(යොහාන් භාසුර)
හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 240,000 ක් සමඟ පුද්ගලයෙක් කඩවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමට සමත් විය.
රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 70 ක්, රුපියල් 240,000 ක්, ඩිජිටල් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමඟ අදාල හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයා සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක් බවත් පොලිසිය කීය.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පී.සී. පල්ලියගුරුගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානයට භාරදුන් බව ද පොලිසිය පැවසීය.