සජිත්-පවිත්‍රා පාර්ලිමේන්තුවේ දී ගැටෙති


 

(බන්දුල ඉලේපෙරුම)

පාර්ලිමේන්තුව අද(21) දිනයේ ආරම්භයේ දී  රටේ පවතින වත්මන් කොවිඩ් -19 ආසාදිත තත්ත්වය එන්න එන්නම උග්‍රවන බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කළහ.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගී සිටිමින් කියා සිටියේ කුලියාපිටිය, පන්නල ඇතුළු ප්‍රදේශ ගණනාවක් වසා ඇති බවත් රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නැති බවත් තවම සමාජගතවී නැති බව කියමින් සිටීම බොරුවක් බවත්ය.


පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිවරිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තවමත් තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනයේ පවතින බැවින් සමාජගතවී ඇතැයි කිව නොහැකි බවයි. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කොවිඩ් 19 දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් බව එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

 

ඒ යාල කොවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් ඔහුට දැනුම් දීමක් කිරීම හේතුවෙන් බව පවිත්‍රා වන්නි ආරච්චි ඇමැතිනිය කියා සිටි‍යාය. ඊට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන්ට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.

විපක්ෂ නායකවරයා දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ ගැන වසංගත රෝග විද්‍යා අංශය  තහවුරුකරලා විපක්ෂ නායකවරයාට මේ පිළිබඳව අපි දැනුම් දීමක් කළ බව සෞඛ්‍ය ඇමැතිවරිය පැවසුවාය.


මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විවාද කරගැනීම නිසා පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් තත්ත්වයකට පත්විය.

(විපක්ෂනායකවරයා යාල බුතව බංගලාව අසල - ඡායාරූපය විපක්ෂනායකවරයාගේ ටිව්ටර් ගිණුම ඇසුරෙනි)