සී.ටී.බී.ය හිතුමතේ ගත්තු ණයක් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  ප්‍රධානීන් පිරිසක් එහි කටයුතු සඳහා  මුදල් අමාත්‍යවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නැතිව  රුපියල් කෝටි 15 ක බැංකු ණයක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය  පිළිබඳව  දැඩි අප්‍රසාදය පළ කර ඇත.

එම ගනුදෙනුව අනුමැතියකින් තොරව සිදු කර ඇති බව ඒ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පිළිගෙන ඇතැයිද  සඳහන් වේ.

මේ සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ 2018 වර්ෂයේදීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල 2005 අංක 27 දරණ පනතේ 19(1) හා (2) ඒ අනුව මණ්ඩලයේ කටයුතු සඳහා ණයක් ලබා ගැනීමේදී මුදල් අමාත්‍යවරයාගෙන් විමසා අදාළ අමාත්‍යවරයාගේද  එකඟත්වය මත ලබා ගත යුතු වුවත්   මෙම ණය මුදල ලබා ගැනීමේදී එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර නොමැති බව කෝප් කමිටුව පවසයි.

මේ අනුව ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය  සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ අතර  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන දෙකක් ශ්‍රී ලංකා ජාතික සේවක සමිතිය හා ජාතික සේවක සංගමයට මසකට ඩීසල් ලීටර් 160 ක් සමග ලබාදීම  සම්බන්ධයෙන්ද  කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.

මේ තත්ත්වය වහාම නිවැරදි කරන ලෙස කෝප් කමිටුව  එම මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

එහෙත් මේ දක්වා එහි ප්‍රගතිය වාර්තා  කර නැතැයි   කෝප් කමිටු වාර්තාවක සඳහන්වේ.