කෙසේ වෙතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 (3) වගන්තිය යටතේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට ජනාධිපතිවරයාට පූර්ණ අභිමතය ඇතැයි ද සඳහන් කළේය. එම නියෝගය අස්සන් කළ මොහොත පටන් පාර්ලිමේන්තුව සම්බන්ධව පාර්ලිමේන්තුව තුල කතානායක වරයාට සහ අගමැතිවරයාට ක‍්‍රියාත්මක කරවිමට ඇති බලය අත්හිටවෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ පාරලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.