සෞඛ්‍ය සේවිකාවට අතවරකිරීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට


(සුමිත් පොතුපිටිය )

සේවය නිමවා නිවසට යමින් සිටී නාගොඩ මහ රෝහලේ සෞඛ්‍ය සේවිකාවකට අතවර කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී භාරදුන් බව තෙබුවන පොලීසිය පවසයි.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ නෑබඩ, පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .

33 හැවිරිදි සෞඛ්‍ය සේවිකාව දෙදරු මවක් බවත් , ඇය නාගොඩ සිට බසයෙන් පැමිණ රාත්‍රි 7 .15 ට පමණ  පාගමනින් යමින් සිටියදී මුදල් ලබාදී ඔහු සමග යාමට පැමිණෙන ලෙස පවසමින් අතින් ඇද ඇති බවට පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇති බවත්  පොලිසිය කියයි .

වින්දිත කාන්තාව බිය වී කෑ ගැසීමත් සමගින්  ප්‍රදේශවාසීන් එක්ව සැකකරු අල්ලා  පහරදී පොලිසියට භාරදුන් බව සඳහන් වේ.

ප්‍රදේශවාසීන් කල පහරදීම් වලින් සැකකරුගේ මුහුනේ සහ ශරීරයේ ස්ථාන කිහිපයක තැලීම් සහ සීරීම්  තුවාල සිදුව ඇතැයිද පොලිසිය කියයි .

සැකකරු සමඟින් තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් පැමිණි බවට අනාවරණය වී ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි .

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .